සිංහල බස මවු බස ලෙස වහරන මෙරට ජනයා ජාතියක් බවට පත් කළ ප්‍රමුඛ තේමාව සිංහල භාෂාවමය. භාෂාවක් ලෙස සිංහල බස මනරම්ය.
ඓතිහාසිකය. එමෙන්ම විසිතුරුය. වාග් විද්‍යානුකූලව ද පෝහොසත් භාෂාවකි. පෙරළා සකු, පාලි, ග්‍රීක, ඉංග්‍රීසී වැනි ආර්ය භාෂාවන්ගෙන් ද ද්‍රවිඩ මලයාලම්, තෙළිඟු ආදී අනාර්ය භාෂාවන් අතුරෙන් ද කැපී පෙනෙන ලක්‍ෂණ සිංහලය තුළ විද්‍යාමානය.
ලෝක භාෂා අතර සිංහල බස වාග් ඉතිහාඥයන්ගේ නිබඳ පර්යේෂණයන්ට භාජනය වුයේ එය සතු සංජානනය සහ පෞරාණික උරුමය නිසාය. ශෛල, රන්, තඹ, මැටි පුස්කොළ ආදී විවිධ මාධ්‍ය තුළ ලේඛන ගත වීඇති භාෂාව සිංහල කඩදාසිය මෙන්ම පරිගණකය දක්වා නොනැසී පැමිණි ජිවමාන වු අද්විතීය භාෂාවකි.
වියත්, නොවියත් සෑම දෙනා අතින්ම පෝෂිත සිංහල භාෂාවට අනන්‍ය අකුරු සිත්තමකි. ස්වර මාලාවකි. භාෂා නියරකි. සිංහල බස වහරන තෙපළන ලියන සියල්ලට මේ සම්බන්ධව සාමාන්‍ය අවබෝධයක් වෙති. නමුත් සිංහල භාෂාව අද්වීතීයත්වයෙන් අනූුන වන්නාවු වෙසෙස් කරුණක් වේ. මේ කරුණ සිංහල මවු බස ලෙස ගත් බොහෝ දනන් නොදන්නා තම මවු බසහි අනගිභවනිය ලකුණක් වේ. එනම් අකුරු වැලක් ද, නියරක් ද ස්වර මාලාවක් ද වියරණ රිද්මයක් ද කාව්‍යම තාලයක් ද සහිත සුමට සිංහල බසට අනන්‍ය වු ඉලක්කමක් ද ඇති බවය.
“සිංහල ඉලක්කම“ යැයි කි විට ඇතමෙකුට කුකුසක් ඇති විය හැක්කාහ. මන්ද මෙකල්හි අප වහරන භාවිතා කරන ඉලක්කම වන ආරාබි, ඉන්දු ඉලක්කමින් එක් විටම මතකය වෙනස් කර ගැනිමට නොහැකි නිසාය. නමුත් සිංහල භාෂාවටම අනන්‍ය වු ඉලක්කම් රටාවක් පවතී. එය සිංහල භාෂාවෙහි තියුණු දාර්ශනික පොහොසත් බව කියාපායි.
භාෂාව පරාධීනත්වයට පත්ව තිබු සමයක සිංහල භාෂාවේ පුනරුදයට ශ්‍රාස්ත්‍රීයව මෙන්ම සටන්කාමීව වියතුන් සටන් වැදීම සිංහල භාෂාවෙහි ජීවමාන බවට හේතුවක් විය. ඒ සඳහා සිංහලයන් මෙන්ම විල්ගේම් ගෛගර්, හි්‍යු නෙවිල් වන් අන්‍ය ජාතික විද්වත්තුහු ද කැපවුහ. කෙසේ නමුත් මෙම භාෂා පුනරුදය ඔස්සේ සිංහල භාෂාව යළි සමාජගත වුව ද සිංහල ඉලක්කම භාවිතයට පත් නොවුයේය.
සිංහල ඉලක්කම අරභයා මෑත කාලින ප්‍රථම ශ්‍රාස්ත්‍රිය හෙලිදරව්ව සිදු කළේ ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර විද්වතාය. ඒ ක්‍රි.ව. 1891 දී A Comprehensive Grammar of The Sinhalese Language ( සිංහල භාෂාවේ සන්සංදනාත්මක වියරණය) නමින් ඔහු රචනා කළ කෘතියෙනි. හෙළ බස් ඉසුරු මුනිදස් කුමරතුඟුවන්ගේ භාෂානුරාගික ව්‍යාපාරයට පණ පෙවු ශාස්ත්‍රීය මුහුණත වුයේ ගුණසේකර වියතාණන්ය. සැබැවින්ම අධිරාජ්‍ය විරෝධයත් සමඟ සිංහල ජාතිකත්වයට පේවූ නැටූම ගැයුම, බස, කවිය, චිත්‍ර, සිරිත් - විරිත්, ඇඳුම් - පැළදුම් සොයා යෑමෙහි ව්‍යාපාරයක් මතු විය. ඒ සඳහා දේශපාලන ව්‍යාපෘති ද තැනුණේය. ඒ ඔස්සේ සෑම විෂයකම සිංහලත්වයෙහි මුද්‍රාව තැබීමට උත්සුක වීම ද දක්නට හැකිය. ඒ අනුව පුරාතනයේ සිට සිංහලත්වය හා බැදුණු විෂයන් අරභයා ප්‍රාමාණික ශාස්ත්‍රීය ව්‍යායාමයන් මතු වුයේය.
මෙලසම “සිංහල ඉලක්කම“ ද සොයා යෑමේ දුර්ලභ මෙහවරට ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර වියතාණෝ මුල් වුහ.
