සිංහල රජ සිරිත තරමටම දොරටුපාල ධූරය පැරණිය. එකී ධූරය සිංහල රාජ දේශපාලනයේ නිල රාජ ධූරයක් ලෙස ස්ථාපිත වුයේ ඒ සඳහා නියමිත විනය

ව්‍යවස්ථාවක් ද සහිතවය. සිංහල රජ සිරිත සමඟ සබැඳි දොරටුපාල ධූරය වියවුලක් වන්නේ දොරටු පාලකයෙකු රජ පදවිය ලබා ගැනීමත් සමඟය. ඒ ක්‍රි.ව. 60 දී යසයාලක රජ ඝාතන කරමින් “සබ” හෙවත් “සුභ” විසින්ය. සුභ සහ යස ලෙස ප්‍රකට මෙම සිදුවීමය ය.  මෙම සිදුවීමත් සමඟ දොරටුපාල ධූරය ලක් රාජ දේශපාලන ධූරභාරධාරී මණ්ඩලයෙන් ඉවත්ව යන්නේ ය. එයට මත්තෙන් “ද්වාර පාලක” නමින් ගෞරවණීය හැඳින් වූ දොරටුපාල ධූරය රජුගේ සමීපතම සඟයෙකු ද ඥාතියෙකු හෝ සුවිශේෂී භාව බන්ධනගත උභය කුලවතෙකු සතු වූ ධුරයකි.

 

DM 12 1prasanna weerakkody paintingද්වාර පාලක ධූරය පිළිබඳ මෙරට සෙල්ලිපි ගණනාවකින් හෙලිව ඇති අනඟි රහස් බොහොමයකි. දොරමිටියාව, මන්ත්‍රණ සභා, කවුඩුළු සහ හේනපිටිගම අකුරුගොඩ සහ මැදරිගිරි ආදී සෙල්ලිපි ද පනාකඩුව තඹ සන්නස වන් ඉතිහාස තතු විත්ති අතර ද ද්වාර පාලක ධූරය සම්බන්ධ අනඟි තතු විත්ති සටහන්ව තිබේ. කෙසේ නමුත් ක්‍රි.ව. 60 දී යස රජ මරමින් රජ පද ප්‍රාප්ත “සබ හෙවත් සුභ” සිංහල රජ සිරිතට පිවිසි පළමු ඕපපාතිකයා ද වේ. ඔහුගේ රාජාගමනයත් සමග මෙරට උභය කුල වංශිකයන් දරුණු භීෂණයක ගොදුරක් බවට පත්විය.


මේ අනුව අනුරාධපුර යුගයේ මැද සමය වන විට ද්වාර පාලක ධූරය හීන කුල වංශිකයන් අතට හුවමාරු වී ඇති බව පෙනේ. එය වෙනම විමසිය යුතු තරම්ය. විජය රජතුමා විසින් තම ද්වාරපාලක පදවිය උපතිස්ස අමාත්‍යවරයාට පැවරු තැන් පටන් සිංහල රජ සිරිත හෙබ වූ ද්වාර පාලකයන් හෙවත් දොරටු පාලකයන් රාජ්‍යයේ නොනිල ආරක්‍ෂක අමාත්‍යවරයාද විය. මේ අතර මෙවන් ද්වාර පාලකයන් මෙම ධූරය දරමින් යුව රජ, අගමැති හෝ අමාත්‍ය මණ්ඩල සභිකධුර දරන ලද අවස්ථා ගණනාවක් ද වේ.

