1200 x 80 DMirror

 
 

සසදාවත රචනාවුයේ ලීලාවතී රැජිණගේ රාජ්‍ය සමයේය. එතුමිය විසින් පිහිටුවන ලද “බතලගොඩ වැව“ ලිපිය ද සසදාවතට සමකාලීනය.


සසදාවත කෘතිය ද බතලගොඩ වැව් ලිපිය ද දක්වන තතු විත්තියක් වේ. ඒ තතු පවත මෙම ඓතිහාසික ලියවිලි දෙකේම සමාන ලෙස දක්වා තිබේ. මෙම ඉතිහාස ලේඛන දෙක දක්වා ඇති පවත තවත් අතකින් සහස්සමල්ල රජුගේ “දොර මිටියාව සන්නස“ සහ කීර්තී ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ මන්ත්‍රණ සභා පූවරු ලිපිය ද සනාත කර ඇත.

මෙලෙස රාජ්‍ය පාලකයන් තිදෙනකු විසින් මාධ්‍ය තුනක ම එකම පුවතක් යළි යළි සනාත කර තබා ඇත. එකී තතු විත්තිය නම් සිරිලක රාජ්‍ය පාලනයට නව නිළයක් ස්ථාපිත කළ බවය. එම නව ධූරය නම් වන්නේ “ලක් විජය සිඟු “ නමිනි.



නිශ්ශංකමල්ල රජ වනතුරු මෙවැනි නිළ ධූරයක් සිංහල රාජ ධූරාවලියේ නොවීය. එමෙන්ම සිංහල රාජ්‍ය නිළ මඩුල්ල අතර ඉන් පෙර කිසි කළෙක “ලක් විජය සිඟු“ නමින් ධූරයක් නොවීය. “ලක් විජය සිඟු“ නමින් නිශ්ශංකමල්ල රජ පිහිටු ධූරය වු කලී සුළු පටු නිළයක් නොවේ. රාජ්‍ය පාලකයාගේ ළඟට පිහිටු වු දෙවන ධූරයය.



එය අතීත යුව රජ පදවිය හෝ ඔටුන්න හිමි කුමාරයාට සමාන වූ අතර, නුතනයේ ආග්‍රාමාත්‍ය ධූරයට බෙහෙවින් ම සමාන වේ. මේ අනුව සසදාවතත්, දොරහිටියාව සන්නසත්, බතලගොඩ වැව් ලිපිය සහ මන්ත්‍රණ සභා පූවරු ලිපියත් ඉතිහාසයෙහි ඇතුළු ගැබ විවර කරගැනීමට නිමිත්ත සපයා දී ඇත.

එය ම නිශ්ශංකමල්ලගේ ඔපපාතික රාජ විලාසිතාව පිළිබඳ තවත් අපූරු අහුමුළු ගණනාවක් වෙත විවර කර ගැනීමට ද උපකාරී වේ.

ඔහුගේ රාජ සම්ප්‍රදායය යළි යළිත් විමසා බැලිය යුත්තේ නිශ්ශංකමල්ල මෙරට රාජ දේශපාලන සම්ප්‍රදායයට කඩා වදින ඔපපාතිකයන්ගේ දර්ශනය ද වැඩ කලාව ද එමගින් සොයාගත හැකි නිසාය.

එය යුග සමයන් අතර පවතින විශ්මිත අන්තර් සම්බන්ධයද කියාපායි. මේ පුදුමාකාර සම්බන්ධතාව නිසා ම “ලක් විජය සිඟු“ හෙවත් ඔහු ධූර ගත කරන නව යුවරජ හෙවත් අගමැතිවරයා පිළිබඳ සොයා බලන්නට සිත් වුයේය.


පෙර සිරිත බිද නව ධූරයක් ප්‍රවේශ කිරීමට කටයුතු කළේ මන්ද ?



මෙහි දී මතුවන බොහෝ දේ වේ. නිශ්ශංකමල්ල රජතුමා පෙර සිරිත බිද නව ධූරයක් ප්‍රවේශ කිරීමට කටයුතු කළේ මන්ද යන්නය.

ඔහු පෙර රජ සිරිත දරන්නට උරුම සිරිතක් අහිමි වුවෙකි. දෙවනුව ඔහු සිරිලක් රජ පදවියට ඔපපාතිකයකු වන බැවින් නිසි සුදුස්සා කවර හෝ මොහතක පැමිණ තමා අභිබවා කිරුළ පැහැර ගනිතියි බිය වුවෙකි.

