දේශපාලනය කිරීම ඉතා අපහසු දෙයකි. දේශපාලන විද්‍යාව උගත් පමණින් හෝ වෙනත් කිසියම් විෂය ප්‍රාමාණිකයෙකු වූ පමණින් හෝ වෙනත් වෘත්තිකයෙකු වූ පමණින් හෝ දේශපාලනය කළ හැකි යැයි සිතීම වැරදිය.



දේශපාලනය කිරීමට නම් කුඩා කල සිටම ගමේ නගරයේ සමාජ ක්‍රියාකාරිකයෙකුව සිට තරුණ වියේදීම දේශපාලනයට අවතීර්ණ වී පරිණත දේශපාලන නායකයෙකු යටතේ පුහුණු වීම අනිවාර්ය වේ. විශිෂ්ට දේශපාලන නායකයෙකු වීමට නම් දශක ගණනාවක් තිස්සේ බිම් මට්ටමේ සිට පැමිණිය යුතුය. ඒ සඳහා මහත් වූ ඉවසීමේ ගුණයකුත් ඊටත් වඩා මහත් වූ ධෛර්යකුත් තිබිය යුතුය.

 

දේශපාලනය යනු රටවල් වෙනස් කිරීම නොවන බව මට දැන් පෙනේ. රටවල් වෙනස් කරන්නට බැරිය. සැබැවින්ම වෙන්නේ රටවල් වෙනස් “වීමයි”. දේශපාලනය යනු ඒ වෙනස් වීම “හැසිරවීමයි” (for the lack of better word). එනයින් ගත් කල දේශපාලනය කරන්නා (politician) රටවල් වෙනස් කිරීම පිළිබඳ “අපේක්ෂාවන්” ඉදිරිපත් කිරීම නිෂ්ඵලය. විශේෂයෙන්ම ලංකාව වැනි රටක එවැනි අනාගත “වෙනස්” රටක් පිළිබඳ සිහින නිර්මාණය කිරීම අතිශය භයානක බව මා තේරුම් ගෙන ඇත.

 

අපට ඕනෑ විදිහට රටක් වෙනස් කළ හැකි යැයි සිතීම ආත්මවාදී දෘෂ්ටියකි. ආත්මයක් නොමැති හෙයින් එම චින්තනය පදනමින්ම වැරදිය. ස්වතන්ත්‍රභාවය (free will) යනු මිත්‍යාවක් බැවින් අපට ඕනෑ විදිහට කිසිවක් කළ නොහැකිය. අද අපගේ තෝරාගැනීම් සියල්ල පරිණාමීය සම්භවයේ සිට ගත් අවිච්ඡින්න තීරණ ජාලයක කර්මානුරූපී ඵලයක් පමණී. පුබ්බේනිවාසානුස්සති ඤාණය සහ චුතූපපාත ඤාණය ප්‍රායෝගික වන්නේ එබැවිනි. අපට ඕනෑ විදිහට රට හැදිය නොහැකි වුවත් අනාගතයේ හැදෙන රට නුවණින් දැකිය හැකිය. ලංකාවට අනාගතයේ වෙන දෙය දකින විට…

 

ජවිපෙ/ජාජබ විසින් ලක් ජනයා තුළ නිර්මාණය කරමින් තිබෙන ට්විස්ටඩ් “අපේක්ෂාව” අතිශය බිහිසුණුය. එය එක් පැත්තකින් සෞභාග්‍යයේ දැක්මට වඩා සිය ගුණයකින් විශාලය. අනෙක් පැත්තෙන් සිය ගුණයකින් කුඩාය.

 

මෙහි වඩාත්ම සිත් ගන්නා සුලු කාරණය වන්නේ ජාජබය විසින් සිය ආන්තික කාඩරයා තුළ නිර්මාණය කරමින් තිබෙන පළිගැනීමේ අපේක්ෂාවයි. ජවිපෙ සාමාජිකයා දැන් බලාගෙන ඉන්නේ සිය ප්‍රතිවාදියා සමූලඝාතනය කෙරුණු සිංගප්පුරු සිරිලකකි. ජාතික ජන බලවේගයේ මහලේකම්ගේ පුත් චතුරංග අබේසිංහගේ හැත්තෑදාහක ජවිපෙ යමපල්ලන් සිය ප්‍රතිවාදීන්ට කල් තියාම “නිවන් සුව” පතන්නේ එබැවිනි.


අනුර කුමාර දිසානායකට මේ සත්‍යය වැටහී තිබුණත් දැන් ඔහු නැවත හැරිය නොහැකි දුරක් “යෙලොව් බ්‍රික් රෝඩ්” දිගේ පැමිණ ඇත. විශ්‍රාමික සෙබළුන් ඉදිරියේ තබාගෙන සාමයේ සුදු පරෙවියා මෙන් කතා කරන අනුර කුමාර ඊළඟ රැස්වීමේදී සිය දේශපාලන ප්‍රතිවාදීන් කෙරෙහි අසීමිත වෛරය පතුරවමින් කතා කරන්නේ ඒ සාමයේ අපේක්ෂාව භංග වීම අනිවාර්ය බව දන්නා නිසාය.

 


ජවිපෙ අපේක්ෂකයා ගමේ කැන්වසින් යන විට හඟවන්නේ “මාලිමාවට ඡන්දය නොදුන්නොත් පොහොට්ටුවේ උන්ගේ ගෙවල්වලට වුණ දේ වෙන්න පුළුවන්” කියමිනි. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව NPP රැස්වීම්වලට ගොස් මූණ පෙන්වන්නේ ඒ මරණීය තර්ජනය නිසාය. ත්‍රස්තවාදය නලියමින් තිබේ. ඡන්දය අනිවාර්යෙන් පැවැත්විය යුතුය. අපේක්ෂා භංග විය යුතුය. මාගේ අපේක්ෂාව නම්… මා නිවන් දකිනා කුරුසයේ ඉහළින් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය - නිර්මාල් දේවසිරි” යනුවෙන් ලියූ පුවරුවක් සවි කර කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට සතියක් ප්‍රදර්ශනය කිරීමටය.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates