පිරිමි ජාන සහිතව කාන්තාවක ලෙස උපන් බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනෙක් නිසා පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල දෙස

ලෝකයේ සියළු දෑස් යොමුව තිබෙන්නේ දැඩි අවධානයකින් යුතුව.

මතභේදයට ලක්ව සිටින මේ ක්‍රීඩිකාවන් දෙදෙනා වනුයේ වෙල්ටවේට් කිලෝග්‍රෑම් 66 බර පංතියේ තරග කරන ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් (Imane Khalif) හා ෆෙදවේට් කිලෝග්‍රෑම් 57 බර පංතියේ තරග වදින තායිවානයේ ලින් යූ-ටිං (Lin Yu-ting).

සිරුරේ පිරිමි ජාන තිබෙන බවට පරීක්ෂණවලින් හෙළි වීමෙන් පසුව මේ ක්‍රීඩිකාවන් දෙදෙනා පසුගිය වසරේ පැවති කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කෙරුනා. 2023 වසරේ පැවති එම තරගාවලියට නුසුදුස්සන් වූ මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ඊට වසරකට පසුව පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් වූයේ කෙසේද යන්න බොක්සිං ලෝකයට ප්‍රහේලිකාවක්.

xdfge54636

ලෝක බොක්සිං ශූරතාවලිය මෙහෙයවූයේ ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) යි. එහෙත් ඔවුන්ගේ පාලන කටයුතු හා මූල්‍ය ප්‍රශ්න හේතුවෙන් 2023 වසරේදී එම සංගමයේ පිළිගැනීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ඉවත් කරනු ලැබුවා. ඒ අනුව, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවන්නේ IOCය යි.

මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ‘ජීව විද්‍යාත්මකව පිරිමින්’ බවට DNA පරීක්ෂණවලින් තහවුරු වූ බැවින් ඔවුන්ට පසුගිය වසරේ ලෝක ශූරතාවලියට සහභාගි වීම තහනම් කළ බව එම ශූරතාවලිය මෙහෙයවූ IBA සභාපති Umar Kremlev ප්‍රකාශ කළා. එම තහනම 2022 ලෝක බොක්සිං ශූරතාවලියේදී සිදු කෙරුනු පරීක්ෂණවල ප්‍රතිඵල මත ද පදනම්ව තිබූ බව පැවසූ සභාපතිවරයා විශේෂයෙන් අවධාරණය කළ කාරණාව වූයේ කලීෆ් එම තහනමට එරෙහිව ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඉදිරිපත් කළ ඇපෑල ඇය විසින් ඉල්ලා අස්කර ගැනීම නිසා එම තීරණය නීත්‍යානුකූලව තවමත් බලපැවැත්වෙන බව යි. මේ කාරණා සම්බන්ධයෙන් IOCය වෙනස් නීති ක්‍රියාත්මක කිරීමෙන් තරගකාරිත්වයේ සාධාරණබව හා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුව තිබෙන බව ද ඔහු සඳහන් කළා.

එහෙත් පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ තරග කිරීමට කලීෆ් ට අයිතියක් තිබෙන බව මේ සියළු මතභේද මධ්‍යයේත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නැවත වතාවක් අවධාරණය කර තිබෙනවා. “ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව උපන්නේ කාන්තාවක ලෙස. ලියාපදිංචි වී සිටින්නේ කාන්තාවක් වශයෙන්. ජීවත් වුනේ කාන්තාවක් ලෙස. බොක්සිං ක්‍රීඩා කළේ කාන්තාවක් විදියට. එයාට තියෙන්නේ කාන්තා විදෙස් ගමන් බලපත්‍රයක්” යනුවෙන් IOC ප්‍රකාශක Mark Adams පෙන්වා දෙනවා.

xdtgw4534

ඉමාන් කලීෆ් මහත් ආන්දෝලයට තුඩු දුන් චරිතයක් බවට පත්වූයේ ඇයගේ ශක්තිමත් පහර දරා ගත නොහැකිව ඉතාලියේ අන්ජෙලා කරීනි තත්පර 46කින් පසුව හඬා වැලපෙමින් බොක්සිං වළල්ලෙන් ඉවත්ව යාම නිසා. බොක්සිං සටන්වල වසර ගණනාවක පළපුරුද්දක් තිබෙන තමා කිසිවිටෙක මෙවැනි ශක්තිමත් පහරවලට මුහුණ දී නැති බවත් තමා තරගයෙන් ඉවත් වූයේ තමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට බවත් ඇය පවසා තිබුනේ දැඩි ගෝලීය කෝපයකට මං විවර කරමින්. ‘16 දෙනාගේ වටයේ’ තරගය නතර කර බොක්සිං වළල්ලෙන් කරීනි පිටව ගියේ කලීෆ් ට අතට අත නොදී.