 

e6c60f5fff6b0dfd28caa832385ddf95

රජ පදවිය තරමටම රාජ දේශපාලනයේ දී ද්වාර පාලක ධූරය සුවිශේෂත්‍වයක් දරා ඇත

 

එම නිසා රජ පදවිය තරමටම රාජ දේශපාලනයේ දී ද්වාර පාලක ධූරය සුවිශේෂත්‍වයක් දරා ඇත. ලක් ඉතිහාසයේ ද්වාර පාලකයෙකු ප්‍රථම වතාවට ඝාතනය වන්නේ ක්‍රි.පූ:196 දීය. ඒ සූරතිස්ස රජතුමාගේ ද්වාර පාලකයා සේන ගුත්තික විසින් ඝාතනය කර සිංහල රාජ්‍යය අත්පත් කර ගැනීමේදී ය. ඉන්පසුව අසේල රජතුමාගේ ද්වාර පාලකයා එළාර විසින් ඝාතනය කරමින් අනුරාධපුර රාජධානිය සියතට ගන්නා ලදී. මේ සිදුවීමත් සමග සිංහල රජ සිරිත සමග සැබඳී තිබූ ද්වාර පාලක ධූරභාරී වංශ පෙළපත සමූල ඝාතනය වී අතුරුදහන්ව ඇත. ඉන්පසු ද්වාර පාලක නම් බලගතු වංශවත් ධූරය දරන්නේ එම ප්‍රවේණි වංශ උරුමයට සමීප නෑකම් තිබූ කුසලතා පූර්ණයෙකු නොවේ නම් පිටස්තරයෙකු වේ. එබැවින් දුටුගැමුණු රජතුමාගේ රාජ පද සමයෙන් පසු ද්වාරපාලක නැමති බහුමානියධූරය “දොරටුපාල” ලෙස නම් පෙරළි සමාජ බහුමානයෙන් තොර ධූරයක සිරි ගත් සැටි පෙනේ. කෙසේ හෝ නමුත් දුටුගැමුණු රජ සිරිලක් රජ පරපුරට ඔසවා තබන තම වංශය වූ “මාගම් වංශය” අවසන් කරන්නේ ද එතුමා විසින්  හීන වංශිකයන්ට විවර කළ දොරටුපාල ධූරය විසිනි. ඒ“සබ”විසින් දුටුගැමුණු රජුගේ අවසාන මීමුනුපුරු වූ යසයාලක තිස්ස රජ ඝාතනය කරමින්ය.


ලක් රාජ ඉතිහාසයේ ද්වාර පාලක ධූරය මහත් බලසම්පන්න වනුයේ ක්‍රි:පූ: 236 දීය. ඒ සිරිලක රාජ දේශපාලන දහම බවට බුදුදහම පත්වීමත් සමගය. ඒ අනුව සිංහල රාජ්‍යය ලෞකික හා ලොව්තුරු රාජධානියක් ලෙස එකමුසු වීමත් සමග රාජ අගනුවර නව ආරක්‍ෂක විධි ක්‍රමයක් බවට පත්වන්නේ ය. ඒ අනුව ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ද රජතුමාද රකින බලසම්පන්න රාජධුරධාරියා බවට පත්වන්නේ ද්වාර පාලකයා ය. මහමෙව්නාවේ රාජ ලෞකික නුවර ද මහමෙවුනා රාජ ලොවුතුරු නුවර ද රහස් ආරක්‍ෂණ විධිය ඔහු සතුවිය. මේ අනුව මහ මෙවුනා උයන් තලාවේ “කකුධ විල”අසල තිබූ රහස් ද්වාරය එකවිට රජුට ද, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට ද සම්බන්ධ වන අතර එම රහස රජු ද, ද්වාර පාලකයා ද, මහවිහාර මහා නායක ස්වාමීන් වහන්සේ ද පමණක් දැන සිටි රාජ රහසක් ලෙස පැවතියකි.

