මීට වසර හයකට පෙර, උතුරු ඉන්දියාවේ අග්‍රා නගරයේ සුප්‍රසිද්ධ පාසලකින් මුස්ලිම් පිරිමි දරුවෙකු ඉවතට පැමිණියේ

රත් පැහැ ගැන්වුණු මුහුණකින් යුක්තව ය.

"මගේ පන්තියේ ළමයි මට පකිස්තාන ත්‍රස්තවාදියෙක් කියලා කිව්වා," නව හැවිරිදි මෙම දරුවා තම මවට කීවේ ය.

කතුවරියක සහ උපදේශිකාවක වන රීමා අහමඩ්ට මෙම දවස හොඳින් මතකයේ රැඳී තිබේ.

"අල්ලේ නියපොතු පාරවල් වදින තරම් තදට අත් මිට මොළවා ගත්ත දඩබ්බර කොල්ලෙක් හිටියේ. එයා හිටියේ හරි ම තරහින්."

ඇගේ පුත්‍රයා සිදු වූ දෑ විස්තර කළ පරිදි, ගුරුවරයා පන්තිකාමරයෙන් ඉවතට ගිය අවස්ථාවේ ඔහුගේ පන්තියේ මිතුරෝ උපහාසයට මෙන් එකිනෙකා සමග ගැටුමක නිරතව සිටිහ.

"එතකොට තමයි එක කොල්ලෝ කට්ටියක්, එයාව පෙන්නලා කිව්වේ, 'මේ පකිස්තාන ත්‍රස්තවාදියෙක්. ඌව මරලා දාන්න!' කියලා"

ඔහුගේ පන්තියේ ඇතැම් මිතුරන් ඔහුට 'නාලි කා කිඩා' (කාණු කෘමියා) ලෙස පැවසූ බව ද ඔහු හෙළි කළේ ය. අහමඩ් මහත්මිය ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ නමුත් ඇය වෙත පැවසුවේ, "ඒක ඔයාලා හිතින් මවා ගත්ත දේවල්, එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ," යනුවෙනි.

අහමඩ් මහත්මිය අවසානයේ තම පුතු පාසලෙන් ඉවත් කර ගත්තා ය. අද 16 හැවිරිදි ඔහු අධ්‍යාපනය ලබන්නේ නිවසේ සිට ය.

"මගේ පුතාගේ අත්දැකීම් තුළින් මට අපේ ප්‍රජාව තුළ තියෙන කම්පනය දැනුණා, මෙහේ හැදී වැඩුණු, මගේ තරුණ කාලයේ මට කිසි දවසක නොදැනුණු හැඟීමක් ඒක," ඇය පවසයි.

"සමහර විට අපිට අපේ සමාජ පන්තියෙන් ලැබිලා තියෙන වරප්‍රසාදය හැම විට ම මුස්ලිම් කියන හැඟීමෙන් අපිව ආරක්ෂා කරන්න ඇති. දැන්, පන්තිය සහ වරප්‍රසාදය නිසා ම ඔයාව හොඳින් පැහැදිලි ඉලක්කයක් බවට පත් කරලා වගේ පේන්නේ."


BIMAL THANKACHANරීමා අහමඩ් තම පුතාව ප්‍රසිද්ධ පාසලකින් ඉවත් කර ගනු ලැබුවේ පන්තියේ මිතුරන් ඔහුව 'පකිස්ථාන ත්‍රස්තවාදියෙකු' ලෙස හැඳින්වීම නිසාය

 

නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය 2014 වසරේදී බලයට පත් වූ දා සිට, ඉන්දියාවේ මිලියන 200ක් පමණ වන මුස්ලිම් ජනතාව නිරතව සිටියේ දුෂ්කර ගමනක ය.

නීතිය අතට ගත් හින්දු මැර කල්ලි විසින් ගවයින් වෙළෙදාම් කළ බවට සැක කළ වෙළෙඳුන් කිසිදු වග විභාගයකින් තොරව මරා දමා ඇති අතර මුසිල්ම් වැසියන්ට අයත් කුඩා ව්‍යාපාර ඉලක්ක කර ඇත. මුස්ලිම් පල්ලිවලට එරෙහිව පෙත්සම් ගොනු කර ඇත. ඉන්ටර්නෙට් ඔස්සේ හිංසන සිදු කරන පුද්ගලයින් විසින් මාර්ගගත මුස්ලිම් කාන්තා "වෙන්දේසි" සංවිධානය කරනු ලැබ තිබේ. දක්ෂිණාංශික කණ්ඩායම් සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඇතැම් කොටස් "ජිහාඩ්" - "ලව් ජිහාඩ්" ආදී චෝදනා නගමින් ඉස්ලාම් භීතිකාව අවුළුවා ඇත. විවාහයෙන් මුස්ලිම් පිරිමින් හින්දු කතුන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම වැනි අසත්‍ය චෝදනා නැගීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය.

මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශ සිදුවීම ඉහළ ගොස් ඇත. එම සිදුවීම්වලින් හතරෙන් තුනක් වාර්තා වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තවලින් ය.

"මුස්ලිම් වැසියන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් වෙලා, ඒ කියන්නේ ඔවුන්ගේ ම රටේ නොපෙනෙන සුළුතරයක් බවට පත් වෙලා," Being Muslim in Hindu India නමැති නව ග්‍රන්තයක කතුවරයා වන සියා උස් සලාම් පවසයි.

නමුත් භාරතීය ජනතා පක්ෂය සහ මෝදි ඉන්දියාවේ සුළු ජාතීන්ට අයථා ලෙස සලකන බව ප්‍රතික්ෂේප කරති.

"මේවා තමන්ගේ සීමාවෙන් පිට ඉන්න මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න කැමැත්තක් නොදක්වන මිනිස්සු අතර නිතර ඇහෙන දකින දෙයක්. ඉන්දියාවේ ඉන්න සුළුතර ජනතාව පවා මේ කතාව තවදුරටත් පිළිගන්නේ නැහැ," අගමැතිවරයා නිව්ස්වීක් සඟරාව වෙත පැවසීය.

එහෙත් සංකීර්ණ මංමාවත් සහිත ජනාකීර්ණ නගරයක වුව ද හින්දු මිතුරන් රැසක් සිටින, අග්‍රා නගරයේ දශක ගණනාවක් තිස්සේ දිවි ගෙවූ අහමඩ් මහත්මියට යම් වෙනසක් දැනේ.

2019 වසරේදී අහමඩ් මහත්මිය පාසල් WhatsApp සමූහයකින් ඉවත් වූවා ය. ඇය එහි සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු විය.

"උන් අපට මිසයිලවලින් පහර දුන්නොත්, අපි උන්ගේ ගෙවල්වලට ගිහින් උන්ව මරලා දානවා," යැයි සමූහය වෙත පැමිණි පණිවිඩයක සඳහන් වූයේ, ත්‍රස්තවාදීන් සහ ඉන්දියාවේ සතුරන් ඔවුන්ගේ නිවෙස් තුළදී ම මරා දැමීම ගැන මෝදිගේ ප්‍රකාශයක් ප්‍රතිරාවය කරමිනි.

"මගේ ඉවසීම නැති වෙලා ගියා. මම මගේ යාළුවන්ගෙන් ඇහුවා, ඔයාලාට මොකක් ද වෙලා තියෙන්නේ? සිවිල් ජනතාව සහ ළමුන් ඝාතනය කිරීම ඔයලා අනුමත කරනවා ද? කියලා," අහමඩ් මහත්මිය තම මතක ආවර්ජනය කළා ය. සාමය වෙනුවෙන් පෙනී සිටීම ඇය විශ්වාස කළා ය.

ඊට ප්‍රතිචාරයක් ලැබීමට ගත වූයේ ඉතාමත් සුළු කාලයකි.

"කවු ද කෙනෙක් ඇහුවා. ඔයා පකිස්තානයට ගැති ඔයා මුස්ලිම් නිසා ද? කියලා. ඔවුන් මට ජාති විරෝධීයි කියලා චෝදනා කළා," ඇය පැවසුවා ය.

"අවිහිංසාව වෙනුවෙන් කතා කළ එක පාරට ම ජාති විරෝධී ක්‍රියාවකට සමාන වුණා. මම ඔවුන්ට කිව්වා, මගේ රට වෙනුවෙන් පෙනී ඉන්න මම ප්‍රචණ්ඩකාරී වෙන්න ඕන නැහැ කියලා. මම සමූහයෙන් ඉවත් වුණා."


kalimකලීම් අහමඩ් කුරේෂි ආවරණයක බහා රැගෙන යන සංගීත භාණ්ඩයක් තුවක්කුවක්දැයි සම-මගියෙකු විසින් විමසන ලදී.