කෙසේ වෙතත්, අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළුව තරගයෙන් පසුව තමා හැසිරුනු ආකාරය පිළිබඳව දැන් කනගාටු වන කරීනා, ඒ ගැන කලීෆ්ගෙන් සමාව ඉල්ලා සිටීමට අවශ්‍ය බව අනාවරණය කර තිබෙනවා.

කලීෆ්ගේ මීළඟ තරගය (අර්ධ අවසන් පූර්ව) යෙදී තිබෙන්නේ හංගේරියාවේ ඇනා ලූකා හේමරායි (Anna Luca Hamori) සමග. ඇය, බොක්සිං වළල්ල තුළ අං ඇති තිරිසන් සතෙකුට මුහුණ දී සිටින බොක්සිං තරගකාරියක නිරූපණය කරන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බෙදා හැර තිබෙනවා.

iman

‘පිරිමියෙක්ද ?...ගැහැනියෙක් ද?’ යන අර්බුදයට මැදිව සිටින අනෙක් ක්‍රීඩිකාවත් ඇයගේ තරගය ජයග්‍රහණය කිරීම නිසා මහත් කලබලයක් හටගෙන තිබෙන මේ අවස්ථාවේ හංගේරියානු බොක්සිං සංගමය (HBA) ඔවුන්ගේ ක්‍රීඩිකාවගේ තරගය සම්බන්ධයෙන් ඔලිම්පික් බලධාරීන්ට හා හංගේරියා ඔලිම්පික් කමිටුවට විරෝධය පළකර තිබෙනවා.

එහෙත් තම ප්‍රතිවාදිනිය සමග සටනට තමා බිය නොවන බව පවසන හේමරායි, කලීෆ් සමග තරගයෙන් තත්පර 46කින් ඉවත් වී‌මෙන් ඉතාලියේ අන්ජෙලා කරීනි සටන අත්හළ බව කියා සිටියා.

ඉන් නොනැවතුනු මේ 23 හැවිරිදි ක්‍රීඩිකාව, ඔලිම්පික් වළලු යට සිටින හොඳින් වැඩුනු මස්පිඬු ඇති රතු පැහැති දැවැන්ත සතෙකුට මුහුණ දෙන නිල් පැහැති කොට කලිසමක් ඇඳගත්, දිගු කෙස් ඇති කෙට්ටු කාන්තාවකගේ රූපයක් පළකර තිබෙනවා.

“ඇය හෝ ඔහු මිනිසෙක් නම්, ඒ සටනින් මම දිනුවොත් එය මට විජයග්‍රහණයක් වේවි” යනුවෙන් හේමරායි මීට කළින් කලීෆ් සම්බන්ධයෙන් පවසා තිබෙනවා.

“ඉතිං...අපි ගහගමු. මට ඒ තරගය එනතෙක් ඉවසිල්ලක් නැහැ. මගේ රටේ මගේ ක්‍රීඩා සමාජයේ මට ඉන්නේ පිරිමින් හා පිරිමි කණ්ඩායම් සගයන් පමණයි. මට මේක අලුත් දෙයක් නෙවෙයි.”

කලීෆ් පැරිස් ඔලිම්පික් තරග බිමේ සිටීම සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අභියෝග කිරීම ගැන HBA සලකා බලමින් සිටින බව එම සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික Lajos Berko ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සටනට බසිමින්, කාන්තා තරගවලින් පිරිමින් ඈත්කර තබන බවට පොරොන්දු වී තිබෙන අතර බ්‍රිතාන්‍යයේ වඩාත්ම සාර්ථක බොක්සිං හා මිශ්‍ර සටන් ක්‍රීඩිකාව වන සෙවානා මාෂල් (Savannah Marshal) ද කියන්නේ මෙය ඉතාමත් අසාධාරණ හා භයානක තත්ත්වයක් බව යි.