picture 47

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ


මේ අනුව මහා මෙවුනාවට පිවිසෙන සියළු දොරටු වැසුනු කළ මෙම රහස් දොරටුව එකම පිවිසුම විය. ඒ අනුව මහමෙවුනාව ද,අටමස්ථානය ද, රජමැදුර දනේක සම්පත් හා කෞතුක සම්පත් පිරුණු යස ඉසුරු ද සපිරි කෞතුකාගාර ද විය. අන් අතකින් රාජ්‍ය පැවැත්මට මුල්වන ප්‍රාණ වස්තූ වූ ජය ශ්‍රී මහ බෝධිය ද රජතුමා ද එහි වූයේය. ඒ අනුව රජ දේවන පෑතිස්ස සමයේ ද්වාර පාලක ධූරය හිමිවෙන්නේ කලු දේවක බණ්ඩාරට ය. ඔහු විසින් “කකුධ විල” අසබඩ තැනූ ද්වාරය සිංහල රාජ්‍යයේ ද්වීත්‍ව ආරක්‍ෂාව තහවුරු කළේ ය. එතැන් පටන් ද්වාර පාලක මහත් බල සම්පන්න වූයේ ඔහු ලෞකික රජු වූ සිංහල රජු ද, ලොව්තුරු රජු ලෙස සම්භාවනාට පාත්‍ර වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ද පිහිටි අගනුවර රකින රැක්ම වූ බැවිණි. මෙලෙස මහත් බල සම්පන්නව විසිර පැතිර තිබූ ද්වාර පාලක ධූරය ලක් රාජ්‍යය වියවුලට දැමූ අවස්ථා දෙකක් ඉතිහාස මූලාශ්‍ර වල ලිය වී ඇත.


ඉන් ජනප්‍රිය අවස්ථාව සුභ විසින් යසයාලක තිස්ස ඝාතනය කර සිංහල රජ සිරිත සිරිමත් කළ දෙවන රාජ වංශය වූ “මාගම වංශය” අවසන් කිරීමය. එනමුත් එතරම් ජනප්‍රිය නොවුන ද ඉතිහාසයේ තීරක වියවුල තැනූ දොරටුපාල ධූරය බිහිවූයේ ක්‍රි:පූ: 62 දීය. ඒ චෝරනාගට රජ පදවිය ලබාදුන් ද්වාර පාලක වරයාය.

 

“චෝරනාග” සිංහල රජ සිරිතට ප්‍රථම වතාවට “චෞර රාජවාදය” හඳුන්වා දුන්නේය. එනම් සිංහල රජ පදවියට පත් වී සොරකමට පිවිසි ප්‍රථම රාජ්‍ය පාලකයා වන්නේ ඔහුය. චෝරනාග රජ වනුයේ මහත් දේශප්‍රේමී උද්දාමයක්රට සතර අත මතුකල නායකයා ලෙසය. ඒ සඳහා වලගම්බා රජුගේ උරුම කරුවෙකු වීම ද ඔහුට කදිම පරිසරයක් තනා දී තිබුණේය.

 

මේ සියළු තත්වයන් මැද චෝරනාග රජ වුවද, ඔහු රාජ ඉතිහාසයට එක්වන්නේ “චෝරනාග“ හෙවත් “හොර නාග” ලෙසය. ඒ රජුතෙමේ රජ පදවිය සොරකම් කරගත් පළමු සිංහල රජ දරුවා වූ බැවිනි. රජ පදවිය සොරකමින් පැහැර ගත් චෝරනාග රජතෙමේ රජ සිරිත චෞර සිරිතක් කළේය. එබැවින් චෝරනාග රජ පදවිය සොරකම් කර බලයට පැමිණි පසු දිගින් දිගට රාජ සම්පත්, මහජන දේපොළ සහ ආගමික සම්පත් මෙන්ම කෞතුක භාණ්ඩ සොරකම් කිරීමට පටන් ගත්තේය. එබැවින් මහා වංශය ද සියළු ඉතිහාස ප්‍රවාද ද, ජනතාව ද ඔහුට තැබූ නාමය වූයේ “චෝරනාග” යන්නය. චෝරනාග ගේ නම නාගය. ඒත් “නාග” සොරකමින් රජ පදවිය පැහැරගත් නිසා ද, රජ පදවි දරමින් ජාතික සම්පත් සොරකම් කළ නිසාද “චෝරනාග” ලෙස අවමානයට පාත්‍ර වන්නේ ය.