තම පරිසරයේ සිදුවන වෙනස වෙනත් ආකාරවලින් දැනෙන්නට විය. දිගු කලක් තිස්සේ, ඉඩකඩ සහිත වූ ඇගේ නිවස ස්ත්‍රී පුරුෂභාවය හෝ ආගම නොසලකා ඇගේ පුත්‍රයාගේ පන්තියේ මිතුරන් ගැවසෙන ස්ථානයක් විය. "ලව් ජිහාඩ්" ගැන ඇති බිය හේතුවෙන්, හින්දු ගැහැනු දරුවන්ට යම් වේලාවකට පසු ඉවත් යන ලෙසට ත් ඔහුගේ කාමරයේ වැඩි වේලාවක් රැඳී නොසිටින ලෙසටත් උපදෙස් ලැබිණි.

"මගේ තාත්තයි මමයි මගේ පුතාව වාඩි කරලා කිව්වා, මේ සිද්ධ වෙන දේවල් ඒ තරම් හොඳ නැහැ. ඔයාට ඔයාගේ යාළුකම් සීමා කරන්න සිද්ධ වෙනවා. පරිස්සම් වෙන්න. රෑ වෙනකම් එළියේ ඉන්න එපා. ඔයා දන්නේ නැහැ. දේවල් ඕනෑ ම වේලාවක 'ලව් ජිහාඩ්' බවට පත් වෙන්න පුළුවන්."

අග්‍රාහි පස්වන පරම්පරාවේ පදිංචිකාරියක, පරිසර ක්‍රියාකාරිකාරිනියක වන ඉරුම් ද ප්‍රදේශයේ පාසල්වල සේවය කරන අවස්ථාවලදී නගරයේ දරුවන් අතර සිදුවන සංවාදවල සිදු වී ඇති වෙනස දැක තිබේ.

"මාත් එක්ක කතා කරන්න එපා, මගේ අම්මා කියල තියෙන්නේ එපා කියලා," එක් දරුවෙකු තම පන්තියේ මුස්ලිම් මිතුරෙකුට පවසනු ඇයට ඇසිණි.

erum එරුම් පවසන්නේ ළමයින් අතර සංවාදවලින් මුස්ලිම්වරුන් පිළිබඳ ඇත 'භීතිකාව' හෙළි වන බව ය


"මම හිහන්නේ, ඇත්තට ම?! මේකෙන් පේන්නේ මුස්ලිම් ජනතාව කෙරෙහි තියෙන බය සමාජයට දරුණු විදිහට කා වැදිලා කියලා. මේක අපට පහසුවෙන් සුව කළ නොහැකි දෙයක් දක්වා වර්ධනය වේවි," ඉරුම් මෙනෙවිය පැවසුවා ය.

නමුත් ඇයට බොහෝ හින්දු මිතුරියන් සිටි අතර මුස්ලිම් කාන්තාවක ලෙස අනාරක්ෂිත බවක් නොදැනිණි.

එය දරුවන් ගැන පමණක් නොවේ. කාර්යබහුල අග්‍රා නගරයේ වීදියක පිහිටි කුඩා කාර්යාලයක සිටින, ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු සහ අන්තර් ආගමික කටයුතු සංවිධායකයෙකු වන සිරාජ් කුරේෂි, හින්දු සහ මුස්ලිම්වරුන් අතර පැරණි හිතවත්කම් බිඳී යාම ගැන තැවෙයි.

නගරයේ එළු මස් බෙදා හරිමින් සිටි පුද්ගලයෙකු හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් සාමාජිකයින් විසින් නවතා පොලිසියට භාර දී සිරගත කරන ලද මෑත කාලීන සිදුවීමක් ගැන ඔහු විස්තර කරයි. "ඔහුට නිසි බලපත්‍රයක් තිබුණා, එහෙම තිබිලත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තා. පස්සේ ඔහුව නිදහස් කළා," කුරේෂි පවසයි.

හරක් මස් රැගෙන ගිය බවට චෝදනා කරමින් මුස්ලිම් මගීන්ට පහර දුන් බවට වාර්තා වූ සිදුවීම් හේතුවෙන් දුම්රියේ ගමන් කරන මුස්ලිම් ජාතිකයින්ගේ හැසිරීමේ වෙනසක් සිදුව ඇති ආකාරය එම ප්‍රජාවේ බොහෝ දෙනෙක් නිරීක්ෂණය කරති. "දැන් අපි පරිස්සම් වෙනවා, පොදු ප්‍රවාහනයේදී නිර්මාංශ නොවන ආහාර අරගෙන යන එකෙන් වැළකිලා ඉන්න හරි, අපිට දරා ගන්න පුළුවන් නම් [පොදු ප්‍රවාහනය] පාවිච්චි කරන එකෙන් සම්පූර්ණයෙන් වැළකිලා ඉන්න," අහමඩ් මහත්මිය පවසයි.

