හෙල්මට්වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ පාසල් දරුවන් තිදෙනෙකු ගැන වාර්තා වෙනවා.

එම දරුවන් ඊනියා අරගලයට සම්බන්ධ වූවන් බවත් සැල වෙනවා. ඒක නම් පුදුමයක් නොවෙයි. අරගලයට වචනයකින් හරි දායක වුණේ ලක් සමාජයේ ඉන්න සාහසිකම පිරිස බව අප දන්නවා.


ඔවුන් ඉල්ලන දෙයක් නොලැබුණු විට බොහෝ දරුවන් කරන්නේ බෙරිහන් දෙමින් දැඟලීමයි. ඔවුන්ට කරන්නට අවශ්‍ය දෙය වැළැක්වූ විට බොහෝ දරුවන් කරන්නේ අම්මට තාත්තට තම අතින් පයින් පහර දෙමින් බඩු මුට්ටු පොළොවේ ගසමින් යකා නැටීමයි. අනුර කුමාර දිසානායක හැසිරෙන්නෙත් ඒ වගේමයි නේද…

මොනයම් හෝ හේතුවක් නිසා සැලසුම් කළ දිනට මැතිවරණය තියන්න බැහැ කියපු ගමන්ම කුඩා දරුවෙක් වගේ වේදිකාව උඩ අනුර කුමාර නටන්න පටන් ගත්තා. ඔහුගේ මුහුණ කුඩා දරුවෙකුගේ වගේ කෝපයෙන් රතු වෙලා තිබුණා. “මට කොහොම හරි මැතිවරණය ඕනා ඕනා!” කියමින් කුඩා දරුවෙක් වගේ අනුර බෙරිහන් දෙනවා. “දුන්නේ නැත්තන් මම ගහනවා!” කියමින් ඒ සඳහා දිනයකුත් ප්‍රකාශ කරන බවට තර්ජනය කළා. රාජ්‍ය සේවකයන්ට විරුද්ධව එයා නඩු අහනවා කිව්වා. පරිණත නායකයෙක් හැසිරෙන්නේ මෙහෙමද!
 
 
ජීවිතය කියන්නේ දුක් වැලක්. අපේක්ෂා භංගවීම් වැලක්. තමාට ඕන කිසිම දෙයක් තමාට ඕන විදිහට ලැබෙන්නේ නැහැ. ලෝකය තියෙන්නේ තමාගේ පාලනය යටතේ නොවෙයි. තමා යනුවෙන් ආත්මීය කිසිවක් නැහැ. කුඩා දරුවා ඒ බව දන්නේ නැහැ. ඒ නිසා තමන්ට ඕන දේ කොහොම හරි ගන්න හදනවා. නමුත් ජීවිතය පිළිබඳ අවබෝධයක් තිබෙන මිනිසුන් දන්නවා එවැනි අවස්ථාවක හැසිරෙන්න ඕන විදිහ.
 
 
අනුර කුමාර තවම පොඩි දරුවෙක්. කල වයස ගියාට හැම මිනිහම මෝරන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලම හැම දෙයක්ම ඉල්ලන පමාවට ලැබුණ ඉහළ මධ්‍යම පාන්තික දරුවන් වගේම හොඳින් බැරිනම් නරකින් හරි තමන්ට උවමනා දෙය බලහත්කාරයෙන් ලබාගත් පහළ මධ්‍යම පාන්තික දාමරිකයන් හැසිරෙන්නේත් කුඩා දරුවන් වගේ තමයි. වාසුදේවයි දේවසිරියි වගේ…

නමුත් කවදා හරි ඔවුන්ට උවමනා දෙය ලබා ගන්න බැරි දවසක් එනවා. අන්න එදාට ඔවුන්ගේ බාල දරුවා එළියට පනිනවා. ඊනියා අරගලකරුවා එයට හොඳ උදාහරණයක්. ඔවුන් අතර අර ධනපති ස්පොයිල්ට් බ්රැට්ස්ලා වගේම එක වසරේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ ඉගෙනගන්න ලැබෙන නවක වධකයන් හිටියා නේද…

මේ ස්වභාවයම තිබෙනවා විමල් වීරවංශටත්. ඔහුටත් ඕන දෙය ඕන විදිහට ඕන වෙලාවට නොලැබුණ ගමන් දරුවෙක් වගේ කෝපයෙන් නටනවා. හතර අතේ බනිනවා. තරහ වෙලා යනවා. මොන්ටිසෝරි දරුවෙක් වගේ පොළොවේ හැපි හැපී අඬනවා. මේක ආන්තික වාමාංශිකයන්ගේ චරිත ලක්ෂණයක්. තමන්ට අවශ්‍ය දෙය නොලැබුණ විට හැසිරෙන ආකාරය අනුව ජවිපෙ/ජාජබ/පෙරටු සාමාජිකයන් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. කොහොම කිව්වත් විමල් කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට නොගැලපෙන අපරිණත මිනිහෙක්. ඔහු ගැලපෙන්නේ ජවිපෙටම තමයි.

ලක් සමාජය පරිහානියට පත් වී තිබේ. දැන් සමාජයේ “දරුවන්” බොහෝය. වයස ගිය පමණින් වැඩිහිටියෙකු යැයි නොසැලකිය යුතුය. පරාට අවවාද අනුශාසනා උපදෙස් දෙන්නට යෑම අතිශය භයානකය. හෙල්මට්වලින් ගුටි කා මියැදෙන්නට සිදු වේවි.

දැන් අපට කරන්නට තියෙන්නේ අනුර කුමාර ජනපති වෙන තුරු කට පියාගෙන සිටීමයි. ඔහු නිර්මාණය කරන බොරුවැල අතේ පත්තු වී ජාතික ජන බලවේගයේ රෝසපාට මායා මන්දිර ජරබරාස් ගා බිඳ වැටෙන විට හෙවත් අනුර දරුවාට අවශ්‍ය දෙය නොලැබෙන විට ඔහු සහ ඔහුගේ “නිවන් සුව බලකාය” හැසිරෙන ආකාරය පිළිබඳව කල් තියා අවවාද කිරීම අපගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. රාජ්‍ය සේවක දරුවන් සහ නොඉවසිලිමත් කොර්පොරේට් බේබීස්ලා එහෙම විප්ලවයේ ටයර් පිච්චෙන ගඳ ආඝ්‍රාණය කර බැලිය යුතුය. දරුවන්ට දුක අවබෝධ වෙන්නේ එවිටය.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 පෙබරවාරි 16 
 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්