දණ්ඩනය, නීතිගතව ඇති රාජ්‍ය පාලනයට අදාළ වූ නියමයකි. මේ නියමය සත්ව ලෝකයේ ස්වභාවයක් ලෙස ගලපා ගෙනවිත් ඇති චර්යාවකද වේ. විටෙක

දණ්ඩනය ශික්ෂණය සඳහා මාවතක් සේ සම්ප්‍රදායිකව පිළිගන්නා ක්‍රියාමාර්ගයකි. තවත් අතකට එය අනෙකා අවනත කර ගන්නට ස්වයංසිද්ධව පැන නඟින චර්යාවක් වැනිය. මේ නිසා දඬුවම හෙවත් දණ්ඩනය මනුෂ්‍ය පාලනය  එක්ක එකට බැඳෙන්නේ නිරායාසයෙන්ය. ප්‍රජාව සමඟ රාජ්‍ය බිහිවන විට මෙසේ දණ්ඩනයට නීතිමය අර්ථයක් සහිතව ව්‍යාවස්ථාමය නොවේනම් සම්ප්‍රදායිකව රාජ්‍යයේ පිලිගැනීමට ලක් වූයේය.

මෙම පිළිගැනීමම මානව සමාජයේ යහපත පිණිසම ඇති කර ගත් එකඟතාවයන් බව හැබෑවය. ඒත් එම එකඟතාව හිමි වන විට එය ක්‍රියාවට නැගෙන ස්වභාවය අනුව දේශපාලනයේ තාලයන්  ඒ මේ අත දරණ අයුරු පෙනේ. මේ කරුණ ගැන මෙනෙහි කරන විට ගෞතම තථාගතයන් වහන්සේ දණ්ඩනය ලෞකික රාජ්‍යයේ රාජ්‍ය පාලන මාර්ගයේ මූලික පදනමක පිහිටා තබයි.

බොහෝ අය සිතන ආකාරයට නම් බුදුන් වහන්සේ රාජ්‍ය පාලනය වැනි ලෞකික දෑ නොතැකූ ශාස්තෘවරයෙකු සේ සිතයි.ඒත් එය බුදු දහම ගැන ඇති අනාවබෝධය විසින් ඇති කර ගන්නා මනෝ ව්‍යාධියක්ය. උන්වහන්සේ දණ්ඩනය රාජ්‍යය සහ පාලකයා භාවිතා කළ යුතු බව කියයි. එමෙන්ම එය භාවිතා කිරීමේ අරුතද, මොහොතද, අවස්ථාවද පැහැදිලි කරයි.


බුදුන් වහන්සේගේ දහම ලෞකිකත්වය ඔප් නංවන දහමකි. ලෞකිකත්වය ඔප් නංවා ලීම තුල බිහි වන සමාජය විනය මූලික ප්‍රභාෂ්වර සංතෘප්ත ස්ථානක රඳවා තබා ගැනීම උන්වහන්සේගේ යෝජනාවය. මේ යෝජනාවේ ක්‍රියාත්මකකරුවා රාජ්‍ය හෙවත් එහි භාරකරුවා වූ රාජ්‍ය පාලකයාය. එමෙන්ම ඔහුට මඟ පෙන්වන රාජ්‍ය ව්‍යවස්ථාවය. ඒ අනුව දණ්ඩනය සඳහා ව්‍යස්ථාවෙන් ඉඩක් වෙන් කර ගන්නට නූතනයේ සියළුම දියුණුම රාජ්‍ය ව්‍යස්ථාවන්ද කටයුතු කරන්නේ  එබැවිනි.

