වාහන ආනයන සීමාවන් ඉවත් කරන බවට අවස්ථා ගණනාවකදී අදහස් පළ කෙරුණත් මේ දක්වා එම සීමාවන් ඉවත් කිරීමට රජය කටයුතු කර නොමැත.


එවන් පසුබිමක වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් අප්‍රේල් මස 15 වෙනිදා මාධ්‍යට ප්‍රකාශ කළේය.

වාහන ආනයන සීමාවන් පනවා තිබුණද පසුගිය කාල සීමාව තුලදී සීමිත ඇණවුම් යටතේ සංචාරක, මගී, භාණ්ඩ ප්‍රවාහන, ගිලන් රථ යන වාහන කාණ්ඩ මෙන්ම විදෙස් ශ්‍රමිකයින්ට ඔවුන් විසින් මෙරටට එවන ලද විදෙස් මුදල් ප්‍රමාණයට අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීමට රජය විසින් අවසර ලබා දෙන ලදී.

වාහන ආනයනය අත්හිටුවීම සහ හේතුව

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහත වැටීම සහ කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කළේය.

පළමුව මාස 03ක කාලයක් සඳහා එම නියෝගය පනවන ලබන බවට පැවසූවත් වසර 04 ක් පුරා වාහන ආනයනය තහනම් කිරීමේ නියෝග වෙනස් කිරීමට මහ බැංකුව හෝ රජය මේ දක්වා කටයුතු නොකරන ලදී.

'රටට අවශ්‍ය වාහන මොනවාදැයි සොයා බලනව'

මෙරට විදෙස් සංචිත ඉහළ යාමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

වාහන ආනයනය කිරීමේදී කරුණු රැසක් සම්බන්ධයෙන් සොයා බලන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා."

"අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද , මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ."

"මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා."

"අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ? අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද? දැනට නිෂ්ක්‍රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා."

"දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත්, බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ."

"පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා.” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න

මේ අතර වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙසට ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කෙරුණු කෝටි 700ක් වටිනා වාහන 112ක් සොයා ගෙන ඇති බවයි.

එබැවින් වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්නැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.

නීති විරෝධී ක්‍රමවේද ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද මුදල් රජ අමාත්‍යවරයා පැවසුවේය. එලෙස අත්අඩංගුවට ගත් වාහන වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව ද හෙතෙම සඳහන් කළේය.

 

2015 වසරේ සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීමට නියමිත බව ද සඳහන් ය.

 

රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශවයන්ගේ වගකීම බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ මේ වන විට වාහන සඳහා මිල ගණන් නියම කරන්නේ වාහන ආනයනකරුවන් විසින් නොව වාහන හිමිකරුවන් බවයි.

 

nelum bv

 

වාහන ආනයනකරුවන්ගෙන් චෝදනාවක්

 

මෙරටට නැවත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවද එම කමිටුව නියෝජනය කිරීමට ඉඩක් ලබා දී නොමැති බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු සඳහන් කළේ මෙරටට ආනයනය කළ යුතු වාහන සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී සිය සාමාජිකයින්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීම වැදගත් බවය.

"මුදල් රාජ්‍ය අමාත්‍යතුමා පත් කරලා තියෙන කමිටුවට වාහන ආනයනකරුවන් ගේ නියෝජනයක් නැහැ."

"මේ රටේ සැබෑ වාහන ආනයනය පසුබිම, මොන වගේ වාහනද ගෙන්වන්න ඕන කියන එක හරියටම දැන ගන්න වාහන ආනයනකරුවන්ගේ නියෝජනයක් අවශ්‍යයි."

"රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයින්ගෙන් පමණක් සමන්විත කමිටුවකට මේ වාහන ආනයනය ගැන තීරණයක් ගන්න බැහැ. මුදල් රාජ්‍ය ඇමතිතුමාගේ කමිටුවට තවම වාහන ආනයනකරුවන් සම්බන්ධ කරන් නැහැ."

"අපි ඉල්ලීම් කළත් මේ ගැන තවමත් පිළිතුරක් ලැබිලා නැහැ."