මුලදී මෘදුකාංග ඉන්ජිනේරුවෙකුව සිට පසුව ස්වර්ණාභරණ නිර්මාණකරුවෙකු සහ සංගීතඥයෙකු බවට පත් වූ අග්‍රාහි හත්වන පරම්පරාවේ පදිංචිකරුවෙකු වන කලීම් අහමඩ් කුරේෂි, නගරයේ උරුමය ගැන තොරතුරු කියා දෙන මග පෙන්වන්නෙකු ලෙස ද කටයුතු කරයි.

ඇෆ්ගනිස්ථානයේ බහුලව වාදනය කෙරෙන, ලූට් නමැති සංගීත භාණ්ඩයට සමාන පෙනුමක් ඇති රුබාබ් යන සංගීත භාණ්ඩය ද රැගෙන ඔහු හින්දු මගියෙකු සමග හවුලේ කුලී රථයකින් දිල්ලියේ සිට අග්‍රා වෙත මෑතකදී ගමන් කළේ ය. "ඔහු කවරය [සංගීත භාණ්ඩයේ] දැක්කට පස්සේ, තුවක්කුවක් කියලා බය වෙලා, මට ඒක විවෘත කරන්න කිව්වා. එයාගේ ඒ ප්‍රතිචාරයට හේතු වුණේ මගේ නම කියලා මට දැනුනා,"කුරේෂි පවසයි.

"[අපි ජීවත් වෙන්නේ] මෙන්න මේ කණස්සල්ලත් එක්ක. කොහේ හරි යනවා නම්, මම කොහෙ ද ඉන්නේ කියල හොඳ කල්පනාවෙන් මම ඉන්න ඕනේ. මම මොනවා ද කියන්නේ, කරන්නේ කියලා. දුම්රියේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයාට මගේ නම කියද්දී පවා මට නොසන්සුන් බවක් දැනෙනවා."

කුරේෂිට පැහැදිලි මූල හේතුවක් දැකිය හැක: "දේශපාලනය ප්‍රජාවන් අතර තියෙන සම්බන්ධයට වස මිශ්‍ර කරලා තියෙන්නේ."


2022 colcota2022 දී කොල්කටාහි වාර්ගික සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ රැලියකදී හඬ නඟන මුස්ලිම් ක්‍රියාකාරීන්


"මුස්ලිම් ජාතිකයන්ට කනස්සල්ලට පත් වෙන්න හේතුවක් නැහැ," භාරතීය ජනතා පක්ෂයේ ජාතික ප්‍රකාශකයෙකු වන සයඩ් සෆාර් ඉස්ලාම්, මෑතකදී දිල්ලියේ උණුසුම් දහවලක මා හා පැවසුවේ, නැගී එන ඉස්ලාම් භීතිකාවට හේතුව "වගකීම් විරහිත මාධ්‍ය ආයතන" යැයි පවසමිනි.

"කොහේ හරි පොඩි සිද්ධියක් වෙනවා. මාධ්‍ය ඒක මීට කලින් වුණේ නෑ වගේ ලොකු කරලා පෙන්නනවා. බිලියන 1.4ක ජනගහනයක් සිටින රටක, එවැනි සිදුවීම් කිහිපයක් ප්‍රජාවන් අතර හෝ ප්‍රජාවන් තුළ සිද්ධ වෙන්න පුළුවන්," ඔහු තවදුරටත් පවසයි.

"ඔබට බැහැ සිදුවීම් එකක් හෝ දෙකක් සාමාන්‍යකරණය කරන්න [සහ පාලක පක්ෂය මුස්ලිම් විරෝධී යැයි කියන්න]. කවුරුහරි ඒක මුස්ලිම් ජාතිකයන්ට එරෙහි දෙයක් ලෙස නිරූපණය කරනවා නම්, ඔවුන් වැරදියි.

