මේ කතාවට අදාළ කාලයේ මයිකල් මහතා එක් දුරබැහැර නඟරයක පිහිටි දුම්රිය ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුව සිටියේය.



එදා උදයේ අසල ගමෙහි පදිංචිව සිටි සරසවි ඇදුරෙකු වන ගොඩමාන්න මහතා එහි පැමිණ සිටියේ තමා කොළඹින් ගෙන්වා ගත් පාර්සලයක් ලබා ගැනීමටය. ලිපි හා පාර්සල් ගෙනැවිත් භාරදෙන ඩිලිවරි සේවා නොවූ එකල, තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි හා පාර්සල් ද ඇතුළුව බොහෝ ද්‍රව්‍ය පිට පළාත්වලට යවන ලද්දේ දුම්රියෙනි.

හරකුන්, එළුවන් හා කුකුලන් පවා එදා මෙසේ ප්‍රවාහනය කරන ලදී.

 

anime 1

දෙදෙනා අතර කතාබහ උණුසුම් එකක් බව දුර සිට බලන්නෙකුට වුව පෙනී යන තරම් ය. ගොඩමාන්න මහතාගේ මුහුණ කෝපයෙන් රතු වී තිබිණි. තම මේසයෙන් ඉදිරියට නැඹුරුව සිටි මයිකල් මහතා ද පසුවූයේ ඊට කිසිසේත් නොදෙවෙනි කෝපයකිනි.

දෙදෙනා අතර මතභේදයට තුඩු දී තිබූ පාර්සලය පැත්තක බිම තබා තිබිණි. සිදුරු සහිත තහඩුවකින් ආවරණය කරන ලදුව ලී පටිවලින් නිමවා තිබූ පෙට්ටියක් වූ එහි එක් පසෙක ගොඩමාන්න මහතාගේ නම, ලිපිනය සඳහන් වූ අතර ඒ තුල කිසියම් ජීවී වස්තුවක් (හෝ වස්තු කිහිපයක්) පවතින බව පෙට්ටිය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ පෙට්ටියේ සිදුරු අතරින් යන්තමට පෙනෙන චලනයන්ගෙනි. හරියටම කියතොත් ඒ තුල වූයේ ජීව විද්‍යා පර්යේෂකයෙකු වූ ගොඩමාන්න මහතාගේ කිසියම් පර්යේෂණයක් සඳහා ගෙන්වන ලද ඌරු මීයන් දෙදෙනෙකි. උන්ගේ ආහාරය සඳහා දමා තිබූ කිසියම් අල වර්ගයක කැබලි ද දකින්නට තිබිණි.

 

anime 3 

"ගාස්තුව හරියට ගෙවලා අරගෙන යන්න පුළුවන්," මයිකල් මහතා තදින් කීය.

"ඌරුමීයෝ කියන්නේ ඌරන්ගේ ප්‍රභේදයක්. ඌරෙකුට ගාස්තුව දෙකයි පනහයි. සත්තු දෙන්නට රුපියල් පහයි."

"ඌරෝ? මේකේ කොහෙද ඌරෙක්?" ගොඩමාන්න මහතා කෝපයෙන් කෑ ගැසීය. "ඌරු මීයෝ කියන්නේ මීයෝ. මීයෝ වගේ පොඩි සත්තුන්ට ගෙවන්න ඕන පූසන්ට බල්ලන්ට වගේ ගෘහස්ත සතුන්ට ගෙවන ගාස්තුව. එකෙකුට රුපියලයි. දෙන්නටම රුපියල් දෙකයි."    

"දෙපාර්තමේන්තුවේ නීතිවලට පිටින් යන්න මට බෑ" කියූ මයිකල් ගාස්තු ලේඛනය හඬ නැඟෙන පරිදි වසා දැමුවේය. "නියම ගාස්තුව ගෙවන තුරු පෙට්ටිය දෙන්නේ නෑ."

"මම වැඩිපුර සතයක්වත් ගෙවන්නේ නෑ. මම දෙපාර්තමේන්තුවට ලියනවා" කියමින් ගොඩමාන්න පිටවී ගියේය.  

