අපි දැවැන්ත මාතෘකා ගැන හැප්පෙමින් සිටිමු. එහෙත් අපේ දෙපා යට සෑම තැනම ඇත්තේ නාය යමිනි.
 
 
උදෑසන අටයි විසිනමයට ටොරිංටන් ලංකා බැංකු ශාඛාව ඉදිරිපිට පෝලිමෙහි සිටගතිමි. 
 
 දිගු පෝලිමක් හැදෙන්නට පෙර තම කාර්යය කරගෙන පිටව යාමේ අපේක්ෂාව සැමට පොදුය. 
 
ඒ වනවිටද පයිප්පයෙන් අත් සෝදාගෙන පෝලිම ඉදිරිපිට දෙතුන් දෙනෙකි. මමද ඊට එක්වීමි. 
 
ඒ අතර හමුදාවක නිල ඇඳුමින් සැරසුනු ගනුදෙනුකරුවකුද එහි පැමිණියේය. දොරටුවෙහි රාජකාරිය බාර ආරක්ෂක නිලධාරියා කවුරුන් හමුවන්නටදැයි අසා ඔහුට ප්‍රමුඛත්වය දුනි.
 
මම මට ඉදිරියෙන් සිටි තරුණියගෙන් අපි සියල්ලෝම බැංකුවට එක සමාන විය යුතු නේදැයි ඇසීමි. ඇය හිස වනා බිම බලාගත්තීය. 
 
මගේ වාරය ආ විට මම එයම ආරක්ෂක නිලධාරියාට පවසා බැංකුවට ඇතුළුව මගේ කාර්යය කරගෙන පිටව ආවෙමි. 
 
මීට පෙර අවස්ථාවකද මා බැංකුවෙහි කවුන්ටරය ඉදිරිපිට පෝලිමෙහි සිටිනා විට කවුන්ටරය ඇතුලින් පැමිණි නිලධාරියෙකු පෝලිමෙන් පිට සිටි ගනුදෙනුකරුවකුට ඔහුගේ කාර්යය ඉටු කරදුන් ආකාරය දුටිමි. 
 
මම එදිනද බැංකුවට සියළු ගනුදෙනුකරුවන් එක හා සමාන විය යුතුයයි ඔවුන්ට කීවෙමි.
 
කවර තැනක වුව ඉතා හදිසි අවශ්‍යතා ඇත්තවුන් සිටිය හැකිය. එසේම ඔවුන්ට පළමු අවස්ථාව දිය යුතුය යන්න ගැනද විවාදයක් නැත. 
 
එහෙත් එවන් අවස්ථාවක වුව අනෙක් ගනුදෙනුකරුවන්ට ඒ තත්වය පහදාදී අවශ්‍යතාව ඇත්තා හට අවස්ථාව දීම සභ්‍යව මාවතයි.
 
මීට වසර ගණනාවකට පෙර නවලෝක රෝහලේදී අත් විඳි දෙයක් මට සිහිපත් වෙයි. 
 
ඒ රටෙහි නමගිය විශේෂඥ වෛද්‍යවරයකුට මගේ නැන්දණිය පෙන්වීමට ගිය අවස්ථාවෙකය. 
 
ඒ වෛද්‍යවරයා හමුවීම පිණිස වෙලාව වෙන්කරවා ගත හැකි ගාස්තු වර්ග දෙකක් තිබිණි.
 
 දුර සිට එන නිසාත්, නැන්දණිය දිගු වෙලාවක් රඳවා තබා ගැනීම අපහසු නිසාත් මම වැඩි මිල ඇපොයින්ට්මන්ට් එකක් ගතිමි. මගේ අංකය එකය. 
 
වෙදැදුරු ආ යුතුව තිබූ වේලාව පසුවද විනාඩි තිහක් ගෙවිණි. ඔහු නැත.
 
විනාඩි හතලිස් පහක් ගෙවිනි. මම හෙදි කවුන්ටරයෙන් පමාව ගැන ඇසීමි. ඔවුන්  වෙත ඊට පිලිතුරක් නොවිණි. 
 
මම වෙදැදුරුගේ ජංගම දුරකථන අංකය ඉල්ලා සිටියෙමි. එය දීමට ඔවුන්ට අවසර නැතැයි පවසනු ලැබිණි. 
 
මම ඉන්පසු රෝහල් කළමණාකාරීත්වයෙහි අංකයක් ඉල්ලා සිටියෙමි. ඔවුන් ඊට අදිමදි කරමින් සිටින අතර වෙදැදුරු පැමිණ අපේ අංකය කැඳවනු ලැබිණි. 
 
වෙදැදුරු මගෙන් අසනීපය කුමක්දැයි විමසීය. මම ඊට පෙර මට වෙනත් අසනීපයක් ගැන කියන්නට ඇතැයි පවසා මගේ පැණය එනම් ඔහුගේ අසාධාරණ පමාව ඉදිරිපත් කළෙමි. 
 
ඔහු සිය පමාව සම්බන්ධයෙන් මට ඉදිරිපත් කළ හේතුව තමන්ට අසාධ්‍ය රෝගියකු බැලීමට යාමට සිදුවීමයි.
 
ඒ තර්ක කළ නොහැකි හේතුවකි. එහෙත් මම ඔහුට මෙසේ කීවෙමි.
 
