ලෝක ප්‍රකට විශිෂ්ඨ ගනයේ චිත්‍රපටයක් වන Schindler’s List චිත්‍රපටයේ එක් දර්ශනයකදී කථා නායකයා වන Oskar Schindler හා නාසි හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වන Amon Göth සංවාදයක යෙදී සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සංවාදයේ විෂය “බලය යනු කුමක්ද?” (What is power?) යන කාරණයයි.

 

Movi

Amon Göth කියන්නේ උදේ පාන්දර අවදිව කම්මැලිකම යාමට සිය තුවක්කුව ගෙන ඉලක්කය ගනිමින් කුරුල්ලන් මරන්නා සේ යුදෙව්වන් ඝාතනය කරන විදියේ මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක්. මත්පැන් පානය කර වෙරිමතින් ඉන්නා Göth විසින් Schindler ට මෙසේ කියනවා.

Göth –
 මම ඔයා දිහා කාලයක් තිස්සේ බලාගෙන හිටියා. මම දැක්කා, ඔයා බේබද්දෙක් නෙමෙයි. ඔයා කිසිම විදියකට මත්පැන් බොන්නෙ නැහැ. එහෙම ඉන්න ලොකු පාලනයක් තියෙන්න ඕන. පාලනය තමා බලය කියන්නෙ (control is power). ඒකටයි සැබෑ බලය කියන්නේ..

Schindler – 
ඒකද ඔවුන් (යුදෙව්වො) අපට ඔච්චර බය?

Göth – 
අපිට මරන්න බලය තියෙනවා. ඒකයි උන් අපට බය !

Schindler – 
ඔවුන් අපට බය, අපට හිතුමතේට, අපට කැමති විදියට මැරීමේ බලය තියෙන නිසා. මනුස්සයෙක් අපරාධයක් කලාම, ඒ නිසා අපි ඔහුව ඝාතනය කරනවා. ඒ ඝාතනයෙන් අපට සහනයක් ලැබෙනවා. ඔහුව අපේ අතින්ම මරන්න පුළුවන් වුනොත්, වඩා ලොකු සතුටක් අපට ලැබෙයි. ඒත් ඒක ඇත්තටම බලය නෙමෙයි, ඒකට තමා යුක්තිය කියන්නෙ. සැබෑ බලය කියන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. සැබෑ බලය කියන්නෙ, අපට කෙනෙක් ඝාතනය කරන්න හේතු සාධක ඕනෑ තරම් තියෙද්දි, ඝාතනය නොකර ඉන්න එකයි. ඒකයි සැබෑ බලය කියන්නෙ.

Osca text 1Göth – 
ඔයා බලය කියල හිතන්නෙ ඒකද?

Schindler – 
ඒ බලය තමයි අධිරාජ්‍යයන් සතුව තිබ්බෙ… මිනිහෙක් හොරකමක් කරලා අහුවෙලා ඔහුව ගෙනත් දැම්මා අධිරාජ්‍යයෙක් ඉස්සරහට. ඔහු බිම වැටිලා බැගෑපත් වෙමින් අධිරාජ්‍යයාගෙන් සමාව ඉල්ලනවා. ඔහු දන්නවා, තමාගෙ අවසානය මේක තමා කියල. ඔහු දන්නවා, තමා මැරෙන්නයි යන්නෙ කියල. ඒත්, අධිරාජ්‍යයා, ඔහුට සමාව දෙනවා. මේ වැදගැම්මකට නැති හොරදෙටුවාට, මහා අධිරාජ්‍යයා සමාව දෙනවා.

Göth – 
මට පේන්නෙ ඔයයි බීලා ඉන්නෙ.

Schindler – 
ඒකයි බලය කියන්නෙ අමෝන්. ඒකයි… බලය කියන්නෙ.