පවුලේ ආගම හේතුවෙන් මිතුරන් තමන් "පකිස්තාන ත්‍රස්තවාදියෙක්" ලෙස ලේබල් කළ බව පවසමින් තම දරුවන් පාසලේ සිට නිවස වෙත පැමිණ පවසන්නේ නම්, ඔහු කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි මම ඔහුගෙන් ඇසුවෙමි. 2014 වසරේදී පක්ෂයට සම්බන්ධ වූ හිටපු බැංකු නිලධාරියෙකු වන ඔහුට ඔහු දරුවන් දෙදෙනෙකු සිටින අතර එක් අයෙකු සිටින්නේ පාසල් යන වයසේ ය.

"අනෙක් අම්මලා තාත්තලාට වගේ ම මාත් අවුල් යාවි. ඒ වගේ දේවල් සිද්ධ නොවෙන්න වග බලා ගන්න එක පාසලේ වගකීමක්. අම්මලා තාත්තලත් වග බලා ගන්න ඕනේ ඒ වගේ දේවල් නොකියා ඉන්න," ඔහු පැවසීය.

79%ක් හින්දු ජනතාවක් සිටින රටක භාරතීය ජනතා පක්ෂය හින්දු රාෂ්ට්‍රයක් (ප්‍රාන්තයක්) පිහිටුවීම ගැන කතා කිරීම පිළිබඳව කුමක් කිව හැකි ද?

"මිනිස්සු දන්නවා මේක කතාවට කිව්ව එකක් කියලා. අපේ ආණ්ඩුව හෝ පක්ෂය එහෙම දේවල් කියලා තියෙනව ද? මේ වගේ දේවල් කියන මිනිස්සුන්ට මාධ්‍ය මේ තරම් ඉඩක් දෙන්නේ ඇයි? අපිට කණගාටුයි මාධ්‍ය එවැනි අයට ඉඩ දීම ගැන," අලාම් පැවසීය.

නමුත් එසේ නම්, මුස්ලිම් නියෝජනය නොමැතිකම ගැන කුමක් කිව හැකි ද? භාරතීය ජනතා පක්ෂයට මුස්ලිම් අමාත්‍යවරුන් නැහැ, පාර්ලිමේන්තුවේ සභා දෙකේ ම [ලෝක් සභා සහ රාජ්‍ය සභා] මුස්ලිම් මන්ත්‍රීවරුන් නැහැ. රටපුරා 1,000කට වැඩි සංඛ්‍යාවක් අතරින් ප්‍රාදේශීය සභාවක සිටින්නේ එක් සාමාජිකයෙකු පමණයි.

භාරතීය ජනතා පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලාම් පැවසුවේ, මෙය හිතාමතා කළ දෙයක් නොවන බව ය.

"බීජේපීය පරාජය කරන්න තම තමන්ගේ න්‍යාය පත්‍රයට සේවය කිරීම කරන්න කොන්ග්‍රසය සහ අනෙකුත් විරුද්ධ පක්ෂ මුස්ලිම් ජාතිකයින් භාවිත කරනවා. පක්ෂයකින් මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා මුස්ලිම් ජනතාව ඔහුට ඡන්දය නොදුන්නොත් ඔහුට අවස්ථාවක් දෙන්නේ මොන පක්ෂය ද?"

2019 වසරේදී ඉන්දියාවේ මුස්ලිම් වැසියන්ගෙන් 8%ක් පමණක් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය දුන් බව සත්‍යයක් වන අතර මෝදිගේ පක්ෂයට එරෙහිව කණ්ඩායමක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාවක් පවතී. 2020 බිහාර් ප්‍රාන්ත මැතිවරණයේදී, 77%ක් බීජේපී විරෝධී සන්ධානයකට සහය දුන්හ; 2021 වසරේදී, බටහිර බෙංගාලයේ ප්‍රාදේශීය ත්‍රිනාමූල් කොංග්‍රසයට 75% සහය දුන්හ; සහ 2022 වසරේදී උත්තර් ප්‍රදේශ්හි විපක්ෂ සමාජ්වාදී පක්ෂයට 79%ක් සහය දුන්හ.

නමුත් අලාම් තර්ක කරන්නේ, කොන්ග්‍රසය ප්‍රමුඛ විරුද්ධ පක්ෂ මුස්ලිම් ජනතාව ඔවුන්ට පක්ෂපාතීව සිටීම සහතික කිරීම සඳහා එම ප්‍රජාව තුළ “භීතිය සහ කණස්සල්ල” ක්‍රම ක්‍රමයෙන් ඇති කළ බව ය. අනෙක් අතට, "මෝදිගේ ආණ්ඩුව [ප්‍රජාවන් අතර] බෙදීම් ඇති කරන්නේ නැහැ."

