2023/ 04/29
මාතරදී  ,
හිතවත්  අන්පුරාසා පියතුමා වෙත ලියමි,


ඔබට ලියන මම ඔබේ මිත්‍ර ආරියසිංහ ගේ දුව වෙමි.

ඔබ සුවෙන් ඇතැයි සිතමි. ඔබ කිසිදිනෙක මම දැක නැතුවා වන්නට ඇත. එහෙත් ඔබ මාගේ පියා ගේ මිත්‍රයකු හෙයින් ඔබ මට සමීප බව හැගෙයි. ඔබ විසින් රචිත’’ හිතවත් ආරියසිංහ වෙත’’ යන  කෘතිය මීට මාස කීපයකට පෙර මාවෙත එවන ලද්දේ එංගලන්තයේ වෙසෙන පුස්කාලයාධිපතිවරයකු වන මා හිතවත් නඩරාජා සෙල්වරාජා මහතාය. එහි වූයේ මාගේ පියා වන ‘’ ආරියසිංහ’’ වෙත ලියු ලිපි වග දැනගත් මම ඒවා එක හුස්මට කියවන්නට වීමි.

2022 වසරේ ගාලු මුවදොර පැවති අරගලය අවධියේ ඔබ ඔබගේ හැගීම්, මතකයන් , අදහස් මාගේ පියා වෙත දන්වා තිබු අයුරු මමද ඉතා පරීක්ෂාවෙන් හා සැලකිල්ලෙන් කියවීමි. ඒ ලියුම්  අපේ රටේම ජීවත්වන මිනිසෙකු මේ බිමේදී ලද සැබෑඅත්දැකීම් මුසුකොට ලියන ලද්දේ වුවද  ඒවා මට දෙවන ලෝක යුද්ධයේ ඇතැම් සිදුවීම් මෙන් ම පුදුමය, ත්‍රාසය, දුක ජනිත කරන්නට විය.  

එම ලිපි ඇතුළත් කෘතිය තවදුරටත් මට මේ බිමේ ඉපදීමට තරම් මා පවුකොට ඇති වග මතක් කර දෙන්නට විය. ඔබ දකුණේ අපිට ඇති ආදරයෙන් ඒ ලිපි ලියා ඇතිවග ඉතා පැහැදිලිය. එසේම එම ලිපි අපිට අපිවම ප්‍රත්‍යාවේක්ෂණයට ’’ ( නැවත අතීතයට හැරී බැලීමට) යොමු කරන්නට සමත් ව ඇති බව කිවමනාය.

බල්සාක් කැෆේ : අරගලයේ ආර්ය සිංහලයන් අමතන අම්බුරාසා ලියුං කරදහි -(මංජුල  වෙඩිවර්ධන)

කෙසේ වුවද ඔබ විසින් මාගේ පියා  පිලිබඳ අවබෝධකරගෙන ඇති අයුරු පිලිබඳ මට සතුටක් දැනේ. ඒ පැහැදීම දිනෙක අපිට උතුරත් දකුණත් එක් කිරීමේ පාලමට පාදමක් කරගැනීමට හැකි වනු ඇත. ‘’ මේ ආරියසිංහ කවුරුන්ද යත් ඒකාධිපති, දූෂිත, පවුල්වාදී පාලනයට විරුද්ධව යුක්තිසහගත, අවංක, සමානාත්මතාවයෙන් යුතු, වගකීමක් සහිත පාලනයක් ඇතිකළ යුතුය යන පිපාසයෙන් ගාලු මුවදොර පිටියේ ‘’ අරගලය’’ නමින් විශාල ජනතා අරගලයක් තුල ඒකරාශී වී සිටි අරගලකරුවන් අතර සිටිය හැකි මම දන්නා යහපත් චරිතයක්ය’’ ( පිටු , XXX) , ඔබ එසේ ලියා තිබුණි.

