ශ්‍රී ලංකාවේ සිව් වරක් අග්‍රාමාත්‍ය පදවියට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ

හිටපු නායකයකු වූ ඩඩ්ලි සේනානායක මහතා දිවංගත වී වසර 50ක් සපිරීම ඊයේ දිනට (අප්‍රේල් 13) යෙදී තිබු අතර "සදාකාලික විරහවෙන් ඩිප්‍රෙස් වුන ඩඩ්ලි සේනානායක" යන ශීර්ෂයෙන් ඊයේ දිනයේ පළව තිබු පහත සඳහන් සමාජ මාධ්‍ය සටහන වයිරල් වෙමින් තිබේ.



''  මා මේ ඔබට කියන්නට යන කතාවේ සත්‍ය-අසත්‍යතාවය පිලිබඳ වගකීම මම දරමි.

කතාවේ කතානායකයා සහ නායිකාව අද ජීවතුන් අතර නැති මුත් ඒ දෙදෙනාම රටට, රටේ ජීවන රටාවට , ලාංකික අපට , අපේ මව් පියවරුන්ට සහ ඔවුනගේ මව්පියවරුන්ට යම්කිසි impact එකක් සිදුකිරීමට සමත් වූවන් වෙති.

ඩඩ්ලි සහ සොලමන් දෙදෙනාම වලව් පන්තියේ ධනවත් දෙමව්පියන්ගේ දරුවන් වූහ. තරුණයන් දෙදෙනා ඉතාම කිට්ටු ආශ්‍රයක් තිබූ කුළුපග මිතුරන් විය.

ඩඩ්ලිගේ සිතගත් යුවතිය , රත්නපුරේ ෆර්ගියුසන් බාලිකාවෙන් ,කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පැමිණි තියුණු බැල්මක් සහිත යුගනෙත් ඇති,ඇත්දළපාට ප්‍රියමනාප තරුණියකි. ඇය සිරිමා ය.

ඩඩ්ලි, සිත්ගත් තරුණියට විවාහ යෝජනාව ඉදිරිපත් කරණුවස් තම හොඳම මිතුරා සමග රත්වත්තේ වළව්ව වෙත ගියත්, සිදුවන්නේ අන්දෙයකි.

මල් ඔසරිය හැඳ සිරිමා කුල කුමරිය ලැජ්ජාවෙන් බිම බලාගෙන විත් බුලත් හෙප්පුව පිලිගන්වන්නේ සොලමන් ඩයස් බණ්ඩාරනායකට ය.

මෙය ජනප්‍රවාදයේ එන , මාගේ ආච්චිලා දෙදෙනාම විසින් තහවුරු කරන ලද කතා පුවතකි.

ඒ අතිශය තීරණාත්මක මොහොත, රටේ අනාගතයේ තීන්දු තීරණ රාශියක, තීරණාත්මක සිද්ධියක් බව කිසිවකුත් නොසිතන්නට ඇති.

"සොලමන් මනාප නම් සොලමන් සිරිමාව විවාහ කරගන්න. සිරිමාත් සොලමන්ට කැමති හැඩයි." ඩඩ්ලිගේ විරහවේ ආරම්භය එතැන ය.

මිත්‍රවරුණි , ඩඩ්ලි සේනානායක තම ජීවිතකාලය මුලුල්ලේම තනිකඩව සිටි පුද්ගලයෙකි, ඔහු තමන් ආදරය කල තරුණිය තම හොඳම යහළුවාට සරණ පාවා දී ඈතින් ජීවිතය දෙස බලාසිටි පුද්ගලයෙකි. ඩීඑස් ගේ පුතු හට නොයෙකුත් විවාහ යෝජනා එන්නට ඇත. බෝතලේ වලව්වට බැහැයි කියනා එකම කුමාරිහාමි නම් එලිසබෙත් රැජින විය යුතුය.

ඩඩ්ලි සේනානායක විවාහය කල්දැමුවේ , අවසානයේ විවාහ නොවුනේ, සදාකාලික විරහවෙන් බැට කෑ හන්දා යන වග රීසනබල් පෲඩ්න්ට් මෑන් කෙනෙකුගේ කෝණයෙන් බලන ඕනෑම සාහිතකරුවකුට ඉතාම හොඳ  ප්‍රස්තුතයක් ගොඩනගාගත හැක.

