මතයන් ලෙසද මිතයන් ලෙසද හඳුන්වා ගත් අධි නාගරිකයන්ගේ තීරුව කවුරුද. නිල වංශ කථා ද්විත්වයම පැහැදිළිව ලියා තබා තිබියදී ලාංකික ඉතිහාස කථිකාවන් තුල හෝ ශාස්ත්‍ර අධ්‍යයන විමර්ෂණ මතු කිරීම් වලට
මිතයන්ව කිසි විටෙක පාදක කර නොගනී. මේ ජන තීරුව කවුරුන් වෙතද.? පරිවර්තනමය කාර්යයේදී සිංහල අරුතින්ම සංස්කෘත භාෂා මූලයෙන් මතයන් හෙවත් මිතයන් මිත්‍යා දෘෂ්ඨිකයන් ලෙස අරුත් ගන්වා ඇත.
මේ මිත්‍යා දෘෂ්ඨිකයන් යන වදන නුතන අරුතින් වටහා ගැනීම එතරම් ගෝචර නැත. අනෙක මිත්‍යා දෘෂ්ඨිකයන් ලෙස අප දකින්නේ අපගේ පංචේන්ද්‍රීය මානයන් හා සසඳා ගත නොහැකි දේය. සම්මත පංචේන්ද්‍රීය දැක්මට එකඟ නොවන දෑ මිත්‍යා ලෙස ඛාණ්ඩ කර ගැනීමම අපගේ දෘෂ්ඨීමය සීමාව අනුව ගන්නා ව්‍යායාමයක් පමණි. එය එම ඛාණ්ඩය තේරුම් ගැනීමට අප සතුව පවතින ඥාණ අවබෝධයේ සීමාවද විය හැකිය. කෙසේ කොහොම නමුත් මිතයන් මතයන් හෙවත් මිත්‍යා දෘෂ්ඨිකයන් අනුරාධපුර බහුත්ව නගර යායේ එක් නගරයක නිල උරුම කරුවන් ලෙස අධි නාගරික ජන ස්ථරයක් ලෙස නිල පිළිගැනීමට ලක් වන්නේය. ඒ ක්‍රි.පු. 4 වන සියවසේ පණ්ඩුකාභය රජතුමා අතිනි.

අනුරාධපුර යුගය අරඹන විට රාජ්‍යයට පවා බැහැර කොට යා නොහැකි වූ මේ ජන ප්‍රජාව ගැන ගැඹුරට එබී බැලීමක් නොමැත්තේ මන්ද. අනෙක රාජ්‍යයේ අග නගරයේ නිල නගරාංගනයන් අතරට ඒමට මිතයන් හෙවත් මිත්‍යාදෘෂ්ඨිකයන් සමත් වන්නේ කෙළෙසද. මේ පෙන්වන්නේ සිංහල රාජ්‍යය සම්ප්‍රදාය විසින් පිටමං කල අදහසක් නමින් යමක් පිළිනොගත් බහුත්වමය ලක්ෂණහි විසල් පරිමාණයය. තම තම ජනයන්ගේ ඉන්ද්‍රීය ගෝචර ඥාණයන් හා නොසෑදෙන නොගැලපෙන පිරිසක් මෙසේ ලංකා ඉතිහාසයේ අතිශය තීරණාත්මක සමාජ දේහයකට හිමිකම් කියමින් පැමිණ ඇති බව මේ නිල වංශ මූලාශ්‍රයම පෙන්වයි.
එපමණක් නොව මිතයන්ගේ ජන අන්දරය සමඟ එම නිල මූලාශ්‍ර පහදා ගත් විට ඔවුනගේ ඉතිහාස භූමිකාව උස්ව නැගී සිටී. මිතයන්ගේ ප්‍රජාව අනුරාධපුර අධි නාගරිකයේ භූමි පුත්‍රමය උරුමයකට හිමිකම් කියන්නේ මෙම කරුණ නිසාමය.

