මේ සතියේ මට වැඩ කටයුතු අධික විය. ඒ නිසා මානිගෙ තීරැව ලිවීමට ඉඩක් ලැබුණේ නැත. ඒ බව පත්තරේ කර්තෘවරයාට දැනුම් දුන්නේ ඔහු නෑ, බෑ බාරනොගන්නෙකු බව මතක නැතුවය.


"වෙනදට ඔහොම බිසී වුණාම කරන වැඩේ මේ සුමානෙත් කරන්න "

එනිසා වෙනදාට ලියාගන්නට බැරි වූ විට කරන වැඩේ මෙවරද කරන්නට සිදුවිය .(මේ ගැන නොදන්නා කෙනෙක් වෙත්නම්) ඒ පුතාගේ දිනපොතෙන් දින සටහන් කීපයක් උපුටා ගෙන මානිගෙ තීරැව හැටියට පළකිරීම බව සඳහන් කරනු කැමැත්තෙමි .


සඳුදා:


ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ව වන් කන්ට්‍රි වන් ලෝ කාර්ය සාධක බළකායේ සභාපති හැටියට පත්කිරීම ගැන අපේ අම්මට හොඳටම ඩෝං ගිහින්.  

උසාවියට අපහාස කිරීම ගැන දඬුවම් ලබල හිරේ ගිහින් ජනාධිපති සමාවකින් ගෙදර ආපු (වැරදුණා, පන්සලට ආපු) උන්නාන්සේව මෙහෙම තනතුරකට පත්කිරීම අධිකරණයට කළ නින්දාවක් යැයි අම්මා තදින් කියා හිටියා.

තාත්තා නම් කියන්නෙ ඒ පත්වීමේ කිසිම වැරැද්දක් නැහැ කියලයි. තාත්තා කියනව ස' රටේ තනතුරු වැඩි හරියකට පත් කරල තියෙන්නෙ හමුදා ප්‍රධානීන්නෙ කියල.

ඒත් මේ හමුදා ප්‍රධානියෙක් නෙවෙයිනෙ, හාමුදුරු කෙනෙක්නෙ කියල අම්මා මතක් කරා. තාත්තා හිනාවෙලා කිව්වා ඔයැයිට අමතක වුණාද උන්නාන්සේ බොදු බල සේනාවෙ ප්‍රධානියා කියල.



අඟහරුවාදා:


මහා සංඝරත්නයට බුදුහාමුදුරැවොවත් දීපු නැති තනතුරු අපේ ජනාධිපතිතුමා දීගෙන දීගෙන යනව. අම්මා හිනාවෙනව ඉස්සර නායකයො නම් හාමුදුරු කෙනෙකුගෙ කටවහන්න ඕන වුණාම දුන්නේ බෙන්ස් කාරෙකක්, ඒත් මේ ජනාධිපතිතුමා දෙන්නෙ විශ්ව විද්‍යාලෙ කුලපතිකමක් කියල.

එතකොට තාත්තා කියනව අපේ ජනාධිපතිතුමාත් වාහනයක් දෙන්න තමයි ඉඳල තියෙන්නෙ, ඒත් පස්සෙ දැනගෙන තියෙනව දෙමටගොඩ රුවන් කියන මහෝපාසකයා දැනටමත් පන්සලට වෙසල්ලෙකක් දීල කියල. ඒ නිසා තමයි කොළඹ විශ්ව විද්‍යාලෙ කුලපති කම දුන්නේ කියල.

මේ වෙලාවෙ අම්ම ඇහුව කොළඹ විශ්ව විද්‍යාලෙ ඉගෙනගත්තු ඔයාගෙ සහෝදරයොන්ටයි අපේ පුතාටයි මේ උන්නාන්සේගෙන් උපාධි ගන්න වුණා නම් ඔයාට සතුටුද කියල.

තාත්තා කියනව ඒ කොහොම වුණත් උන්නාන්සේට ගැලපෙනම තනතුර තමයි ඔය දීල තියෙන්නෙ කියල. ඒ කොහොමද ඇහුවම තාත්තා කියනව විශ්ව විද්‍යාලෙ එවුන් කරන්නේ ඉගෙනගන්නව වෙනුවට අයිතිවාසිකම් ඉල්ලීමමනෙ,මේ හාමුදුරැවොත් සිවුරක් දාගෙන කරේ ඒකමනෙ කියල.



බදාදා:



මේ සතියේ අපේ බෞද්ධ ජෝඩුවගෙ ප්‍රධාන මාතෘකාව ගලගොඩඅත්තේ හා මුරැත්⁣⁣⁣තෙට්ටුවේ. තාත්තා නම් වෙලාවකට රාජපක්ෂ ආණ්ඩුව වගේ. පිස්සු කෙළිනව. ඊට පස්සෙ ඒක සාධාරණීකරණය කරන්න එලෝමෙලෝ නැති ලොජික් දානව.

තාත්තා කියනව අම්මට ජනාධිපතිතුමාගෙ පත්කිරීම් ප්‍රශ්න කරන්න කාටවත් බැරිලු. උන්නැහේට අභිමතානුසාරී බලයක් තියෙනවලු ඕන මගුලක් කරන්න. ඒක මහජනතාව විසින් දීපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරපු බලයක්ලු.