එවිට කෙනෙකුගේ හිත කුහුලෙන් පිරී යනු ඇත.එනම් නිවීම සඳහා අවසානයේ මඟ කියාදෙන ශාස්තෘවහන්සේ දණ්ඩනය රජුගේ හෝ පාලකයාගේ මෙවලම් කර ඇත්තේ මන්ද යන්නය. මෙහිදී මනා කොට සැලකිල්ලට ගත යුතු වන්නේ බුදුන් වහන්සේ විසින් නිවීම මනුෂ්‍යත්වයට අදාලව මනුෂ්‍යා තුල අවබෝධ කොට ගන්නා මාවතක් සේ දේශිත බවය. මනුෂ්‍යය ප්‍රජාව සම්මුතීන් තුල සම්මුතගතව ඇත. ඒ කියන්නේ සම්මුතිය ඉක්මවා යන පරමාර්ථය වූ නිවීම සොයා යෑම සම්මුතිය මතම සිදු වන බවය. තවත් සරල කරන්නේ නම් සම්මුති ලෝකයෙන් මිදෙන්නට හැකි වන්නේ සම්මුති ලෝකය සම්මුතිගත කොට ගනිමින් බවය.මෙය තවත් සරල කල යුත්තේ නම් මෙලෙස කිව හැකිය.

 

සම්මුතිය,  ධර්මය අනුව සම්මුති ගත කර ගත යුතු වන්නේය. සම්මුතිය තුළ ලබාගත යුතු උපරිමය ලබා ගන්නට දරන වෑයම මනුෂ්‍යයා ව්‍යස්ථාපිත මිනිසුන් බවට පත් කරයි. ව්‍යස්ථාපිත මනුෂ්‍යයා යන්න විනයධර ලෙස දහම පැහැදිලි කරයි. ඒ අනුව රාජ්‍යයක් යනු ව්‍යස්ථාපිත මිනිසුන්ගේ හෙවත් විනයධර මිනිසුන්ගේ එකතුවක් වේ. ඒ කියන්නේ ලෞකිකස්වාදය අභ්‍යාස කිරීමට පොදු විනයක් මත බැඳී ගත කරන සම්මුතියකි. බුදුන් වහන්සේ මෙන්න මේ සම්මුතිය සහ පරමාර්ථය සොයා යන මාවතට අර්ථයක් දෙන තැන සේ රාජ්‍ය දක්වයි. එම නිසා නිර්බාධිතව ලෞකික සහ ලොව්තුරු සැපය මානවයාට සපුරා දීමේ වගකීම දරන රාජ්‍ය හා එහි නායකයා හට දඬුවම හෙවත්  “ මත්තඤ්ඤූ ” බලය හිමි බවයි ගෞතම තථාගතයන් කියා සිටින්නේ.

 

“ මත්තඤ්ඤූ ” හෙවත් රාජ්‍ය සතු මේ දඬුවමින් අපේක්ෂා කරන්නේ ව්‍යස්ථාපිත සමාජය ව්‍යස්ථාපිතව රැක ගනිමින් නිර්බාධිතව ලෞකික සමාජය පවත්නා ගැනීමය. විනයධරයන්ගේ සමාජය යනු ලෞකික සුවය ඉෂ්ඨ ප්‍රාප්ත කර ගන්නා මානවයන්ගේ සමාජයටය. එවිට අවිනය අවනීතිය මතු වීම වලක්වාලමින් රාජ්‍ය පාලකයා කටයුතු කළ යුතුය. මේ සඳහා පාලකයා සතුවන විශේෂ ගුණ පහක්  පිළිබඳ දක්වන තථාගතයන් එයින් දඬුවමට සබැඳි “ මත්තඤ්ඤූ ගුණය ” රාජ්‍ය නායකයා තුළ පිහිටා තිබිය යුතු බව කියයි.

තම රාජ්‍යය ලෞකික විනයක පවත්වා ගත යුතුය.තම රාජ්‍ය එවන් ලෞකික විනයක තබා ගත හැක්කේ විනය බිඳ දමා යන කවරකු හෝ දමනය කිරිමෙන්ය. ව්‍යවස්ථාවෙන් පිටත යමක් පැවතිය නොහැකි බව මේ “ මත්තඤ්ඤූ ගුණය ” යටතේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරයි. නිවන අවබෝධ කර ගන්න ගමනට රාජ්‍යය අදාල බව මේ මඟින් අවධාරණය කරයි. ප්‍රජාවේ ලෞකික විමුක්තිය ගෞතමයන් වහන්සේගේ දහම් මාර්ගයෙන් බාහිරව ඇත්තක් නොවේ. එය උන්වහන්සේගේ ලොව්තුරු ලෞකික සමබරතාවේ ධර්මයටම සංයුක්ත වූ මාවතකි. මේ නිසා ත්‍රිපිටකය තුල තව දුරටත් “ මත්තඤ්ඤූ ගුණය ” සඟවා තබා ගත යුතු නොවේ.