Sopranos
ඊළඟට මම ඔබට කියන්නේ ලොව බිහි වූ විශිෂ්ඨම රූපවාහිනී කතා මාලාවක් වන The Sopronos කතාමාලාවේ එක සිද්ධියක් ගැන.

Sopronos කතා මාලාව ගෙතෙන්නේ අසූව-අනූව දශක වල ඇමරිකාවේ නිව් ජර්සි වල ඉන්නා දරුණුතම සහ බලවත්ම පාතාල නායකයා (mob boss) වටා. ඔහු තමා ටෝනි සප්‍රානෝ. කතාමාලාවේ පළමු කතාංගයේදීම ටෝනි සප්‍රානෝට, හදිසියේ සිහි නැති වීමේ රෝගයක් නිසා මානසික වෛද්‍යයවරයෙක් හමුවෙන්න වෙනවා. ඔහු හමුවෙන්නේ ‘ජෙනිෆර් මෙල්ෆි’ කියන මානසික වෛද්‍යයවරියව. 

කතාමාලාව පුරා ඔහු මේ වෛද්‍යයවරිය හා කෙරෙන කතාබහ ඔස්සේ අපට මේ දරුණු මිනිසාගේ මානසිකත්වය ක්‍රම ක්‍රමයෙන් හෙළි කෙරෙනවා. කෙසේ වෙතත් මම මේ සටහනේ කියන්න හදන්නේ ටෝනි සප්‍රානෝ ගැන කතාවක් නෙමෙයි. ඔහුගේ වෛද්‍යයවරිය වන ජෙනිෆර් මෙල්ෆි මුහුණ දෙන අත්දැකීමක් ගැන.

සිද්ධිය කියන්න කලින් සඳහන් කල යුතුයි, ටෝනි සප්‍රානෝ කියන්නේ තමාගේ සිතැඟි පරිදි ඕනම වෙලාවක මිනිහෙක්ගෙ අතක් පයක් කැඩීමේ සිට ඕනම කෙනෙක් ඝාතනය කරන්න පවා මඳක්වත් නොපැකිලෙන විදියේ මනසක් තිබෙන පුද්ගලයෙක් බව. අනෙක් අතට ඩොක්ටර් මෙල්ෆි කියන්නේ දැඩි පාලනයෙන් යුත්, උසස් මොරල් කෝඩ් එකකින් ක්‍රියා කරන කාන්තාවක් බව.

මම මගේ සටහනෙන් මතු කරන සිද්ධියයි පහත තියෙන්නෙ.

කාලයක් තිස්සේ ඩොක්ටර් මෙල්ෆීත් සමඟ කෙරෙන කතාබහ නිසා ටෝනි ඇයට ලොකු ලෙන්ගතු කමක් දක්වන මට්ටමට පත් වෙනවා. ඔය අතරෙ, දවසක් ඇය තමාගේ දවසේ වැඩ නිමා කරල, කාර්යාලයෙන් පිටව යන්නට පහළ මාලයේ ගරාජයට එද්දි නාඳුනන මිනිසෙක් අතින් ඇයව දූෂණයට ලක් වෙනවා. දූෂණයට ලක් වීමේ ප්‍රතිපලය විදියට ඇය දරුණු ලෙස මානසික පිරිහීමට ලක් වෙනවා. ඇයගේ එකම පුතා ඇය වෙනුවෙන් පලිගැනීමට සූදානම් වෙද්දි ඇය සහ ඇයගේ කලින් සැමියා දෙදෙනාම පුතාට දැඩිව කියන්නෙ පොලිසියට ඔවුන්ගේ රාජකාරිය ඉටු කරන්න ඉඩ දෙන්න කියල. නමුත් පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා පොලිස් හිරභාරයේ සිටිය දූෂකයාව හදිසියේ නිදහස් කරන්න සිද්ධ වුන බව. ඔවුන් එයට හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ පොලිසිය අනුගමනය කල යුතු Chain of custody නම් ක්‍රියාවලිය තුළ සිද්ධ වුන අඩුපාඩුවක් නිසා, දූෂකයා නිදොස් කිරීමට සිදුවූ බවයි.

