1200 x 80 DMirror
 
 

මම හිතන්නෙ දැන් ලංකාවේ දේශපාලනය තියෙන තැන 90-2000 දශකවල ලංකා‍ෙවේ සිනමාව තිබුණු තත්ත්වෙට ගොඩක් කිට්ටුයි කියලා. 
 
90 ගණං වෙද්දිත් සිනමාව තමයි ලොකුම කලාව හැටියට ගොඩක් මිනිස්සුන්ගෙ ඔළුවන තිබුණෙ. ඔක්කොම දැවැන්තයො හිටියේ ඒකේ. මිනිස්සු වැඩිදෙනා බැලුවේ ටෙලිවිෂන් වුණාට ටෙලිවිෂන්වල වැඩකරන උන්ට පවා තිබුණේ සිනමාව ගැන හීන. 
 
මේ චූටි පෙට්ටියක් ඇතුලෙ වීඩියෝ කැමරාවලින් කරන ඒවා වගේ ද දැවැත්න තිරේ මිලිමීට්ර 35 පොසිටිව්වල බලද්දි කියල ලොකු ලොකු පොරවල් කීවට 80 දශකයෝ ඉපදිලා, එක පාරකට දෙපාරකට වඩා චිත්‍රපටි හෝල් එකකට ගිහින් තොතිබුණු අපට ටීවි එකේ පෙන්නන හීරිච්ච, පාට පිච්චිච්ච එ‍හෙන් මෙහෙන් පනින චිත්‍රපටි බලද්දි ඇත්තට ම තේරුණේ නෑ මොකක් ගැන ද මුං මේ කතාකරන්නෙ කියලවත්.
 
අඩු ගාණේ වීඩියෝ කැමරාවලින් ෂූට්කරපුවයේ අර වගේ රීල් ඩැමේජ්, පිච්චිච්ච පාට, චරචර සද්ද නැතුව පැහැදිළි ව පේන රූප ටිකක් තිබුණා.
 
ඔය කාලෙ තමයි සිනමාවේ අර්බුදය ගැන කතාබහ ලොකුවට ආවේ. පොඩි කාලෙ ඉඳන් ටීවි එක ඉස්සරහා හිටපු අපට අදාළ ම නැති වුණත් සිනමා පකීර්ලා ටීවි එකට ම ඇවිත් සිනමාවේ කඩාවැටීම ගැන සහ ඒක ගොඩගන්න විදි ගැන එක එක කතන්දර කියනවා අපි අහං හිටියා. 
 
 
image 1518031568 9021ac0be6
 
 
ඉස්සර හිටපු විජය ගාමිණි වගේ දැවැන්තයෝ නැතිවීම ගැන, ජෝතිපාල නැතිවුණාට පස්සෙ ඒ හඬ රීප්ලේස් කරන්නෙ කොහොමද කියන එක ගැන, චිත්‍රපටි බෙදාහැරීම ආණ්ඩුවට ගත්ත නිසා මේකට කෙළවුණා කියන අය සහ චිත්‍රපටි බෙදාහැරීම පෞද්ගලීකරණය කරපු නිසා මේකට කෙළවුණා කියන අය අතර වාද, ටීවි එක ආපු නිසා සිනමාව කෙළවුණා කියන අය වගේ එක එක අය සිනමාව ගැන, ඒකේ අර්බුද ගැන, ඒක ගොඩගන්න හැටි ගැන එක එක කතා කීවා. 
 
ඔය අතරේ “ඇගේ වෛරය” වගේ “කාම රැල්ලෙ” ෆිල්ම් ටිකක් ඇවිත් අර ක‍ඩාවැටුණු සිනමාවෙන් තව අවුරුදු කීපයක් කීයක් හරි හොයාගන්න කීපදෙනෙකුට පුළුවන් වුණා. ඊට පස්සෙ ඒකෙන් සිනමාව තවත් කඩාවැටුණා කියලා තව කට්ටියක් කියන්න ගත්තා.
 