 

වරදට නිසි දඬුවම් දැන සිටීමත්, තමා අභිමුඛවට පැමිණෙන වරදකරුවන්ට දිය යුතු දඞුවම මනාව දැන සිටීම රාජ්‍ය නායකයාගේ මූලික අංගයන් සේ තථාගතයන් පවසන්නේ එබැවිනි. ඒ වගේම උන්වහන්සේ “ මත්තඤ්ඤූ ගුණැති ” නායකයා කළ යුතු අතිශයෙන්ම වැදගත් අංගයක් සේ කරුණක් දක්වයි. වරදකරු කොතරම් බලවත් හා පක්ෂග්‍රාහී වුවද රාජ්‍ය නායකයා ඔහුට දිය යුතු දඬුවම අවබෝධ කොටගෙන කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ව්‍යස්ථාපිත සම්ප්‍රාදායේ හෝ සිරිත් සම්ප්‍රදායෙන් පිටත කිසිවෙකුට ක්‍රියා කිරීමට ඉඩක් නොතබා දණ්ඩනය පැනවිය යුතු බවයි. එනම් මේ කියන්නේ වඩාත් හොඳ ක්‍රමයක් උදෙසා පවතින ක්‍රමය පෙරළා දැමීම බුදුන් වහන්සේ අනුමත කරන්නේය.

 

ඒත් එය කළ යුතු වන්නේම පවතින ව්‍යස්ථාව හෝ සිරිත් හෙවත් සම්ප්‍රධායික මාර්ග ඔස්සේම බවය. සිරිතට හෝ විනයට නීතියට පිටින් පැන නඟින කවර අදහස් ක්‍රියාමාර්ගයන් හෝ ක්‍රමයක් ක්‍රියාත්මක වීම උන්වහන්සේ අනුමත නොකරයි. මන්ද ලෞකිකත්වය විනය මූලික මානව අයිතියක් සේ තහවුරු කර සිටින්නේ ගෞතමයන්ය. එබැවින් ලෞකිකත්වය ආරක්ෂා කිරීම රාජ්‍ය ආරක්ෂා කිරිමය. එහි සිරිත් පවත්වා ගැනීමය.

රාජ්‍ය නිවැරදි කිරීමද එය නවීන කිරීමටද “ මත්තඤ්ඤූ ගුණය ” අදාලය. එනම් ලෞකික රාජ්‍යයට බාධා කරන කවර ක්‍රියාමාර්ගයක හෝ යන අයෙකුට ඉඩ නොතැබීමට මෙවන් ගුණයක් ගෞතමයන් වහන්සේ යෝජනා කර සිටින්නේ මන්ද? ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව රාජ්‍ය යනු ලෞකකිවාදය නිසි පදනමින් ලබා  ගැනීමට මානවයා ගොඩ නඟා ගත් ව්‍යූහය බව මනා කොට අවබෝධ කර දීමටය. එමෙන්ම ලෞකික රාජ්‍යයක ගමන නිවැරදි නීති ව්‍යවස්ථා හා විනය රටාවේ ගමන් කිරීම නිවන සඳහා පහසුම  මාවත සේ උන්වහන්සේ අවබෝධ කර ගත් අවබෝධ ඥානයයි. එම අවබෝධමය සාක්ෂාත් බව නිසාම උන්වහන්සේ දඬුවම මනාව හැසිරවීමේ බලය රාජ්‍ය නායකයා සතු කර ඇත.

 

 

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්