ජනාධිපති ගෝඨාභයගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂපූර්ණය යෙදී තිබුණේ ඊයෙට. ඒ කියන්නේ ජනාධිපතිතුමාට තියෙන්නේ තව අවුරුදු තුනයි. මෙතනින්

එහාට ගමන කොහොමද කියන්න නං දන්නේ දෙයියෝ තමයි.

හැබැයි කොහොම උනත් එකක් කියන්න පුළුවන්. ගමන නං සුභ නෑ රජෝ. ගමන අති දුෂ්කරයි.

ඒක නිසා රටේ රාළ ජනාධිපතිතුමාට යෝජනා කරනවා මේ ආපු අවුරුදු දෙක දිහා යථාර්ථවාදීව ආපහු හැරිලා බලන්න කියලා. ඕන්නං මෙහෙම හිතාගෙන ආපහු හැරිලා බැලුවත් කමක් නෑ. සිංහයෙක් දුර ගෙවාගෙන උස් කදු මුදුනකට ආවට පස්සේ නැවත තමන් ආපු මග දිහා හැරිලා බලනවා. එතකොට සිංහයාට පේන දර්ශණයට කියන්නේ සිංහාවලෝකනය කියලා. මේකත් එහෙම එකක් කියලා හිතාගෙන බැලුවත් කමක් නෑ.

මොකද ආපු ගමන ගැන ස්වයංවිවේචනාත්මකව ආපහු හැරිලා බලන්න කිව්වොත් ගොඩක් වෙලාවට ඒක දිරවන එකක් නෑ. අන්තිමට කට්ටිය රටේ රාළත් ජෙප්පෙක් කරලා තමයි පස්ස බලන්නේ. ජනාධිපතිතුමා හරි ක්‍රමයට ආපහු හැරිලා බලනවා නං අඩුම ගානේ ඉතිරි අවුරුදු තුන දුෂ්කර උනත් අවබෝධයෙන්වත් යන්න පුළුවන් වෙයි. ඇත්තටම ඒකට ඕනි නිහතමානී ආපසු හැරී බැලීමක්.

එහෙම නැතිව මම තමයි හොඳටම කළේ කියලා හිතාගෙන ආපහු හැරිලා බෑලුවොත් නං ආයෙත් වරදිනවා. ජනාධිපතිගේ වචන තමයි නීතිය කියන උද්දච්ච මනසින් බැලුවොත් නං ඒත් වරදිනවා. රටේ රාළ ගැන අහිතක් හිතුවත් කමක් නෑ. රටේ රාළ මේ කරන්න හදන්නේ ජනාධිපතිතුමාට උදව්වක්.

ඇත්තටම ජනාධිපතිතුමා ගත කළ මේ අවුරුදු දෙක ගැන අපිත් සාධාරණව හිතන්න ඕනි. ඒක සාධාරණ විග්‍රහක් වෙන්නත් ඕනි. රාජපක්ෂලා ගැන රටේ රාළට තියෙන දේශපාලන පිලිකුල පැත්කින් තියලා මෙතනදී ඒක කරන්න රටේ රාළ උපරිම උත්සාහ කරනවා.

2019 නොවැම්බර් 16 තිබුණ ජනාධිපතිවරණයෙන් ගෝඨාභයට ලක්ෂ 69 ක ජනවරමක් ලැබුණා. ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ 19 ක් ගත්තා. ඇත්තටම ගෝඨාභය ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දෙන්න ඇත්තේ නරක හිතකින් නෙවෙයි. රටට යමක් කරනවා කියන හැගීම එතුමා තුළ තියෙන්න ඇති.

ඒ වගේම තමයි එතුමා ජනාධිපති විදිහට ගත කරපු පහුගිය අවුරුදු දෙක කියන්නේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ලෝකේ ඇති උන දුෂ්කරම කාල පරිච්ඡේදය. මුළු ලෝකයේම ආර්ථික කඩා වැටුනා. සෘණ අගයක් දක්වා කඩාවැටුණා. කොරෝනා වසංගතය ඉස්සරහා ලොකයේ ආර්ථිකය කඩාගෙන වැටුනා විතරක් නෙවෙයි ලෝකයම අමු සොහොන් පිට්ටනියක් උනා. ඒ අවධානම තවමත් සම්පුර්ණයෙන්ම පහව ගිහින් නෑ.