පසුව සිදුවන ඉතිහාසය වර්ගීකරණයෙන් සිදු කරන්නේ මනාප දෑ තබා අමනාප දෑ අතහැර මතු පරපුරට ඉතිහාසය රැගෙන යාමයි. ඒ නිසා මිතයන් සහමුලින්ම අමතක කර දමා ඇත. ඉන් සිදුව ඇත්තේ කාලාන්තරයකට පසුව සම්මතයට වටහා ගත නොහැකි ජන ප්‍රජාවන් පුද්ගලයන් හා ශිල්ප සමාජය තුල ගලා එන විට එයට බැදී ඇති සමාජ බලය කුමක්ද යන්න වටහා ගත නොහැකි වීමය.එවිට වන්නේ එවන් ශිල්ප චර්යා හා ජීවන ලාලාසාවන් මර්ධනයට තහනමට හෝ අසම්මත ගණයට දා ගැනීමේ මෝඩකමය.
මිතයන් ප්‍රජාවක් ලෙස විසිර යාමේ කථාවට එබෙන්නට අවශ්‍යය. ඔවුන් විසිර දැමූවාද. විසිර ගියාද යන්න විවාද සම්පන්නය. නමුත් මිතයන්ගේ චර්යා දැක්ම හෝ ශිල්ප, සමාජය තුලින් විටින් විට මතුවන ආකාරය ඉතිහාස නිරීක්ෂණාගාරයේ තබා සංයුක්ත කල විට මානාව පෙනේ.
මිතයන්ගේ මූලික ක්‍රියාව අතර වූයේ පවත පත නොලියා පපුවේ ලියවිය යුතු බවය. ඒ කීවේ යමක් ලේඛණ වහරට නොයා යුතු බවය. ලේඛණ වලින් ලෝකය තීරණය කරන්නට පටන් ගත් විට මිතයන්ගේ ඉතිහාසය බලාගන්න බැරිවේ. ඒ විතරක් නොව අලිඛිත දේ මායිම් නොකොට ලිඛිත දේ මායිම් කොට අතීතයද වර්තමානයද අනාගතයද තනා ගැනීමේ ඒකයාමයක් තැනේ. සත්‍යද ධර්මයද ලේඛණ ගත නොකිරීම ඒ ඒ චින්තකයන් හා ශාස්තෘන් වහන්සේලා පනවා ගත් ස්වයං විනයකි. ගෞතම තථාගතයන් වහන්සේ පවා ස්වකීය ධර්මස්කන්ධය ග්‍රන්ථ මූලිකව ලේඛණ ගතකිරීමට තම ධරමාන කාලයේදී ඉඩ ප්‍රස්ථා විවර නොකලේය.ඒ අර්ථයෙන් ගත් කළ මිතයන් කී කථාවද මහත් ගැඹුරක් දනවන කථාවකි. කොහොම නමුත් අනුරාධපුර අධිනගර යායේ මිතයන්ගේ නගරය මතු දවසක පුරාවිද්‍යා නිරීක්ෂණයන්ට මඟ හැර යන්න බැරි තැනක් බවට පත්වනු නොඅනුමානයි.