 344813418 1405056036914017 3958953351438563340 n

පහුගියදා කොළඹ මහජන පුස්තකාලයේ පැවති ඔබවහන්සේගේ ‘’ හිතවත් ආරියසිංහ වෙත’’ කෘතිය දොරට වදින දිනයේ ඔබ ප්‍රකාශකළ පරිදි ඔබට කිසිවෙකු හෝ පිළිතුරු ලිපි ලියනතෙක් බලා සිටී. එහෙත් ඒ පිරිස අතර සිටි මට කල්පනා වූයේ ඒ ලිපි වලට අපට ලිවිය හැක්කේ කවරාකාර පිළිතුරක්ද යන්නයි. පිළිතුරු ලිවීම කෙසේ වෙතත් ඒවා කියවනවිට දකුණේ අපිට හිස කෙළින් තබා කතා කල හැකිදැයි යන්න පවා ප්‍රශ්නයකි. අපිට කසාය බිවු ගොළුවන් සේ සිටීම හැර කල හැක්කේ කුමක්ද?. ඒ තරමට ඒ ජාතිවාදී මිනිසුන් උපන් දකුණේ ඉපදීමේ ලජ්ජාවත්, ඒ ජාතිවාදීන් රකින්නට බබළවන්නට පොරකන ජාතියක ලේබලය යටතේ ඔවුන්ගේ කුලකයේ  නියෝජනය (බුදු දහමේ ඉගැන්වීම්  පිළිපැදීම කෙසේ වෙතත් සිංහල බෞද්ධ යැයි ගිරවු මෙන් කිවීම පමණක් කරන  ) පවා සියදිවි හානි කර ගැනීමට තරම් ලජ්ජා සහගත හැගීමක් අපිට දරාගැනීමට සිදුව ඇත.

ඒ අප පරපුර නොකළ වරදක් වුවත් හය හතර දන්නා මිනිසෙකුට එපමණට අනෙකාව රිදවන්නත, තලා පෙලා දමන්නට හිතෙන පමණේ පෙළඹවීමක් ලැබුණේ කෙසේදැයි හිතීම පවා අතිශය කලකිරීමක්, වේදනාවක් ඇතිකරන්නකි.

 

බෞද්ධ දර්ශනයේ හරය අවබෝධ කර ගැනීමෙන් මෙවන් වටපිටාවක් නිර්මාණය වී ඇති බව වටහා ගත හැකිය. බුදුන්වහන්සේ දේශනා කළ මෙත්තා, කරුණා, මුදිතාව, සමානාත්මතාවය හෝ ආගමික සහනශීලී බව අමතක වී තිබීමත්, සියල්ල අනිත්‍ය වග උන්වහන්සේ දේශනා කල බව අමතක වීමත්, මිනිසත් බව දුලබ බව අවබෝධ කර නොගැනීමත් , බුදුන් වහන්සේ ජාති ආගම් කුළ බේද ප්‍රතික්ෂේප කල බවත් සිංහල බෞද්ධ සමාජයෙන් ගිලිහීම මෙම සමාජ ඝට්ටනයේ මූලික කාරනා ලෙස අවබෝධ කරගත හැකිය.  අපි සිංහල බෞද්ධයි කියමින් ජාතිවාදය කරපින්නාගත් මිනිසුන්ට  '' බුදු හාමුදුරුවොත් සිංහල බෞද්ධ දැයි ?'' තමන්ගෙන්ම අසන්නට නොහැකිවීමත් ඒ සමස්ත ඛේදවාචකයනට මුලපුරන්නට ඇත. 