IOCය දැඩි විවේචනයට ලක් කරන හිටපු ද්විත්ව බර පංති ලෝක ශූරියක වන මාෂල්, ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ උද්ගතව තිබෙන මේ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන ලෙසට IOCයෙන් ඉල්ලා තිබෙනවා.

“ලෝක ශූරතාවලියේ තරග කරන්න බැහැ කියල එක් ක්‍රීඩිකාවකට කීමෙන් පසුව එයාට ඔලිම්පික්ස්වල ක්‍රීඩා කරන්න පුළුවන් කියල IOCය කියන්නේ කොහොමද?”
“මෙය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක්. මෙය කිසිම අවස්ථාවක මේ තත්ත්වයට පත් නොවිය යුතුව තිබුනා.”

තමා කරීනි ගැන සැලකිල්ලක් දක්වන බව මාෂල් කියා සිටියා.

“සීයට සීයක්ම මම එයා ගැන හිතනවා. මොකද, මම පිරිමිත් එක්ක පුහුණු වෙන කෙනෙක්. පිරිමින් හා කාන්තාවන් අතර ශක්තියේ දැවැන්ත වෙනසක් තියෙනවා.”

“මම පිරිමින්ගෙන් පහර කා තිබෙනවා. වේදනා විඳ තියෙනවා. නමුත් මට ගැහැනියක් ගැහුවම කවදාවත් රිදීමක් දැනිලා නැහැ. ඒ නිසා මට ඇත්තටම කරීනි ගැන දුක්වෙන්න පුළුවන්.”

කෙසේ වෙතත්, මේ සිද්ධිය මධ්‍යයේත් මාෂල්, ඇල්ජීරියානු ක්‍රීඩිකාව පිළිබඳ ද තමන් තුළ තිබෙන අනුකම්පාව ප්‍රකාශ කළා. කරීනි මෙන්ම කලීෆ් ද IOCයේ ක්‍රියාකලාපය නිසා අමාරුවේ වැටී ඇතැයි ඇය පැවසුවා.

xdgw45
කලීෆ්ගේ සටන බලා සිටීම විශ්වාස කළ නොහැකි තරමට අපහසු වූ බවත් තමා ක්‍රීඩා පාලක සංගම් සමග ඒවායේ අන්තර්ගතය, සාධාරණත්වය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් එංගලන්තයේ සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා රාජ්‍ය ලේකම් Lisa Nandy ප්‍රකාශ කර තිබෙනවා.    

මීට තෙවසරකට පෙර ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව වටයේදී, පසුව රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවට පරාජය වූ කලීෆ් මේ දක්වා තරග නවයකින් පරාජය වී තිබෙනවා. ඇය ද සාමාන්‍ය ක්‍රීඩිකාවක මිස ‘සුපරි හැකියාවන් තිබෙන කාන්තාවක්’ – Superwoman - නොවන බවට එය හොඳ සාක්ෂියක්.

පිරිමි ජාන සහිතව කාන්තාවක් ලෙස උපත ලැබීම කලීෆ්ගේ වරදක් නොවන නිසා ඇයට අනුකම්පාව දක්වමින් ඇය වෙනුවෙන් පෙනී සිටින පිරිස ද වැඩි වෙමින් තිබෙනවා. මේ පිරිසට අලුතින්ම එක්ව සිටින්නේ කරීනි.

“මේ සියළු මතභේදයන් නිසා මට දැනෙන්නේ දුකක්. මගේ ප්‍රතිවාදිනිය ගැනත් මට කනගාටුයි. එයාට තරග කරන්න පුළුවන් කියල IOCය කියනවා නම් මම ඒ තීරණයට ගරු කරනවා” යනුවෙන් කරීනි පවසනවා.

