1200 x 80 DMirror
 
 

ප්‍රිය කර්තෘතුමනි,
 
සතිපතා මානිගෙ තීරැව ලිවීම මට විශාල පීඩනයක් ඇති කරන වැඩක් වී තිබෙන බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට කැමැත්තෙමි .
 
පසුගියදා රැධිර පීඩනය පාලනය කළ නොහැකි තරමට වැඩිවීම නිසා මට රෝහල්ගත වීමටද සිදුවූ අතර මෙය ලියන්නේද රෝහලේ සිටය.
 
එබැවින් සෞඛ්‍ය හේතූන් මත තවදුරටත් මානිගෙ තීරැව ලිවීමෙන් මා වැළකී සිටිය යුතු බව අපේ පවුලේ මතය වී තිබේ.
 
 
මම,
මානි
 
 
මේ ලියුම ලැබුණු සැනින් කර්තෘවරයා මට ටෙලිෆෝන් කළේය. රෝහලේ ඇද ළගට වී සිටි බිරිඳටත්, පුතාටත් කතාව ඇසෙන්නට මම ලවුඩ් ස්පීකර් දැමුවෙමි .
 
"මොකද මානි මේ"?
 
"කර්තෘතුමා මම දැන් මානිගෙ තීරැව ලියන්න අරගෙන අවුරැදු තිහකට වැඩියිනෙ" මම ඔහුට කියා සිටියෙමි ."ඒත් මෙච්චර කාලෙකට මෙහෙම පුශ්නයක් තිබිල නෑනෙ "
 
"හරි මොකක්ද පුශ්නෙ ?"
 
"ඉස්සර සමහර සතිවල ලියන්න දෙයක් හොයාගත්තෙ බොහොම අමාරැවෙන් "මම පැහැදිලි කරන්නට වූයෙමි.
 
."පස්සෙ ලියන්න දෙයක් කරදරයක් නැතුව ලැබෙන්න ගත්තා. ඒත් දැන් නම් තත්වෙ පාලනය කරගන්න බැරි තරමට නරක් වෙලා"
 
කර්තෘවරයා නොඉවසිල්ලෙන් කතා කළේය.
 
"මානි තාම කිව්වෙ නෑනෙ මොකක්ද පුශ්නෙ කියල"
 
"මේකයි කර්තෘතුමා,මම ඇස්ට්‍රා සෙනිකා  එන්නත අරගත්තම කාඩ්ඩෙකේ ලියල තිබුණෙ සති 10කින් දෙවැනි එන්නත දෙනව කියල. දැන් සති දාසයයි,ඒත් තාම බඩු ලැබෙන ලකුණක්වත් නෑ"
 
කර්තෘවරයා මගේ කතාවට බාධා කළේය .
 
"වෙන අනන්මනන් කියන්නෙ තාම කිව්වෙ නෑනෙ තීරැව ලියන්න බැරි පුශ්නෙ "
 
"මම මේ සතියෙ ඇස්ට්‍රා සෙනිකා එන්නත ගැන ලියන්න කියල හිටියෙ "මම කීවෙමි.
 
"එතකොට ආණ්ඩුවට පුළුවන්නෙ එන්නත නැති හයලක්ෂෙට එන්නත වෙනුවට මානිගෙ තීරැව හරි දෙන්න "
 
"ඉතින්,ඉතින්....."
 
"එහෙම හිතාගෙන සන්තෝසෙන් ඉදැද්දි තමයි මොරටුවෙ නගරාධිපති එක රටක් එක නීතියක් එපා කියල වීදි බැස්සෙ "මම කියා සිටියෙමි."හයලක්ෂෙක එන්නත් පුශ්නෙ පැත්තක දාල පුසිද්ධියේ නීතියට විරැද්ධව  සටන්බිමට ආපු වීරය⁣ට මේ සතියෙ කොලම වෙන් කරන්න මම තීරණය කරා"
 
කර්තෘවරයා ඒ කතාවට හූමිටි තැබුවේය .
 