ගොඩමාන්න මහතා ගෙදරට ගොඩ වූයේ කෝපයෙන් දැවෙමිනි. "ස්ටේෂන් මාස්ටර් පණ්ඩිතයා වෙන්න හදනවා. මෙයා ඉගෙන ගන්නේ මගෙන් තමයි." තමාටම කියාගත් ඔහු දුම්රිය සාමාන්‍යාධිකාරි අමතා ලිපියක් ලිවීය. සතුන් වර්ගීකරණය පිලිබඳ විද්‍යාත්මක සිද්ධාන්ත ද පැහැදිලි කරමින් පිටු හයක ලිපියක් ලියූ ඔහු නියමිත ගාස්තුව පමණක් අය කර තමාගේ භාණ්ඩ නිදහස් කර දෙන ලෙසත්, නොසැලකිල්ල පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරයාට එරෙහිව කටයුතු කරන ලෙසත් ප්‍රමාදය වෙනුවෙන් තමාට වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

 

anime 6

සති දෙකක ඇවෑමෙන් ගොඩමාන්නට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පිළිතුරු ලිපියක් ලැබිණ. නිසි කටයුතු සඳහා ඔහුගේ ලිපිය වන්දි අංශයට යොමු කළ බව ඉන් කියැවිණි. තවත් සති තුනක් ගෙවී ගියේය. ඉන්පසු වන්දි අංශයෙන් ලිපියක් ලැබිණි. "ඔබේ පැමිණිල්ල යොමු කළ යුත්තේ අපට නොව භාණ්ඩ ප්‍රවාහන අංශය වෙතය. දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත යොමු කළ ඔබේ මුල් ලිපියේ පිටපතක් ද සහිතව ඔවුන්ට ඔබේ ගැටලුව ලියා යවන්න,"යැයි එහි කියා තිබිණි. ගොඩමාන්න පසු දිනම අවශ්‍ය පිටපත් ද සහිතව ඔවුන්ට ප්‍රශ්නය ලියා යැවීය. සති හතරකට පසු ලිපියක් එවමින් ඔවුහු, "ඌරු මීයා මීයෙකුයැයි ඔබ පවසන කරුණ සනාථ කිරීමට සාක්ෂි සම්පාදනය කරන්නැ"යි ඉල්ලා සිටියෝය.

ඊට පිළිතුරු බැඳීමට ගොඩමාන්නට සති එක හමාරක් ගත විය. ජීව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා, ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මත ආදිය සහිත පිටු 75 ක පමණ සංක්ෂිප්ත වාර්තාවක් ඔහුගේ පිළිතුරට ඇතුලත් විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට - විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන අංශයට - දැන් කාර්ය බහුල සමයක් උදා වී ඇත. සියලු දෛනික කටයුතුවලට අමතරව ගොඩමාන්නගේ ලිපි කියවීම, ඒ පිළිබඳව අදාළ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ ලිපි යැවීම, ඒවාට ලැබෙන පිළිතුරු කියවීම, ගොඩමාන්නට පිළිතුරු ලිවීම ආදී වශයෙන් පෙර නොවූ වැඩ ගණනාවක් දැන් එකතු වී ඇත. කාර්ය මණ්ඩලයට දෙදෙනෙක් අලුතින් බඳවා ගැනීමට කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් නැත.

 

anime 4

අදාළ දුම්රිය ස්ථානාධිපති - ඒ දුප්පතාගේ තත්වය ශෝචනීයය. භාණ්ඩ ප්‍රවාහන අංශයට ගොඩමාන්නගේ ලිපිය ලැබුණු වහාම ඔහුට ලැබුණු නියෝගයකින් කියවුනේ සතුන් පිලිබඳ වර්ගීකරණ ගැටලුව විසඳා ගන්නා තුරු ඔවුන්ගේ ආරක්ෂාව හා යහපත් සෞඛ්‍යය පිළිබඳව ඔහු වග බලාගත යුතු බවයි. රුපියල් තුනක අමතර ආදායමක් රජයට ලබා දීමට තැත් කළ ඔහුට දැන් මේ සතුන්ගේ ආහාර සඳහා ඊට වැඩි මුදලක් වැය වී ඇත. සතුන්ගේ ආහාර වෙනුවෙන් ප්‍රතිපාදන සඳහා ඔහු කළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ දුරකථනයෙනි. "මේ පොඩි සත්තු දෙන්නෙකුට අල කෑල්ලක් දෙන්න ප්‍රතිපාදන ඉල්ලන්න පුළුවන් ද අයිසේ! ඔය සුළු වියදම් අස්සට ඕක ඔබලා දානවා." "සත්තු දෙන්නා? මේ මාස දෙකට දැන් උන් දාහතරක් ඉන්නවා. පස්සේ උපන්න දොළොස් දෙනා යවලා දාන්නද?"