ඉන් දවස් කිහිපයකට පස්සෙ නගරයේ ආපන ශාලාවකට ගිය වෙලාවක ඒ ආපන ශාලාවේ ‘මාසයේ හොඳම සේවකයා’ නමින් තමාගේ දූෂකයාගේ ඡායාරූපය ඔහුගේ නමත් සමඟම බිත්තියේ ගසා තිබෙනවා ඇය දකිනවා. තමාගේ දූෂකයාව හඳුනා ගන්නා ඇය ඔහුව නැවත දැකීමේ කම්පනයෙන් එතනින් ඉවත්ව යනවා.

ඉන් පසුවයි මගේ සිත්ගත් දර්ශනය එළඹෙන්නේ.

දූෂණයට ලක් වූ ඩොක්ටර් මෙල්ෆී, ටික කලකට පසු නැවත තමාගේ වෛද්‍යය රාජකාරි ආරම්භ කරනවා. ඇයට ඉතාම කුළුපග බවක් දක්වන, ඇයට සිතින් ආදරය කරන, පාතාල නායක ටෝනි සප්‍රානෝ ඇයව හමුවෙන්න එන මොහොත උදා වෙනවා. නොන්ඩි ගසමින් දොරටුව වෙත යන ඇය ඔහුව පිළිගන්නවා.

ටෝනි සප්‍රානෝ, ඩොක්ටර් මෙල්ෆී විසින් මසක පමණ රාජකාරි නැවැත්වීමට හේතුව වූ නිවාඩුව ගැන සුහදව අසමින් සුපුරුදු පරිදි ඔහුගේ එදිනෙදා ජීවිතය ගැන ඇය හා පවසන්නට පටන් ගන්නවා.

එහෙත් ඇය ඉන්නේ කැලඹුනු සිතින් බව ඔහු තේරුම් ගන්නවා. ඩොක්ටර් මෙල්ෆි ඔහු කියන කිසිම දෙයක් අසා සිටියේ නැහැ. ඇයගේ සිතේ දුවන්නේ එකම දෙයක් පමණයි. මාව දූෂණයට පත් වූ වග, මාව දූෂණය කල පුද්ගලයා නිදොස්ව නිදහස්ව සැරිසරන බව, මා ඉදිරියේ ඉන්නා, මම ප්‍රතිකාර කරන රෝගියා වන, මට සිතින් ආදරය කරන, මේ දරුණු මිනිසාට කියනවාද නැද්ද.. යන කාරණය පමණයි. කීමට අවශ්‍යය වන්නේ එකම එක වචනයක් පමණයි. ඇයට අවශ්‍යය දේ ඉටුවන වග ඇය දන්නවා.

එකවරම ඇය ඔහු ඉදිරියේ කඳුළු සලන්න ගන්නවා. ටෝනි විසින් ඇයව සනසමින් ඇයගේ කඳුළු සැලීමට හේතුව විමසනවා. ඇය ඔහුට නැවත ඔහුගේ ආසනයේ වාඩි වෙන්න ඉල්ලනවා. අවසානයේ, එකවරක් නැවතත් ටෝනි ඇගෙන් විමසනවා,

“මෙල්ෆී මොකක්ද ප්‍රශ්නය? කියන්න, මට කියන්න.. මොකක්ද ප්‍රශ්නය”

මේ අවස්ථාවේ කථාව නරඹමින් ඉන්නා ප්‍රේක්ෂකයන්ගේ එකම පැතුම, දූෂකයා ගැන කතාවේ වීරයා වන ටෝනිට කියන්න.. කියන්න.. යන හැඟීමයි. ඒ පළිගැනීමේ ආශාව ප්‍රේක්ෂකයාට පවා ඒ මොහොතේ දැනෙන්න ගන්නවා.