 

ඒ සියල්ල පිලිබඳ හද පෙළන කළකිරීම , දුක දස දහස් ගණනකින් වැඩි කරවන්නට ඔබවහන්සේගේ ලිපි සමත්ය. ඒ කෙසේ වෙතත් ඒ ලිපි වඩා වැදගත්වන්නේ අදටත් යුද සමය පිලිබඳ නිසි හඳුනාගැනීමක් නැති මිනිසුන්ටය. ඒ ඔස්සේ සහකම්පනයත් සහනුකම්පනයත් යම් පමණකට හෝ ඇතිවනු ඇති බවට මම විශ්වාස කරමි. තිස් වසරක යුද්ධයකට පසුවත් ‘’විජයග්‍රහණ ‘’ ගැන පුරාජේරු කියවන්නන්ට එකවරක් හෝ කියවන්නට දියයුතු ලිපි තිහක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දෙන්නට කැමතිය.  ගාලු මුවදොර අරගලය අවස්ථාවේදී ‘’ උතුරේ මිනිසුන්ට මේ ගෑස් අර්බුදය, ඉන්ධන අර්බුධය දැනෙන්නේ නැද්ද? ඇයි ඔවුන්ට අපිත් එක්ක එකතුවෙන්න බැරි ?’’ යැයි ඇසු මිනිසුන්ට  ‘’ හිතවත් ආරියසිංහ වෙත’’ කෘතිය පිළිතුරු සපයනු ඇත.

 

කෙසේ වුවත් මෙම කෘතියට පෙරවදනක් ලියන එස්. කරුණාකරන් මහතා කියන පරිදි ‘’ මේවා හසුන් ද? නැතහොත් දේශපාලන පාඩම් ද?. එසේත් නැතිනම් හැගීම් මුසුකර බෙදා ගන්නා හිතවත් බවේ රසමසවුළු ද?. නැත්නම් සාමය සඳහා වන ආරාධනයක් ද? එසේත් නැතිනම් ජනවාර්ගික සමානාත්මතාවය ඉල්ලා සිටින සැබෑ හඬ ද?. නැතහොත් පසුගිය කාලයෙන් පාඩම් ඉගනගත යුතුය යන්න ප්‍රකාශ කිරීමේ උනන්දුවෙ ප්‍රකාශනයක් ද? එසේත් නැතිනම් අති බහුතර සිංහල සමාජය විසින් බැලීමටත් ඉගන ගැනීමටත් ප්‍රතික්ෂේප කළ - තවමත් ප්‍රතික්ෂේප කරමින් සිටින, එසේත් නැතිනම් පැකිලෙන අනෙක් පැත්ත ද?’’( පිටු, VI) යන්න කුමක්දැයි  එක හෙලා කියන්නට  තරම් හැකියාවක් නොවුණද මේ සියල්ල මනුෂ්‍යත්වයට පාඩමක් කියාදෙන මූලාශ්‍රයක්, පෙළපොතක් වනු ඇති බව අවධාරණය කරමි. නාසි කඳවුරු පිලිබඳ පමණක්සංවේදී වෙන මිනිසුන්ට උතුර ගැන ඇගිල්ලෙන් ඇන කියා දෙන්නට මේ ලිවුම් උපකාරී වනු ඇත. 

 

FCsqqyOWUAUhDfCඇතැම් තැනකදී රාජන් හූල් , දයා සෝමසුන්දරම්, ශ්‍රී ධරන්, රාජිනි තිරාණගම යන අය විසින් ලියන ලද  ‘’ බිඳුණු තල් රුක’’ (The Broken Palmyra’)’කියවා අප ලද දැනුවත් වීම සඳහා තව දුරටත් මේ කෘතිය දිගුවක් සපයනු ඇතිවග සඳහන් කරනු කැමැත්තෙමි. යුද්ධයක් යනු සැමවිටම දෙකොණ ඇවිලෙන විලක්කුවක් පමණක්ම බවත් එය විනාශයක් මිස අන් කිසිදු දිනුමක් ලබා නොදෙන වගත් බොහොම සරලව කියන්නට ඔබේ මේ කෘතිය ඉතා සුදුසු බව කියමි.