ඒ කාලෙ සිනමා පකීර්ලා නම්කරපු විදියට “වාණිජ ධාරාව”, “කලාත්මක ධාරාව” කියල බෙදිලා තිබුණු ප්‍රධාන ධාරා දෙකක්, ඒ ඒ ධාරවලට අදාළ ව වැඩකරපු සීමිත “දැවැන්තයේ” ප්‍රමාණයක්, අමාරුවෙන් කට්ටක කාලා, සමහර විට තේ අල්ලන තැනේ ඉඳන් උඩට ආපු අය වගේ දේවලුත් එක්ක නිශ්චිත ව ඩිෆයින් වුණු (හොඳට හෝ නරකට) සම්ප්‍රදායක, ඩිසිප්ලින් එකක්, හයරාකි එකක් වගේ දේවලුත් තිබුණු නිසා හිතුණු හිතුණු එකාට ඇවිත් තමන්ට ඕන පිස්සුවක් කෙලින්න ඉඩක් තිබුණේ නෑ. 
 
ඒ කාලෙ සිනමාව කියන්නෙ හෙන සීරියස් වැඩක්. කැමරාවට වැඳලා වැඩපටන්ගන්නෙ. ආවට ගියාට එකඑකාට වීව්ෆයින්ඩරේට ඇහැ තියන්න දෙන්නෙ නෑ. සීන් එකක් ගන්න කලින් හැම දේ ම ප්ලෑන් කරලා රිහල් කරලා කරන්නෙ. ඇක්ෂන් කෝල් කළාට පස්සෙ සෙට් එකේ එහෙ මෙහෙ ඇවිදින්න ගියොත් එහෙම වඳුරු කුණුහරප තමයි අහගන්න වෙන්නෙ. ට්‍රැක් එක උඩින් පනින එක, කැමරාව ඉස්සහරින් ක්‍රොස් කරන එක වගේ දේවල් නොකරන විනයක් තිබුණා. 
 
ඇත්ත, ඔය ඒකාධිකාරිය වගේ එක නිසා රැඩිකල් වැඩ කරපු අයට වුණත් ඒවා කරද්දි සෑහෙන සීමාවලට මූණදෙන්න සිද්ධවුණා. සමහර විට අවුරුදු ගණං අනිත් උන්ගෙ ඇසිස්ට් කරකර කට්ට කාගෙන ඉන්න වුණා තමන්ගෙ චිත්‍රපටියක් හදන්න කලින්. අලුතින් සිනමාවට එන්න ට්‍රයි කරපු අපි වගේ උන්ට එහෙම ඔය ගරාවැටෙමින් තිබුණු පරණ වලව් ක්‍රමය මළ වදයක් වෙලා තිබුණේ. 
 
image 7a733e3461 
 
හැබැයි තව ටිකක්  කල් යද්දි “දැවැන්තයෝ” ටික ටික බැහැගෙන යද්දි තැන් තැන්වලින් තනි තනි චිත්‍රපටිකාරයෝ මතුවුණා. සිනමාව ඩිජිටල් වීම වගේ ලෝකේ සිද්ධවුණු වෙනස්කම් නිසා ඒක ලේසි වුණා. ඒවා අර වගේ එක ධාරාවකට අයිති වුණේ හෝ එක ස්ටයිල් එකක් තිබුණේ නෑ. එක එක අය ලෝක සිනමාවේ තමන් දැකලා ආසා වුණු එක එක ස්ටයිල් මෙහෙ කරල බලන්න ට්‍රයි කළා. 
 
සමහර ඒවා ආවේ “සිංහල සිනමාවේ හෙට දවස” වගේ ටයිටල් ගහගෙන “සිනමාව ගොඩගන්න” ලයින් එකේ. තව සමහරු කෙලින් ම ලංකාව අතෑරලා ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල්වලට ෆිල්ම් හැදුවා. මල්ගස් වටේ නටන ස්ටයිල් එක අවුට් ඔෆ් පැෂන් වෙලා තිබුණු නිසා ජෝතිපාල මැරුණට පස්සෙ ඒ වෙනුවට රිප්ලේස්මන්ට් එකක් නැති ප්‍රශ්නෙ තවදුරටත් ප්‍රශ්නයක් වුණේ නෑ. 
 
