වල්ලි අම්මා ගැන දන්නා තරමට වල්ලිලා ගැන නොදනිති. කතරගම දෙවියන්සේ ප්‍රචලිත ස්කන්ධ කුමාර හෙවත් මහසේන රජුගේ බහු භාර්යාවන් අතර වල්ලි අම්මා ප්‍රකටය.
එවිට වල්ලි ගැන මතකය ඇය හා බැඳී ඇති කතාව ලංකා පොළොවේ ඇතුළු දිග හැරීමක් බව වැටහේ. මේ ඇතුලේ කථාව ලෙස නම් කරන්න තරම් වල්ලිලා සුවිශේෂ ස්ත්‍රී ගණයක් වුයේ මන්ද. වල්ලිලා, වන්නි වල්ලිලා ලෙසද ස්වර්ණ වන්නියේ වල්ලිලා ලෙසද ගිරි වල්ලිලා ලෙසද තුන් ආකාරයකින් හදුනාගෙන නාම විශේෂ කරණයකට පාත්‍රව ඇත.එවිට එම තුන් ගොල්ලෝ සහ වල්ලිලා අතර පෑහීමක් ඇති බව පැහැදිලිය.
වන්නියට යාවුනු වන්නි වල්ලිලා ගැන කදිම කතා බොහෝය. ඒ කතා කිසිවක් එළියට ගෙන කතිකා කිරීමට මැලි වන්නේ හේතු කීපයක් නිසාය. එකක් වන්නි වල්ලිලාද ලංකාවේ වල්ලි නම් ගැහැණු වංශයේ උප විශේෂයකි.
ඒ කියන්නේ වනසර භාවයන් සමඟ දිවි ගෙවන ද්විසරාගී ගැහැණුන්ට වල්ලි නම් උප මානවීය හඳුනා ගැනීමකි. එනම් තවත් විස්තර කරන්නේ නම් මෙසේය. අතීතයේ පුද්ගල ශරීර විශේෂතා හා ආශාවේ ස්වභාවය සමඟද එයට බැඳි ජීවන ලලාසාවන් හා ජීවිත තාලයන් එක්කොට මානව වර්ග හඳුනා ගනී. ලංකාවේ ගැහැණුන් අතර වල්ලීන් විශේෂ වන්නේ ඒ අයුරින්ය.
මේ වල්ලි කතාව හොදින් වටහා ගන්නට ඇති පුවත කදිර දේව පුවතය. තම ශ්වේත ආශාව වූ තේවානිට අමතරව වල්ලි නම් නීල වර්ණ වනසර ස්ත්‍රියට කදිර දෙවියන් ආශාකෘත වනුයේ කිමද. ඒ ඇගේ රූ සොබාවේ හා ලලාසාවන්ගේ අන්‍යතාවය නිසාය. ඇය නියෝජනය කරන්නේ හුදු එක් ස්ත්‍රීයක් පමණක් නොවේ. වල්ලී නමින් රූපකරණය වන්නේ ලංකාවේ වනවාස කලාපයේ ස්ත්‍රී වර්ගයය. වනවාස වන්නිය මහ වන්නිය සහ සීත වන්නිය ලෙස උප කලාප දෙකකින් හැඳින්වේ. ලංකාවේ නාගරිකය හා වනවාසය නමින් බෙදීමක්ද වේ.
අද ගම නගරය ලෙසද හදුන්වා ගන්නේ මෙයයි. වම දකුණ ලෙස දේශපාලන සූත්‍රයේ පදනම වන්නේද මෙයමය. තවත් ගැඹුරට ගියහොත් ථෙරවාදී ශාසනය අද දක්වාම වනවාස - ග්‍රාමවාස නමින් ද්විත්ව දහරා දෙකකින් යුතුය. එමෙන්ම අදත් මෙරට ප්‍රමුඛ ශාසන නිකාය වූ සියම් මහා නිකාය, මල්වතු පාර්ශවය සහ අස්ගිරි පාර්ශවය ලෙස මූලස්ථාන දෙකකින් පවතින්නේ ඒකය. වල්ලිලාගේ දරුවන්ගේ ශාසනය කොහොමත් වනවාසීය. මෙම වනවාසී - ග්‍රාමවාසී ගැටුම ශාසනය දක්වා එන්නේ ලංකාවේ ගැහැණු දෙවර්ගයේ කථාවෙන්ය. සීගිරි කාශ්‍යප නිල්වනුන් - රන්වනුන් සේ ශෘංගාර කලාපයට ගෙන නිරුවත් කොට පෙන්වන්නේ ඒ කතාවය.