"පිස්සුද අයිසේ? ඕවට උත්තර බඳින්නේ තමුසේද අපිද? එකෙක් නෑර බලා ගන්නවා."

"මට උන් දාලා තියාගන්න ලෑලිවලින් පොඩි කොටුවක් හදන්න වුනා. උන් ඒක කපා ගෙන යන නිසා තහඩු ගහන්නත් වුනා. තව ටික දවසකින් නම් ඒකත් ඉඩ මදිවෙයි. මට තනියම මේ ඔක්කොම කරන්න බෑ. තව දෙන්නෙක්වත් මට දෙන්න."

එහා පැත්තේ දුරකථනය දඩස් ගා තබනු ඇසිනි.  

 

anime 7



මයිකල්ට මේ වැඩේ එපා වී බොහෝ කල් ය. ඔහු ගොඩමාන්න මුණ ගැසීමට ගියේය. "ගොඩමාන්න මහත්තයා, මම අවංක රාජ්‍ය නිලධාරියෙක්. මම දන්නා තරමට හරියට රාජකාරිය කරන්නයි මම බැලුවේ. හැබැයි මේ වැඩේ දැන් මට ඇති වෙලා. රුපියල් දෙකක් ගෙවලා සත්තු දෙන්නා ගන්න. ඉතුරු රුපියල් තුන මම අතින් දාන්නම්. හැබැයි මේ ඌරු මීයෝ පරම්පරාවකට නවාතැන් දෙන්නයි කන්න දෙන්නයි ගිය වියදම තමුන්නැහේ ගෙවන්න ඕන. සාධාරනයිනේ."

"බම්බු ගහනවා. සතෙකුට රුපියලකට වඩා සතයක් දෙන්නේ නෑ."

"හරි එහෙනම්, දැන් ඉන්න සත්තු දහ අට දෙනාට රුපියල ගානේ ගෙවලා අරන් යනවා."

"මට මොකටද සත්තු දහ අටක්? මම ගෙන්නුවේ දෙන්නයි. ඒ දෙන්නට රුපියල් දෙකක් දෙන්නම්. ඊට වඩා සතයක්වත් බෑ."

"එතකොට මේ අනිත් පරම්පරාවට මොකද කරන්නේ. උන්ව යවන්නත් එපාලු."

"ඒක තමුසේ දෙපාර්තමේන්තුවෙන් අහනවා"

දුකින් බර වූ සිතින් මයිකල් ආපසු දුම්රිය ස්ථානයට එන විට තවත් සත්තු 4 ක්  සත්ව ගහනයට එක් ව සිටියහ.        


anime 8

දැන් ඌරු මී ගහනය වැඩි වී සිටින අන්දමට ඔවුන් රඳවා ගැනීමට තවතවත් කොටු ඉදි කරන්නට සිදු වී ඇත. එමෙන්ම දැන් ඌරු මී ගහන වර්ධන වේගය ද ඉතා ඉහලට නැඟී ඇත. ඉන්වෙන්ටරිය සඳහා සතුන් සංඛ්‍යාව ගණනය කිරීමට සේවකයෙකු වෙන් කිරීමට මයිකල්ට සිදුව ඇත. ඔහුගෙන් දිනපතා භාණ්ඩ ප්‍රවාහන අංශයට පැමිණිලි ගලා එයි. "මයිකල් මහත්තයා, මේ අහන්න. අපට මේ රටේ ඔය ස්ටේෂම විතරක් නෙවෙයි බලන්න තියෙන්නේ. ඔතන ප්‍රශ්න විසඳන්න තමයි ඔහේ ඉන්නේ," භාණ්ඩ ප්‍රවාහන අංශයේ ලොක්කා අවසානයේ කීය. මයිකල් සුසුමක් හෙලා රිසීවරය තැබීය.

"ඒ මිනිහත් පවු අයිසේ, ඔන්න ඔය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශ ප්‍රධානියාගෙන් වාර්තාවක් අරගෙන මේ ගැන තීරණයක් අරන් මේ මඟුල ඉවර කරලා දාමු"යැයි ලොක්කා පැවසුවේ සැබෑ අනුකම්පාවකිනි.