තමන්ගේ ප්‍රේමිය වැඩි කලක් නොගොස් වැන්දඹුවක් වීමේ දුක ඔහු දරාගන්නට ඇති. ඇතැම්විට නැවත ඔහු සිරිමා ට විවාහ යෝජනා ඉදිරිපත් කරන්නට ඇති.

හින්දි චිත්‍රපට වල මෙන් සිරිමා , "මට දැන් ළමයි ඉන්නවා ඩඩ්ලි , අපි විවාහ වුනොත් රටේ මිනිස්සු මොනවා කියාවිද, මගේ මහත්තයා හැදුව පක්ශේ භාරගන්න කියල පක්ශේ මිනිස්සු කියනවා, ගම්වල UNP , ශ්‍රී ලංකා මිනිස්සු නයි වෛරයි. අපිට කවදාවත් එක්ට ඉන්න වෙන්නෙ නෑ ඩඩ්ලි.... ඔයයි මායි අහසයි පොළවයි වගේ... "කියන්නට ඇත.

මා නරඹා ඇති සියලු හොලිවුඩ් බොලිවුඩ් පුරාවෘත ප්‍රේම කතා අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලමි. මෙන්න සැබෑ ආදරය පිලිඹද කතා මිත්‍රවරුණි.

1960 චන්ද ව්‍යපාරය ගෙනියන්නේ තමාගේ සදාකාලික ප්‍රේමියට විරුද්ධවය. ඩඩ්ලි හිත හදාගෙන ඇය විවේචනය නොකරන්නට ඇත. ඇයගේ පක්ශයේ ප්‍රතිපත්ති පමණක් විවේචනය කරන්නට ඇත. සිරිමා හිතූ පැතූ සේ ඩඩ්ලිව විවේචනය කරන විට ඒ ගල්මුල් මල් කිනිති සේ ඩඩ්ලිට දැනෙන්නට ඇති.

"අන්න සර් මැතිනි ඔබතුමාට හොඳටම බනිනවා "යැයි අතවැසියන් කියන කල, බැනපුවාවේ බං. සිරිමා මොනා උනත් ලස්සන හිත හොඳ කෙල්ල යැයි උන්මාද ස්වරයෙන් කියන්නට ඇති.

1960 , ඩඩ්ලි මැතිවරණය දිනුවත් , තමන්ගේ සදාකලික ප්‍රේමිය විපක්ෂනායක පුටුවේ හිඳිමින් සිටින විට ඇය දෙසම බලමින් අගමැති ලෙස රාජාසන කතාව ඉදිරිපත් කරන්නට ඇත. මම අගමැති ඔයා විපක්ෂනායිකාව දැන් මට හැමදාම පාර්ලිමේන්තුවට එන්න හේතුවක් තියෙනවා යැයි පාර්ලිමේන්තු කොරිඩෝවේදී තනිවුණ මොහොතක ඇයට කොඳුරන්නට ඇති.

චන්දය පරාද වීම නිසා ඇය කනස්සල්ලෙන් බව දැනගත් ඩඩ්ලි සිතාමතා තම කුලුපග මිත්‍රයකු මාර්ගයෙන් 1960 රාජාසන කතාව පරාද කරන්නට ඇත. රාජාසන කතාව පරාද වුන විට ආණ්ඩුව විසිර යා යුතු බව සෝල්බරි ව්‍යවස්ථාවේ පිටු කෙරවළකවත් නොතිබුණත් , සත්‍යප්‍රේමයේ නාමයෙන් සොවින් තැවෙන කාෂ්ඨක දේශපාලනයට තවමත් අලුත් සුමුදු සිරිමාට සුවපහසු අගමැති අසුන දී ඔහු 1961 දී විපක්ෂනායක පුටුවේ වාඩිවන්නට ඇති.