"ශුභ සාධන යෝජනා ක්‍රම සියලු ම ජනතාව වෙත ළඟා වෙමින් තිබෙනවා. සමහර යෝජනා ක්‍රමවල ලොකු ම ප්‍රතිලාභීන් මුස්ලිම් ජනතාව. පහුගිය අවුරුදු 10ට මහා පරිමාණ කැරලි ඇතිවෙලා නෑ." ඇත්ත වශයෙන් ම, 2020 වසරේදී මතභේදාත්මක පුරවැසි නීතියක් සම්බන්ධයෙන් දිල්ලියේ ඇති වූ කෝලාහලයෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයන් වූහ. නමුත් ඉන්දියාව නිදහසින් පසු උදාවූ වසර ගණනාව පුරා ඊට ත් වඩා දරුණු සිදුවීම් අත්දැක තිබේ.

ප්‍රධාන ධාරාවෙන් වෙන් වී සිටීම සම්බන්ධයෙන් අලාම් එම ප්‍රජාවට දොස් පැවරීය.

"මුස්ලිම් අය තමන්ගෙන් ම මේ ගැන විමසා බැලිය යුතුයි. ඔවුන් [හුදෙක්] පක්ෂයට සහය දක්වන කොටසක් ලෙස සැලකීම ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේ ම ආගමික නායකයින්ගේ බලපෑම්වලට යටත් නොවිය යුතුයි.

"මෝදි සමාජය එකතු කරන්න දැඩි උත්සහයක් දරනවා. එතකොට මිනිස්සු සතුටින් සහජීවනයෙන් ජීවත් වෙනවා වගේ ම ඔවුන් නොමග යන්නේ නැහැ."

මෝදිගේ නායකත්වය යටතේ ඔහු ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයින්ගේ අනාගතය දෙස බලන්නේ කොහොම ද? යනුවෙන් මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.

"ඒක ගොඩක් හොඳයි.... හිත් ටිකෙන් ටික වෙනස් වෙමින් තියෙන්නේ. තවත් මුස්ලිම් ජාතිකයන් භාරතීය ජනතා පක්ෂයට එක්වේවි. හොඳ තත්ත්වයක් තියෙන්නේ."

Arsu parvinඅර්සූ පර්වීන් වෛද්‍යවරියක් වීමට තීරණය කළේ ඇගේ මවගේ මරණයට හේතු වූ ප්‍රතිකාර ප්‍රමාදයෙන් පසුවය


තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ ද? නොකරන්නේ ද යන්න පැවසීම අසීරු ය.

මෙම දුෂ්කර කාලවලදී වුව ද බොහෝ මුස්ලිම් ජාතිකයින් තම ප්‍රජාව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට භාජනය වන බව පැවසීම සත්‍යයකි.

"මුස්ලිම් අය තමා දෙස ම ආපසු බලනවා වගේ ම අධ්‍යාපනය ලබනවා. සුදුසුකම් ඇති, අවශ්‍යතා ඇති ප්‍රජාවේ ඉන්න සිසුන්ට අධ්‍යාපනය ලැබීමට උපකාර කරන්න මුස්ලිම් අධ්‍යාපනවේදීන් සහ බුද්ධිමතුන් ඒකාබද්ධ උත්සහයක් ගන්නවා. තමන් විසින් ම තමන්ව දියුණු කර ගැනීමට ගන්න උත්සහය ප්‍රශංසනීය වගේ ම ඒකෙන් රජය කෙරෙහි විශ්වාසයක් නෑ කියන එකත් හෙළිදරව් වෙනවා," සලාම් පවසයි.

අර්සූ පර්වීන් යනු, ඉන්දියාවේ දුප්පත් ම ප්‍රාන්තය වන බිහාර්හි වෙසෙන තම පවුල සමග දරිද්‍රතාවයෙන් මිදීමට ඇති මග අධ්‍යාපනය බව විශ්වාස කරන අයෙකි.

අහමඩ් මහත්මියගේ පුතා මෙන් නොව, බාධකය වූයේ ආගමික ආතතීන් නොව, ඇගේ ම පියා අන් අය කුමක් සිතනු ඇත්දැයි බිය වීම ය.

