ඊයේ වැඩක් විදිහට ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කරමින් කරපු කතාව ඇහුවා. අනේ මන්දා?



කොච්චර උනත් වෙනදට ජනාධිපතිතුමාගේ කතාවේ මොකක් හරි කෑල්ලක් හයිලයිට් වෙලා පේනවා. ඒ කෑල්ල හොඳද, නරකද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි වෙනදට එහෙම කොටසක් තියනවා. මේපාර එකත් නෑ.

ඇත්තම කියනවා නං රටේ රාළට හිතුනේ එතුමාට වැරදිලා ගියපාර කරපු රාජාසන කතාවේ පිටපතවත් අහුවෙලාද කියලා. රටේ රාළටත් හිතුනා ගිය අවුරුද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට රටේ රාළ කරපු විග්‍රහය හොයලා පලකරන්න.

කොහොම උනත් ජනාධිපතිතුමාගේ කතාව වෙනදා වගේ ආක්‍රමණශීලී එකක් නෙවෙයි. ටිකක් තැන්පත් ගතියක් තිබුනා. අර රාජපක්ෂලාගේ තියෙන බොරු දේශපාලන උද්දච්චකම සෑහෙන්න බැහැලා. ඒක ජනාධිපතිතුමාගේ කතාවෙන් හොඳට පේනවා. ඊයේ ජනාධිපතිතුමාගේ කතාවේ රටේ රාළ නිරීක්‍ෂණය කරපු එකක් ඒක.

 

වෙනදා විපක්ෂයට එල්ල කරන ප්‍රහාරය මේ කතාවේ තිබුණේම නැති තරම්. ඉස්සර මම තමයි හොදටම කළේ කියන කෑල්ල දැන් ජනාධිපතිතුමාගෙන් හැලිලම ගිහිල්ලා. දැන් මම වෙනුවට අපි කියන කොටස ආදේශ වෙලා. සාමාන්‍යයෙන් දේශපාලනයේදී මම වෙනුවට අපි කියලා එන්නේ ඇණගත්තට පස්සේ. නැත්තං ඇණෙන බව දැනෙන කොට. ඊළගට මේ කතාව දිහා මතුපිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට විරුද්ධ වෙන්න කිසිම හේතුවකුත් නෑ කියලා. බැලු බැල්මටම ඒක නරක කතාවකුත් නෙවෙයි.



ඇත්තටම ඒ කතාවේ ගැඹුර තේරුම් ගන්න දේශපාලනය ටිකක් හරි ඇගේ තියෙන්න ඕනි. රටේ රාළ කියන්නේ ජනාධිපතිතුමාගේ කතාවේ තිබුණේ ශේප් න්‍යාය. සමහරවිට දෙසැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරනකොට ඔහොම කතාවක් කරන්න ජනාධිපතිතුමාගේ තුන් හිතකවත් තියෙන්න නැතිව ඇති.

ඇයි ඉතින් කට්ටිය දෙන්න ඇත්තෙත් මාර turn එකක් ගම්මු කියලනේ. ඔන්න ගත්ත turn එක. ඕක තමයි රටේ රාළ පසුගිය ලිපි දෙකෙන් කතා කරපු යථාර්ථය. අද ඒක ඇස්පනාපිට් ඔප්පු වෙලා.

ඇත්තටම ඒක තමයි ඊයේ ලිපියෙන් රටේ රාළ කිව්වේ කාටවත් කියාගන්න බැරි, කාටවත් හිතාගන්න බැරි ඇත්ත දේශපාලන අසරණකමකට රාජපක්ෂලා වැටිලා ඉන්නවා කියලා. මොකද්ද ඒ අසරණකම කියලා ඊයේ කතාවෙන් ජනාධිපතිතුමා ඔප්පු කළා.

අද තියෙන ප්‍රශ්නවලට රාජපක්ෂලාට උත්තර නෑ. ප්‍රශ්නවලින් පැනලා යෑම තමයි එකම උත්තරය. නැත්තම් ප්‍රශ්නය නොදන්නවා වගේ සිටීම.

එයාලා තවමත් ඉන්නේ 2019 ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්මේ වගන්ති අතර හිරවෙලා. ඒකේ තියන විදිහට උත්තර එන්නේ 2024 දී නැත්නම් 2025 දී. කමක් නෑ ඒක එහෙම තිබුණාවේ කියමූ.

 

හැබැයි ඕනි කෙනෙකුට තේරෙනවා මේ රට දැන් මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයට කෙටි කාලින උත්තරයක් ඕනි කියලා. ඒකට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශණයේ උත්තරයක් නෑ.

 

ගිය ලිපි දෙකෙන් රටේ රාළ අහපු ප්‍රශ්ණය තමයි අපි මුහුණදීලා තියෙන ඩෝලර් ප්‍රශ්නයට, ණය ප්‍රශ්ණයට වගේම රට බංකොලොත්වීම වළක්වා ගන්න කෙටි කාලින ක්‍රියාමාර්ගය මොනවද කියලා.

