ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ ජනප්‍රිය වගේම ආකර්ශනීයම සටන් පාඨය තමයි එක රටක් එක
නීතියක් කියන සටන් පාඨය. එදා පොහොට්ටු සාමාජිකයෝ විපක්ෂයට දමලා ගහපු ප්‍රභලම අවිය උනේ ඒක.
 
හැබැයි ගෝඨාභය ජනාධිපති වෙලා දැනට ගෙවිලා තියන අවුරුදු දෙකක කාලය ඇතුළේ ඒ සටන් පාඨ තරම් හෑල්ලු උන සටන් පාඨයක් තවත් නැතිව ඇති. අද එක රටකුත් නෑ. එක නීතියකුත් නෑ. තියෙන රට ඉන්දියාවට, ඇමරිකවට, චීනෙට බෙදලා දීලා ඉවරයි. ඕනි නං තව පොඩ්ඩක් ඉතුරු වෙලා ඇති. 
 
තියෙන නීතිය නමන්ඩ පුළුවන් හැම තැනින්ම නමලා වලපල්ලට යවලා ඉවරයි.
 
ඒක නිසා අද විපක්ෂය ආණ්ඩුවට ගහන ප්‍රධානම අවියත් එක රටක් එක නීතියක්ම තමයි. 
 
කොහොම හරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පහුගියදා අනුරාධපුර සාලියපුර කදවුරේදී කිව්වේ මේ අවුරුද්ද ඇතුළත එක රටක් එක නීතියක් හදලා පෙන්නනවා කියලා. දූෂණය සම්පූර්ණන්ම පිටු දකිනවා කියලා. 
 
ඔයාලට මතක ඇති එදා රටේ රාළ ඇහුවා මේ කැබිනට් මණ්ඩලය තියාගෙන කොහොමද දුෂණය පිටු දකින්නේ කියලා? මේ කැබිනට් මණ්ඩලය තියාගෙන කොහොමද එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්නේ කියලා? රටේ රාළගේ ඒ තර්කය තවමත් වලංගුයි.
 
ඊයේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා. ඒකේ සභාපති බවට ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ පත් කළා. ඇත්තටම ඒක ජනාධිපතිවරයාට තියෙන ව්‍යවස්ථාමය අයිතියක්. ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. 
 
හැබැයි ජනාධිපතිවරයා ඒ බලය පාවිච්චි කරන්න ඕනි එයා නියෝජනය කරන ජනවරමේ අභිලාශයන් ඇතුළේ.
ඊළඟට ජනාධිපතිවරයා කියන වගකීමට පත් උනාට පස්සේ එතුමා රටේ සමස්ථ ජනතාවට වගකියන සදාචාරමය බැදීම ඇතුළේ ඉදන්.
 
ඒ සීමා එක්ක හිතද්දී නම් ඥාණසාර හාමුදුරුවෝ මේ කාර්යය සාධක බලකායේ සභාපතිකමට පත් කිරීමෙන් ජනාධිපතිතුමා කරලා තියෙන්නේ තමන් ඉදිරිපත් කරපු සටන් පාඨය තමන් විසින්ම ඉරලා කුණු බක්කියට වීසි කරන එක විතරයි.
 
අනික මෙතනදී ජනාධිපතිවරයා විසින්ම තමන් බරපතල හැල්ලුවකට ඇදලා දාගෙන තියනවා. තමන්ට දේශපාලන අද්දැකීම් නෑ කියලා පහුගිය දවසක ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කියලා තිබුණා. ඇත්තටම රටේ රාළට නං දැන් තියෙන්නේ ජනාධිපතිතුමා සම්බන්ධව ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක්. 
 
දේශපාලන අද්දැකීම් නැති උනත් ජනාධිපතිතුමාට හැගීම් දැනීම තියෙන්න ඕනි. ඇත්තටම ජනාධිපතිතුමාට සමාජ විඥාණය ගැන දැනෙන හැගීම නං Nill. දැන් නම් රටේ රාළගේ තක්සේරු එතුමාට බැනලා වැඩක් නෑ, වෛර කරලා වැඩක් නෑ. දැන් තියෙන්නේ එතුමාගෙන් වෙන්න පුළුවන් සමාජමය විනාශය තේරුම් ගනිමින් ඒවට කරන පිලියම් ගැන හිතන එක විතරයි.
 
