ඉතිහාසය කියන්නේ ලියා තැබූ සහ ලියා නොතැබූ තතු විත්තිවලින් තනා ගන්නා අතීත වියමනය. ඒත් ලියා නොතැබූ දෑ වලින් ඉතිහාසය නිර්මාණය වී තිබුණද, ඒ තතුවලින් අතීතය සොයා ගැනීම විවාදයකි.
ඒ හන්දා ලියා තැබූ දෑ පදනම විදියට තබාගෙන අතීතය වියා ගැනීම ගැටුම් අවම කරන මඟ බව කිව හැකිය. ඒ උනත් ලියා නොතැබූ ඉතිහාසයද ලියා තැබූ ඉතිහාසය ලෙස ඉතිහාසය සමග බැඳුණු මාවත් දෙකකි. ඉතිහාසය ලියන්න පටන් ගත් දා පටන්ද ලියා නොතැබූ දේ සහිත ඉතිහාසයක්ද පවතී.
 
මේ විදියට ගත් විට ඉතිහාසය නිර්මාණය වී ඇත්තේ දර්ශන, මතවාද, ක්‍රියාකාරකම් හා අතීත සිදුවීම් මෙන්ම ස්වභාවික සිදුවීම් සහ පුද්ගල බද්ධ බැඳියාවන් සහබද්ධ වූ බහුවිධ මාර්ගයක් ඔස්සේය. මේ බහුවිධ තාලය ඉතිහාසය විදියටම ගත් විට වඩාත් නිවැරදි අතීත තාලය විඳගෙන සොයා පාදා ගැනීමට හැකි වේ.
 
ඒ අනුව ලක් රාජ කතාවත ලියන විට එහි ඇතුළත් වූ “භාව බන්ධන” ප්‍රමාණය අතිමහත්ය. දැනීම්, හැඟීම්, ආශා සහ ප්‍රාර්ථනා සහිත සජීවි මිනිසුන් විසින් නිර්මාණය කරන “රාජ්‍යය” ඒ භාව සහිතව ලියවීම ඇත්තටම යුක්ති යුක්තය. ඒ නිසා සිංහල ඉතිහාසකරණයේ පීතෘ මහ තෙරිඳු මහා නාමයන් භාව හැඟීම්වලින් පිරිපුන් මිනිසුන්ගේ නිබඳ ගෞරවයට පාත්‍ර විය යුත්තේ ඒ නිසාමය.
 
“භාව බන්ධන” කියන්නේ පුද්ගල බැඳීම්ය. පුද්ගල බැඳීමක් ජාතික බැඳීමක් වීම විටෙක උත්තරීතය. තවත් විටෙක නපුරුය. හීන දීන ආත්මාර්ථකාමී භාව බන්ධන ජාතික බන්ධන වීමෙන් හීන දීන පටු ජාතියක් ඇති වේ. ඒ වගේම පළල්, පුළුල් සීලවන්ත පරහිතකාමී භාව බන්ධනයකින් බැඳුණු මිනිස් සිත් සතන් හා ක්‍රියාකාරකම්වලින් තැනෙන හැදෙන ජාතික බන්ධනය මහාසාර ජාතියක් තනන්නේය.

මේ විදියට ගත්තාම කතරගම රජ මහාසේන හා සබරගමුවේ රජ සුමන සමන් අතර තිබූ “භාව බන්ධනය” ලක් ඉතිහාසයෙහි ලියවුණ ප්‍රථම භාව බන්ධනය වේ. මේ උත්තුංග පුරුෂයන් දෙදෙනාගේ බැඳීම ගෞතම තථාගතයන්ගේ ලංකාගමනය සඳහා බලපෑ හේතුවක්ද බව පැහැදිලිය. මහියංගන මහා සෑයද කතරගම කිරි වෙහෙරද මහාසේන සුමන සමන් භාව බන්ධනය මහාසාර ජාතික සම්ප්‍රදායක් වන්නේ ඒ විදියටය. ඉන් ඉක්බිතිව අතීත ලේඛණ තතු විත්තියේ ලියවී ඇති භාව ප්‍රේමය විජය කුමරු හා උපතිස්ස කමනීය රාජ දර්ශනයකින් සිංහල රාජ වංශය ස්ථාපිත කළ සුමට සුමග භාව දේශපාලනයට මඟ හැදුණේ මේ දෙදෙනාගේ භාව බන්ධන සහබැඳීම නිසාය.
 