ඉතින් වල්ලි අම්මාට ස්කන්ධ කුමාර වශීකෘත වූයේ හුදු පුද්ගල භාවයෙහි කතාව නිසාම නොවේ. ඒ පුරුෂ හැගීම් වලම ද්විත්මය ආශාවේ කැළඹිල්ලය. මේ කතාව ලිහා ගන්න බැරි තරම් ගැඹුරුය. දැන් එවිට වන්නි වල්ලිලා ගැන සෙවීමක් කල යුතුය. මහ වන්නිය ලෙස ලංකාවේ දැක්වෙන්නේ උතුරු වන වාසයය. උතුරු වන කලාපය තුල ජීවත් වන වන්නීන් අතර වන්නි වල්ලිලා නමින් උප කාන්තා විශේෂයක් හමුවේ. වන්නි වල්ලිලා ලංකාවේ රජවරුන් රජ කුමරුන්ව අතිරහස් කාමයෙන් වශී කරන ලද කතා බොහෝය.
විජය කුමරු වශීකෘත වූ කුවේනියගේ ජාන දක්වා වන්නි වල්ලිලාටද බැදීමක් ඇත. ලංකාවේ අවසාන ගරිල්ලා නායිකාව සිට ලන්දේසි අතින් ඝාතනය වූ වන්නිච්චි මරියා සෙබ්බත්ති දක්වා වන්නි වල්ලිලාට නෑකමක් වේ. එපමණක් නොව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අවසාන ස්ත්‍රී භාරකාරියව සිටි ඕවිල්ලේ කුමාරිහාමි දක්වා වන්නි වල්ලිලාට අනුගාමී ස්ත්‍රී චරිත හමුවේ.
වන්නි වල්ලිලා මෙසේ උප විශේෂ බැදීමකට හේතු වූයේ හලාවත සිට මන්නාරම දක්වා වූ මුතුපරය නිසාය. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ලංකාවේ මුතු තොට ලෝක කේන්ද්‍රයට බැඳේ. මුතු තොටට එන මුතු කිමිදෙන්නන් අතර වන්නි කිඳුරියකගේ කතාවක් වේ. ඒ තම ස්ත්‍රී නිමිත්ත මුතු වලින් සරසා ගත් මුතු කිමිදෙන්නිය ගැනය. බැද්දෙන් ලන්දට බැස ලන්දෙන් වැල්ලට විත් මුහුද ගැඹුරට ගිය ගැහැණුන් ගැන කතා දිග හැර බැලිය යුතුය. වල්ලිලා වන්නි වල්ලිලා වූයේ මෙහෙමය. එවිට වන්නි වල්ලිලා සමඟ පෑහෙන පිරිමි විශේෂ වන්නේ කේරළ දණ්ඩන්ය. කේරළ දණ්ඩන් මුතු පරයේ කිමිදෙන්නේ කේරළයේ එහා කෙළවරෙන්ය.
ලංකාවේ සමාජ බලය කෞරවයන්ට ගෙන ඒමේ ආරම්භ කතාවට මුලපිරෙන්නේ මේ විධියටය. වල්ලිලා කොටසක් වන්නි වල්ලි ලෙසද කෞරව වන්නීන් ලෙසද බිහි වන්නේ මෙතැන් පටන්ය. එවිට වන්නි වල්ලිලාට පොදු උරුමය අහිමි වී ගිය බව පෙනේ. එතැන් පටන් වල්ලිලාගේ යටින් මිස උඩින් වන්නි වල්ලිලාට ඉස්මතු වන්නට බැරිය.
කතරගම කදිර කුමාර හෙවත් මහාසේනගේ බිසව වන්නට වල්ලි අම්මාට හැකි විය. නමුත් ඉන්පසු බොහෝ වල්ලි වන්නීන්ට සිදුවූයේ රජුගේ ආශාවේ ගැහැණුන් වන්නට පමණි. මෙලෙස වන්නි වල්ලීන්ට සිරි යහනෙන් පිටමංව යාමට සිදු වූයේ බිසවක් නොවීය. මේ ලංකාවේ සමාජ අරගලය යට ඇති ගිණි පුපුරය. මේ පුපුර පුපුරා යන හැටි වෙනම ලිහාගෙන අවබෝධ කර ගත යුතු කදිම කථාවකි.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න