අන් අතකින් ඔහු තමා අභිබවා යා හැකි කුසලතා සහිත අයෙකු දෙවැනි තැනට පත් කිරීමට බිය වුවෙකි. එබැවින් මේ සියල්ල වසා ගැනීමට ඔහුට නව ව්‍යවස්ථාවක් ද නව රාජ ධූර නිළයක් ද ඇවැසි විය.




එබැවින් ඔහු මේ සියල්ලට ඔබින ලෙස ප්‍රථමයාට ප්‍රශ්නයක් නොවන දෙවැනියා හෙවත් කිසි කළෙක ප්‍රථමයා විය නොහැකි දෙවැනියා නිර්මාණ කළේය. ඒ “ලක් විජය සිඟු“ නමින් ධූරයක් තනා ඒ සඳහා තම සිතුම්වලට අනූකූල පුද්ගලයකු අනුප්‍රාප්ත කිරීමෙනි. ඔහුට බොහෝ විට හිමිවුයේ නාමයක් පමණී. “ලක් විජය සිඟු ට“ පැවරුණ කාර්යයන් වූයේ රජතුමා වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කිරීමත් ඔහුට සෙත් පතන ආගමික උත්සව සංවිධාන කිරිමත් මහා සඟුන්ගේ උත්සව සභාවලට රජතුමාගේ නියෝජිතයා ලෙස සහභාගී විමත්ය.




''තාවුරුනාද්''




නිශ්ශංකමල්ල රජුගේ “ලක් විජය සිඟු“ ලෙස පත්වූ තාවුරුනාද මෙම කාර්යය මැනවින් සිදු කොට රජුට කිසි කළෙක අභියෝගයක් නොවූ එමෙන්ම කිසි දිනෙක ප්‍රථමයා නොවූ දෙවැනියාගේ භූමිකාව ශ්‍රී ලාංකේය ඉතිහාසයට නිර්මාණ කර දුන්නේය.

“තාවුරුනාද්“ ඉතිහාස පොතට ඇතුල් වුයේ එසේය. ඔහුගේ භූමිකාව එතැනින් නතර වු අතර නව වසරක් සිරිලක බල ධූරාවලියේ දෙවැනි පදවිය දැරූ ඔහුගේ පරපුර යළි කිසි කළෙක මෙරට බල ධුරාවලීයේ ස්ථානගත නොවන තරමටම ඔහු එක් වරකට දෙවැනියෙක් පමණක් වුයේය.

නිශ්ශංකමල්ල හඳුන්වාදුන් මෙම රාජකීය උපක්‍රමය සහස්සමල්ල රජුද අත්හදා බලමින් “ලක් විජය සිඟු“ පදවිය පෙරට ගෙන ගියේය. ඔහු ද තම දෙවැනියා හෙවත් ආග්‍රාමාත්‍යවරයා ලෙස “අබෝනාද“ පත් කර ගත්තේය. ඔහු ද සිරිලක ප්‍රථම “ලක් විජය සිඟු“ වූ තාවුරුනාදගේ භූමිකාවට සමාන සේවයක් සිදු කොට ඉතිහාසගත වුවේය.  

නිශ්ශංකමල්ල රජුත් සහස්සමල්ල රජුත් ක්‍රියාවට නැඟූ අත්දැකීම ලිලාවතී රැජින ද ක්‍රියාවට නැංවුහ. තම රාජ පාලනය යටතේ ඇයගේ “ලක් විජය සිඟු“ බවට පත් කරගත්තේ  “කිත්ති සෙනෙවිරද්ය“. ඔහු ද පෙර “ ලක් විජය සිඟු “ ගමන්  මඟම අනුගමනය කළේය.



මෙලෙස තහවුරු වූ “ලක් විජය සිඟු“ පදවිය මින් මතු සිරිලක රාජ විලාසිතාවක් විය. මෙහිදී මතුවන ගැටලුව මෙවන් බොල් ධූරයක් තහවුරු වීමට හේතු වූ ඓතිහාසික හේතු නිමිත්තය. එනම් පෙර සඳහන් කළ පරිදි ඔපපාතික රජවරුන්ගේ සිතුම් - පැතුම් හා බල අවශ්‍යතාවයන්ය. අනෙක් අතට ඉතිහාස ප්‍රවේශයක ප්‍රතිඵලයක් ද “ලක් විජය සිඟු“ වන් පදවියක් තහවුරු වීම කෙරේ බලපෑ ඇති බව පෙනේ.