IMF යනවද, නැද්ද? නැත්තං උත්තරය මොකද්ද? හැබැයි ජනාධිපතිතුමාගේ කතාවේ කොතැනකවත් ඒ ප්‍රශ්නයට උත්තරයක් තිබුණේ නෑ. ඒකට උත්තරයක් ඊයේ මහ බැංකුව අධිපති කබ්රාල් දීලා තිබුණා. ඒ කියන්නේ ඊයෙට ගෙවන්න තිබුණ ස්වෛරී බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් මිලියන 500 ගෙව්වා. ගෙවලා තවදුරටත් අපි ණය ගෙවන්න පුළුවන් රටක් බව ඔප්පු කරලා පෙන්නුවා කිව්වා. ඒ බැඳුම්කරවලට සල්ලි ආයෝජනය කළේ කවුද කියලා වෙනම සංවාදයකුත් රටේ තියනවා.

හරි දැන් ඊළඟට එන ප්‍රශ්නය ඊට පස්සේ තෙල් ගේන්න සල්ලි කෝ. අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඩොලර් කෝ? දැනුත් තෙල් නැව් දෙකක් වරායේ හිරවෙලා තියනවා නිදහස් කරගන්න ඩොලර් නැතිව. හරි කියන්නකෝ ඒවට ඩොලර් කොහෙන්ද එන්නේ. ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න ආයෙත් ජනාධිපතිතුමාගේ කතාවට යන්න වෙනවා.

එතනදී ජනාධිපතිතුමා මෙහෙම කතාවක් කියනවා. අපි වගේ සම්පත් සීමිත රටකට. කුඩා ආර්ථිකයක් තියෙන රටකට විදේශ ආයෝජන නැතිව ඉස්සරහට යන්න බෑ කියලා. හරි ඒකත් පිලිගනිමුකෝ, එතකොට මොනවද ඒ ආයෝජන. එතුමා ලංකාවේ ව්‍යාපෘති ගැන කිව්වා හැබැයි විදේශ ආයෝජන මොනවද කියලා කිව්වේ නෑ.

 

එතකොට දැනට අපට හිතාගන්න තියෙන්නේ කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ අදානිට දීම, යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකාවේ New fortress energy එකට දීම, ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන LIOC එකත් එක්ක ගහපු ගිවිසුම වගේ ඒවානේ. එතකොට ඉස්සරහට එන්නෙත් ඔය පනානයේ ආයෝජනද?

 

දැන් ඔන්න තව ප්‍රශ්නයක් එනවා. හරි එතකොට ඒවා මේ රටට මෙච්චර වාසිදායක ගිවිසුම් නම් රටට හොරෙන්, කැබිනට් එකට හොරෙන්, පාර්ලිමේන්තුවට හොරෙන්, කොටිටින්ම ජනතාවට හොරෙන් අත්සන් කළේ ඇයි? හැබැයි ඔය එකක්වත් දැන් මේ අපි හිරවෙලා තියෙන තැනට උත්තර නෙවෙයි.

ජනාධිපතිතුමා ඊයේ කිව්ව දේශීය ව්‍යාපෘතිවලින් බහුතරය මේ ආණ්ඩුව යටතේ පටන් ගත්ත ඒවා නෙවෙයි. ගොඩක් ඒවා මිට ඉස්සෙල්ලා ආණ්ඩුවලින් පටන් අරන් ඉස්සරහට කරගෙන එන ඒවා. උදාහරණයක් ගත්තොත් උමා ඔය ව්‍යාපෘතිය, වයඹ මහ ඇල සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වගේ ඒවා ගොඩක් තියනවා. කොහොමත් ඒවා පවතින රජය විසින් කරගෙන යන්න ඕනි තමයි.

 

ඊට අමතරව පුරුදු විදිහට ජනාධිපතිතුමා පරණ චිත්‍ර ඇදපු තරුණයාට කතා කළා, පුරන් කුඹුරු අස්වද්දපු තරුණයාට ආයෙත් ආරාධනා කළා. ඊට ළගට අර ජනාධිපතිතුමාටම ආවේනික කතා ටික කිව්වා.

 

ගම්මිරිස්වලට හොද මිලක් දීමේ කතාව. කහවලිනුයි, බුලත්වලිනුයි රට ස්වයංපෝෂිත කිරීමේ කතාව කිව්වා. එතනෝල් නැවැත්වීම නිසා සිනි කර්මාන්තශාලා ලාබ ලබන කතාවත් කිව්වා. ඒ පන්නයේ පරණ කතාවලින් කියන්න බැරි උනේ ටයිල් කතාව විතරයි.

ඒවා බොරු කියලා රටේ රාළ කියන්නේ නෑ.

හැබැයි රටේ රාළට කියන්න තියෙන්නේ රටක ආර්ථික, දේශපාලන උපායමාර්ගය ඉස්සරහා ඕවා කියන්නේ සූපින් කෑලි. රටක ජනාධිපති කෙනෙකුට තමන්ගේ රාජාසන කතාවට ඕවා එකතු කර ගැනීමට වීමම ඒ ජනාධිපතිවරයාගේ වගේම ඒ රටේ ජනතාවගේ අභාග්‍යයක්.