 

දැන් නිර්මාණය වෙලා තියෙන්නේ කොරෝනා එක්ක ගත කරන ලෝකයක්. කොරෝනාවලට ගැලපෙන විදිහට කළමණාකරණය කර ගත්ත ආර්ථිකයක්.  ඇත්තටම ගෝඨාභයටත් මේ නොසිතූ අභියෝගට මුහුණ දෙන්න උනා. ඒක තමයි ගෝඨාභයගේ පාලනයට එල්ල උන පළවෙනි මරු පහර. ඒක මාරාන්තිකයි. ඒ අභියෝගට ගෝඨාභය විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම රාජ්‍ය නායකයන්ට මුහුණ දෙන්න උනා.

 

අද ලෝක නායකයන්ගේ සාර්ථකත්වය මනින ප්‍රධාන මිනුම් දණ්ඩක් වෙලා තියෙන්නේ එයා කොහොමද කොරෝනා අභියෝගයට මුහුණ දුන්නේ කියන එක. ඒ අභියෝග ඉස්සරහා තමයි එයා පාස්ද ෆේල්ද කියලා තීරණය කරන්නේ. ඇත්තටම ඒක හොඳ තක්සේරුක්. ගෝඨාභයත් ඒ විනිශ්චයට භාජනය වෙලා.

ගෝඨාභය කියන චරිතය රාජපක්ෂලා එක්ක සංසන්දනය කරද්දී ගොඩක් සමානකම් වගේම ගොඩක් වෙනස්කම් තියෙන චරිතයක්. ඒවා ගැනත් දේශපාලනයේදී අවධානය යොමු කරන්න ඕනි. නැත්තං ඒ දේශපාලන විග්‍රහ පරිපූර්ණ නෑ. ඇත්තටම ගෝඨාභය කියන්නේ ගොඩක් චාම් ගති පැවතුම් තියන පුද්ගලයෙක්.

 

අපේ රටේ මේ දක්වා පත් උන ජනාධිපතිවරුන්ගෙන් තමන් වෙනුවෙන් වෙන් කරන මහජන මුදල් අඩුවෙන්ම වැය කරන ජනාධිපතිවරයා ගෝඨාභය. ගෝඨාභය ජනාධිපතිගේ සීමාවෙන් පිට රාජ්‍ය මුදලක් පරිහරණයෙන් කරන්නේම නැති තරම්. නිල නිවාස, අසීමිත නිල වාහන, විදේශ සංචාර, තමන්ගේ පවුලේ වැය බර. අඩුම වශයෙන් ආර්යාවගේ වැය බරවත් රට මත පටවලා නෑ. ඒක රටේ නායකයෙක් සතු වෙන්න ඕනි වැදගත්ම ගුණාංගයක්.

 

ඊළඟට ලංකාවේ දූෂිතම ආණ්ඩුව ගෝඨාභයගේ ආණ්ඩුව කියලා ඉතිහාසයේ ලියවෙන එක දැන් නතර කරන්න බැරි තරම්. ඒක බැරිවෙලාවත් දෙවෙනි උනොත් දෙවෙනි වෙන්නේ 2010/2015 මහින්දගේ ආණ්ඩුවට විතරයි.

හැබැයි ජනාධිපති විදිහට ගෝඨාභය මේ කාලපරිච්ඡේදය ඇතුළේ දූෂණ චෝදනා එල්ල වෙලා නෑ. තමන්ගේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අති බහුතරයකට දුෂණ චෝදනවා එල්ල වෙලා. ඒ වගේ තත්වයක් ඇතුළේ අද ගෝඨාභය කියන්නේ තමන්ගේ තමන්ගේ කැබිනට් මණ්ඩලය ඇතුළේ දූෂණයට එරෙහිව හුදකලා සටනක් කරන නායකයෙක්.