“සිංහ“ සම්ප්‍රදායයේ සිංහල රාජ සිරිත කෙළෙසී යාම....




මේ අනුව සිංහල රජ සිරිත තැනූ වංශ ප්‍රවේණී උරුමය අහෝසි වී යාමෙන් පසු ප්‍රබල වංශවත් ප්‍රාමාණික රාජ විශාරදයන් සිංහල රජ සිරිතට අහිමි වුයේය. බාහිර ආක්‍රමණ සහ වැරදි දේශපාලන ප්‍රතිපත්ති නිසාවෙන් සිරිලක් සමාජය සබුද්ධික ප්‍රමාණික කළ වංශවත් සමාජය අහෝසී වුයේය.

ඒ සඳහා හේතු වූ ඉතිහාස ප්‍රවේශය වෙනම කතිකා කළ යුතුය. අවසානයේ මෙලෙස මතු වු ඉතිහාස හිඩැස පිරවීමට ආගන්තුක ගෝත්‍ර-වංශ බලමුළු පෙරට පැමිණියහ. ඔවුන්ට සම්ප්‍රදායයක් ගොඩ නගා ගැනීම කාලයක් නොවීය.

එබැවින් ඔවුන්ගේ වෑයම වුයේ හැකිතාක් කාලයක් මෙරට රජ පදවිය දරා සිටීමය.

ඒ අනුව තමන් ප්‍රථමයා වු පසු දෙවැනියා ඉන්පසු ප්‍රථමයා බවට පත් කරන “සිංහ“ සම්ප්‍රදායයේ සිංහල රාජ සිරිත කෙළෙසී ගියේය. ඒ වෙනුවට ප්‍රථමයා වන්දනා කර අහෝසී වී යන දෙවැනියා නිර්මාණය කළේය. මෙවැනි ඉතිහාසය ගලායාමක ඓතිහාසික දූර්භාග්‍ය නිර්මාණය කිරීමට නිශ්ශංකමල්ල රජතුමාට සිදු වුයේ මෙවැනි වටපිටාවකය.



මෙම ඓතිහාසික දූර්භාග්‍යයේ ප්‍රතිඵලය වූයේ සම්භාව්‍ය රාජ තාන්ත්‍රික පරපුර අහෝසීව යාමය. එහි දෙවැනි ප්‍රතිඵලය වුයේ සංතෘප්ත සම්භාව්‍ය නිදහස් සංස්කෘතික රාජ්‍යයක් වු සිරිලක පටු ආත්මවාදී කුලයක සිරගත වීමය. ඒ අනුව නිශ්ශංකමල්ල ඇරඹු මෙම නපුරු විලාසිතාව එතැන් පටන් ජිවමාන ලෙස ගලා ගියේය. රාජධානිය වඩ වඩාත් පහත රටට ගලායාමේ දූර්විපාකය පවා එහි ප්‍රතිඵලයක් විය.



විටින් විට මේ දෙවැනියාට බියවූ ප්‍රථමයාගේ රාජ දූර්භාග්‍ය වෙනස් වුව ද එතැන් පටන් මෙරට අධිපති දේශපාලන කලාව බවට පත් වූයේ නිශ්ශංකමල්ලගේ “ලක් විජය සිඟු“ විලාසිතාවය.

නිශ්ශංකමල්ල පිහිට වූ “ලක් විජය සිඟු“  පදවිය කෙතරම් පටු මානයක සිරවුවේද වුයේද යන්න එකළ තතු විත්ති මනාව ගෙන හැර පා ඇත.

ඉතිහාසයේ මෙම විපාකය විමසුම් ඇසකින් විවරණ වී නැති තත්ත්වයක එය ම යළි යළි සිඳුවන ආභාග්‍යක සිංහල ජාතිය පැටලී සිටිති.


නිශ්ශංකමල්ල රජ සමයේ මෙරට පැමිණ සිටි පාදඩ වෙළඳ සංස්කෘතීන් ලක් විජය සිඟු පදවිය පසුව මිළදි ගත් ආකාරය දක්නට හැකිය. එය ලීලාවතී රැජින සමයේ ද සහස්සමල්ල රජ සමයේත් ඉන්පසු රාජ්‍ය පදවිය හෙඹවූ බොහෝ අපරිනත පිටස්තර ඔපපාති රාජ්‍ය පාලකයන්ගේ කාල සමයන්වල සිදු වී ඇත.