ඒ වගේ ඊයේ ජනාධිපතිතුමා කියපු කතාවේ රටේ රාළ එකඟ නොවෙන තැන් ගොඩක් තියනවා. ඇත්තටම මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන එතුමා කියපු කතාවට එකඟ වෙන්න බෑ. ඒ වගේම එතුමාගේ පාලනය තුළ අධිකරණයේ ස්වාධීනතාවය ගැන කියන කතාවටත් රටේ රාළ කිසිසේත්ම එකඟ නෑ. කොටින්ම දැන් සාධාරණය කියලා එකක් නෑ. ඇඟේ හයිය තියන එකා දිනුම්.

දුෂණය වංචාව ඉහ වහා ගිහිල්ලා. යුක්ති සාධාරණය පැනලා ගිහිල්ලා. අයුක්තිය අසාධාරණය ජෝඩු දාගෙන ඇවිත්.

හැබැයි ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් එක ඇත්තක් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මේ රටේ පාලකයින්ට රට ඉදිරියට ගෙනයෑමට අදාළ සැළසුම් සහගත ප්‍රතිපත්තිමය වැඩපිලිවෙලක් නෑ ඔක්කොම කරන්නේ අදුරේ අතපත ගාන එක විතරයි. ඒක නොදැනීම කියලා පිලිගන්න රටේ රාළ ලෑස්ති නෑ.

 

ඊයේ ජනාධිපතිතුමාට කතා කරන්න ඕනි ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒවා ඇත්තටම ඛේදවාචකය. ඒත් එතුමා කතා නොකර ඒවායින් පැනලා ගියා. ඉස්සරහට එන සහල් හිගය, අත්‍යවශ්‍ය ආහාරවල හිගය ගැන එතුමා කතා කලේ නෑ. එතුමා ඒ ගැන දැනුවත් නෑ කියලා පිලිගන්න රටේ රාළ ලෑස්තිත් නෑ.

 

රටේ ලොකු සහල් හිගයක් තියනවා. දැනට වී අස්වනු කපන දිස්ත්‍රික්කවල ගිය සැරේ අස්වැන්නට වඩා මේ සැරේ අස්වැන්න 40% කින් විතර අඩුයි. ඒකට හරියන්න පිට රටින් හාල් ගේන්න ඕනි. එතකොට කෝ ඒවට ඩෝලර්. අනික දැන් රටේ ලොකු ඉන්ධන හිගයක් තියනවා. රටේ රාළ නෙවෙයි කියන්නේ එතුමාගේම බලශක්ති ඇමති. තමන්ට තවදුරටත් විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්න බෑ කියලා ගම්මන්පිල කියනවා.

රටේ ලොකු ගෑස් ප්‍රශ්නයක් තියනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල මිනිස්සුන්ට අද ඒක බරපතල ප්‍රශ්නයක්. දර නෑ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ භූමිතෙල් ලිප විතරයි. දැන් භූමිතෙලුත් නැති වෙනවා. ඉන්ධන අර්බුදය ආපු ගමන් ගමනාගමනය අඩපණ වෙනවා. ඒ වගේම විදුලි සැපයුම ඇණ හිටිනවා. එතකොට රටට මොකද්ද වෙන්නේ. රටේ නිෂ්පාදනය කෙලින්ම බලශක්තියත් එක්ක ගැට ගැහිලා තියනවා.

රට බංකොලොත් වෙන්න තියන දුර දැන් දශමවලින් මනින්න පුළුවන්. ඒ තරමට අසරණ කරපු රටක ජනතාවට ජනාධිපතිතුමා කියනවා අපි කහවලින් ස්වයංපෝෂිතයි, බුලත්වලින් ස්වයංපෝෂිතයි කියලා.

2030 වෙනකොට පුනර්ජනණීය විදුලිය දෙනවා කියලා. ඉතින් ඕවා කියනකොට ජනතාව කුණුහරප කියනවා ඇර වෙන මොනවා කරන්නද? ළග තියන ප්‍රශ්නය දකින්න බැරි ජනාධිපති කෙනෙක් අපට ඉන්නවා.

 

හෙට බඩගින්නේ මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සුරංගනා කතා කියනවා. ඒක හරියට මේ ආත්මේ බඩගින්න ඉවසගෙන හිටපන් ලබන ආත්මේ ලැබෙයි කියනවා වගේ වැඩක්. ලබන ආත්මේ රජ උනත් මොකටද, ඒක මේ ආත්මේ බඩගින්නට වැඩක් නෑ. මෙයාලගේ උත්තරත් මේ ආත්මෙට නං නෙවෙයි. ලබන ආත්මෙට. ඒකට ඉතින් මිනිස්සු ලබන ආත්මෙට යවන්න ඕනි. මේ කරමින් ඉන්නේ ඒකද?

 

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.


Priynatha witharanaමීට

රටේ රාළ.


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)
 


 

Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip
 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?

 
225ටම ඇමතිකම්! | වියත්කතා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්