Prasanna Weerakkody- Paintings
පුරුෂයන් දෙදෙනෙක් එකම කිරුළ දරා එකම රාජ ආසනයක එකම රාජ ගෘහයක ඒක චත්‍ර රාජ්‍ය පාලනයක් ඉටුකල දෙවිසි වසර (22) ගැන කතා කරන්නට අවශ්‍යය යැයි සිතේ.
සේන - ගුත්තික නම් මේ යුගල බන්ධනය වටහා ගැනීම සඳහා කිසිදු විමංසාවක් කර නැති තරම්ය. අශ්ව වානිජවාදීන් දෙදෙනෙකු ලක් රාජ්‍යය මෙලෙස ක්ෂණිකව අත්පත් කර ගැනීම ගැන ලංකා සමාජයට ලබාදී ඇති එකම සංඥාව නම් බාහිර ආක්‍රමණයක් සිදුකළ විජාතිකයන් දෙදෙනෙකුගේ කඩා පැනීමක් බවය. නමුත් වසර විසි දෙකක් මේ යුගල බන්ධන පුරුෂයන් දෙදෙනාට ලක් රාජ්‍යය නිරුපද්‍රිතව පාලනය කරන්න වරම් ලැබුනේ කෙසේද.
සේන - ගුත්තික දෙදෙනා බලය නැමැති ප්‍රබලම මානව බල තරඟය තුල සාමන භාව බන්ධනයක සිටියේ කෙසේද. ඒ කීවේ බලය තුල සියල්ල එකිනෙකා භේද වීම ස්වභාවය වන විට මේ දෙදෙනා රාජ්‍ය බලය එකට පවත්වා ගත් විමතිය කුමක්ද. අන් අතකින් සේන - ගුත්තික දෙදෙනා විජාතික වුවද ඔවුන් දෙදෙන ගැන ප්‍රතිරෝධයක් නොදක්වා ලාංකික ජන සමාජය එම පාලනයට අනුගතව වසර විසි දෙකක්ම රැදී සිටිය හේතුව කුමක්ද.
කෙටියෙන්ම කිව යුත්තේ වංශ මූලාශ්‍ර සියල්ල සේන - ගුත්තික නම් රජවරු දෙදෙනා එකම යුගල බන්ධනයෙන් නම් කරන්නේ මන්ද යන්නය.
ඉතිහාසය මෙවන් රස මානව බැලිය යුතු බහු අර්ථ පිරුණු තැනකි. ඒත් වනපොත් කරමින් තවමත් සේන - ගුත්තික දෙදෙනා ගැන විජාතික පරයන් කියනු හැර ඇස හැර යලි විමසා බැලීමක් නැත. මෙම යුගල බන්ධන පුරුෂයන් දෙදෙනා ලංකා රාජ්‍යය තුල සිදු කල පාලනය ප්‍රශස්ත හා ධාර්මික මෙන්ම කාර්යශූර මහා බලගතු පාලන ක්‍රමවේදයක් සේ මහාවංශ කතුවරයාම ලියා තබයි. ඉතිහාස පොත දෙමල විරෝධී යැයි හිතන බොහෝ අය නොදන්නා තැන මෙතැනය.ලක් ඉතිහාසය තනි සිංහලවාදී යැයි හිතන අයත් නොදන්නා ඇත්ත මෙයයි. දැන් බැලිය යුත්තේ පණ්ඩුකාභය රජතුමා පුර නැංවු අනුරාධපුර අධිනගරය වේගවත් පිම්මේ වර්ධනයවී ඉන්පසු මගධ ධර්මාශෝක අධිරජ සමඟ දෙවනපෑතිස් රජුගේ සුසංයෝගයෙන් ප්‍රබල තැනකට පැමිණි කාලය ගැනය.