කෙසේ වෙතත් ඇය, ඇයගේ සිතින් ඇය කරා එන සියලු ආවේගයන්, පළිගැනීමේ දැඩි ආශාව, ඇයගේ ශරීරයේ තිබෙනා තවමත් සුව නොවූ තුවාල වලින් එන වේදනාව දරාගෙන ඇස් වලින් පිට වෙන කඳුළු අතරින් සිත දැඩි කරගෙන ටෝනි සප්‍රානෝට පිළිතුරු දෙනවා.

“නැහැ. ප්‍රශ්නයක් නැහැ”
 

Sopranos ep304තමාගෙන් බාහිර ලෝකය මත බලය පැතිරීමෙන්, බලය අභ්‍යාස කරන්න අපට පුළුවන්. තමාගේ පාලනයට නතුව ඉන්නා පිරිසක් මත, තමා යටතේ ඉන්නා පුද්ගලයෙක්/පුද්ගලයන් මත වගේම යම් අවස්ථාවක යම් සිද්ධියක් පාලනය කරන්න සියලු තුරුම්පු තමා අත තිබෙන අවස්ථාවක…
ඒ බාහිර ලෝකය මත තම බලය අභ්‍යාස කරද්දි.

ඒක පහසුයි. ලේසියි. බලය ඇති තැනැත්තා, ඒ බලය නැමැති අවිය, ඔහුට රිසිසේ හැසිරවීම සැබවින්ම බලයද?

බලය අභ්‍යාස කල හැකි අනෙක් තැන තමයි, තමාගේ පුද්ගල ඇතුළාන්තය කියන ස්ථානය. ඒ තැනදි බලය අභ්‍යාස කරන්න, එතනදි බලවතෙක් වෙන්න හැමෝටම බැහැ. ඇතුලාන්තයෙන් බලවතෙක් වෙන එක මනුස්සයෙක්ට කරන්න තියෙන අමාරුම වැඩක්.
Oxca text 2

“මනුස්සයකුගේ සැබෑ ස්වභාවය බලා ගන්න ඕන නම්, ඔහුට බලය ලබා දෙන්න” මේක ප්‍රසිද්ධ කියමනක්. කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් කොච්චර බලවත්ද, කොච්චර දුර්වලද කියන කාරණයේ සැබෑ ලිට්මස් පරීක්ෂාව කල හැක්කේ යම් අවස්ථාවක, ඔහු සතුව ඒ අවස්ථාව පාලනය කිරීමේ බලය ලැබුන විටකයි.

ලෝකය මත බලය පැතිරවීමේදී තමාට හැප්පෙන්න සිද්ධ වෙන්නේ භාහිර ලෝකය එක්ක. වෙනත් පුද්ගලයන් එක්ක. නමුත් තමන් මත බලය පැතිරවීමේදී තමාට හැප්පෙන්න සිද්ධ වෙන්නේ තමන්ම එක්ක. තමන්ගේම හැඟීම්, ආශා, උවමනා එක්ක. අභ්‍යයන්තරව තමා මත බලය පැතිරවීමේ හැකියාව එක්ක මුලින් කී ලෝකය මත බලය පැතිරවීමේ හැකියාව සසඳවන්නවත් බෑ. තමා එක්ක හැප්පෙන එක ඒ තරම්ම අමාරු වැඩක්.

මෙතනදි වැදගත් වෙන්නේ, අපි අපේ ප්‍රියයන් එක්ක කටයුතු කරන ආකාරය නෙමේ. ඉන් පුද්ගලයන් වශයෙන් අප ගැන කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. ඕනම මනුස්සයෙක්, කොතරම් පහත් කෙනෙක් වුනත්, තමා කැමති විදියට හැසිරෙන අයට සලකන්නේ උදාර විදියට තමයි. නමුත්, ඇත්තටම වැදගත් වෙන්නේ, මනුෂ්‍යයකු වශයෙන් තමාගේ මිම්ම මැනගත හැකි වන්නේ, අපි අප්‍රිය කරන අය සමඟ අපි හැසිරෙන්නේ කොහොමද කියන කාරණයේදී. විශේෂයෙන්ම, ඔවුන් මත බලය පැතිරවීමට හැකි, තමා තීරකයා වන අවස්ථා වලදී, තමා ක්‍රියා කරන්නේ කෙසේද කියන කාරණයේදීයි.

