පෙරේදා රැස්වූන කැබිනට් මණ්ඩලය හාල්වලට පනවලා තිබූන උපරිම සිල්ලර මිල අයින් කළා. ඒ එක්කම මේ වෙනකම් වලංගුවෙලා තිබුණ තවත් ගැසට්
එකක් රිවස් වුණා. ඒක හාල් සම්බන්ධව ගහලා රිවස් උන කීවෙනි ගැසට් එකද කියලා රටේ රාළට මතක නෑ. මොකද ඒ තරම් ගැසට් රිවස් උනා.
ඊයේ මහා පරිමාණ හාල් මෝල් හිමියෝ තියපු මාධ්‍ය සාකච්ඡාවකදී ඩඩ්ලි කිව්වා. නාඩු කිලෝ එකක් රුපියල් 115 කටත්, සම්බා කිලෝ එකක් 140 කටත්, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 165 කටත් දෙන්න ලෑස්ති කියලා.
කොටින්ම කියනවා නම් ඩඩ්ලි හාල්වලට උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ ගානට ගුණාත්මක හාල් සපයන්න ලෑස්ති කියලා කිව්වා, දැනට වෙළද පොළේ තියන හාල් හිගය දවස් දෙකකින් අවසන් කරනවා කිව්වා.
ඊළඟට වී ගැන කිව්වේ නාඩු රුපියල් 62.50 ට, සම්බා රුපියල් 70 ට, කීරි සම්බා රුපියල් 80 ට ගොවීන්ගෙන් ගන්නවා කියලා. ආණ්ඩුව පිට රටින් හාල් කොච්චර ගෙනාවත් දිගටම ඒ මිල ගණන්වලට ගොවීයාගෙන් වී ගන්නවා කියලාත් කිව්වා.
හරියට ඩඩ්ලි ජාතිය අමතලා ගැසට් එකක් ගැහුවා වගේ. සමාජ මාධ්‍යවල නං තිබුණේ සර්ගේ ගැසට් එක රිවස් කරලා ඩඩ්ලි ගැසට් එකක් ගැහුවා කියලා. ඒක නං රිවස් වෙන්නේ නෑ කියලත් තිබුණා.
කොහොම හරි ඒ ගැන සංවාදය සමාජයේ ඇතිවෙලා. රටේ රාළටත් හිතුනා මේකේ දේශපාලනය ටිකක් කතා කරන්න ඕනි කියලා.
ඇත්තටම ඩඩ්ලිලා ඇතුළු හාල් මෝල් හිමියෝ ගත්ත තීරණයෙන් හොඳ දේවල් ගොඩක් වුණා. එකක් තමයි රටේ හාල් හිගයක් සම්බන්ධව ජනතාවට තිබුණ බය ගොඩක් දුරට අයින් උනා. මොකද ඊයේ පෙරේදා වෙනකොට ලංකාවේ තියෙන පෝලිම් අතරට හාල් පෝලිමත් එකතු වෙලා තිබුණේ.
ඩඩ්ලිලාගේ මේ තීරණයෙන් ඒකෙන් එක පෝලිමක් අඩුවෙනවා. හැමදේමට පෝලිම් හදලා ජනතාව අතර අප්‍රසාදයට පත්වෙලා හිටිය ආණ්ඩුවට ඒ කතාව කාලා ඉන්න බැරි දේශපාලන මරු පහරක්.
ඊළඟට රටේ රාළ පාරිභෝගිකයෙක් විදිහට එකක් කියනවා මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ හාල්වල ගුණාත්මක බව හා ප්‍රමිතිය ඉහළයි. ඒක පිලිගන්න ඕනි ඇත්තක්.
අනික මෙතන ලොකුම දේ උනේ අසරණ ගොවියට. වී ටික විකුණ ගන්න බැරිව හිටිය ගොව්යට තරමක හරි හොඳ මිලක් හම්බවෙන එක. රජය දාපු සහතික මිලට වඩා ඒක ගොඩක් වැඩී. ගොවියා ඉල්ලන මිලට කිට්ටුයි. ගොවියට 100% ක් නැතත් යම් සහනයක් ඇවිත් තියනවා.
රජය පැත්තෙන්ම ගොවියා අමාරුවේ දාලා තිබුණේ. වී විකුණන ගන්න බැරිව, වීවලට හොඳ මිලක් නැතිව ගොවියා හිටියේ මහ පාරේ. රජය කියන සහතික මිලට ගොවියා වී ටික දෙන්න එකඟ උනේ නෑ.