 
මොකද මේවා ගැන දුක් වෙවී හිටියොත් දුකම තමයි. දැන් තියෙන්නේ තව අවුරුදු තුනකින් හරි, හෙට අනිද්දාට හරි දුක නැති කිරීමේ මාර්ගයක් ගැන හිතන එක විතරයි. මොකද ඥානසාර හාමුදුරුවෝ මේ තනතුරට පත් කිරීමෙන් වැඩිම හානිය වෙලා තියෙන්නේ එතුමාට. ගෝඨාභය එරෙහිව ගෝඨාභයම තමයි දැන් වැඩ කරන්නේ.
 
 
ඇත්තටම ජනාධිපතිතුමාට තිබ්බේ නීතිය සම්බන්ධව හසල දැනුමක් තියෙන හිටපු කීර්මත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් ඔය තනතුරට පත් කරන්න. ඒ වගේම නීති විශාරදයන් ප්‍රමාණය වැඩි කරපු කම්ටුවක් බවට ඒක පත් කරන්න. ඒ වගේම සමබර ජාතිකත්ව නියෝජනයක් මේකට ඇතුළත් කරන්න තිබුණා.
 
ඇත්තටම මේ කමිටුව පත් කරලා තියයෙන Angel එක දිහා බැලුවම දෙමළ කෙනෙකුට ප්‍රශ්නයක් එනවා කෝ අපිට නියෝජනයක් නෑනේ කියලා. ඥානසාර  හාමුදුරුවෝ දැක්ක ගමන් ඒ ප්‍රශ්නය මතුවීම වළක්වන බෑ. අනික ආගමික පසුබිම අනුව හිතුවත් බෞද්ධයා නියෝජනය කිරීමේ වගකීම ඥාණසාර හාමුදුරුවන්ට දෙන එක වැරදී. රටේ රාළ නං ඒකට තරයේම විරුද්ධයි. 
 
රටේ රාළගේ විග්‍රහයට අනුව නම් උන් වහන්සේ ඔය කාර්ය සාධක බලකායට ඇතුළත් කර ගන්න ඕනි චරිතයක් නෙවෙයි. ඊට වඩා හොදයි ජනාධිපතිතුමාට එක රටක් එක නීතියක් කියන සටන් පාඨ ආයෙත් මතක් කරලා දුන්න අර රුවන් වැලි සෑය ලගදී හම්බ උනා පොඩි හාමුදුරුවෝ ඕකට ඇතළත් කළා නං.
 
මොකද පහුගිය කාලේ ඥාණසාර හාමුදුරුවෝ නියෝජනය කළේ සිංහල බෞද්ධයා නං නෙවෙයි. ඒ ලේබලය ගහගෙන ඉන්න ඇති. හැබැයි ලේබලය ගහ ගත්ත පලියට යමක් නියෝජනය කරන්න බෑ. ඔය ජාතික කොඩිය අතේ තියාගෙන දේශප්‍රේමය කියව කියවා රට විකුණන අය ඕනි තරම් ඉන්නේ. එතකොට ජාතික කොඩිය අතේ තිබුණට, දේශප්‍රේමී කියලා ලේබල් ගහගෙන හිටියට ඒ අය දේශප්‍රේමීන් වෙනවද?
 
රටේ රාළත් හොද සිංහල බෞද්ධයෙක් නිසයි එහෙම කියන්නේ. රටේ රාළගේ සිංහලකමවත්, බෞද්ධකමවත් නියෝජනය කරන්න ඥාණසාර හාමුදුරුවන්ට බෑ. අඩුම ගානේ ඒක එක්ක හැරෙන්නවත් ඥාණසාර හාමුදුරුවන්ට බෑ. 
 