තවත් කාරනයක් ගෝඨාභය සම්බන්ධව කියන්න ඕනි. ඇත්තටම කොරෝනා රැල්ල ආරම්භයේදී ගෝඨාභය සාර්ථක උනා. හැබැයි මැදදී අසාර්ථකයි. ඒත් එක තැනකදී ඒක හරි පීල්ලට දාගන්න ආයෙත් ගෝඨාභය සමත් උනා. ඒ වගේම එතෙන්ට එනකම් ලොකු විනාශයකුත් උනා.

ඒත් ගෝඨාභයගේ සීග්‍ර එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා ඇත්තටම කොරෝනා සැලකියුතු මට්මකින් පාලනය උනා. අද ලෝකයේ එන්නත් කරණය අතින් රටක් විදිහට අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ ගෞරවය ජනාධිපති විදිහට ගෝඨාභයට, කොච්චර උනත් පවිත්‍රාටත් ඒ ගෞරවයේ පංගුවක් තියනවා. සෞඛ්‍ය අංශවලට වගේම ත්‍රිවිධ හමුදාවටත් තියනවා.

කොහොම උනත් ඒවා තුළ දැඩි වංචා දූෂණ සිද්ධ උන බව මුළු රටේම ඇස් පනාපිට දැක්කා. ආණ්ඩුවේ ගජ මිතුරන් නිරෝධායනයෙන්, ඇන්ටන්ජන් කට්ටලයෙන්, PCR කට්ටලයෙන්, ඒ පරීක්ෂණවලින් හොදට ගැහුවා. ඒවා ගැන ජනතාව සාප කලා. සමහරවිට ඒ චෝදනා ජනාධිපතිට අදාළ නැතිව ඇති. ඒත් ජනතාව සාප කළේ එතුමාට.

ඇත්තටම ඔය කියපු කාරනා ඇර වෙන කියන්න දෙයක් ගෝඨාභය ගැන ඉතුරු වෙලා නෑ. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ අවුරුදු දෙක ඇතුළේ ආණ්ඩුව 70% ක් අසාර්ථකයි. ඒක හින්දයි රටේ රාළ කියන්නේ ජනාධිපති ගෝඨාභය තමන් පසුකරගෙන ආපු වසර දෙක දිහා යථාර්ථවාදීව බලන්න ඕනි කියලා.
නැත්තං මේ ඉතිහාසය තුළ අසාර්ථකම රාජ්‍ය නායකයා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් වෙන එක නවත්තන්න බෑ.

අද මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ ඔන්න මෙන්න. ඇත්තටම දැනටමත් අපි බංකොලොත්. ලබන අවුරුද්දෙ පළවෙනි කාර්තුව කියන්නේ බරපතලම ආර්ථික අර්බුදයක්. අඩුම ගානේ මෙච්චර කල් අපි හදාගත් ආහාර ටිකවත් දැන් අපට හදාගන්න බෑ. ඇත්තටම ඒකට වගකියන්න වෙන්නේ ජනාධිපතිවරයා වැරදි විදිහට ආදේශ කරපු කාබනික පෝර ප්‍රතිපත්තිය. කොච්චර හොඳ දෙයක් උනත් ඒක ආදේශ කරන්න ඕනි ප්‍රායෝගික විදිහට. පස්මහ බැලුම් බලලා.

රටේ රාළ කියන්නේ ඊළඟ සිංහල අවුරුද්දත් එක්ක සාගතයක් එන එක වළක්වන්න දැන් බෑ. ඇත්තටම ලබන අවුරුද්ද ආරම්හයත් එකක් මේ රටේ ජනතා නැගිටීමක් වෙනවා. අනික තමයි මේ රට වෙලාගෙන තියෙන දූෂණය. ඒක දෙගුණ තෙගුණ වෙලා. හැම තැනම හොරකම රජ වෙලා. හැම දේකින්ම හොරකම් කරනවා. ඒකට කැබිනට් මණ්ඩලයේ ඉදන් පහලට චෝදනා එල්ල වෙනවා.

