අරගලය ජෝක් එකක් වී අවසන් වුවත් ඊනියා අරගලකරුවන්ගේ බල අරගලය තවම සංසිඳී නොමැත.
එන මැතිවරණයට තරග කිරීමට “පස්ස දාච්ච බව්වන්” මෙන් දුව දුව දඟලන අරගලයේ පතාක නියමුවන් ටික දකින විට මට ඇතිවන්නේ නොදුක් නොසුව වේදනාවකි.
ජනරජයේ සමාජ ගිවිසුම හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාහසික ලෙස උල්ලංඝනය කර උතුම් ප්රජාතන්ත්රයේ මුහුණේ කළු තාර ගා දූෂණය කළ අරගල නියමුවන් දැන් ප්‍රජාතාන්ත්‍රික වරණයට ඉදිරිපත් වීමට වලි කෑම අම්බානක උත්ප්රාසයකි.
සිස්ටම් චේන්ජ් කිරීමට පැමිණි අරගලකාරී සත්ත්වයා එම සිස්ටම් එකටම හීලෑ වී එහි දෙපා ලෙවකෑම මේ සා ඉක්මණින් සිදු වේ යැයි කවුරු නම් සිතුවේද! ව්‍යවස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික ජනරජයට ගරු කරන මා වැන්නෙකුට නම් මෙය ඉතා වැදගත්ය. අරගලකරුවන් කෙසේ හෝ ඡන්දයෙන් දිනවිය යුතුමය.
නමුත් දිනනවා තබා හරියට පක්ෂයක් ලෙස සංවිධානය වීමටවත් ඔවුන්ට තවම නොහැකි වී තිබේ. ටයි කෝට් දමාගෙන ලයිව් ඇවිත් දේශපාලන පොර ටෝක්ස් රංගන දුන් පැතුම් කර්නර් වැන්නවුන්ට එක සීයක් දෙසීයක් අරගලකරුවන් සංවිධානය කරගැනීමට නොහැකිව ආඩපාලි කීම කණගාටුවට කරුණකි. වට්සැප් හරහා අසත්‍ය සහ වෛරී ප්‍රකාශ ප්රොපගැන්ඩාවලින් ද්වේශී දනන් කුපිත කිරීමට හපන් වුවත් ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය කිරීම එතරම් ලෙහෙසි නැති බව ඒ කාට කාටත් අවබෝධ වී තිබීම යහපති.
අරගලකරුවන් සූක්ෂම විය යුතුය. ලංකාව පුරා සභාවලට ඡන්දය ඉල්ලන්නට යෑම ප්‍රායෝගික නොවේ. එක පාරටම හඳ අල්ලන්ට බැරි බව එම බාල බොළඳියන් ඉගෙන ගත යුතුය. ඉවසීම ප්‍රගුණ කළ යුතුය. පියවරෙන් පියවර හෙමින් හෙමින් දිග ගමනක් යන හැටි ඔවුන් රාජපක්ෂලාගෙන්වත් ඉගෙන ගත යුතුය.
ඒ සඳහා හොඳම ක්‍රමය ඊනියා අරගලයේ කේන්ද්‍රය වූ “කොළඹ”වත් ජයගැනීමයි. ලෝක පූජිත මහා ආර්ථික ඔස්තාර් මංජු නිශ්ශංකයන් “ගම්පහ” අල්ලන්න සූක්ෂම සැලසුමක් ගසා ඇත. ජනරජයේ පණ ගැහෙන වැසියන් “ඡන්ද කෑලි” ලෙස සලකා ස්ප්රෙඩ්ෂීට්වල කොටා දත්ත විශ්ලේෂණය කර සුපිරියට ගහන ඒ වෝල් ස්ට්‍රීට් ගේමෙන් “අව්‍යාජ” අරගලකරුවන්ට වටිනා පාඩමක් ඉගෙන ගත හැකිය. අරගලකරුවන් සියලු වැර යොදා “කොළඹ” නගර සභාව ඇල්ලිය යුතුය.