විජයලා‍ව රිප්ලේස් කරන තැනට අර්ජුන කමලනාත් ඇවිත් හිටියේ අර්ජුන විජයගේ ලෙවල් එකට ආපු නිසාද සිනමාව අර්ජුන කමලනාත්ලගේ ලෙවල් එකට වැටුණු නිසාද කියල කවුරුත් වැඩිය ඇහුවේ නෑ. ඒත් අර්ජුන කමලනාත්ලා දිගට ම තමන් විජය කියල හිතාගෙන (ඒ විදියට කොණ්ඩෙත් හදාගෙන) වැඩේ කරගෙන ගියා. 
 
image 6e8579a9e4 
 
පරණ තේරුමෙන් සිනමා ප්‍රේක්ෂකයෝ කියන ජාතිය වඳවෙමින් පැවතුණත් ඉස්කෝල ළමයි, උපාසකම්මලා වගේ කට්ටියව කොහොම හරි හෝල්වලට දක්කලා ගාණ කවර්කරගන්න සමත්වුණු කීපදෙනෙක් හිටිපු නිසා ඉස්සර චිත්‍රපටිවලට තිබුණු බලය ටීවි එකට, වීසීඩී-ඩීවීඩිවලට  සහ පස්සෙ පස්සෙ සෝෂල් මීඩියාවලට ගියත් සිංහල සිනමාව කියන බෝඩ් ලෑල්ල බැරිබැරි ගාතෙ හරි තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන් වුණා.
පරණ සිනමාව ගැන දිගට ම විවේචනය කරමින් හිටපු, “සිනමාව ගොඩගන්න හැටි මම/අපි පෙන්නමි/ පෙන්නමු” කියකිය හිටපු අපේ පරම්පරාවේ රැඩිකල් චිත්‍රපටිකාරයො සෑහෙන පිරිසකුත් එහෙන් මෙහෙන් අටවලා කොහොම හරි චිත්‍රපටියක් හදාගත්තත් ඒ වෙනකොට ඒවා පෙන්නගන්නවත් විදියක්වත්, බලන්න මිනිස්සුවත් ඉතුරුවෙලා හිටියෙ නැති නිසා එතනින් එහාට දිගට චිත්‍රපටි හදන්න ඒ කාටවත් ම වගෙ පුළුවන් වුණේ නෑ. 
 
හිටපු ගමන් කඩාපා‍ත්වෙන දේශමාන්‍යලා හෝ කලුසල්ලි හෝ වෙන මොකක් හරි ඩීල් එකක් උඩ චිත්‍රපටියක් (හෝ එක දිගට චිත්‍රපටි දහයක් විතර) හදන අය ඒවා හදන්නෙ මොකටද, ඒවා බලන්නෙ කවුද, ඒවට කටේ තියන්න පුළුවන්ද වගේ දේවල් ගැන වුණත් දැන් කවුරුත් වැඩිය කතාකරන්නෙ නැති තරමට ලංකාවේ සිනමාව මිනිස්සුන්ට අදාළ නැති තැනකට ඇවිත් තියෙන්නෙ.
 
 
moment 01 
 
ඔය ඔක්කොමත් අස්සෙත් හෝල්කාරයන්ට බැනබැන, ටිකට් එකෙන් 40%ට වඩා ගාණක් ගන්නෙ කොහෙමද, හිංදි, දෙමළ ඉංග්‍රීසි චිත්‍රපටි පෙන්නන එක අඩුකරලා කොහොම හරි අපේ ෆිල්ම් ටික හෝලවලට ඔබාගන්නෙ කොහොමද, අතේ තියෙන ෆෝන් එකෙන් පවා චිත්‍රපටි හදන්න පුළුවන් මේ කාලෙත් අර 70 දශකයේ වගේ ඒ චිත්‍රපටි ඔක්කොම පෝලිමට තියලා හැම චිත්‍රපටියක් ම හැදෙන පිළිවෙලට “සාධාරණ ව” හෝල් එකේ පෙන්නන්නෙ කොහොමද වගේ දේවල් කතාකරන පොඩි පොඩි ගෲප්වල අපි පවා ඉඳලා තියෙනවා, දැන් අවුරුදු කීපයකට කලින් පවා.
 
ලංකාවේ සිනමා කර්මාන්තය මැරිලා, ලයිෆ් සපෝට් එකෙන්වත් හාට්බීට් එක තියාගෙන යන්න බැරි වෙලා තිබුණත් තාමත් අපේ යාළුවෝ කීපදෙනෙක් උත්සාහය අතනොඇර ඒ වැඩේ කරගෙන යනවා. 
 