රටේ රාළගේ සිංහල බෞද්ධකම මේ රටේ අනිත් ජාතිකත්වයන් දිහා, අනිත් ආගමක් දිහා හීනෙන්වත් අහිතකින් හිතන එකක් නෙවෙයි. රටේ රාළ අන්තවාදයට, ජාතිවාදයට විරුද්ධයි. දුටු තැන වැටෙන්න ගහනවා. ඒක දෙමළ ජාතිවාදයට, මුස්ලිම් අන්තවාදයට වගේම සිංහල ජාතිවාදයටත් එකයි.
 
  
සෑබෑ සිංහල බෞද්ධයා කවදාවත් අන්තවාදය නියෝජනය කළේ නෑ. හැබැයි කවුරු දන්නවා. ඥාණසාර හාමුදුරුවෝ පෝෂණය කළේ සිංහල ජාතිවාදය කියලා. ඇත්තටම ඒක සිංහල බෞද්ධකම ඉස්සරහට දාගෙන කරපු ත්‍රස්තවාදයක්, අවංකවම කිව්වොත් රටේ රාළගේ විග්‍රහයට අනුව නං ඥාණසාර හාමුදුරුවෝ කියන්නේ සහරාන්ගේ සිංහල පිටපත. බෞද්ධ චන්ඩියෙක්.
 
 
මේ සමාජය ජාතිවාදයට ඇදගෙන යන්න ඥාණසාර හාමුදුරුවෝ, සහරාන් හෂීම්ලා, වේලුපිල්ලේ ප්‍රභාකරන් කළේ එක සමාන වැඩ කොටසක්.  ඇත්තටම විමල්ලත් ඒ දේ කළා හැබැයි. කොච්චර උනත් ඔච්චර කළේ නෑ. 
 
එක කාලයක හලාල් ප්‍රශ්නය ඇදගෙන ඥාණසාර හාමුදුරුවෝ නටන වෙලාවේ ඒක වහන්න රටේ රාළලා 13 න් එහාටද මෙහාටද කියන සම්මන්ත්‍රණ තේරුවා. ඇත්තටම ඒක කළේ ඥාණසාර හාමුදුරුවෝ ඇතළු කණ්ඩායම මේ රට ජාතිවාදයට ඇදගෙන යන එක නවත්තන්න.
 
දේශපාලන වශයෙන් රටේ රාළ හා ජවිපෙ අතර මොන ගැටුම තිබුණත් එදා ජවිපෙත් මේ සමාජය ජාතිවාදයට ඇදගෙන යන්න එක නතර කරන්න ලොකු වැඩ කොටසක් කළා.
 
පහුගිය කාලේ ඒ කියන්නේ ගෝඨාභය ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා එයාට ආපු ලොකු චෝදනාවක් තමයි බොදු බල සේනා සංවිධානය පිටිපස්සේ ඉන්නේ එයා කියන චෝදනාව. ඒක රටේ රාළ කරපු චෝදනාවක් නෙවෙයි. පස්සේ කාලෙක ඩිලාන්ලා, එස්.බීලත් ඒ චෝදනව දිගටම කළා. එදා එහෙම නෑ, ගෝඨාභයයි, බෞදු බලසේනාවයි අතර කිසිම සම්බන්ධයක් නෑ කියන්න රාජපක්ෂලා කොච්චර නං උත්සහ කලාද? 
 
හැබැයි අද ඊට අවුරුදු තුන හතරකට පස්සේ ජනාධිපතිවරයා ඔප්පු කරලා තියනවා ඒ චෝදනාව ඇත්ත කියලා. ඇත්තටම ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ජාතිවාදියෙක් කියලා Brand වෙච්චි චරිතයක්. 
 
  
එදා ඥාණසාර හාමුදුරුවොයි, ගෝඨාභයයි අතර කිසිම සම්බන්ධයක් නෑ කියන්න බලපාපු එක කාරණයක් තමයි ඒ වෙනකොට මහින්ද ආණ්ඩුවට එල්ල වෙමින් තිබුණ ජාත්‍යන්තර පීඩනය.ඒ ඔය ඥාණසාර හාමුදුරුවෝ ඇතළු සමහරු නටපු පිස්සු නාඩගම් හින්දා නෙවෙයිද? අද ජනාධිපතිවරයා ඒ සම්බන්ධය ජාත්‍යන්තරයටත් නිරාවරණය කරලා ඉවරයි.
 