"දැනුමක් නොමැති අයගේ තීන්දු තීරණ නිසා තමයි වාහන ආනයනය මේ තරම් දුරට අඩාල වෙලා තියෙන්නේ." ඔහු පැවසීය.

'ඉක්මණින්ම වාහන මිල අඩුවේවි'

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ මේ වන විට වාහන සඳහා මිල ගණන් නියම කරන්නේ වාහන ආනයනකරුවන් විසින් නොව වාහන හිමිකරුවන් බවයි.

"අද වෙද්දී වාහන මිල ගණන් අසීමිතව ඉහළ ගොස් තිබෙනවා. මේක කෘතිමව හදපු වෙළෙඳපොළක්."

"එයට හේතුවක් වන්නේ වාහන සඳහා මිල ගණන් ප්‍රකාශ කරන්නේ වාහනය තියන් ඉන්න කෙනයි. එතැනද වාහන ආනයනකරුවන්ට කිසිම හැකියාවක් නැහැ."

"හැබැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාහන මිල ගණන් වැඩි කියලා බනින්නේ ආනයනකරුවන්ට."

"වාහන ආනයනය කරලා තරගාකාරීත්වයක් එක්ක විකිණුවත් මෙතරම් ඉහළ මිලකට වාහනයක් මිල වෙන්නේ නැහැ" ඔහු කියා සිටියේය.

 

මේ අතර වාහන ආනයනය කිරීමේදී ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේද පිළිබඳ සිය සංගමය රජයේ වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමට උත්සාහ කළත් ඊට නිසි පිළිගැනීමක් නොලැබුණු බව ද ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේය.

 

" වාහන ආනයන කිරීමේදී එම වාහනවල වයස් සීමාව කොපමණ ඇතුළුව ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන්නේ කුමන වර්ගයේ වාහනද, ඒවායේ නිෂ්පාදන වයස් සීමාව ඇතුළු කරුණු රැසක් ගැන අපි අදාළ අංශ දැනුවත් කරන්න කටයුතු කළා."

"නමුත් මේ ගැන දැනුමක් නැති පුද්ගලයින් මහා පරිමාණයෙන් විශාල ලෙස විදෙස් මුදල් සංචිත වැය වන ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන එකට යොමු කරන්න හදන්නේ."

"අද වුනත් වෙළෙදපොලේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයින්ට ඉඩ දීලා තියෙනවා ඔවුන් මේ රටට එවා තියෙන විදෙස් මුදල් වල වටිනාකමෙන් කොටසකට."

"නමුත් එහෙම ගෙන්වන පොඩි ඉලෙක්ට්‍රික් වාහනයක මිලත් රුපියල් කෝටි 02ක් වෙනවා. එහෙම මිලකට ලංකාවේ පුද්ගලයෙක්ට වාහනයක් මිලදී ගන්න බැහැ." ඔහු පැවසීය.

මේ අතර වාහන ආනයනය කිරීමට ඉඩ දී තිබු කාල සීමාවන් වලදී වාර්ෂිකව මෙරටට ඩොලර් බිලියනයක වාහන මෙරටට ආනයනය කරනු ලැබූ බවත් රජය ඉන් විශාල බදු ආදායමක් ඉපැයූ බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.

" අපි අවුරුද්දකට අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමෙන් යුත් වාහන ආනයනය කරලා තියෙනවා."

"එහෙම අපි අවුරුද්දකට ඩොලර් බිලියනයක වාහන ගෙද්දී රජය ඩොලර් මිලියන 700 - 800ත් අතර ප්‍රමාණයක බද්දක් වාර්ෂිකව උපයා ගන්නවා."

"මොකද මේක හොර කරන්න බැහැ, රජයට කෙලින්ම ලැබෙන බදු ආදායමක්. "

"මේ වෙද්දී රජයේ බදු ආදායම පහල වැටිලා තියෙද්දී වාහන ආනයනය කිරීමට රජය තීරණය කළොත් ඒ හරහා ඔවුන්ට ඉහළ ආදායමක් බදු හරහා උපයා ගන්න හැකියාව තිබෙනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.

(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :
වාහන ආනයනය ගැන සුබ ආරංචියක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්