"ඒක ලියාගෙන යද්දී තමයි එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි අරගෙන මූදටයි වෙරළටයි දෙකටම කෙළවෙලා ගිහින් අදාළ අයගෙ මාළු කන්න හිතෙන තැනට ආවෙ.මගේ බ්ලඩි ප්‍රේෂරැත් වැඩි වුණේ"මම කියා සිටියෙමි.
 
"ඒත් නීතියක් නැති නගරාධිපතිට වැඩිය නීතියක් නැති රට ලොකුයිනෙ කියල තීරණය කරල මම අලුතෙන්ම තීරැවක් ලියන්න ගත්තා , ප්‍රේෂරුත් වැඩිවෙද්දි"
 
"අන්තිමේ ඒකද ලිව්වෙ?"
 
"මොන?"මම කේන්තියෙන් කියා සිටියෙමි ."ඒ සැරේ බිලියන ගානක විනාසෙටත් වැඩියෙ ලොකු ජාතික පුශ්නයක් මතු වුණානෙ"  
 
"ඒ මොකක්ද ?"
 
"ඇයි නමක් නැති හෝටලේ නමයි වැඩයි දෙකම සුපතල කට්ටියගෙ තරැ පහේ පාටිය. දැන්  ජාතික පුශ්නෙ  ඒකනෙ. ඒත් ඒක  ආරංචි වෙන කොට මගේ ප්‍රේෂර් පාලනය කරන්න බැරැවම ගිහින් "
 
කර්තෘවරයා නිහඬව අසා සිටියේය .
 
"මේක තවදුරටත් කරන්න බෑ කර්තෘතුමා. මම බුහස්පතින්දටයි කොලම ලියන්නෙ . මේ යන විදිහට මම මේක ලිව්වට පස්සෙ ඉරිදාට පත්තරේ පිටවෙන්න කලින් අඩුතරමින් ජාතික පුශ්න දෙකක්වත් ඇවිල්ල මානිගෙ තීරැව යල් පැනල තියෙයි.  මට බෑ මේ රට දියුණු වෙන වේගෙට මේ කොලම ලියන්න "
 
කර්තෘවරයා ඉතා තැන්පත් ස්වරයකින් කතා කළේය .
 
"මානි මට තේරෙනවා ඔයාගෙ පුශ්නෙ .ඒත් ඔයාට වැඩිය ලොකු පුශ්න තියෙන අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවද ?"ඔහු කියා සිටියේය .
 
"දැන් බලන්න මේ රටේ ආණ්ඩුවක් කියල දෙයක් තියෙනවානෙ . ආණ්ඩුවට කොච්චර පීඩනයක් ඇද්ද විසදන්නෙ නැති පුශ්න එක්දාස් එකසීයක් විතර තියාගෙන . ඒත් ඒ අසරණයො ආතතියට පත්වෙලා ආණ්ඩු කිරිල්ල අත්හරින්න හිතනවද ? ඉතින් අපිත් අපේ නායකයින්ව ආදර්ශයට අරගෙන කොච්චර පුශ්න ආවත් කරන වැඩේ අතහරින්නෙ  නැතුව ඉන්න පුරැදු වෙන්න ඕන නේද ?"
 
අපේ කතාව අසාගෙන සිටි බිරිඳත් , පුතාත් කසුකුසු කුට්ටම් පවත්වනු මා බලාගෙනය. අනතුරුව පුතා මට චිට්ටෙකක් දුන්නේය .
 
"කර්තෘතුමා කියන්නෙ ඇත්තද තාත්තෙ, රටේ ආණ්ඩුවක් කියල දෙයක් තියෙනවා කියල "
 
මම චිට්ටෙකේ අනිත් පැත්තේ පිළිතුර ලිව්වෙමි.
 
"අපිට පේන්නෙ නැති වුණාට ආණ්ඩුවක් කියල දෙයක් ඇති. කර්තෘතුමා බොරු කියනෙකක් නැහැනෙ "
 
 
Sundara nihathamani(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
( මානිගේ_තීරුව ෆේස්බුක් පිටුවෙන් ...)

 

 

 


 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්