“අතට අත නොදී සිටීම මම අදහස් කළ දෙයක් නෙවෙයි. ඇත්තටම, ඇයගෙනුත් අනෙක් සියළු දෙනාගෙනුත් මට සමාව අයදින්න ඔ්න. මම තරහෙන් හිටියේ මගේ ඔලිම්පික් අපේක්ෂාවන් සුළඟට හසුව ගිය නිසයි.”

“මට කලීෆ්ව නැවත හමුවුනොත් මම ඇයව බදා ගන්නවා” යනුවෙන් කරීනි කියනවා.

මේ අතර, පුද්ගලයන් බොහෝ දෙනෙක් කලීෆ් ගැන තොරතුරු විමසමින් තමාට පණිවුඩ එවන බවත් කලීෆ් කිසිම වංචාවක් කර ඇතැයි තමා පෞද්ගලිකව නොසිතන බවත් ලෝක බොක්සිං ශූරියක වන අයර්ලන්තයේ ඒමී බ්‍රෝඩ්හර්ස්ට් (Amy Broadhurst) පවසනවා. ඇය 2022 IBA කාන්තා ලෝක ශූරතාවලියේ අවසාන තරගයේදී කලී‌ෆ් පරාජය කරමින් රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව යි.

Amy Broadhurst

“මෙය කලීෆ් උපන් විදිය යි. එය ඇයට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මීට පෙර ඇය බොක්සිං ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් පරාජය වී තිබෙනවා” යනුවෙන් ඒමී පෙන්වා දෙනවා.

“මෙයා පිරිමියෙක් නම් සහ ඒක සියයට සියයකින් ඔප්පු වුනොත්, මට මෙන්ම එයාත් එක්ක බොක්සිං වළල්ලේ සිටි තවත් බොහෝ දෙනෙකුට දැනෙනු ඇත්තේ පිළිකුලක්” ඒමී සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටිනවා. “පිරිමියෙක් සහ ගැහැනියක් අතර බොක්සිං තරගයක් කොහෙත්ම අනුමත කරන්න බැහැ. නමුත්‌ මේ වෙලාවේ සත්‍ය කරුණු මොනවාද කියල කිසිම කෙනෙක් දන්නේ නැහැ.”

මේ අතර, ස්ත්‍රී - පුරුෂ භාවයේ මතභේදයට ලක්ව සිටින අනෙක් ක්‍රීඩිකාව වන තායිවානයේ ද්විත්ව ලෝක ශූරී ලින් යූ-ටිං ද ‘16 දෙනාගේ වටයේ’ උස්බෙකිස්තානයේ සිඩෝරා ටූඩිබේකෝවා (Sidora Turdibekova) සමග පැවති තරගය විනිසුරුවන්ගේ ඒකමතික තීරණයක් මත ලකුණු අනුව ජයග්‍රහණය කර තිබෙනවා.

ලින් ඇගේ ආරම්භක ඔලිම්පික් තරගය ජය ගැනීම සඳහා ප්‍රතිවාදිනියට තරග වට තුනකදී දරුණු පහර වැලක් එල්ල කරන ඡායාරූප දැන් දිස්ව තිබෙනවා.

තරගයෙන් පසුව විනිසුරුවන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරද්දී හැඟීම්බර වූ පරාජිත ටූඩිබේකෝවා ට කඳුලු වැටීම නවත්වා ගැනීමට නොහැකි වුනා. තරගයෙන් පසුව දෙදෙනා එකිනෙකා වැළඳ ගත්තේවත්, එකිනෙකාට සුභ පැතුවේවත් නැහැ. කලීෆ් සමග තරග වැදුනු කරීනි මෙන්ම ටූඩිබේකෝවා ද තරගයෙන් පසුව ලින් ට අතට අත දීමෙන් වැළකී සිටියා.

ලින් මීළඟට අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වදින්නේ බල්ගේරියාවේ Svetlana Kamenova Staneva සමග.

පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං තරග බිමේ පිරිමින් කාන්තාවන් සමග තරග කරන බවට ව්‍යාකූලතාවක් මෙසේ හටගෙන තිබුන ද විද්‍යාත්මකව එය එසේ වන්නේ නැහැ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :

ඔබ ජෙන්ඩර් ෆෝබියා තත්වයකින් පෙලෙනවාද? - (චින්තන ධර්මදාස)

ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්

worky sin

නවතම පුවත්