මන්ද ශිෂ්ඨාචාරයට මිතයන්ගේ අවධානයෙන් බැහැර යා හැකි දුර අවසන් වෙමින් පවතී. යූරෝ කේන්ද්‍රය මායා අධියථාර්තය කරාද, ලෝකය ඉතිහාස පිපාසය වෙතද ගමන් කරමින් මේ පෙන්වා සිටින්නේ එයයි. මිතයන් සමඟ බිහිවූ සමාජ වෛරයට තවත් යා හැකි ගමනක් නැත. එබැවින් මිතයන්ගේ ශිල්ප වේගයෙන් ලෝකයාට සොයන්නට සිදුවනවා නොඅනුමානයි. මහත් වැදගත් සේ ලෝකයා උපුටා දක්වන ග්‍රීක මිත්‍යා කථාංග සුලභය.
ඒත් ග්‍රීක ඇතෑන්ස් පුර රාජ්‍යයට වඩා ඉදිරියට යමින් අනුරාධපුර පුර රාජ්‍ය මණ්ඩලය ඉතා දියුණු පියවරක් සැබෑ කර තිබුණි. එනම් මිත්‍යා මතකයින් රාජ්‍යයේ පුරවැසියන් ලෙස සමාන සිවිල් අයිතිවාසිකම් සහිතව පිළිගෙන තිබීමය.
ඒ මිත්‍යා සංකල්ප ධාරීන්ගේ නගරාංගකයට පණ්ඩුකාභය රජුගේ රාජ්‍ය පිළිගැනීම දීමෙන්ය. එය පෙන්වන්නේ ඔහුනගේ පිරිස් බලයට වඩා දාර්ශනික සහ සංකල්පීය මෙන්ම ලාලාසාවන් සහිත ශිල්ප බලයය. කාල තරණයේ සිට ඉසි වාහකය දක්වාද නොනවතින ශෘංගාරයට බැඳී ගෙනෙන පුරාණ විශ්ව මානයන්හි, නිර්මාණය මිතයන් බව පෙනේ. එපමණක් නොව ලිංගිකත්වය කුටුම්භකරණයෙන් පිට පවතින විෂයක් සේද මිතයන් ගෙන ගිය ජීව වාහකය අති ප්‍රබලය. පණ්ඩුකාභය රජු තම දේශපාලන සවිඥාණිකත්වයට මේ සියල්ල පාදක කර ගන්නේ බරපතල හේතුවක් සහිතවය. ලෝක දේශපාලනය තුල පුරාණ නූතන විධි අතර මෙවන් පිළිගැනීම් සහිතව මිතයන් රාජ්‍ය විසින් ඔසවන සමාන ප්‍රජාවක් සේ පත් කරගෙන ඇති තැන අනුරාධපුර අධිනගර යුගයය.

දැන් නූතන අප අභිමුවට ඇවිත් ඇති ප්‍රශ්ණය වන්නේ මිතයන්ගේ නගරය බිමට සමතලා කලේ කවුරුද යන්නය. මිතයන්ගේ නගරාංගය වෙනස් ගෘහ කලාවක් වෙනස් වීදි, පටු මාවත් හා සංස්කෘතික කලාපයක් විය යුතුය. ඔවුනගේ වාස්තු විද්‍යාව මෙන්ම ඔවුනගේ ජීවන ලාලාසාවන් මෙන්ම සාහිත්‍ය කලාව ගීතය නාට්‍යයේ සිට භාෂා වහර දක්වා අධ්‍යයනයක් වෙත හැරිය යුතුය. මිතයන් ඒ කිසිවක් පත නොලියා පපුවේ ලියා තබා තිබූ ජන ප්‍රභවයකි. ඔවුන් විශේෂ අධි බලයක් රෝපිත කර ගනිමින් අනුරාධ නගරයේ නගරාංගයකට හිමිකම් කියන්නේ එබැවිනි. ඔවුනගේ ශිල්ප බලය , දේශපාලන බලය සාහිත්‍ය කලා හා සංස්කෘත බලය මෙන්ම ලිංගික පරිමාවද වෙනස් වන බව පැහැදිළිය. තව දුරටත් මිතයන් මකාගෙන සිටීමෙන් පලක් නැත. මිතයන් විවෘත කර ගැනීමට මේ වියමන බැන්දේ ඒකය. බොහෝ අය ඉතිහාසයේ ඇත්ත මතුකරන විට අහන්නේ ඕවාට මූලාශ්‍රයන් තිබේද කියාය.
මිතයන් සඳහා මහාවංශය දීපවංශය මූලාශ්‍ර දී ඇත. කිව යුත්තේ ප්‍රශ්ණය ඇත්තේ මූලාශ්‍ර ඇති නැති කම මත නොවන බවය. ඉතිහාසය හදාරන්නන්ගේ විෂයකි. එය වමාරන්නන්ගේ විෂයක් නොවේ. එබැවින් ඉතිහාසය ඉතිහාසයෙන්ම බැලිය යුතුය. ඒත් ඉතිහාසය බලන්නේ ඉතිහාසයෙන් නොවේ. වහාම ඉතිහාසය ඉතිහාසයෙන් බලන්න.එවිට මතයන් ඈතින් කථා කරනු ඇත.

දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න