‘කාරණාව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඩොක්ටර් ළඟ මොබයිල් එකක් තියෙනවා. අඩු ගානෙ කෝල් එකක් දීලා තමන් පමා වෙන බව කිවුව නං මෙතන රස්තියාදු වෙන්නෙ නැතුව අනෙක් අයටත් මොකක්ම හරි ඒ වෙලාවෙන් පලයක් ගන්න තිබුණා. අනික පුද්ගලික රෝහලකට ගාස්තු ගෙවලා ආපු අපි පාරිභෝගිකයො. ඩොක්ටර් වෙළෙන්දා. නියම වෙලාවට නියම තත්වයෙන් සේවාව දෙන එක ඩොක්ටර්ගෙ වගකීම.’
 
තවත් අවස්ථාවක සැමදාම පමා වන දුම්රියක් ගැන විමසන්නට මරදාන දුම්රි ස්ථානාධිපති කාර්යාලයට ගිය මට කාර්යයෙහි නියුතු නිලධාරියා කීවේ ගැටළුවක් ඇත්නම් අපට වද නොදී සාමාන්‍යධිකාරී හට පවසන ලෙසටය. 
 
මම එවිට ඔහුගෙන් සාමාන්‍යයධිකාරීගේ දුරකථන අංකය ඉල්ලා සිටියෙමි. ඔහු මට එය සොයා ගන්නැයි සෝපහාසී ස්වරයෙන් කීවේය.
 
 එය මගියාට ලබාදීමට වගකීමක් ඔහුටද ඇතැයි කී විට ඔහු මට කීවේ වැඩිය සද්ද දමන්නට ආවොත් අතපය හතර කඩා රේල් පාරට දමන බවය.
 
 මමද අසල වූ පුටුවකට අත තබාගෙන පසු කලෙක වාසු ජනගත කල වදන සිහිපත් කර පුළුවන් නම් ගහලා බලන්නැයි කීවෙමි.
 
අපි දැවැන්ත මාතෘකා ගැන හැප්පෙමින් සිටිමු. 
 
එහෙත් අපේ දෙපා යට සෑම තැනම ඇත්තේ නාය යමිනි. නිල තත්වය, රණවිරුභාවය, පැවිදිවරය ආදී වශයෙන් අපි පොදු දේවාල සාදා ගෙන මනුෂ්‍යත්වයෙහි මූලික හරයන් පවා සිඳබිඳ දමමින් සිටිමු. 
 
පිදිය යුත්තන් වෙනුවට පිටුදැකිය යුත්තන් කරතබාගෙන වන්දනා කරමින් සිටිමු. මේ ගැන සංවාදයක් ඇත්තේම නැති තරම්ය. මා පවසනා අත්දැකීම් මීටත් වඩා සිය ගණනින් ඇති අය බොහෝ බව මම දනිමි. 
 
එහෙත් අප තවමත් බස් කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලන්නට අදිමදි කරමු.  පෙර දොළහක් වූ ටිකට් පතට පහළොවක් දුන් විට ඉතුරු ලෙස ලැබුණේ රුපියල් දෙකකි. 
 
දැන් රුපියල් දාහතරක්ව ඇති ඒ ගාස්තුවට රුපියල් පහලොවක් දුන් විට රුපියලක් ලැබෙන්නේම නැත. 
 
එහෙත් මගී ජනතාවගෙන් සියයට අනූවක් පමණම එය නොඉල්වති. 
 
වරෙක මා මගේ රුපියලෙහි අයිතිය ඉල්ලා සිටි විට මා අසල සිටි මගී කත අනේ බලන්න මගෙ රුපියල දුන්නෙත් නෑනෙ යනුවෙන් කීවාය. 
 
මම ඇයට කොන්දොස්තර මා නොවන බවත් ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ කොන්දොස්තර වෙත බවත් කීවෙමි. ඇය මා වෙත කාලි බැල්මක් හෙළුවාය.
 
අපි සටන් කරන්නට වෙනකෙක් එනතුරු බලා සිටිමු. ඒ අතර හැකි උපරිම අයුරින් අසාධාරණයන්ට ලක්වෙමින් සිටිමු.
 
ජොර්ජ් ඕවල් මෙසේ කියා ඇත. ‘සියළු සත්වයෝ සමානයෝය. එහෙත් ඇතම් සත්තු අන් සතුන්ටත් වඩා සමානය’
 
උරුගුවෙහි හිටපු ජනපති හොසේ ඇල්බර්ටෝ  මුජිකා රාජ්‍ය නායකයකු සතු නිහතමානීකම ගැන සිය භාවිතාවෙන්ම ආදර්ශ සපයයි. එහෙත් අපට මුජිකා ඇලජික්ය.
 
‘හොරා කෑවත් මොකද රටටත් වැඩක් කරනව නං.“ අද වන විට අපේ බහුතරයකගේ ආදර්ශ පාඨය බවට පත්ව ඇත්තේ එයයි. 
 
අපේම සල්ලි වලින් පාර හදන විට අපි තක්කඩි දේශපාලුවන්ට එහි නම ලියවා ගන්නට ඉඩහැර බලා සිටිමු. 
 
මේ අපේ කර්මය නොව අපම වැපිරූ කෙතෙහි සරු අස්වැන්නයි. 
 
ඉදින් අප අප සමගම සංවාද නොකරන්නේ නම් අපට සමාජ සංවාද කළ නොහැකිය.
 
සේකර මෙසේ ලිවීය. රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. මාතෘ භූමියයි. අමරදේව එය මියුරුසරින් ගැයීය. අපිද එය ගයමින් මාතෘ දේශය වෙනුවට මෘත දේහයක් නැතිනම් මුත්රා දේශයක් නිමවමින් සිටිමු.
 
ඉතින් අප ඉතිහාසයෙහි පිටු අතරට යාම නියත බව බොරුවක්ද.
 
(gammiris.lk - චූලානන්ද සමරනායක)

 


 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්