2022 වසරේදී ගාලු මුවදොර පිටියේදී සිදුවූ අරගලය එහි ඇතිවූ ප්‍රථම අරගලය නොවන බවත් 1956 වසරේදී ‘’සිංහල පමණයි’’ යන  රාජ්‍ය භාෂා පනත සම්මත කිරීමේදී එහි මෙවන් අරගලයක් සිදුවූ අයුරු ඔබ පවසන විට ඒ පිලිබඳ තවදුරටත් නූතන පරපුර දැනුවත් වනු ඇත. මෙරට ශාපලත් යුද්ධයකට ඇද දමන්නට හේතු වූ ප්‍රධානම හේතු කවරේදැයි සොයන්නට පෙළඹවීමක් ද ඇතිවනු ඇත. විමසිලිමත් සිතින් මේ අඳුරු සිද්ධි පිලිබඳ ව හරි හැටි කියවන, ලෝකය විශ්ව ගම්මානයක් බව දන්නා  දකුණේ අලුත් පරම්පරාවට භාෂා පනතක් මොන '' කෙහෙල් මලකටදැයි ?'' සිතෙනු වළක්වනු නොහැකි අතර, ඔවුන් ඒ අන්ධකාර යුගයට පෙම්කල ජාතිවාදී මුතුන්මිත්තන්ට වෛර කරනු ඇත. ඔවුන් කෙරේ ගෞරවයක්, ආදරයක් තමා සන්තකයේ තබා නොගනිනු ඇතිවා මෙන්ම භාෂාව යනු  සවේදන මාධ්‍යයක් මිසක් එකිනෙකා මරා ගැනීමට , මිලේචඡත්වය උදෙසා දුන්  බලපත්‍රයක් නොවන බව ඔවුන් තම මුතුන්මිත්තන්ට හඬ නගා පවසනු ඇත.  

 

බල්සාක් කැෆේ : අරගලයේ ආර්ය සිංහලයන් අමතන අම්බුරාසා ලියුං කරදහි -(මංජුල  වෙඩිවර්ධන)

හිතවත් අන්පුරසා පියතුමනි,

ඔබගේ ලියමන් බොහෝ අපූරුවට සාමිනාදන් විමල් විසින් සිංහල බසට නගා ඇත. ඒ සරල බස් වහර මෙම ග්‍රන්ථය සියලු අධ්‍යාපනික මට්ටම් සහ කියවීම් මට්ටමක සිටින අයෙකුට වුවද තේරුම් ගැනීමට හැකිවීම ඔබගේ මෙම ලිපි ලිවීමේ  අභිලාෂයන් මුදුන්පත් කරගැනීම පහසු කරනු ඇත. සන්නද්ධ යුද්ධය අවසන් වී එහි කුරිරු ප්‍රතිඵල ඇස් පනාපිටම දකින්නට හැකි යුගයකදීත් තවමත් ලේ පිපාසයෙන් කට මැත දොඩන ජාතිවාදීන්ට බුදුන් වහන්සේ වදාළ ‘’ අත්තුපනායක ධර්මය’’ ( තමන් විදින්නට අකමැති යමක් අනෙකාට නොකිරීම) ගැන කියා දීම අපහසු වුවත්, යුද්ධයක ඝන අඳුර, විනාශය  කොපමණද යන්න ඒත්තු ගන්වන්නට උත්සහ දරන්නන්ට මෙම ලිපි රුකුළක් වනු ඇතැයි මගේ පියාවන ආරියසිංහ පවසයි.

 