 
ඔය කියපු ගොඩක් දේවල් මේ වෙනකොට ලංකාවේ දේශපාලනයේත් පේන්න තියෙනවා. පරණ දේශපාලනය අර්බුදයට ගිහින් කියල හැමෝම කතාවෙනවා. ඒකට හේතු විග්‍රහ කරන, ඒක ගොඩදාන විදි ගැන කතාකරන අය හැමතැන ම. හොඳට හෝ නරකට දේශපාලනයේ ආධිපත්‍යය තිබුණු ප්‍රධාන ධාර දෙක තුන ම ඉවරවෙලා.
 
 
තනි අතින් සිනමාව ‍ගොඩදානව කියල ආපු “ජූලියා‍” වගේ පොලිටිකල් ප්‍රොජෙක්ට් කාලෙන් කාලෙට එනවා. සිනමාව තාම තියෙන්නෙ විජය ගාමිණී යුගයේ කියල හිතා‍ගෙන විජය වගේ කොණ්ඩෙ හදාගෙන විජය වෙන්න යන “අර්ජුන කමලනාත්ලා” දේශපාලනයෙත් තැන්තැන්වලින් මතුවෙනවා. 
 
ඉස්සර විජයලා රඟපාපු “ප්‍රධාන චරිත” උන්ට ලැබෙන්නෙ උන් විජයලගෙ මට්ටමට ඇවිත් හින්ද ද දේශපාලනය උන්ගෙ මට්ටමට වැටිලා නිසාද කියල හරි කැල්කියුලේෂන් එකක් (සිනමාවේ අර්ජුනලට වගේ ම) උන්ටත් තියෙනව කියල පේන්නෙ නෑ. 
 
 
sara 18 01 ITN Movie bw dim
 
හතරදෙනා ම සූරයෝ”
 
 
ඒ කාලෙ “හතරදෙනා ම සූරයෝ” කරපු “නීල් රූපසිංහලා” ඒ නම්බුවත් එක්ක මැරිලා යන්නෙ නැතුව ආපහු ඒකේ රීමේක් කරන්න ඇවිත් නෝන්ඩි වෙනවා. 
 
ඇමරිකාවේ වූඩි ඇලන්ලා අවුරුදු 80-90 වෙලත් බලන් ඉන්න පුළුවන් මට්ටමේ ෆිල්ම් හැදුවට ලංකාවේ “ලෙස්ටර්ලා” පවා අන්තිම කාලෙ වෙද්දි එහෙම අප්ඩේට් වෙන බවක් පෙන්න නෑ. 
 
තාමත් රීල් ද ඩිජිටල් ද, දෙමළ හින්දි චිත්‍රපටි නැවැත්තුවොත් අපේ ටික පෙන්නගන්න පුළුවන් වෙයිද වගේ ඒවා කතාකරන චිත්‍රපටිකාරයෝ වගේ විධායක ජනාධිපති ක්‍රමය ද පාර්ලිමේන්තු ක්‍රමය ද, සමානුපාතික ක්‍රමේ ද කේවල මන්ත්‍රී ක්‍රමේ ද වගේ එක්ස්පයර් වුණු ප්‍රශ්න ගැන අපි තාමක් කතාකර කර ඉන්නවා. 
 
නහයට උඩින් වතුර ගිහිල්ලා තියෙද්දිත් වතුර මට්ටම තියෙන්නෙ නහයට අඩියක් උඩින් ද අඩි දහයක් උඩින් ද වගේ ප්‍රශ්න ගැන රෑ එළිවෙනකල් ටීවිවල, සෝෂල් මීඩියාවල වාද කරනවා. 
 
ඒ අතරේ සමහර විට 80 දශකයේ ඉපදිලා ටීවි එක ඉස්සරහා හැදුණු අපි, අපිට එච්චර අදාළ නැති වුණත් ඒ කාලෙ සිනමාවේ අර්බුද ගැන ටීවිවලට ම ඇවිත් කතාකරන පකීර්ලගේ කතා අහගෙන හිටපු විදියට ම 2000න් විතර පස්සෙ ඉපදුණු ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්වල ඉන්න උන් මේක දිහා බලන් ඉන්නව ඇති.
 
 
Chandana P(චන්දන ප්‍රසන්න )
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
 
 
 
 
THE LEADER TV 
 
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 
 
 
මෛත්‍රී - සජිත් රහස් කතා ! - බුද්ධි අංශ කියයි
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58