විජය රජතුමා තම්මැන්නා නුවර සිංහල රජ සිරිත සිරිමත් කළ විට ඔහු සහමිතුරු උපතිස්ස, උපතිස්ස නුවර තනා රජ වී විජය රජු මිය යෑමෙන් මිලින වන්නට තිබූ සිංහල සිරිතට පණ දුන්නේය. එබැවින් ස්වකීය ප්‍රාණමිතුරු විජය රජුට භාව බන්ධනයෙන් කැපව ඔහු තැනූ ජාතික සිරිත රැක ගත් අකලංක භාව ප්‍රේමී මිතුරු සිරිතක්සේ උපතිස්ස කුමරු ජීවමාන වන්නේ එලෙසය. මෙසේ ගලා යන භාවයන් එකතු වී ජාතිය තනන කතාවේ කතා විත්තිය දිගුය. පැහැසරය. රසාලිප්තය. තවත් විටෙක අරුම පුදුමය සහ කඳුළු වෑහෙන හැඟීම් පිරි කතාන්තරයකි.
සිංහල රාජසිංහ ඉතිහාසය මේ තරම් දිගු “භාව බන්ධන” කතා සිදුවීම්වලින් පිරි යන්නේ ඓතිහාසික පූර්වාදර්ශයක් නිසා යැයි සිතමි. ඒ පරමාදර්ශය පූජනීය වී ඇත්තේ ලෞකිකත්වයට අමතරව ලොව්තුරු හැඟීම් අධ්‍යාත්මික කරමිනි.
 
hqdefault
                                                              සැරියුත් - මුගලන්
 
සිංහල සිරිතට පණ දෙන්නේ බුදු සිරිතය. බුදු සිරිත සමග බැඳී ඇති කතා සිරිත් අතර  සිද්ධාර්ථ - යශෝධරා මෙන්ම සැරියුත් - මුගලන් හද බැඳීමෙන් පරම පූජනීය “භාව බන්ධනය”. ඒ සමගම සිද්ධාර්ථ ආනන්ද, සිද්ධාර්ථ ඡන්න සේම එකට බැඳුණු භද්දවග්ගිය කුමරුන් තිසි දෙදෙනෙකුගේ භාව බැඳීමද, යසකුල සහ ඔහුට බැඳී විසි හතරක මිතුරු ප්‍රේමීන්ගේ භාව බැඳුමද අරුමය පුදුමය හා හෘදයාංගමයත්වය එකට කැටි කරදී ඇත. මෙවන් පරම පූජනීය ලෞකික ලොව්තුරු සිරිත් සමුදායක් සිංහල ජාතියේ උත්තර ප්‍රාර්ථනාව බවට ජාති මාමකයන් තුළ ආදර්ශගත වී ඇති ආකාරය දැකිය හැකිය. ඒ අනුව බුදු සිරිත් පෙරා ගත් ආදර්ශය මත “භාව බන්ධනය” පුද්ගල බන්ධනයට දී ඇති අසිරිමත් සිරියාව ගැඹුරු කතාවකි.
 
භාව බන්ධනයෙන් ලක්දිවට රාජ දේශපාලනයට පිවිසි දීඝායු - දීඝගාමිණි, පණ්ඩුකාභය - චන්ද්‍ර වගේම දෙවන පෑතිස් - අරිට්ඨලාගේ සිට මහසෙන් - මේඝවර්ණ, කුමාරදාස - කාලිදාස, මානවම්ම - කුමාරදාස දක්වා දිගුම දිගුවට ගලා යන්නකි. ඒත් බොහෝ විශාරද ඉතිහාස ඇත්තන් මෙනෙහි නොකළද ලක් ඉතිහාසයට බැඳී “භාව බන්ධනය” ඉතිහාසයක්ද ඇත්තේය. භාවයන් නොසළකන රළු පරුෂ මිනිස් අතපෙවීම් නිසා ලක් ඉතිහාසීය කතාබහ තුළින් මේ කතා අහුමුළුවලට තල්ලු වී යන්නේය. ඒ වගේම භාව බන්ධන මිතුරන් පරම හතුරන් වී බෙදී වෙන් වී ගිය වේදනාබර කතාවලින්ද ලක් ඉතිහාසවත පිරී පවතී.

දෙදෙනෙක් එකට බැඳෙන විට දෙදෙනාට අරමුණු දෙකක් තිබිය නොහැකිය. ඒත් කල්යත්ම එකෙකු තුළ අරමුණු දෙකක් මතු වී බැඳීම ගැටීමක් වේ. මේ කතාව “භාව බන්ධනය” කතාවේ ඓතිහාසික පූජනීය පරමාදර්ශයේ සිට එයට බැඳී ඇති මතක කතාවකි. ලොව්තුරු බුද්ධත්වය සොයන මඟ මාවතේ බැඳී ගිය සිද්ධාර්ථ බෝසතාණන්ගේ සහ ඡන්නගේ බැඳීම ඉරි තලා පුපුරා ගියේය. ඒ ඡන්න තුළ භාව බන්ධන සීලය වෙනුවට පටු අරමුණු මතු වීමෙන්ය. එය පසුව බුදු සසුන මත, මතවාදී ගැටුමක්ද ඇති කළ වේදනාබර කතාවකි. මහා කාරුණික බුදු සිරිතට අනුකම්පා විරහිත ඡන්න කළ පහරදීම අදහගත නොහැකි දුක්ඛ කතාවකි.  ඒත් සිද්ධාර්ථයන් බුදු වීම නිසා මෙය බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට ගැටීමක් නොවී ඡන්නද නිවා දමා ගත්තේය.
 