 
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතලා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළා එකට වැඩකරන්න. ඇත්තටම ඒ ආරාධනාව හොද එකක්. හැබැයි අද ඒ ආරාධනාව කරපු ජනාධිපතිවරයාම ආයෙත් ලෝකයට පෙන්නලා ඉවරයි තමන් නියෝජනය කරන්නේ සිංහල ජාතිවාදී ස්ථාවරය කියලා.
 
ඒ කියන්නේ ජනාධිපතිතුමා ලෝකයට කියන කතාවට හාත්පසින්ම වෙනස් භාවිතාවක තමයි යෙදිලා ඉන්නේ. හරියට අර උද්ඝෝෂකයන්ට උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් හදලා දීලා තියනවා කියලා ලෝකෙට කිව්ව කතාව වගේ. එහෙම බෝඩ් එකක් දාපු තැනක් නං තියනවා තමයි හැබැයි එතෙන්ට ගිගහම පොළීසියෙන් ගහලා එලවනවා.
 
මේවගේ කතා හා භාවිතය අතර ගැටුමෙන් එතුමාගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට වෙන හානිය බරපතලයි. ඒත් ඒක එතුමා විසින් කර ගන්න හානියක් නිසා කරන්න දෙයක් නෑ. රටේ රාළට නං තියෙන්නේ එතුමා අපේ රටේ ජනාධිපති විදිහට ඔය හානිය කර ගැනීමේ දුක විතරයි. 
 
ඇත්තටම මේ තේරීම් විසින් ආණ්ඩුවට තිබුණ සොච්චම් සුළු ජාතික ඡන්ද පදනමත් නැතිවෙලා යනවා. ඒ අර්ථයෙන් හිතුවාම මේක උද්දච්ච තීරණයක් නෙවෙයි මෝඩ තීරණයක්. 
 
ඊළඟට ඥාණසාර හාමුදුරුවෝ කියන්නේ මේ රටේ නීතියට බරපතල විදිහට අභියෝග කරපු කෙනෙක්. බරපතල විදිහට නීතිය උළ්ලංගණය කරපු කෙනෙක්. අවස්ථා කීපයකදී නීතිය ඉදිරියේ වැරදිකාරයා උන කෙනෙක්. ඒකෙන් බරපතලම වරද තමයි අධිකරණයට අපහාස කිරීම. 
 
උන් වහන්සේ ඒ චෝදනාවට වැරදි කාරයා උනා. උන් වහන්සේ නිදහස් උනේ ජනාධිපති සමාවකින්. ඒ කියන්නේ දේශපාලන මැදිහත් වීමකින්. එකෙන් නීතිය ඉස්සරහා උන් වහන්සේ කරපු වරද නිවැරදි වෙන්නේ නෑ. ඒ අර්ථයෙන් හිතුවොත් හෙට ජනාධිපතිතුමා ඔය කමිටුවට දුමින්ද සිල්වා පත් කලත් පුදුම වෙන්න දෙයක් නෑ. 
 
ඒකෙන් රටේ රාළ කියන්නේ කෙනෙක් හැමදාම වැරදි කාරයෙක් වෙන්න ඕනි කියන එක නෙවෙයි, කෙනෙකුට තමන්ගේ වැරදි හදාගෙන හොද මිනිහෙක් වෙන්න බෑ කියන එකත් නෙවෙයි. 
 
හැබැයි මෙතනදී නං උනේ එහෙම දෙයක් නෙවෙයි. ඥාණසාර හාමුදුරුවන්ගේ වැරදි හා ජාතිවාදී ස්ථාවරයන් වෙනස් උනේ නෑ. උනේ ඒවා ඉදිරියේ රාජ්‍ය නායකයෝ දණ ගැසීම විතරයි. ඒ වෙන්නේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් මිසක් රටට වැඩදායී දෙයක් වෙනුවෙන් නෙවෙයි.
 