‘’ ඔහු පවසන පරිදි යුධ බියෙන් ගෙවුණු හැම තත්පරයකටම මෙන්ම ඔවුන්ගෙන් සැබෑ ජීවිතයේදීත් නිදියහනේදීත් උදුරාගත් සිහින වෙනුවෙන් අපි වන්දි ගෙවිය යුතුය. යුද්ධය උත්කර්ෂයට නංවන මිනිසුන්ට උතුරේත් දකුණේත් තැවෙන මවුවරු, පියවරු බිරින්දෑවරු, දරුවන් ගැන කිසිදු අදහසක් නොමැත. මිනිසුන් වෙනුවෙන් සඳහා ගනු ලබන පියවරක් ඇද්දැයි ඔබ විමසා සිටී. ඒ පිලිබඳ කතාකොට පළක් නැත. බලය වෙනුවෙන් ලේ හලන්නට අවස්ථා නිර්මාණය පිලිබඳ පමණක් වගකිවයුත්තෝ සිතමින් හිඳින වග පමණක් අපි හොඳාකාරවම දනිමු. අපිට කලහැක්කේ ඉදිරියේදී වත් ඒ කෛරාටික මිනිසුන්ගේ උගුල්වල නොවැටී සිටීම උදෙසා මේ රටේ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම පමණකි. ඔවුන්ට තමන්ගේ දෙමළ සහෝදරයා පිලිබඳ  හැගීමක් ජනිත කිරීමට උත්සහ කිරීම පමණකි. ඒ සඳහා මේ ලිපි පාලමක් වනු ඇත. ඒ නිසාම මේ ග්‍රන්ථය පිලිබඳ වැඩි ප්‍රචාරණයක් ලබා දියයුතු වග මගේ පියා පුන පුනා කියා සිටී.

 

පටු අදහස් දරන පාලකයන්  විසින් මේ ලෝකයට ඇතිකරන අණවින නිමක් නැත. ඔබ ඒ බව නැවත අපිට මතක් කරදෙයි. ‘’ ලේලි වැන්දඹුවක් වෙනවනම් පුතා මැරුණත් කමක් නෑ’’( පිටු, 94). ඒ ප්‍රකාශය අපේ රටට කොපමණ හොඳින් ගැලපෙන්නේද?. මේ ආකල්පයන්ගෙන් මිදෙන්නට ඔවුන් වෙත අපි සාමයේ සමානාත්මතාවයේ ඖෂධ බලහත්කාරයෙන් හෝ පෙවිය යුතුය. ඔබගේ ලිපි කියවන විට මට හැගී යන්නේ එසේ කිරීමට අපි තව තවත් වෙහෙස නොබලා යමක් කලයුතු වගය. මේ වනවිටත් ඔබේ ලිපි ඒ කාරියට අතගසා ඇති වග ගෞරවයෙන් සිහිපත් කරමි. අප විසින් කලයුතු යුතුකම වින්දිත පාර්ශවය වූ ඔබ විසින්ම සිදු කරනු ලැබීම පිලිබඳ ලජ්ජාවෙන් හැකිළුණු හදින් යුතුව ස්තුතිය පල කරමි.

මෙහි පෙරවදනක් සපයන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් පවසා සිටින්නේ ‘’ අන්පුරාසා පියතුමාගේ  සංදේශ හරියටම ඒ බෙදා ගැනීම උදෙසා ඉමහත් වේදනාවන් හා අහිමිවීම් ඉදිරියේ මනුෂ්‍යත්වය කෙරේ විශ්වාසය නොබිඳුණු දෙමළ සහුර්ද හඬක් ලෙස අප ඉදිරියට පැමිණේ. අපි ඔහුව සාදරයෙන් හා ගෞරවයෙන් පිළිගනිමු’’. යන්නයි. ඒ පිළිගැනීම මේ රටේ සාමය, සංහිඳියාව උදෙසා වන නව මානයක් අපට දෑත් දිගුකොට පෙන්වමින් සිටින වගද ලියනු කැමැත්තෙමි.

පියතුමනි, නැවත දවසක මාතර ආ විටක අපේ නිවසටද පැමිණෙන්නැයි ආරාධනා කරමි. එසේම හැකි ඉක්මනින් මගේ පියා කැටුව ඔබ දකින්නට කිලිනොච්චියට එන බවද සතුටින් දන්වමි.


මීට,

119973027 324221408683220 2616210105304115964 n(සඳරැසී සුදුසිංහ)
ආරියසිංහ ගේ දුව

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්