මේ වගේම ධාතුසේන - මිගාර “භාව බන්ධනය” පුපුරා ගියේය. ලක් ඉතිහාසය පුනරුදයේ මාවතට කැඳ වූ මේ දෙපළගේ භාව බැඳීම බිඳී ගියේ ධාතුසේන පර යා මිගාර තුළ හට ගත් පුද්ගලික කෑදරකමය. එය අවසානයේ ධාතුසේනව කෲර ලෙස ඝාතනය වීමෙන් නිමා වූ උහුල ගන්නට බැරි තරම් ශෝකී කතාවකි. එයම සීගිරි කාශ්‍යප සහ පබ්බත අතර වූ භාව බැඳීමටද බලපෑවේය. මේ කථාව සය වන පරාක්‍රමබාහු හා සපුමල් අතරටද ගිය කථාවකි.
 
 
dharmaplaa vs olcott thumb.jpg
                                         හෙන්රි ස්ටීල් ඕල්කට් සහ අනගාරික ධර්මපාල

භාව බන්ධන පුපුරා යාමේ කථාව නූතන ජාතික ව්‍යාපාරය තුළද මතු වන්නේය. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ සේවයේ හෘද බැදීමෙන් ධර්මපාලතුමා බැඳී ගිය කථාව සිංහලයේ උදානය විය. මින් ඕල්කට්තුමාද, ධර්මපාලතුමාද දෙකට බැඳී වෙන් වූයේ කමනීය ජාතික පූර්වාදර්ශය විනාශ වීමෙනි. ධර්මපාලතුමාගේද, ඕල්කට්තුමාගේද බෙදී වෙන්වීම ගැන හද සසල කරවන තතු විත්ති තවමත් ලොව පුරා ලිඛිත සාධක සහිතව ශේෂව ඇත්තේය. ඒ හෘද මිතුරන්ට ගැඹුරු කතාවකට මඟ පෙන්වන ඉතිහාස සාධක මෙන්ම හද පපුවට වටහා ගන්නට හැඟීම් සහිතවය.
 
DADB 2022
                                                                         එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක - ඩඩ්ලි සේනානායක
 
මේ භාව කතන්දරය නූතන දේශපාලනයට ඈඳී යන්නේ භාව බන්ධිත ඩඩ්ලි සේනානායක හා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ බෙදී යෑමෙන්ය. දෙදෙනා බෙදුණේ එකට බැඳී තිබූ සිංහල, දෙමළකමද භේදබින්න වන නපුරු තැනට මඟ පාදමිනි. මේ විදියට කලාව සාහිත්‍යයේ සිට සසුන සමාජය දක්වා භාව බන්ධන කථාව සමග දිග හැරෙන ලක් ඉතිහාසයේ ඇත්තේ ගැඹුරු තැනකය.
 
බැඳීම මත පවතින සමාජය එකට එකතු වී ජාතියත්, රාජ්‍යයත්, ලෝකයත් තැනේ. මේ තැනීම පිටුපස සිටින්නේ මහාසාර මිනිස්සු ටික දෙනෙකි. ඒ නිසා යුගයක් බිහි කරන්නේ එකට බැඳුණු වෙළුණු සෙනෙහස හා එකිනෙකා කෙරෙහි ගෞරවය මෙන්ම සහකම්පන ඇති මිනිස් බැඳියාවෙන් පිරි භාව බන්ධනය.
 
මේ හැඟීම් නැති තැන ඔවුහු තනන මාවත හැඟීම් නැති කටු පරළු හා විනාශය ඇති මාවතකි. එබැවින් ලියවුණු කථාවේ සැඟවුණ ඉතිහාසය මෙයය. භාව බන්ධන සමපාතව, සීලවන්තව, ප්‍රඥාවෙන් පූර්ණව නොබෙදුණු දහමක්ද ජාතික චරිත සහ සිරිත්ද ඉතිහාස අන්දරයේ ඇත්තේය. ඉන් හැඟීම් ගෙන පරම වූ භව බන්ධනයකට පිවිසීමට ජීවමාන හැකියාවක් ඉතිහාසයේම ඇත්තේය.
 
 
 
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Sujith 2021

 
 
 
 
 
 
 
 
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්