ඒක නිසා හෙට දවසේ රතන හාමුදුරුවෝ වෙනුවට ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුව එන්නත් බැරි නෑ. මොකද එක රටක් එක නීතියක් නෙවෙයි එක මන්ත්‍රීකක් බෙදාගන්න ඔය හාමුදුරුවරු කට්ටිය මාරා ගත්ත හැටි දැක්කම ඇත්තටම මේයාලා භික්ෂුත්වයට සුදුසුද කියන ප්‍රශ්නයත් බරපතල විදිහට මතුවෙනවා.
 
සමහරවිට ජනාධිපතිවරයා හිතනවා ඇති තමන්ගෙන් ගිහිලිහිලා යන සිංහල බෞද්ධ ඡන්ද පදනම රැක ගන්න ඥාණසාර හාමුදුරුවෝ ලගට ගැනීම හොද උත්තරයක් කියලා. අද තමන්ව දාලා යන්ඩ, නැත්තං එලවන්න ලෑස්ති වෙලා ඉන්න විමල් ඇතුළු කණ්ඩායම වෙනුවට මේක හොද උත්තරයක් කියලා. 
 
  
දැන් සමහරවිට විමල්ලාට ජාතිවාදීන් කියපු ආණ්ඩුවේ සමහර න්‍යායාචාර්යවරුන්ට ඥාණසාර හාමුදුරුවෝ සුපේක්ශල ශික්ෂාකාමී, උජිපටිපන්න ගුණයෙන් අග තැන්පත් භික්ෂූන් වහන්සේ නමක් විදිහට පෙන්න පටන් ගනී.
 
 
ගොඩක් අයට එහෙම කවි සිතුවිලිත් ගලාගෙන එයි. ඒත් හෘද සාක්ෂියට එකඟව හිතුවොත් රටේ රාළ මේ කියන කතාව නෙවෙයිද තිත්ත ඇත්ත? රටේ රාළ ඉල්ලන්නේ ඥාණසාර හාමුදුරුවෝ පෙරවාගෙන ඉන්න බුද්ධ චීවරය ඇතුළ විනිවිද දකින්න පුළුවන් නම් ඇතැළේ ඉන්නේ කවුද කියලා බලන්න පුලුවන්.
 
ඇත්තටම තවදුරටත් මේ රටේ එක රටක් එක නීතියක් සංකල්පය යථාර්ථයක් කරන්න ඔය වැරදි ක්‍රමවලින් බෑ. ඒක එක ජාතිවාදී කණ්ඩායමකට කප්පම් දීලා කරන්නත් බෑ. එක රටක් එක නීතියක් ඕනි සිංහල බෞද්ධයන්ට විතරයක් නෙවෙයි. ඒක දෙන්නත් මෙයාලට බෑ.
 
  
එක රටක් එක නීතියක් අපේ රටේ හැම ජන කොට්ඨාශයකටම ඕනි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන හැම ජාතිකත්වයකටම ඕනි. එක රටක් එක නීතියක් කියන සංකල්පය ගැට ගැහෙන්න ඕනි ජාතික සමගියේ සටන් පාඨයත් එක්ක. දූෂණ විරෝධී සටන් පාඨයත් එක්ක. 
 
 
ඒක නිසා රටේ රාළ නං ඉල්ලන්නේ වැරදි අත්හදා බැලීම් කරලා අතපුච්ච ගන්න එපා කියලා. ඊට වඩා තමන්ගේ බැරිකම තේරුම් අරගෙන මේ යන විදිහට යන්න.  අනාගතයේ දවසක එක රටක් එක නීතියක් සංකල්පය යථාර්ථයක් කරගන්න බැරියර් නං දාන්න එපා.
 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
2021 - ඔක්තෝම්බර් 28
 
 
 
 
 

THE LEADER TV 
 
රට නං ඉවරයි වහ බොමු1 | මොණරවිලගේ ලියමන
 
 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්