පුදුමය දෙවැනියාට බිය විමේ “ලක් විජය සිඟු“ වාදයට නූතනයේද යළිත් පණ පෙවීමය.

එහි නුතන යුගයේ ආරම්භකයා වුයේ ද නිශ්ශංකමල්ල රජතුමාමෙන් පිටස්තර ලෙස ඔපපාතිකව පැමිණි රාජ්‍ය නායකයෙකි.



Maitripala 20221

ක්‍රි:ව 1956 දී එස්.ඩබ්.ඩබ්.ආර්. බණ්ඩාරනායක මහතා රාජ්‍ය නායකයා වු කල දෙවැනියා වුයේ සී.පි ද සිල්වා මහතාය. ඔහු කිසිකළෙක ප්‍රථමයකු විය නොහැකි “ලක් විජය සිඟු“ වරයකු වුයේය.

එමෙන්ම සිරිමා බණ්ඩාරනායක මැතිණිය තම දෙවැනි බවට පත් කර ගත් ටී. බී. ඉලංගරත්න මහතා ද මෛත්‍රීපාල සේනානායක මහතාවද කිසි කළෙක ප්‍රථමයකු නොවූ ලක් විජය සිඟු වරයකු වුහ.

මෙම නිශ්ශංකමල්ලගේ “ලක් විජය සිඟු“ විලාසිතාවට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුතුළ පණ පෙවුයේ ආර්. ප්‍රේමදාස ජනාධිපති තුමාය. පුදුමය එතුමාගේ රාජ්‍ය නායකත්වයත්, පාලන ප්‍රතිපත්තීත් සපුරා නිශ්ශංකමල්ල රජතුමාගේ මතු වීම ද වැඩ කලාව ද සමග බොහෝ දූරට සමාන වීමය.

කෙසේ හෝ ප්‍රේමදාස ජනාධිපති තුමා තම “ලක් විජය සිඟු“ හෙවත් අග්‍රමාත්‍යවරයා බවට පත්කළේ ඩී.බී. විජේතුංග මහතාය. ඉතිහාසය වෙනස් වුයේ එතැනින්ය.

සම්මත කුල ධූරාවලියෙන් දෙවැනියා ප්‍රථමයා බවටත්, ප්‍රථමයා දෙවැනියා බවටත් පත් වීම විශේෂිතය. ප්‍රථමයාගේ අකල් මරණයක් සමඟ විජේතුංග මහතාගේ දෛවය විසින් ඔහු ප්‍රථමයා බවට ඔසවා තබනු ලැබීය.


R Premadsa 2022 1
එහෙත් ප්‍රේමදාස ජනාධිපති තුමාගේ ලක් විජය සිඟු වාදය නිසා ම දෙවැනියා ලෙස සිට ප්‍රථමයා බවට පත්වූ විජේතුංග හඬ බලවත් නොවුණි.

පසුව බලයට පැමිණි චන්‍ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තුමියගේ පාලන සමයෙන් යළිත් ලක් විජය සිඟු පදවිය හෙවත් ප්‍රථමයාට අභියෝගයක් නොවන දෙවැනියා මතු වුයේය. එ ඇය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අත්හදා බැලිමත් සමඟය.

එත් දෙවනුව එතුමියම තම දෙවතා බවට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත් කරන්නට සිදුවිය. එය බණ්ඩාරනායක පෙළපතට වූ මෙරට දේශපාලන උරුමය අභියෝගයට ලක් කරමින් නිමාවිය.

 

නමුත් “ලක් විජය සිඟු“ නතරව නැත. ඉතිහාස එලෙසම යළිත් එතැනට පැමිණ ඇත. එ " මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පළමුව රත්නසිරි වික්‍රමනායක මහතා ද දෙවනුව දී මූ ජයරත්න මැතිතුමා ද තම දෙවැනියන් ලෙස පත් කර ලක් විජය සින්දු ට පණ දීමෙන් ය. නිශ්ශංකමල්ල රජතුමා කතා කොට අවසන් කරන්න බැරි තරමට යළි යළිත් ජීවමාන වේ. එය සිරිලක ඉතිහාසයහි නිරන්තර හැරවුමකැයි සිතෙන්නේ එබැවිනි."'


එය සිරිලක ඉතිහාස නිරන්තර හැරවුමකයි සිතන්නේ එබැවිණි.

 

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
WhatsApp Image 2021 09 04 at 3.37.38 PM
 

Leader Whats app

  

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58