 

චෝරනාගගේ චෞර පාලනයට මඟ විවර වන්නේ ද්වාර පාලකයා නිසාය. ඔහු චෝරනාගට කිරුළ පැහැර ගැනීමට රාජකීය නුවර රහස් දොරටුව හැර තැබීය. එතැනින් නතර නොවූ දොරටුපාල රාත්‍රීයේ රාජ දොරටුව විවර කර චෝරනාගට සිත්සේ මහා සෑය ඇතුළු අටමස්ථාන කොල්ල කන්නට ඉඩ තැබුවේ ය. මහමෙවුනා රාජ නුවර තිබූ සියවස් ගණනාවක කෞතුක භාණ්ඩ රන්, රිදී, මුතු, මැණික්, ඇත් දළ මෙන්ම හස්තසාර සම්පත් ඇතුළු භාණ්ඩාගාරය කොල්ල කන්නට මාවත පෑදුවේ ය. මේ අනුව ඔහු මෙරට චෞර රාජවාදය පැතිර යන්නට මඟ පෑදු ද්වාර පාලකයාය. ක්‍රි:පූ:62 දී සිදු වූ මෙම සිදුවීමද, ක්‍රි:ව: 62 දී සුභ ගේ දොරටුපාල භූමිකාව ද සිරි ලක්දිව ද්වාර පාලකයන්ගේ කතාවේ අභාග්‍යය සම්පන්න සිදුවීම් දෙකය.


මේ අනුව ක්‍රි:පූ:62 දි ද්වාර පාලකයා සොරෙකුට ලක් රාජ්‍ය බිලිගන්න ඉඩ දුන්නේය. ක්‍රි:ව: 60 දී දොරටුපාල තෙමේ සිරිලක් රජ මරා දමා තුමුම රාජ පදවිය ලබා ගන්නේ ය. ඔහු කළ මහා විපත මෙරට සිටි සම්භාව්‍යය උභයකුල වංශවතුන් සමූල ඝාතනය කර දැමීමය. එමෙන්ම සබ රජ වූ එකල්හී මෙරට සිටි අද්වීතීය ලේඛකයන් පහළොස් දහසක් දස වදයට ලක් කර ඔහුනගේ නාස් කපා ලියන්නට බැරිවන ලෙස අතපය මහපට ඇඟිලි කප්පවා දැමූ කෲරතරයා ය.“සබ” කළ මේ විනාශය තුලින් සිරිලක් සමාජය තුල දිවි ගෙව් සාරසුබා සමාජ තීරුවත් සහමුලින්ම ජාතියට අහිමි වූයේය. මෙමගින් ගෞරවණීය සම්ප්‍රදායක් සේ රාජභාරධූර පදවි හෙඹ වූ පරපුර නැති වී අසම්භාව්‍යය චූල නිළධාරීන්ගෙන් රාජ්‍යතන්ත්‍රය පිරිහී ගියේ ය.

 

මෙලෙස ද්වාර පාලක තනතුර එක් යුගයක බලකාමී චෞරයෙකුගේ රෑකඩයක් බවටත්, තවත් යුගයක දී බලකාමී හීන වංශිකයෙකුගේ උවමනාවක් ද නිසා වැනසී ගියේ ය. එමගින් සිරිලක් රජ සිරිත සමග සැබැඳී පැවැති ද්වාර පාලක ධූරය මෙන්ම සිරිලක් රජ සිරිත ද දූෂණය වූයේය. මෙම සිදුවීම් දෙක ඉතිහාසයේ සිදුවූ එක් සිදුවීම් දෙකක් ලෙස නතර නොවී ඉන්පසු ප්‍රවාහයන් සේ ගලා යන්නේය. එය ඉතිහාස දැහැනට දැහැන්ගත වූ කළ එකල ද, මෙකළ ද සනාථව දක්නට හැකිය.

 


වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


වායාම පසුගිය ලිපි මෙතනින්


 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්