"මගේ ප්‍රේමිය ලෝකයෙන්ම පළමුවෙනි අගමැතිනිය. කාටද ඉතින් ආඩම්බර." ඔහු තනිවම උදම් අනන්නට ඇති. හිත යටින් සතුටු වන්නට ඇති. රාත්‍රීන් දහස් ගනනක තනිවම ඇය අහිමි සොව ඩඩ්ලිගේ නෙත් කෙවනි පටලවන්නට ඇති.

සිතින්විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම්  ගීතයට හොඳම Specimen එක ඩඩ්ලි සේනානායක ය.

සිරිමා නොදැන සිටියා විය නොහැක. ඇය මේ සියල්ල විඳගත් ගැහැණියකි. තමන් පෙම් කල ස්වාමියා මිය ගිය කළ, දරු පවුලත් සමග බාරගන්නම් කියන පැරණි පෙම්වතාගේ නොවෙනස්වූ සිත පිළිබඳ ඇයට අනුකම්පාවක් ඇති නොවූවා යැයි අයෙක් කියන්නේ නම් , සිරිමා හිත් පිත් නැති ගැහැනියක් විය යුතුය.

ශ්‍රී ලාංකික දේශපාලනය ඔවුන්ගේ ආදරය සහ පෞද්ගලික ජීවිතය පැහැරගත්තේය.

ලෝකයේ සදාකාලික ප්‍රේම කරන්නෝ දුලබය. ඩඩ්ලි ශෙල්ටන් සේනානායක මියයන්නේ 1973 අප්‍රේල් දහතුන සිංහල අවුරුදු දා ය. ලංකාවේ එළඹසිටි සිහියෙන් යුත් කිසිවකුත් කිරිබතක් එම අවුරුද්දේ පිසුවේ නැත. අගමැති නිල නිවසේ ද , වෝඩ් පෙදෙසේද , හොරගොල්ල වලව්වේද කිරිබතක් පිසුනේ නැත.

MSR.

(නිදහසට කාරණා ; 'සාහිත්‍යය වනාහී යථාර්ථයත් ප්‍රබන්ධයත් අතර හිඩැස පුරවන අවකාශය වේ'. - එදිරිවීර සරත්චන්ද්‍ර)

xcghjbg


''මාර කතාවක් සූ ගාල ශෙයා වෙනව''

ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන්  'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ ප්‍රතිචාර දක්වා ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

''මාර කතාවක් සූ ගාල ශෙයා වෙනව "සදාකාලික විරහවෙන් ඩිප්‍රෙස් වුන ඩඩ්ලි සේනානායක" කියල. පට්ට බොරු!

ඒකෙ හැටියට ඩඩ්ලි තනිකඩව ඉඳල තියෙන්නෙ සිරිමාවෝ නොලැබුණ නිසා.

මෙහෙමත් කියනව ඒකෙ: "ඩඩ්ලි, සිත්ගත් තරුණියට විවාහ යෝජනාව ඉදිරිපත් කරණුවස් තම හොඳම මිතුරා සමග රත්වත්තේ වළව්ව වෙත ගියත්, සිදුවන්නේ අන්දෙයකි. මල් ඔසරිය හැඳ සිරිමා කුල කුමරිය ලැජ්ජාවෙන් බිම බලාගෙන විත් බුලත් හෙප්පුව පිලිගන්වන්නේ සොලමන් ඩයස් බණ්ඩාරනායකට ය. 'සොලමන් මනාප නම් සොලමන් සිරිමාව විවාහ කරගන්න. සිරිමාත් සොලමන්ට කැමති හැඩයි.' ඩඩ්ලිගේ විරහවේ ආරම්භය එතැන ය." ??