"එයා කිව්වා අපේ ගෙදර සල්ලි ප්‍රශ්න තියෙනවා, ඔයා ලොකු ගෑනු ළමයෙක්, ගමේ අය ඒ ගැන කතා කරයි කියලා. මම එයාට කිව්වා අපිට මෙහෙම ජීවත් වෙන්න බෑ කියලා. කාන්තාවන් ඉදිරියට යනවා. අපිට අපේ අනාගතය නවත්තගෙන ඉන්න බැහැ."

අර්සූගේ සිහිනය වෛද්‍යවරියක වීම ය. ඇයට ඒ සඳහා අදහස ඇති වූයේ, ඇගේ මව ප්‍රාදේශීය රෝහලේදී මිය ගිය ආකාරය ඇසීමෙන් පසුව ය. නමුත් ඊට හේතු වූයේ, කාන්තාවන් ඉන්ජිනේරුවන් සහ වෛද්‍යවරුන් බවට පත් වූ ගමේ ගුරුවරුන්ගේ කතා ඇයට එය කළ හැකි යැයි යන විශ්වාස ඇති කිරීම ය.

"ඇයි මට බැරි?" ඇය ප්‍රශ්න කළා ය. වසරක් ඇතුළත ඇය තම පවුලේ උසස් අධ්‍යාපනය හදාරන පළමු කාන්තාව බවට පත් වූවා ය.

ගමෙන් පිටතට යන ඇයගේ මාර්ගය වූයේ රජයේ පාසලක් නොව, 2008 වසරේදී හිටපු මුස්ලිම් දේශපාලනඥයෙකු සහ ශාස්ත්‍රඥයෙකු වන මවුලානා වලි රහ්මානි විසින් අඩු වරප්‍රසාද ලත් මුස්ලිම් සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දීමට පිහිටුවන ලද 'රහ්මානි30' ය.

රහ්මානි30 දැන් බිහාර්හි ප්‍රධාන නගරය වන පට්නා ඇතුළු නගර තුනක සිසුන් එනම් ගැහැනු දරුවන් සහ පිරිමි දරුවන් 850 දෙනෙකුට උපදේශකත්වය සපයයි.

තෝරාගත් සිසුන් කොටසක් පාසලේ කුලියට ගත් ගොඩනැගිලිවල ජීවත් වන අතර ඉන්ජිනේරු, වෛද්‍ය සහ වරලත් ගණකාධිකරණය සඳහා ජාතික ප්‍රවේශ විභාග වෙනුවෙන් ඔවුහු සූදානම් වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ පරම්පරාවේ පළමු වරට අධ්‍යාපනය ලබන එනම් පළතුරු වෙළෙන්දන්, ගොවිපළ සේවකයින්, කම්කරුවන් සහ ඉදිකිරීම් කටයුතුවල නියැළෙන්නන්ගේ දරුවෝ වෙති.

ආදි සිසුන් 600ක් පමණ දැනටමත් මෘදුකාංග ඉන්ජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන් සහ වෙනත් වෘත්තීන්හි සේවය කරති. හය දෙනෙක් වෛද්‍යවරුන් වෙති.
ලබන වසරේ, ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල 707 සෑම වසරක ම පිරිනමනු ලබන 100,000 පමණ ආසනවලින් එකක් සඳහා තරග කිරීමට අර්සූ මිලියන දෙකකට අධික තරගකරුවන් [නොඑසේ නම් ඊට අධික] සමග එක්වනු ඇත.


rahamani රහ්මානි30 මගින් ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යාල විභාග සඳහා දුප්පත් මුස්ලිම් සිසුන් 850 දෙනෙකුට නොමිලේ පුහුණුවීම් ලබා දෙයි


"මම අභියෝගයට සූදානම්. මට ඕනේ නාරිවේද වෛද්‍යවරයෙක් වෙන්න," ඇය පවසන්නීය.

මොහොමඩ් ශකීර් රහ්මානි30හි අධ්‍යාපනය දකින්නේ, වඩා හොඳ ජීවිතයක් සඳහා ඔහුට ඇති එක ම අවස්ථාව ලෙස ය. එය ඔහුගේ අර්බුදවලට මැදිවී සිටින පවුල රැකබලා ගැනීමට ඔහුට ඉඩ සලසන අවස්ථාවකි.