 

අද එකම හොරු රැලක් තමයි මේ රට පාලනය කරන්නේ. ඒක බොරුවක් නෙවෙයි. අද මේ රටේ නීතිය බවට පත්වෙලා තියෙන්නේ හොරකම, අද අත්තඩංගුවට ගන්නේ හොරකම පෙන්වා දෙන මිනිස්සු. මේ රටේ පොළීසිය අද කරන්නේ හොරු ආරක්ෂා කරන එක. නීතිපති දෙපාර්තමේන්තුව, පාරිභෝගික අධිකාරිය, වගේම අල්ලස් කොමිසම කරන්නෙත් ඒක. ඇත්තටම ජනාධිපතිතුමා කරන්නෙත් දැන හෝ නොදැන ඒ හොරු ආරක්ෂා කරන එක.

 

අද ජනාධිපති මේ මහා හොර ජාලය ඉස්සරහා අසරණ උන ලිලිපුට්ටෙක් වෙලා ඉවරයි. පහුගිය දවසක Pandora Papers වලින් හෙළි උන වංචාව සම්බන්ධව තමන්ට මාසයක් ඇතුලත වාර්තාවක් දෙන්න කියලා ජනාධිපති අල්ලස් කොමිසමට නියෝග කළා. ඒවට මොකද උනේ. තවම නිරූපමා අල්ලස් කොමිසමට ගේන්න ගන්න බෑ. ඉතින් ඕක ඔතනින්ම ඉවරයි කියලා ජන මනසට ගිහින් තියෙන්නේ. ජනාධිපති ඒ ගැන හොයන්න ඕනි. නැත්තං හොරු ආරක්ෂා කරනවා කියන චෝදනාවෙන් ගැලවෙන්න එතුමාට බෑ.  ඇත්තටම හොරු ආරක්ෂා කිරීම හොරකමට වඩා භයානක දෙයක්.

ඒක නිසා අඩුම වශයෙන් ජනාධිපතිවරයා මේ රටේ ආර්ථික අර්බුදය ගැන, ඒ වෙනුවෙන් එතුමා ගත්ත ක්‍රියාමාර්ග ගැන, මේ රටේ දූෂණය, නාස්තිය ගැන, ඊට වගකියන්න ඕනි අය ගැන, රාජපක්ෂලාගේ අත්තනෝමතික පාලනය ගැන, රටේ නීතියක් නැතිවීම ගැන, දැනට අනුගමනය කරන වැරදි විදේශ ප්‍රතිපත්තිය විසින් ඇතිවෙන භූ දේශපාලන ප්‍රතිවිරෝධ වගේම ඒ එක්ක බැදුනු ජාතික ආරක්ෂාව ගැන නැවත යථාර්ථවාදීව හැරිලා බලන්න ඕනි. නැත්තං ඒ සියල්ලට වග උත්තරකරුවා බවට ඔබතුමා පත්වීම නවත්තන්න බෑ.

ඔබතුමාගේ මෙතෙක් හැසිරීමෙන් ඔප්පු වෙන්නේ මේ කිසිම දේකට උත්තරයක් ජනාධිපතිවරයා විදිහට ඔබතුමාට නෑ කියලයි.

එතුමා ආපසු හැරී බලනවා නමි හිතන්න පටන් ගන්න ඕනි ඔතනින්. ඇත්තටම ඒක එතුමා රට ගැන හිතලා නෙවෙයි එතුමා ගැන හිතලා කරන්න ඕනි වැඩක්. නැත්නම් එතුමාගේ නම ඉතිහාසයේ කුණු බක්කියට යන එක නවත්තන්න කාටවත් බෑ.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට

රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

Priynatha witharana

 

 
 
LEADER TV

 

රාජපක්ෂලාගේ දෙකඩ පාලනයේ අලුත්ම ඉත්තා!
 


මරාගේ මරාල ! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්