එම කාලය තුල මිහිඳු හිමියන් හා සංඝමිත්තා තෙරණිය වැඩම වීමත් සමඟ තවත් ප්‍රබල ඉසව්වකට ලංකා රාජ්‍ය ගමන් කරයි. එනම් ලෞකික රාජ්‍යය තුල ලොව්තුරු ලොවද නිර්මාණය කර ගනිමිනි. දෙවනපෑතිස් රජතුමාගෙන් පසු වසර හතලිහක් ගෙවී යන විට සේන - ගුත්තික දෙදෙනාටම ලක් රාජ්‍යය ලබා ගැනීමට හැකිවූ අරුමය කවරේද.
මගධ මෞර්ය හිත මිත්‍ර අනුරාධපුර මහාවංශ රාජ පංතියට එරෙහිව රුහුණේ ඇති වෙමින් තිබූ මගධ විරෝධීමය ඒකදේශවාදීන්ගේ නැගිටීම් කිසිවකට ලක් රාජ්‍යය ලබා ගන්නට නොහැකි විය. එසේම ස්වදේශීවාදීන්ගේ කිසිදු නැගිටීමක් සිදුනොවී මෙම පාලනය තහවුරු වන්නේය. ඒ අනුව එම සමාජයේ තිබූ බරපතල හිඩැසක් පුරවා ගන්නට එවකට ලංකාවේ කිසිඳු රාජ්‍යතාන්ත්‍රික පෞරුෂයක් නොතිබුන බැවින් බව පෙනේ.
අනික් අතට ස්වදේශික වාදී භූමි පුත්‍රයන්ගේ පරගැති විරෝධයට ඉඩක් ජනතාව අතර ලැබී ඇති බවක්ද නොපෙනේ. එසේ ඉඩක් තිබුනේ නම් යක්ෂ නායකයන් රජ විය යුතුය. ශ්‍රී ලංකාව එකල සරුසාර තැනක ස්ථාන ගතව තිබූ රටකි.
එසේ නම් මගධ චීන රෝම ග්‍රීක මැසිඩෝනියා ලෝක ජාලය අතර වරාය වානිජ කේන්ද්‍රය වු ලංකාවට එකල තිබූ දේශපාලන අවකාශය කුමක්ද. ඒ අවකාශය තේරුම් ගැනීමෙන් පමණක් සේන - ගුත්තික යුගල පුරුෂයන්ගේ රාජ පද ප්‍රාප්තිය තේරුම් ගත හැකිය. එය හුදු වාර්ගික විරෝධීමය චින්තාවක බහා ගෙන සිටීමෙන් එම යුගය වටහා ගන්නට නොහැක.
එක අතකින් මෙම දෙදෙනා කමනීය සමාජ භාව අර්ථයක් කාවද්දවා ඇත. ඒ පුරුෂයන් දෙදෙනෙකුගේ භාව සමානතා පාලනය නිසාය. අනික තමන්ගේ ජන වර්ගයට පිටින් ඇති රටක් බලෙන් ලබාගෙන පාලනය කොට එම රටේ වංශ කථා වලින් පැසසුම් ලබාගෙන ඇති අපූරුවය. එවිට බැලිය යුත්තේ සේන - ගුත්තික දෙපළ කවුරුද කියාය. ඔවුන්ගේ ඉතිහාස වංශ පෙළපත් කිසිවක් ගැන කිසිම තතු විත්තියක් අප සතුව තවමත් නැත. වංශ මූලාශ්‍රය ඉතා විනීතව ඔවුන් දෙදෙනා ගැන මෙසේ කියයි.