පසුගිය අප්‍රේල් මාසයේදී, 15 හැවිරිදි ඔහු සහ ඔහුගේ මිතුරා, හින්දු උත්සව පෙරහැරක් හේතුවෙන් ඔඩු දුවන ලද ආගමික කෝලාහලවලින් පීඩාවට පත් දිස්ත්‍රික්කයක් හරහා ගමන් කරමින්, පට්නා වෙත පැය හයක බස් ගමනක් ආරම්භ කළහ. ඔවුහු වතුර බෝතලයක් සහ රටඉඳි කිහිපයක් රැගෙන මෙම ගමන ගිය අතර, මුස්ලිම් පල්ලියක රාත්‍රිය ගත කර, රහ්මානි30 ප්‍රවේශ විභාගයට පෙනී සිට එය ජය ගත්හ.

"මගේ අම්මයි තාත්තයි ගොඩක් බය වෙලා හිටියේ. එයාලා කිව්වා යන්න එපා කියලා. මම එයාලට කිව්වා, "දැන් තමයි වෙලාව, මම දැන් නොගියොත්, මම දන්නේ නැහැ මගේ අනාගතය මොකක් වේවි ද කියලා," ශකීර් පැවසීය.

පරිගණක විද්‍යාඥයෙකු වීමට සිහින දකිමින් සිටින මෙම නව යොවුන් වියේ තරුණයාට ආගමික ආතතිය පිළිබඳ බිය, ඔහුගේ අධිෂ්ඨානය සමග ගත් කල එතරම් දෙයක් නොවීය.

"මම මගේ අම්මට කිව්වා විභාගෙන් ජය අරගෙන ආපහු එනවා කියලා. මගදී මට මොකුත් වෙන්නේ නෑ. ඒ කොහොම වුණත් යමක් වැරදිය සිද්ධ වෙන්නේ ඇයි? මගේ ගමේ හින්දු සහ මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙනවා."

එසේ නම් ලෝකයේ වඩාත් ම ජනාකීර්ණ රට වන ඉන්දියාවේ පන්ති, නිකාය, කුලය සහ ප්‍රාදේශීය වශයෙන් ද බෙදී ඇති මුස්ලිම් වැසියන්ගේ අනාගතය ගැන කුමක් කිව හැකි ද?

සලාම් "කල් පවතින බියක්" පිළිබඳ හැඟීමක් පිළිබඳව පවසයි.

"මුස්ලිම් ප්‍රජාවට ඇති රැකියා හිඟය සහ උද්ධමනය ගැන මිනිස්සු කතා කරනවා. නමුත් ඒ උද්ධමනය සහ රැකියා ගැන පමණක් නොවෙයි. ඒ ජීවත්වීමට ඇති අයිතිය ගැන."

මෑතකදී පළ වුණු තරුණ මුස්ලිම් ජාතිකයින්ගේ මතක සටහන් ඇතුළත් ග්‍රන්ථවල ද ඒ සමාන බියක් ගැන සඳහන් වෙයි.

"හැමෝම වගේ නොවැළැක්විය හැකි දෙයක් සිද්ධ වෙනකොට දුවන්න රටක් තෝරාගෙන ඉන්නේ. සමහර අය කැනඩාවේ, එක්සත් ජනපදයේ, තුර්කියේ හෝ එක්සත් රාජධානියේ පදිංචි එයාලගේ මාමාලා එක්ක සම්බන්ධතා තියාගෙන ඉන්නේ, ඔවුන්ට කව දා හෝ සරණාගතභාවය අවශ්‍ය වුණොත් කියලා. වාර්ගික ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පවා ආරක්ෂිත යැයි හැඟුණු මා වැනි අය ත් දැන් මගේ මව්බිමේ මගේ පවුලේ අනාගතය ගැන කනස්සල්ලට පත් වෙලා ඉන්නේ," සෙයාද් මස්රූර් ඛාන් ඔහුගේ මෑතකදී පළ වූ City on Fire: A Boyhood in Aligarh කෘතියේ සඳහන් කරයි.

අග්‍රාහි සිටින අහමඩ් මහත්මියට අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයේ බර ද දැනේ.

"මුලදී මම හිතුවේ ඒක [මුස්ලිම් වැසියන් ඉලක්ක කර ගැනීම] ඒ තරම් බරපතළ නැති, පහවෙලා යන දෙයක් කියලා. ඒ අවුරුදු 10කට කලින්. දැන් මට දැන් හැඟෙන්නේ බොහෝ දේවල් සදාකාලිකව නැති වෙලා, හානි වෙලා ගිහින් කියලා."

(සුතික් බිස්වාස්)
ඉන්දීය වාර්තාකරු
[උපුටා ගැනීම - BBC සිංහල සේවය]

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image