තියෙන කරුණු මේව:

ඩඩ්ලි කෙනෙක් ගියෙත් නැහැ මනමාලි බලන්න. බණ්ඩාරනායක පළාත් පාලන ඇමති වෙලා ඉන්නකොට බලංගොඩ සුභ සාධන වැඩ අධ්‍යයනය කරන්නයි සිංහල මහා සභාවෙ 24වන ශාඛාව හදන්නයි බලංගොඩ ගියාම සෙට් කරපු මඟුලක් ඒක. ඒ ගමනට සමස්ත ලංකා ගම්සභා සම්මේලනයේ ලේක්මවරයාව සිටි පානදුර-තල්පිටිබැද්ද ගම් සභාපති ඩී. එච්. එස්. නානායක්කාරයි, පූගොඩ ගම් සභාපති ඩී.ජේ. සේනාරත්නයි, සිංහල මහා සභාවෙ ලේකමුයි ගියේ. අර නානායක්කාර කියන පොර තමා හොරෙන් වැඩේ සෙට්කරල තියෙන්නෙ. සෙට්කරල තිබ්බ විදියට බාන්ස් රත්වත්තෙගෙ ගෙදරට දවල්ට කන්න එක්කන් ගිහින් තියෙනව. එතකොට තමා මඟුලට පදනම වැටිල තියෙන්නෙ. (කියවන්න - සිරිමාවෝ බණ්ඩාරනායක - මලල්ගොඩ බන්දුතිලක)

විමල් අභයසුන්දර බණ්ඩාරනායක චරිතාපදානයේදි කියනව, ඒ බලංගොඩ ඉඳන් කොළඹට සිට්‍රෝන් කාර් එකේ එන ගමන්, සිංහල මහා සභාවෙ ලේකම් ඇහැව්වලු "කොහොමද මනමලි.." කියල. බණ්ඩාරනායක කිව්වලු "ඔව් බොහොම හොඳයි,, මම ඒ දැරිවි බැඳ ගන්න ඕනෑ.." කියල. සිංහල මහා සභාවෙ ලේකම් සොම්නස් සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තේය කියල ලියල තියෙන්නෙ.

බණ්ඩාරනායක එතකොට සිංහල මහා සභාවෙ සභාපති. අනිත් එක බණ්ඩාරනායකගෙ ඔක්කොම ඩයරීස් පරිහරණය කරන්න දුන්න එකම රිසර්චර් ජේම්ස් මැනර්. එයා ලියපු The Expedient Utopian - Bandaranaike and Ceylon පොතේවත් ඔය ඩඩ්ලි එකං ගිය කතාවක් නැහැ. ඔහොම සීන් එකක් තිබ්බ නම් ජේම්ස් අනිවාර්‍යෙන්ම ඒක ලියනව. බණ්ඩාරනායකගෙ ජිවිතය ගැන තේරුම් ගන්න එයාගෙ පුද්ගලික දිනපොත්වල තියෙන ඉතාම රහසිගත කරුණු පවා ලියල තියෙන්නෙ ජේම්ස් මැනර්. ඒ පොතට චන්ද්‍රිකා එච්චර කැමති නැහැ, ඒත් සුනේත්‍රා කැමතියි.

අනික ඩඩ්ලිට මනමාලි බලන්න ගිහින්, මනමාලි බණ්ඩාරනායකට බුලත් හෙප්පුව දෙන්න තරම් මෝඩ කෙනෙක් කියල හිතනවද සිරිමාවෝ? සෙන්ට් බ්‍රිජට් ගිහිල්ල හොඳට අධ්‍යාපනය ලබපු කෙනෙක්. එහෙම උනාම කියල හිතමු. බණ්ඩාරනායක වගේ මාන්නාධික, ඒ වගේම කල්චර්ඩ් කෙනෙක් ඔහොම වැරදිලා වෙච්ච ඒවට අත ගහයි කියල හිතනවද? ඒව ගැන තේරුම් ගන්න ජේම්ස් මැනර්ගෙ පොත කියවන්න.

අනික ඩඩ්ලිට වඩා බණ්ඩ (හොඳම මිතුරා ? )  අවුරුදු 12ක් වැඩිමල්, ඉතිං හිතනවද මඟුල් බලන්න යාලුව වගේ ඩඩ්ලි බණ්ඩව එක්කන් යයි කියල? මම නිකමට වයස ප්‍රශ්ණෙ මතු කරේ. උඩ තියෙන්නෙ කරුණු.


Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම උවිඳු කුරුකුලසුරියගේ ෆේස්බුක් පිටුවෙන් )

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්