කරපිංචා කතාවක් ...
මම සුපර් මාකට්ටුවෙන් එලියට බසිමින් සිටියෙමි.
"මහත්තය රුපියල් 50ක් දීල මේ කරපිංචා ටිකක් අරගෙන යන්න."
මා වෙත පිවිසුණු වයස 35-40 පමණ විය හැකි මුහුණු ආවරණයක් පැළඳ සිටි පුරුෂයෙක් බැගෑපත් ඉල්ලීමක් කළේය.
කරපිංචා අවශ්‍ය නොවුණත් ඒ ආයාචනයේ බැගෑපත් කම නිසාම කරපිංචා මිටියක් ගත්තෙමි.
"මහත්තය තව රුපියල් 20ක් දීල මේ සේරම අරගෙන යන්න," ඔහු මා මිලදී ගත් මිටිය මෙන් තවත් දෙගුණයක් පමණ මා වෙත පෑවේය.
මට අදහාගත නොහැකි විය.
රාත්‍රී 9ත් පසුවී සුපිරි වෙළෙඳසලක් අබියස කරපිංචා විකුණන මේ පුරුෂයා රුපියල් 70ක් උපයා ගැනීමට දරන වෙහෙසක තරම !
සුපිරි වෙළෙඳසලේ බිත්තරයක් දැන් රුපියල් 46කි.
ත්‍රී රෝද රථයක් කිලෝමීටරයක් ගෙවීමට දැන් රුපියල් 100 ක් අය කරයි.
සුපිරි මාර්කට්ටුවේ පාන් ගෙඩියක මිල රුපියල් 400 කි!
මේ මහා රෑ මිනිසුන්ට පින්සෙන්ඩු වී කරපිංචා මිටි ටික රුපියල් 70 කට විකුණලා මේ මනුස්සය මොනවා කරන්නද? ලංකාවේ අද රුපියල් 70 කට කරන්න පුළුවන් මොනවාද?
රුපියල් 50 කට මට දුන් කරපිංචා මිටියත් යළි ඔහු අත තබා ඒ සියල්ල වෙනත් කෙනෙකුට විකුණා ගන්නා මෙන් කීවත් ඔහු එයට එකඟ නොවීය.
"අනේ එහෙම බෑනේ මහත්තය. මේ ටිකවත් අරගෙන යන්න. අනේ කමක් නැද්ද මහත්තය?"

මේ ලංකාද්වීපයේම එක්තරා පැලැන්තියක් තවමත් රස මසවුලින් සප්පායම් වෙද්දී, සුපිරි යාන, වාහන පිරිවරාගෙන රට පුරා සංචාරය කරද්දී මේ අහිංසක මිනිසා වැනි ලක්ෂ සංඛ්‍යාත දිළිඳු වැසියෝ එදා වේල සරිකරගැනීමට නොහැකිව දිවා, රෑ ලතවෙමින් සිටිති.
සිකුරාදා රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී 700 කට ආසන්න මහ සෙනගක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ නුදුරු අනාගතයේදීම බොහෝ දෙනෙකුට තුන් වේලක් කන්නට නොලැබෙනු ඇති බවය.
රාජපක්ෂලා, කබ්රාල් ලා, ජයසුන්දර ලා මේ රටට කර තිබෙන වින්නැහියේ 'හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට' බවටත් අගමැතිවරයා අනතුරු ඇඟවීය. ඔහු පවසන්නේ, ලෝකය පුරාම 2024 දක්වා ආහාර අර්බුදය පවතිනු ඇති බවය.
කොහොම වුනත් දිගින් දිගටම රාජපක්ෂලා ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහටද මේ අර්බුදය සම්බන්ධ වගකීමෙන් මිදිය නොහැකිය.
මග තොටේ දී හමුවන ත්‍රී වීල් රියදුරන් කියන්නෙත් සිය වේදනාවය.

දැන් පෙට්‍රල් පෝලිම් බොහෝ දුරට අඩු වී තිබුනත්, බොහෝ රියදුරන් පෝලිමේ පැය ගණන් ගත කරන්නේ කුසට නිසි අහරක් නොමැතිවය.
එදා රුපියල් 100ටත් තිබුණු බත් පත අද අඩුම තරමින් රුපියල් 250ක් හෝ 300 කි. ත්‍රී වීලර් රියදුරන් කියන්නේ දිනපතා ලැබෙන සොච්චම් ආදායම කඩෙන් ආහාර වේලක් සඳහා වියදම් කළහොත් ජීවිතය ගැට ගසා ගැනීම ඉතා දුෂ්කර බවය.
රියදුරන්ට මෙන්ම මගීන්ටද මේ මිල ගණන් දරාගත නොහැකිය.
එක් ත්‍රී වීලර් රියදුරක් කීවේ ඇතැම් මගීන් මීටරය දුටු විට අතරමග බැස ඉතිරි දුර පයින් යන බවය.
ත්‍රී වීලරයේ යා නොහැකි, දුප්පතාගේ වාහනය වන බස්වල ගාස්තුද මෑත දිනවල කිහිපවරක්ම ඉහළ ගියේය.
කඩ පොලේත්, සුපර් මාර්කට්ටුවේත් අද දකින මිල හෙට කඩේට යනවිට ආයෙත් ඉහළ ගිහිල්ලාය.

අර්බුදය කෙතරම් දරුණු ද කිවහොත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ගේ බත් පතට දැන් මස්, මාළු, බිත්තර නැත.
තත්වය මෙතරම් දරුණු වුවත් මේ රටේ කිසිම සාමාන්‍ය මිනිසෙකුගේ හෝ රැකියාවෙන් ගසා කෑම නොපුරුදු රජයේ නිලධාරීන්ගේ ආදායම (වැටුප) නම් සතයකින්වත් ඉහළ ගොස් නැත.
ඉතින් අර සුපර් මාර්කට්ටුව ඉදිරිපස මට හමුවුණු මිනිසා රුපියල් 70 කට කරපිංචා ටික විකුණා ගෙදර ගියත් ඒ රුපියල් 70න් කළ හැකි කෙන්ගෙඩිය කුමක්‌ද? අඩුම ගානේ බිත්තර දෙකක්වත් ගන්න පුලුවන්ද?
ඇත්තටම ලංකාවට මොකද මේ වුණේ?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(04 June 2022)
(Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
(04 June 2022)
(Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)