අපේ හතුරන් එක්ක අප කටයුතු කරන්නේ කොහොමද? ඒකයි අප හමුවේ තියෙන ප්‍රශ්නය. අපේ හතුරන්, අපට කල අකටයුතු කම් වලින් පළිගන්න, අප අපවම දමා ගැනීමට සූදානම් තත්වය මොකක්ද? පළිගැනීමේ මානසික ආශාව වෙනුවෙන් අප විසින් ගෙවන්නට සූදානම් මිල කොපමණද?

“මම කවදාවත් අරෙහෙම කරන කෙනෙක් නෙමෙයි, මෙහෙම කරන කෙනෙක් නෙමෙයි, ඒත් අරූ/ඒකි මාව ඒ දේ කරන තත්වෙට පත් කලා”

ගොඩක් අය ඔය කතාව කියනවා අහල ඇති.

නමුත්, තමාගෙ ප්‍රතිවාදියාට ගහන්න, ප්‍රතිවාදියා නිසා තමාව පහතට හෙළා ගනු ලබන්න, තමාවම පුද්ගලයෙක් විදියට විනාශ කරගන්න තරම් ප්‍රතිවාදියෙක්ට තමන්ගෙ ජීවිතයෙ තැනක් දෙන එකෙන් වෙන්නේ අවසානයේ තමාට තමාව නැතුව යන එක. තමාගේ සතුරන්ට ඇඟිල්ල දික් කරමින්, ඔවුන්ගෙන් පළිගන්න තමන්ව පහතට හෙළා ගන්නට පටන් ගත්තොත්, තමාට කල නොහැකි දෙයක් නැති තත්වයකට තමන්ව තමා විසින්ම පත් කරගනු ලබනවා. කාලයක් ගත වුනයින් පස්සෙ තමාටම තමාව හඳුනාගත නොහැකි මට්ටමකට තමන්ව වෙනස් කරගෙන අවසන් වෙනවා.

කිසිම ප්‍රතිවාදියෙක්ට/හතුරෙක්ට තමාගේ ජීවිතය තුළ ඒ තරම් වැදගත් කමක් දෙන්න එපා.
එහෙම තැනක් දෙනවා නම්, අනෙකා ලේ දැක්කාම කලන්තෙ දානවා කියල තමාගෙ බෙල්ල කපාගැනීමක් නෙමෙයිද එය?Oxca text3

තමාට කෙළ නොවන සීමාවක ඉඳගෙන ඕන කෙනෙක්ට කෙළවන එක සාමාන්‍යය දෙයක් වෙච්චි සිස්ටම් එකකයි අපි ජීවත් වෙන්නෙ. ඒ සිස්ටම් එකට තමාව විනාශ කරන්න ඉඩ දී දුර්වලයෙක් වෙනවාද, නැත්නම් තමා එක්කම අරගල කල හැකි ශක්තිවන්තයෙක් වෙනවාද කියන විකල්ප දෙකයි අප ඉදිරියේ තියෙන්නේ.

අනෙක් සියලුම කරුණු කාරනා වලට වඩා උඩින්, අපි අපේ සතුරන්ට සැබවින්ම බිය විය යුත්තේ ඒ අර්ථයෙන්. මොකද, අපේ සතුරන් අප මත අපේ මිනිසත් බවේ සැබෑ ලිට්මස් පරීක්ෂාව තබන නිසා.


(සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනිණ Sanjaya Srikanth > ‎Genius club දිනියස් එකතුව மேதாவி கழகம்)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්