ඒ වෙනුවෙන් අරගලයේ ඉදිරිපෙළ නායක නායිකාවන් සියලු දෙනා වරණයට ඉදිරිපත් විය යුතුය. සමස්ත රටක් ජනතාවක් සහ අනාගතයක් සමග සෙල්ලම් කළ “සිමා කොලිපයිඩ් රැට්ටා” පමණක් නොව මුකුත් කොලිපයිඩ් නැති අලි ඩානිස් පවා ඡන්දය ඉල්ලිය යුතුය.
එපමණක් නොව පැවති සියලු ආණ්ඩුවලින් ගජරාමෙට හම්බ කරගෙන දුක්විඳින ජනතාව වෙනුවෙන් ගෝල්ෆේස් ගොස් සෙල්ෆි ගැසූ භාතිය-සන්තුස් පවා කොළඹින් ඡන්දය ඉල්ලිය යුතුය. අරගල පක්ෂයේ වේදිකාව කුල්මත් කිරීමට ඔවුන්ට හැකිය.
අරගලකරුවන්ට කෑම දුන් රොෂාන් මහානාම පවා කොළඹින් ඡන්දය ඉල්ලිය යුතුය. අරගල පක්ෂයේ රැස්වීම්වලට එන මහා ජන ගංගාවට සිය මහා ධනයෙන් දිගටම ඔහුට කෑම පැකට් දී පින්තූර ගත හැකිය.
අරගලයට ගිය නන්දා මාලිනිය පවා කොළඹින් ඡන්දය ඉල්ලිය යුතුය. “මයිනාච්චි” කියා අරගලකරුවන් ඇයට අපහාස නොකළ යුතුය. ලංකාවේ මහ කුඹලා වන මැටි අජිත්ද ඡන්දය ඉල්ලිය යුතුය. අරගලයේ බුද්ධිමය උල්පත ශ්‍රී නිර්මාල් රංජිත් දෙව්සිරියන් අනිවාර්යෙන්ම කොළඹින් ඡන්දය ඉල්ලිය යුතුය. ලකේ රැඩිකල් සන්නස්ගල “ආදරයේ නාමයෙන්” අරගල පක්ෂයෙන් ඡන්දය ඉල්ලිය යුතුය.
නම් සඳහන් නොකළ සියලු අරගල නායකයන් ටික එක පෙළට හිට ගත්තම කොහොමට තියේවිද! මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම සහ බුද්ධිමත්ම දේශපාලන කණ්ඩායමට කොළඹ නගර සභාවේ බලය ඇල්ලීම එවිට කජ්ජකි.
නමුත් එම කණ්ඩායමට නායකත්වය දීමට කෙනෙකු නොමැතිවීම මහත් අභාග්‍යයකි. දමිතා කලින්ම සජිත්ට සෙට් වීම අරගලකරුවන්ට විශාල පාඩුවකි. එබැවින් මාගේ යෝජනාව නම් මුස්ලිම් සමාජයේ නෛසර්ගික පුරුෂාධිපත්‍යයට කිච කරන මුකරි නූර් මහත්මිය වටා අරගල නායකයන් සියලු දෙනා ගොනු විය යුතු බවයි.
ඇය අභීතය. ඇය වලිබරය. ඇය අල්ලාහ් දෙවියන් විසින් නිර්මාණය කළ අපේ නූර්ය. කොළඹ වතුවල ජීවත්වන දුක්විඳින මුස්ලිම් කාන්තාවන් ඇය වෙනුවෙන් ඡන්දය දෙනු ඇත.
නූර් පුරපතිනිය වී අරගල නායකයන් සභිකයන් වූ පසු කොළඹ හැදෙන හැදිල්ල අපට සිතා ගත නොහැකි වනු ඇත. “ලෝකයේ පිරිසිදුම නගරය” බවට කොළඹ පත් කළ ගෝඨාභය රාජපක්ෂට “ගෝ හෝම්” කියූ එම අරගල නායකයන් ලෝකයේ පමණක් නොව “සමස්ත විශ්වයේම දියුණුතම නගරය” බවට කොළඹ පත් කර අපිට පෙන්වන හැටි මට මැවී පෙනේ.
ධර්මය අපට මග වේවා!
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2023 ජනවාරි 13