ගොවියාගේ අටුවේ වී ටික තියෙන බව කවුරු නැතත් වල් අලි දැනගෙන හිටියා. අලි රංචු පිටින් වී බොන්න ගම්වැදුණා. අටුව බේරගන්න අපු ගොවියෝ අලි ගහලා මැරුවා. හැම තැනම අලි කෙලි. ප්‍රශ්න ගොඩයි. ඒ ප්‍රශ්නයට තමයි ඩඩ්ලිලා පොඩි හරි විසදුමක් දීලා තියෙන්නේ.
ඇත්තටම දැන් මිනිස්සු අහන්නේ රට පාලනය කරන්නේ සර්ද, ඩඩ්ලිද කියලා. ඊයේ සමාජ මාධ්‍යවල ඩඩ්ලිට ලොකු ප්‍රතිචාර තිබුණා. හොද නරක දෙකම තිබුණා. සමහරු ඩඩ්ලි ජනාධිපතිට අන්දලා. ඕවා දැකලා ඩඩ්ලිටත් ජනාධිපති වෙන්න හිතෙයිද දන්නේ නෑ.
ඇත්තටම ඒ හැම පෝස්ට් එකක් ඇතුළෙම ලොකු දේශපාලනයක් තිබුණා. ජනතාව මේ රටට ඉල්ලන්නේ කොන්දක් තියෙන, සෘජු තීරණ ගන්න පුළුවන් නායකයෙක්.
ඩඩ්ලිගේ තීරණ හරි කියලා රටේ රාළ කියන්නේ නෑ. ඩඩ්ලි කියන්නේ ව්‍යාපාරිකයෙක්. ආණ්ඩුව කියන්නේ ජනතාවට වගකියන ආයතනය. හැබැයි අද ආණ්ඩුවට ඩඩ්ලිලාට තරම්වත් වගකීමක් ගන්න බෑ. ඇත්තටම ඩඩ්ලිට තියෙන කොන්දෙන් දහයෙන් එකක් මේ ආණ්ඩුවේ ඔක්කොම එකතු කළත් නෑ වගේ පේන්නේ.
ඒක නිසා දමයි සමාජ මාධ්‍යවල දිගට හරහට පෝස්ට් දාන්නේ සර් ඩඩ්ලි ඉදිරියේ දණ ගහලා කියලා. ඩඩ්ලි කරපු වැඩෙන් ඔප්පු උනේ ආණ්ඩුව පිස්සු කෙළින බව. දැන හෝ නොදැන ඩඩ්ලි ඒක ඔප්පු කළා. ඇත්තනම මේ ආණ්ඩුවට දැක්මක් විතරක් නෙවෙයි කොන්දකුත් නෑ.
කොහොම උනත් ඩඩ්ලිලා හාල්වලට දාලා තියෙන මිල ගනන් සම්බන්ධව නං ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ සමාජ මාධ්‍යවල ඩඩ්ලිලාට එල්ල උන එකම චෝදනාව ඒක. ආණ්ඩුව ඒ විරෝධය පළවෙනි මොහොතේම අතට ගත්ත බව පේනවා. ආණ්ඩුව එකවරම කළේ ආයෙත් මෝල් හිමියන්ට යුද්ධ ප්‍රකාශ කරන එක.
ඊයේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න කිව්වේ ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් හාල්වලට පනවා තිබුණ උපරිම සිල්ලර මිල අයින් කළා කියලා. ඒක ඇතුළේ අයුතු ප්‍රයෝජන ගන්න හැදුවොත් රජය හා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වෙනවා කියලත් කිව්වා.
නාඩුවලට හා කීරි සම්බාවලට දාලා තියෙන මිල ගනන් කිසිසේත් පිලිගන්න බෑ කියලා. ඒක ඇත්ත.
හැබැයි රටේ රාළට ඉස්සෙල්ලා ලසන්තගෙන් අහන්න ඕනි රෙද්දක් ඇදගෙනද කතා කරන්නේ කියලා. ලසන්තලා මෙච්චර කල් පාරිභෝගිකයා ආරක්ෂා කරපු විදිය මේ රටම දන්නවා. අන්තිමට සුදු ළූණු ගෙඩියෙනුත් වංචා කරපු රටක් මේක. ඒ ගැන කිව්වොත් ලසන්තටත් ඉන්න වෙන්නේ රෙදි නැතිව.
සුදු ළූණු වංචාව ගැන තොරතුරු කියලා ඉල්ලා අස්වෙලා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂක බන්දුලට වගේම ලසන්තටත් ඇගිල්ල දික් කරනවා.