සිංහල ඉලක්කම භාවිතය විසිවන සියවසයේ දී අභාවයට ගොස් ඇත්තේය. බටහිර ජාතින්ගේ ආගමනය ද උඩරට රට දෙමළ ආධිපත්‍යයට නතු විම ද යන ප්‍රධාන කරුණු නිසා යටපත් වු සිංහල ලකුණ දහනම වන සියවසයෙහි යළි මතු විය. විශේෂයෙන් සිංහල භාෂා පුනරුදය තුළින් භාෂාව දියුණුවී ගියද සිංහල ඉලක්කම සමාජ භාවිතයට නොපැමිණියේය. එය ශාස්ත්‍රීය වශයෙන් දුර්ලභ විෂයක් ලෙස සැඟව ගොස් තිබේ.
සැබැවින්ම සිංහල ඉලක්කම මේසා දිගු සමයක් රැගෙන ආයේ සිංහල ජෝතිෂඥ පරපුරය. ඔවුන් ලිත් භාවිතයේ දි ග්‍රහ ගණනය සඳහා ද ඡන්ම පත්‍ර සටහන් කිරිමේ දී ද භාවිතා කොට ඇත්තේ සිංහල ඉලක්කම්ය. වෙනම සංකේත ස්වරූපයක් සහිත සිංහල ඉලක්කමහි නුතනයේ භාවිතා වන එක (1), දෙක (2), තුන (3), ලෙස වු සියළුම ඉලක්කම් සඳහා වෙනම ස්වර සංකේත වේ. මේ අනගි වාග් විද්‍යාව රැකගෙන පැමිණි ලිත් සහජෝතිර්වේදී පරපුරයෙහි ඥාණ වීමංසාව පිළිබඳ අපි මවිත විය යුත්තෝ වෙමු. මන්ද ඒ ඔස්සේ වූ ගණිත විද්‍යාවක් වන බැවිණි.
කෙසේ නමුත් සිංහල ඉලක්කම් පුරාවිද්‍යාත්මකව සනාථ වන අවස්ථා ගණනාවකි. එය පුස්කොල පුස්තකයන් වල පිටු ගණනය දැක්වීම සඳහා අතීතයේ භාවිත කර ඇත. පුරාණ පුස්කොළ පොත් වල පිටු අංකන දක්වා ඇත්තේ සිංහල ඉලක්කමෙනි. එමෙන්ම සිංහලේ අවසාන රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සාක්කු ඔරලෝසුව අදත් දැකගත හැකිය. එහි කාල වේලාවන් දැක්වීමේදී භාවිතා කොට ඇත්තේ සිංහල ඉලක්කම්ය. සිංහල ඉලක්කම් භාවිතය සඳහා කදිම උදාහරණයක් පොළොන්නරු යුගයෙන් ලැබි ඇත. එනම් පොළොන්නරු වටදාගේ මළුව සඳහා භාවිත ශෛල පුවරුවල සිංහල ඉලක්කම් සඳහන්ව තිබීමය. මෙලස අවස්ථාව ගණනවාකදී සිංහල ඉලක්කම් ඓතිහාසිකව සකස්ව ඇති අතර, අනුරාධපුර නන්දන උයනේ නිරූපිත භව චක්‍රයෙන්ද සිංහල ඉලක්කම් හමුවේ.
සිංහල ඉලක්කමහි ප්‍රබල භාවිතාව පිළිබඳ කදිම උදාහරණය උඩරට ගිවිසුමය. සිංහල රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ අත්සන් තැබු මෙම ගිවිසුම සඳහා ඉංග්‍රීසී ජාතිකයන්ගේ අත්සන් තැබීමට භාවිතව ඇත්තේ හින්දු රෝම ඉලක්කම්ය. සිංහල ප්‍රහූවරුවන්ගේ අත්සන් ලේඛන සඳහා භාවිතා කර ඇත්තේ සිංහල ඉලක්කම්ය. මෙයින් දිස්වන්නේ ජාතියේ පරාධීනම පැයේ පවා සිංහල ඉලක්කම සතුව පැවති ප්‍රබලතාවය.
මේ අනුව සිංහල භාෂාවෙහි පෝසත් භාවය වූ සිංහල ඉලක්කමෙහි ඇති වැදගත් භාවය පිළිබඳ නුතන සිංහලයන් නොදන්නේ මන්ද? මෙවන් විෂය තේමාවන් පිළිබඳ දැනුම අහෝසි වන්නේ නම් එය ලෝකයටම හිමි විය යුතු දැනුම් පද්ධතියක අවසානයම වේ. එමෙන්ම සිංහල ඉලක්කම නොනැසි රැකගත් ජෝතිර්වේදීන් පවා වත්මන වනවිට සිංහල ඉලක්කම බැහැරකොට ඇත. නමුත් මෙම නව දැනුම ව්‍යවහාරය ආදේශ කර ගත යුතුය. ඒ අතීත අන්තවාදයකට නොව, රැකගත යුතු පුරාණ ශ්‍රාස්ත්‍ර විද්‍යාවකට පණ දීමටය. මන්ද ඉලක්කම යනු අංකය, අංක යනු විද්‍යාවකි. භාෂාවක් වඩාත් සජීවීව දාර්ශනික වනුයේ ද තාර්කික වනුයේ ද අංක ගණනයට ස්වර උපදවන්නට පෝහොසත් වූ විටය. එවන් අසිරිමත් ලක්‍ෂණ වලින් පෝහොසත් “සිංහල ඉලක්කම“ ජීවමාන කළ යුතුය.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දේශපාලන හා සමාජ විශේලේෂක