ආසන්නව පැවැති විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්යවරයාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ලැබිණි. ඌරු මීයා අයත් වන්නේ ඌරන්ගේ ගණයට ද නැතහොත් මීයන් ගණයට දැයි යන්න පිලිබඳ සිය විශේෂඥ මතය දක්වන මෙන් එයින් ඉල්ලා තිබිණි. මහාචාර්යවරයා ලිපිය කියවා එය තමන් පිළිතුරු යැවිය යුතු ලේඛන ගොන්නේ රඳවා තැබීය.

දෙවසරක අධ්‍යයන නිවාඩුව සඳහා විදේශයකට යන අතරතුර ගුවන් යානයේ දී මහාචාර්යවරයාට ලිපිය ගැන වරක් සිහි විය. දුම්රිය දෙපාර්තමේන්තුවට තමන්ගේ වැඩ කොතෙකුත් තිබියදී ජීව විද්‍යාව ගැන උනන්දුවක් පහළ වී තිබීම ඔහුට විහිළුවක් විය. ඊට ආසන්න දිනකදී ද දුම්රිය ප්‍රමාදයක් නිසා පීඩාවට පත් වී සිටි ඔහුට එම අමතකවීම ගැන කිසිදු පශ්චාත්තාපයක් ඇති වූයේ නැත.

 

anime 9

අවුරුදු දෙකකට පසු සියරට පැමිණි මහාචාර්යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට පිළිතුරු වශයෙන් පිටු 235 ක නිබන්ධයක් යැවීය. ඌරු මීයා අයත් වන සත්ත්ව කොට්ඨාශය පිලිබඳ අනගි වාර්තාවක් වූ එය අග සිට මුලටත් මුල සිට අගටත් කියවා බැලූමුත් කිසිවෙකුට තම ප්‍රශ්නයට පිළිතුරක් නම් ලැබුනේ නැත. භාණ්ඩ ප්‍රවාහන ලොක්කාට යකා නැංගේය.

"මේක අපට තේරෙන්නේ නැත්නම් අනිත් උන්ටත් තේරෙන්න හැටියක් නෑ. කියලා යවනවා වාර්තාවේ හැටියට ඌ මීයෙක් කියලා. පුළුවන් එකෙක් ඉන්නවා නම් නඩු දැම්මාවේ"

"සර් එතකොට ස්ටේෂන් මාස්ටර්?"

"ප්‍රමාදය ගැන නිදහසට කරුණු අහලා යවනවා."

"ඒ කාලේ හිටිය මයිකල් පෙන්ෂන් ගිහිං. දැන් ඉන්නේ අලුත් හාදයෙක්."

"මඟුලක් ද ඕයි එහෙනම් අහන්නේ, දැන් ඉන්න එකාගෙන් නිදහසට කරුණු අහන්න එපා, ඌට කියනවා රුපියල් දෙකක් අරන් ඔන්න ඔය සත්තු හාරදාහ දීලා දාන්න කියලා"

"හැබැයි සර් එයා ගෙන්නපු සත්තු දෙන්න දැන් මැරිලා. අනිත් එක අමතර සත්තු අයිතිකාරයා ගන්න බෑ කිව්වොත්?"

"දෙන්නෙක් ඌට දීලා ඉතුරු එවුන් සත්තු වත්තකට දෙනවා. මතක ඇතුව රුපියල් දෙක ගන්න කියනවා"

"සර් අර සත්තු දාන්න යවපු කන්ටේනර් පෙට්ටි දෙක?"

"ඒක ආපහු හෙඩ් ඔෆිස් එකට එවන්න කියනවා. සත්තුන්ගේ යැපීමට දුන්න දීමනා ඔක්කොම නවත්තනවා"  

 

anime 10

අලුත් ස්ථානාධිපතිට නිසි උපදෙස් ලැබිණි. ඔහු ගොඩමාන්න වෙත පණිවුඩකරුවෙකු යැවීය.

පණිවුඩ කරුවා හැරෙන තැපෑලෙන් ආපහු ආවේය.

"ඇයි, මිනිහා දැන් සත්තු එපා කියනවද?"

"නෑ සර්. මිනිහා රට ගිහිං. එන්නේ අවුරුදු පහකින්ලු."        


pigs

(එලිස් පාකර් බට්ලර්ගේ Pigs Is Pigs ඇසුරෙන් කළ ඡායානුවාදයකි.)

 

සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනිණ 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්