මහා බලවතුන් වූ සේනැ ගුත්තිකැ යන අස් නැවී පුත් දමිළෝ -( මහාවංශය 21 සඟ)
මෙම මහාවංශ වැකිය තුලම සේන - ගුත්තික මහා පෞරුෂ බවත් පුතුන් නම්, ආදර වදනින් කතුවරයා එම දෙදෙනා ගෙන හැර පා ඔවුන් දමිළයන් බව කියයි. එසේ නම් දකුණු භාරතයෙන් හෝ වෙනත් කලාපයකින් පැමිණි ද්‍රවිඩයන් දෙදෙනෙක් විය හැකිය. මේ දෙදෙනාට එරෙහිව ජනතා විරෝධයක් තිබී නැත. මෙම දෙදෙනා මහා බලවතුන් සේ ගෞරව අර්ථයෙන් පුතුන් සේ ආදරය අර්ථය සහිතවද මහනාම මහතෙරිඳු මහාවංශය තුල පසසයි. ඔවුන් දමිළෝ යන්න ප්‍රතිවිරෝධීමය අර්ථයට වඩා වංශ ජාන උරුමය ගැන ලබා දෙන ඉඟියක්ය.
එවිට මගධය රෝමය චීනය මැසිඩෝනියානු රාජ්‍යයන් මේ බල ස්ථාපිතය පිළිගන්නට හේතුව කුමක්ද. එම රාජ්‍යයන් ස්වදේශික මහාවංශ දේශීය මුල රජ පරපුර පළවා හැර ලංකා රාජ්‍යය ලබාගත් සේන - ගුත්තික පුරුෂ යුවළ පිළිගන්නේ කවර හේතුවක් නිසාද. එම පිළිගැනීම ලාංකික ජනයා පිළිගන්නේ මන්ද. මේ ලංකා ඉතිහාසයේ ගැඹුර මනාව දැකිය හැකි සියුම් කැඩපතක් සහිත යුග කාලයකි.
ඇත්තටම සේන - ගුත්තික පුරුෂ යුගල බන්ධනය ලෝක ආදර්ශයක් තරම්ය. ලෝකයේ කවර තැනක හෝ දෙදෙනෙකු එකම රාජ්‍යයක රජකම එකට එක්ව දරා ඇත්තේද. සෙවිය යුතුය. එවන් රාජ්‍ය පාලනයක් ඇත්තේ දන්නා තරමට ලංකාවේ සේන - ගුත්තික යුගල රජ දරුවන් දෙදෙනාම පමණය.
එවිට මෙම දෙදෙන නියෝජනය කරන සමාජ දේශපාලන දිශානතිය කවරක්ද. ඔවුන්ගේ ජීවන ලලාසාව පුරුෂ භාවය විය හැකිය. එවන් දෙදෙනෙකු රාජ්‍යය පවත්වා ගත් පාලන තාලය කුමක්ද. මෙම යුගල පුරුෂ බන්ධනයට රාජ්‍ය තාන්ත්‍රික ඉඩ ප්‍රස්තා ඇති කල දේශපාලන රාජතාන්ත්‍රික හිඩැස කවරක්ද. ඒ ගැන සොයන්න අප මැලිය. බුදු දහම සමඟ ලංකාවේ ලෞකික සංතෘප්තයන් නිවන කරා ගමන් කලේ ඉවක් බවක් නොමැතිවය. බුදු දහම් පහසින් පිබිදුනු රාගින් විරාගින් වූයේය.
රාගය ලබා නොගත් සමාජයද විරාගය කරා යන සේයාවන් පලවූ සමයක ලංකාව දෙස ලංකාවේ පාලකයන් පවා බලන්නේ විරාගික භාවයෙන්ය. උත්තිය රජුගේ සිට මහා සිව සහ සුරතිස්ස දක්වා වූ රජවරුන්ගේ විරාගී රාජ්‍ය පාලනයන් එය කදිමට පෙන්වා දෙයි. එවිට ලංකාවේ ලෞකික කලාපය දෙස බලන්න කිසිවෙක් නොසිටි බව පෙනේ. මේ කිසිවක් නොමැති කලාපයට ඇස යා කලේ සේන - ගුත්තික පුරැෂ යුවල බන්ධනය බව පෙනේ.

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න