ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය දහස් ගණන් පිරිසකගේ ජීවිත බිලිගන්නා අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගන්න වෛද්‍යවරුන්/වරියන්, හෙද හදියන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලු සේවකයන් වගේම පොලිසිය සහ ආරක්ෂක අංශ කරන කැපවීම ගැන ශ්‍රී ලාංකිකයෝ හැම දෙනාම ඔවුන්ට කෘතඥතාව පුද කරමින් සිටින මොහොතක් මේ.

විශේෂයෙන්ම ප්‍රමාණවත් පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂිත උපකරණ පවා නැතිව, සමහර අවස්ථාවල එවැනි ඇඳුම් පැළඳුම් තමන්ම නිපදවා ගනිමින් සෞඛ්‍ය සේවක සේවිකාවන් කරන මෙහෙය වගේම සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් කරන දැනුවත් කිරීම් ගැනත් මහජනතාවගෙන් මතුවෙන්නේ ප්‍රබල ප්‍රසාදයක්.

ඒ අතරේම විද්‍යාව වෙනුවට මිථ්‍යාව ප්‍රචාරය කරමින් ජීවිත අනතුරේ හෙලන බවට සමහර වෛද්‍යවරුන් ඇතුළු සුළු පිරිසකට චෝදනා එල්ල වෙනවා.

රෝගය පැතිරයාමත් එක්ක අවිනිශ්චිත කාලයකට බඩු එක්රැස් කරගන්න මිනිස්සු සුපර් මාකට්වල පොර කකා රාක්ක හිස් කළා. සති ගණනාවකට නැත්නම් මාස ගණනකට කන්න බොන්න ලැබේවිද කියල මිනිස්සු බයෙන් හිටියේ.

ඇඳිරි නීතිය පැනවීමත් එක්ක මතුවුනු බඩු හිඟයත් එක්ක බොහෝ දෙනෙක් මුහුණ දුන්න ලොකුම ගැටලුව කොරෝනා වෛරසයටත් වඩා එදා වේල සරිකරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය.

මේ ඒ වගේ එක් අනුවේදනීය කතාවක්......

T29
“කොහොමද සරෝජ් මහත්තයා ... අපි නම් ඉතින් කැඳ බිබී ඉන්නවා.”

සංවාදයේ එහා පැත්තේ සිටියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආර් ජී ධර්මදාස.

ළඟදී ෆේස්බුක් ජාලයට එක් වූ ඔහු මැසෙන්ජර් ඔස්සේ මට කෝල් කළේ කන්තලේ ඉඳල.

“තව හාල් සේරු දෙකක් ගෙදර ඉතිරිවෙලා තියෙනව ඒක ඉවර වුනාම මොනවා කරන්නද කියල දන්නේ නෑ.”

68 හැවිරිදි මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ හඬේ තිබුණේ හරිම අසරණ ස්වරයක්.

කොරෝනා වසංගතය නිසා පළාතේ එළවලු කඩේ බඩු මිලත් දරාගත නොහැකි තරම් වැඩි වෙලා.

“පරිප්පු කිලෝ එකක් රුපියල් 170 යි. සැමන් ටින් එක රුපියල් 290 යි. ළූණු 160 යි. පොල් ගෙඩිය 100යි, 150 යි.”

ධර්මදාස කියන විදියට මේ වන තුරු (මාර්තු 29) ඔහුට ආණ්ඩුවෙන් කිසිම සහන මල්ලක් ලැබිල නැහැ.

“කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි බඩු ටිකක් හොයාගෙන සමහරුන්ට බෙදල දීල තියෙනවා. ඒත් කොයි විදියටද ඒව බෙදුවේ කියල අපි දන්නේ නැහැ."

ඔහු කියන්නේ අඩුම තරමේ ගමේ කඩේට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ක්‍රමයක් වත් තිබුණ නම් බඩු මිල මේ තරම් ඉහළ යන්නේ නැති බව.

“සුපර් මාකට් ඒකෙන් බඩු ගන්න අතේ සල්ලි තියෙන්න ඕනනෙ. අඩු ගානේ ගමේ කඩෙන් ණයට බඩු ටිකක් ගන්න තිබුණ කඩේට බඩු එනවා නම්.”

ඔහු පවසන පරිදි බිරිඳත්, ඔහුත් දිවි රැක ගත්තේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙසින් ඔහු බීබීසී ය ඇතුළු විවිධ මාධ්‍ය ආයතනවලට සැපයූ වාර්තාවලින්.

කොරෝනා වසංගතය හේතුවෙන් නිවසටම කොටුවීම නිසා ඔහුට ඒ ආදායමත් අහිමි වී ගිහින්.

“අපිට දැන් කාගෙන්වත් කිසිම සහනයක් නෑ,” ආර් ජී ධර්මදාස කතා කළේ වේදනාවෙන්. “ආණ්ඩුවෙනුත් නෑ, මාධ්‍ය ආයතනවලිනුත් නෑ.”

බිරිඳත් ඔහුත් දෙදෙනාම අසනීපෙන්.

“මට දියවැඩියාව. වකුගඩුවල අමාරුවකුත් තියෙනව. තව සතියකට විතර බෙහෙත් ඉතුරුවෙලා තියෙනව. ඊට පස්සේ මොකක් කරන්නද කියල දන්නේ නෑ. අතේ සල්ලිත් නෑ, සල්ලි තිබුණත් කන්තලේ පළාතටම ඔසු සලක් ඇත්තෙත් නෑ.”

සමහර ගම් පළාත්වල අය තමන්ගේ වත්තේ පිටියේ කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, ගෙවත්තේ එළවලු ටික අසල්වැසියෝ එක්ක බෙදා හදාගෙන සහයෝගයෙන් කල් ගෙවන හැටි ගැනත් බොහෝ දෙනා කියනවා. ඒ අතරේ හැම ගෙවත්තකම වගා කරන්න කියල අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරලා තිබුණ.

ධර්මදාස කියන්නේ ගෙවතු වගාව පවා නොමිලේ කෙරෙන දෙයක් නොවන බව.

“අගමැතිතුමා කියනවා වගාකරන්න කියල. ඒත් ආදායමක් නැති අපි කොහොමද වතුර බිල ගෙවන්නේ?”

මට ඒ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ.

ඒත් මේ ධර්මදාසගේ විතරක් කතාව නොවන බව මම දන්නවා.

(බීබීසී මාධ්‍යයවේදී සරෝජ් පතිරණගේ FB පිටුවෙන් .....)

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්