අපේ තාත්තා විතරක් නෙවෙයි අම්මත් අකුරු කරන්න කියවල තියෙන්නෙ කුමාරොදය නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනෙ. අම්මා කියනව තාත්තා ඔය වමාරන්නෙ බැසිල් රාජපක්ෂ කියපුවනෙ කියල.  

බැසිල් එහෙම කිව්වට ඒකාධිපතියො වගේ වැඩකරන්න රාජපක්ෂලට ජනතාව බලය දීල නැහැලු. ජනතා පරමාධිපත්‍ය තියෙන්නෙ අපේ අතේ නිසා ජනාධිපතිගෙ අභිමතානුසාරී බලය තියෙන්නෙ අපි කැමති දේවල් කරන්න විතරලු.

කොටින්ම ඔය සංඝයා වහන්සේලා දෙන්නගෙ පත්වීම්වලට රට්ටු විරුද්ධ නිසා ඒ පත්කිරීම් සපුරා වැරදිලු. මේ වැඩවලින් තේරෙන්නෙ ආණ්ඩුවට තියෙන ජනතා විරෝධය ගැන අබමල් රේණුවක දැනීමක් ඒ ගොල්ලන්ට නැහැ කියලලු.

කවුරුවත් දන්නෑනෙ මොරටුවෙ අහුමුල්ලක මේ වගේ ආණ්ඩුක්‍රම විශාරදයො දෙන්නෙක් ඉන්නව කියල.



බ්‍රහස්පතින්දා:



පොහොට්ටුවේ පස්වැනි සංවත්සර රැස්වීමෙන් පස්සෙ අපේ තාත්තා අම්මගෙන් අහනවා කොහොමද මහින්ද මහත්තයා විනාඩි ගානකදි ආණ්ඩුව ගොඩ දාපු ගොඩ දැමිල්ල කියල. ඒකෙන් නවතින්නෙ නැතුව අහනව මතකනෙ ජනාධිපතිතුමා සැරයක් විනාඩි 69ක් ජාතිය අමතල ඇණගත්තු ඇණගැනිල්ල කියල. ගෝඨාට වගේ නෙවෙයි මහින්දට මේ රටේ ජනවිඥානය වැටහෙනවලු. ආණ්ඩුවට තියෙන අප්‍රසාදය උන්නැහේට නම් හොඳට තේරෙන බව ඒ කතාවෙන්ම පේනවලු.

ඒ කතාව අහල අම්මට හිනා. ලොක්ක නම් නෝටි, ලොක්කගෙ අයියා නම් නයිස් වගේ කතා හොඳයි දාර බයියන්ට හිත හදාගන්න. හැබැයි ආණ්ඩුව ගොඩ දාගන්න නම් ඒ කතා පිටපත මදිනෙ කියල අම්මා කියනව.



සිකුරාදා:


අපේ අම්මා බනිනව රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි පාටි දාන්න පොහොට්ටුකාරයොන්ට ලැජ්ජ නැද්ද කියල. කිරිපිටි නෑ, සීනි නෑ,ගෑස් නෑ. තියෙන බඩුත් දෙතුන් ගුණයක් ගණන් ගිහින්. මිනිස්සුන්ට කෙළවෙලා තියෙන ජොලියටද ආණ්ඩුව ප්‍රීති උත්සව පවත්වන්නෙ කියල.

තාත්තා කියනව අලුත් පක්ෂයක් පිහිටුවල අවුරුදු පහක් යනකොට ජනාධිපති කෙනෙක් පත්කරල ආණ්ඩුවක් පිහිටවපු වාර්තාව වෙනුවෙන් උත්සවයක් පැවැත්වීම පට්ට සාධාරණයිලු.

අම්මට ඒක අහල මල පැන්න. උන්දැ කියනව පොහොට්ටුකාරයො එක්කො ඉතිහාසය දන්නැතිලු. නැත්නම් රාජපක්ෂලගෙන් තොර ඉතිහාසයක් නෑ කියල අපිව බ්‍රේන් වොෂ් කරන්නලු හදන්නෙ.

අපි දෙන්නම ඇහුව මොකක්ද ඒ කතාවෙ තේරැම කියල. ඈ කියනව 1946 දි පිහිටවපු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටෙව්වලු එක අවුරැද්දෙන්. ඉතින් අවුරුදු පහෙන් ආණ්ඩුවක් පිහිටවීම වාර්තාවක් කියන්නෙ කොහොමද කියල. දැන් යූඑන්පීකාරයො රටේ නැති නිසා වෙන්නැතිලු කටක් ඇරල පොහොට්ටුකාරයොන්ට ඕක කියන්න එකෙක් නැත්තෙ. ටික දෙනෙක් හැමදාටම ඇන්දුවට, හැ⁣මෝම ටික දවසකට ඇන්දුවට, හැමෝම හැමදාටම අන්දන්න බෑලු.

 

 

Mani 2021 1

(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(Sundara Nihatamani De Mel ගේ ෆේස්බුක් පිටුවෙන්..)
6 November


 

THE LEADER TV
 

කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !



යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්