මිත්‍රවරුනි, මා ඔබේ විනෝදයට හා විවේචනයට බාධා නොකරමි.


මේ කෙටි සටහන ලියා දක්වන්නේ, හුදී ජන පහන් සංවේග පිණිස නොව, හුදී අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය උගත් නූගත් පුරාවිද්‍යා චක්‍රවර්තීන්ගේ දැනුම පිණිස පමණි.

කඩා බිඳ දමන ලද කුරුණෑගල රාජසභා මන්දිරය යැයි කී පමණින් මා විමතියට පත් වූයේ එවැන්නක් ගැන කිසිඳු අවස්ථාවක මා අසා නොතිබුණු බැවිනි.

කාර්යබහුල දින දෙකක් අවසන මා දුටුවේ භුවනෙකබාහු රජ්ජුරුවන්ගේ සභාශාලාව ගැන වෙන්ඩ පුරාවිද්‍යාඥයන්ගේ නොයෙක් සංවේදී කතාවන් ය.

ඇත්ත වශයෙන් ම මෙම පැරණි ගොඩනැගිල්ල ගැන ඇත්ත ඉතිහාසය ලියන්නට කල්පනා කළේ කිසිඳු දේශපාලනික කණ්ඩායමක් සාධාරණීයකරණය කරනු පිණිස ද නොවේ.

එහෙත් ඇත්ත දත යුතු ය.

buwaneka ba.2

වසර සියයකට වඩා පැරණි යම් ඓතිහාසික අගයක් හිමි ගොඩනැගිලි පුරාවිද්‍යා උරුමයක් ලෙස ගැසට් කිරීම පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සිදු විය හැක.

ඒ අනුව 2009 ජූලි 10 දාතම දරණ 1610 අතිවිශේෂ ගැසට්පත්‍රය මගින්, කුරුණෑගල කොළඹ පාරේ, වරිපනම් අංක 1 දරණ ස්ථානයේ පිහිටි වසර 100 ඉක්මවූ ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රසිද්ධ කරන ලදී.

මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි.

එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත!

 

මෙම ස්ථානය වනාහි ඓතිහාසික ස්ථානයක් වන්නේ ඇයි ?

මෙම ස්ථානය වනාහි ඓතිහාසික ස්ථානයක් වන්නේ කාරණා කිහිපයක් නිසා ය. ඉන් එකක් පමණක් දක්වමි.

සුප්‍රකට මාතලේ කැරැල්ල හෙවත් 1848 විමුක්ති අරගලයේ දී වරදකරුවෙකු වූ වීදිපැල්ලේ බණ්ඩා යුවරජු 1848 අගෝස්තු 4 වැනි දා බම්බා විහාරයේ දී ඉංග්‍රීසි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව යුද්ධාධිකරණය රැස්වූයේ මෙම ගොඩනැගිල්ල පිහිටි බිමේ දී ය. එහිදී වරදකරු වූ වීදිපැල්ලේ හෙවත් හඟුරන්කෙත ඩිංගිරාළට එදිරිව මෙසේ චෝදනා ගොනු විය.

"අගරැජිණගේ නීත්‍යනුකූල ආණ්‌ඩුව බිඳ දැමීමේ අදහසින් රාජ්‍ය ද්‍රෝහියකු ලෙස, අගෝස්‌තු මස 02 වැනිදා සහ 04 වැනිදා අතර කාලය තුළදී කුමන්ත්‍රණයේ යෙදීම, වෙනත් රාජ්‍යද්‍රෝහී බලවේගයන් සමඟ එක්‌ වී මහ රාජිණියගේ ආණ්‌ඩුවේ සාධාරණ පාලනය කඩා දමා, ආණ්‌ඩු බලය අල්ලා ගැනීමට තැත් කිරීමේ චෝදනාව"

කපිතාන් ජේ. එම්. මැක්‌ඩොනල්ඩ්ගේ නියෝග අනුව යුද්ධාධිකරණයට කපිතාන් ඩබ්ලිව්. හැමිල්ටන්, කපිතාන් එච්. සී. බර්ඩ්, ලුතිනන් ඊ. පී. ලැමර්ට්‌, ඊ. බී. මැගනෝල් යන අය සහභාගි වූහ.

අගෝස්තු 5 වැනි දා ලබාදුන් යුද්ධාධිකරණ තීන්දුව ප්‍රකාරව වීදිපැල්ලේ බණ්ඩා, 1848 අගෝස්තු 5 වැනිදා වෙඩි තබා මරා අනතුරුව කුස පළා අතුණුබහන් බැහැර ඇද, සතරකඩකට පලා ගසක එල්ලා තබනු ලැබුණි.

ඒ දුෂ්ඨ තීන්දුව ලබා දුන් බිමෙහි මෙම අධිකරණ ශාලාව පසුකාලීන ව ඉදි විය.

 

පිළිමතලව්වේ පළමු අධිකාරම ගේ නඩු අහන මණ්ඩපය!

1803 දී සත්කෝරළේ දිසාව වූ පිළිමතලව්වේ පළමු අධිකාරම විසින් භාවිත කළ නඩු අහන මණ්ඩපය පිහිටා තිබුණේ ද මෙම ස්ථානයේ යැයි සිතන්නට අවකාශ ඇත. කන්දේ නුවර සීමාවට ඇතුළු වූ වෙරළබඩවාසීන් පිරිසක් ඔත්තුකරුවන් යැයි සිතා අංගච්ඡේදනයට ලක් කරනු පිණිස තීන්දු කරන ලද්දේ ද මෙම භූමියේ ම යැයි මම සිතමි.

ඒ ගැන දෙස් දෙන එක් වැදගත් අප්‍රකට ඉංග්‍රීසි ලියැවිල්ලක් මේ දිනවල පරිවර්තනය කරමින් සිටින හෙයින් ඒ ගැන වැඩිමනක් මෙහි නොකියමි.

වර්තමාන කුරුණෑගල උසාවිය පවත්වාගෙන යන්නේ පැරණි නගරසභා ගොඩනැගිල්ලේ ය.

කෙසේ වෙතත්, පුරාවිද්‍යා ස්මාරකයක් මෙසේ විනාශ කිරීම සමාව නොදිය යුතු වරදකි.

TS Nimesha

 නිමේෂ තිවංකර සෙනෙවිපාල
කර්තෘ/සංස්කාරක
කුරුණෑගල විස්තරය
ශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය

(මේ සටහන,ශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය කර්තෘ සංස්කාරක විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.)

 

සබැඳි පුවත් :

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කළ 'ආර්ය චක්‍රවර්ති' නගරාධිපති නිදැල්ලේ!

ජනපති, අගමැති දෙබෑයන් යටතේ සිංහල උරුමය විනාශවීම ගැන විරෝධය

subscribeYT

නවතම පුවත්