රටේ රාළ අහන්නේ ආණ්ඩුවට ඕනි ආයෙත් හාල් ගිගයක් හදන්නද? නැති වෙන්න යන හාල් පෝලිම් Continue කරන්නද? මේ ප්‍රශ්නනෙදී ඉස්සෙල්ලා කරන්න ඕනි ආණ්ඩුවේ ඔය මෝඩ උද්දච්ච මනස අයින් කරගන්න එක. ඒක ලසන්තලාට තියෙන වගකීමක්. ඒ ගැන කතා කරන්න. නිකං වහල්ලු වගේ ඕකේ ලැගලා ඉන්නේ නැතිව.
ඩලස් අලහප්පෙරුම
අර ජනමාධ්යවෙදින් CID එකට කැදවපු වේලේ විෂය බාර ඇමති විදිහට ඩලස් මැදිහත් වුණා. ඒක රටේ රාළ අගය කරනවා. වෙන්න ගිය වැරදි පූර්වාදර්ශයක් නතර කරලා ඩලස් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලන්න තරම් නිහතමානී උනා.
ඒක නිසා ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයෝ වෙන වී මෝල් හිමියෝ යක්කු විදිහට දකින එක ඉස්සෙල්ලාම නතර කරන්න ඕනි. රටේ රාළ හැමදාම ඕක කියනවා. පිටරට ඕනි කුණු ගොඩක් මේ රටට ගේන සමාගම්වලට, කොමිස්කාරයන්ට බදු සහන දෙන ආණ්ඩුව, එයාලට මිල වැඩිකිරීම් දෙන ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයා දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වැරදී.
අපේ රටේ වී ගොවියා වගේම සහල් මෝල් හිමියත් ආරක්ෂා වෙන්න ඕනි. ආණ්ඩුව හාල් මෝල් හිමියොත් එකක් එයාලගේ ප්‍රශ්නත් කතා කරන්න ඕනි.
මොකද හාල් මෝල් හිමියෝ මේ රටට කරන බලපෑම ආණ්ඩුව කරන්න බෑ. ඊට වැඩිය මේ ආණ්ඩුව දුර්වලයි. ඒක නිසා දැන් ආණ්ඩුව කරන්න ඕනි බොරු සද්ධ දාන එක නෙවෙයි. අනික ආණ්ඩුව කොච්චර සද්ධ දැම්මත් කවුරුත් දන්නවා ඒවා බොරු සද්ධ කියලා.
ආණ්ඩුව ෆේල් කියලා නොදන්නේ ජනාධිපතියි, අගමැතියි, කැබිනට් එකයි, ඔය රාජ්‍ය ඇමති සෙට් එකයි විතරයි. ඇත්තටම ආණ්ඩුව පිටරටින් හාල් ගෙනැල්ලා රටට කන්න දෙනවා කියන්නේ බොරුවක්. ඒ ආණ්ඩුව මෝල් හිමියන් බය කරන්න කියන කතා. හැබැයි ආණ්ඩුව දන්නේ නැති උනාට මෝල් හිමියෝ ඒක දන්නවා.
ආණ්ඩුවට සල්ලි නැතිව ලෝකේ වටේ හිගා කනවා කියලා කවුද අනේ නොදන්නේ. රටේ රාළට ඩඩ්ලිලාව ආරක්ෂා කරන්න ඕනිත් නෑ. ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනිත් නෑ. රටේ රාළ හැමදාම ගොවියා, පාරිභෝගිකයා වගේම දේශීය ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී හිටියා.
අදත් රටේ රාළ ආණ්ඩුවට කියන්නේ ගොවියා, මෝල් හිමියා හා පරිබෝගිකයා අතර තියෙන මේ ආහාර දාමය කඩන්න එපා. මේ එක තැනකට ගැහුවොත් ඔටෝ අනිත් තැනට වදිනවා. අවසානයේ වදින්නේ අසරණ ගොවියට.
ගොවියාගේ වගකීම ගන්න බැරි ආණ්ඩුවක් මේක. ගොවියා ගොවිකමෙන් ඈත් කරන පාප කර්මය නං කරන්න එපා. ඒක නිසා මේ පුරුක් තුන ශක්තිමත් කිරීම තමයි ආණ්ඩුවේ වගකීම. ඒකට සාධනීයව මැදිහත් වෙන්න. කොටින්ම කිව්වොත් දේශපාලන පලිගැනීම් මේක ඇතුළට ගේන්න එපා.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.
ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
THE LEADER TV
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා !
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