‘‘පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... අම්ම ඇහුවා අද ඔයැයි බිස්නස් යන්නැති හිංද රෑට ඔයැයිටත් එක්ක ම උයන්නද කියල...?’’
ඒ මිහිරි ගෑනු කටහඬ ඇදිල ආවෙ ගෙදර ඉස්සරහ පැත්තෙන්. කටහඬ ඇහුණ විතරයි පෙරුමාල් ඉක්මනට ම සාලෙට දිව්වා. ඒ දුවන අතර ම ‘‘ආ... තුෂාරි නංගී...’’ කියල අහනවත් එක්ක ම වගේ කවුරු හරි ඒ ආපු ගෑනු ළමය ‘‘මක්කයි ද අනේ කාමරේට වෙලා කරන්නෙ... මං කොච්චර නං දෙඩුවයි...’’
දැං දැං ඒ කටහඬ ඇහෙන්නෙ හුඟාක් ම ළඟින් වගේ දැනුණා. ඒ කියන්නෙ ඒ ආපු ගෑනු ළමය සාලෙටත් ඇවිත් වගේ.
‘‘අයිය මොකෝ මේ කාඹරේ ලයිට් දාගෙන... මොකෝ මේ බයවෙලා වගේ... කාඹරේ කවුරු හරි ඉන්නවයි...?’’
එක දිගට ම ඒ කටහඬ ඇහෙන්න ගත්තා ම මටත් මහ අමුත්තක් දැනුණ. අනිවාර්යයෙන් ඔය ගෑනු ළමය පෙරුමාල් ගැන වැරැදි අදහසක් ඇති කරගෙන වගෙයි. ඒත් ඉතිං පෙරුමාල් කතා කරන්නෙ නැතුව මට ඉස්සරහට යන්න බෑනෙ.
‘හත්තිලව්වේ... නිකං හරි ඒ ළමය කාමරේට එහෙම ආවොත්... ලැජ්ජාවෙ බෑ...’
මම එහෙම හිතුවට කරන්නෙ මොනවද කියල මට හිතාගන්න බෑ. ඔන්න එතකොට ම මගේ ගැලවිජ්ජාව ගැන පුංචි ඉඟියක් දැනුණා.
‘‘ඔයැයි හරි නංගි... කාමරේ මගේ යාළුවෙක් ඉන්නෝ...’’
‘‘යාළුවෙක්...! පෙරුමාල් අයියට මං නොදන්න යාළුවෙක්... කවුද අප්පේ ඒ යාළුවා... ඉතිං කොයි... එන්න කියන්නකො යාළුවට කාඹරෙං එළියට. අපිත් ආසයි දොඩන්න එයයැයිත් එක්ක.’’
‘ඇති යාන්තම්... මගේ ඇඟට ලේ ඩිංගක් ඉනුවෙ දැනුයි. නිකමට හරි මේ කෙල්ල ඇතුළට ආව නං එහෙම විලි ලජ්ජාවෙ බෑ.’
මට එහෙම හිතෙද්දි ම පෙරුමාල් කතා කළා.
‘‘යෙසේ... යෙසේ... පොඩ්ඩක් එළියට ආවනං... මේ තුෂාරි නංගිට ඔයැයි බලන්න ඕනෙ කියනවා.’’
මම කාමරෙන් එළියට එද්දි ම දැක්ක ඡායාව හරිම අමුතු එකක්. ඒක විස්තර කරනවා නම් මෙහෙමයි.
එයා හිටියෙ උළුවස්ස දෙපැත්තට අත් දෙක තියාගෙන, එකක කකුළක් පොඩ්ඩක් නවල... ඒ කියන්නෙ එයාගෙ දකුණු කකුල පොඩ්ඩක් නවල ඒ කකුල වම් කකුලෙ වළලු කර ආසන්යේ තියාගෙන. තවත් සරලව කියනවා නම් ඇත්තට ම එයා හිටියෙ තනි කකුලෙන් හිටගෙන කිව්වත් වැරදි නෑ. ඒ වෙලාවෙ මට එයාව පෙනුණෙ ඡායාවක් විදියට විතරයි. මොකද එළියෙන් එන හිරු එළියට එයා ආවරණය වෙලා. හැබැයි එයා ඇඳගෙන හිටියෙ මිනි ගවුමක් කියල මට පැහැදිලි වුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. ඒ මිනි ගවුමට පහතින්, එයාගෙ දෙපා අතරින් වගේ ම දෙපැත්තෙන් ගලාගෙන එන හිරු එළිය නිසා. ඒ උළුවස්ස මැද හිටගෙන ඉන්න කෙනා කාන්තාවක් කියල වගේ ම එයා ‘ඉඟ සුඟ ගත හැක මිටින’ තත්ත්වයෙ කෙනෙක් කියලත් බැලු බැල්මට කියන්න පුළුවන්. හැබැයි ‘පුළුකුළ රිය සක’ වගේ කියන්න හරි ‘තිසර තන’ මොන වගේ ද කියන්න හරි අපහසුයි. එහෙම කියන්න නම් ඉතිං එයා ගේ ඇතුළට එන්න ඕනෙ. එහෙම නැතිනම් මම එළියට යන්න ඕනෙ. හැබැයි පවතින තත්ත්වය අනුව ඒ දෙකෙන් එකක්වත් වෙන එකක් නෑ කියලයි මට හිතුණෙ. නමුත් ඒ සිතුවිල්ල හරි ඉක්මනට වාෂ්ප වුණා.
‘‘ආ... මෙයැයි ද මේ යාළුවා...! කොහෙන්ද මෙයැයි හොයාගත්තෙ... බාර් එකෙන්ද... මං කියන්නෙයි... ඔයැයි කඩල විකුණල අහවර වෙනකනුත් මෙයැයි බාර් එකේ හිටියා. ඊට පස්සෙ බාර් එක බලාගන්න කෙනා මෙයැයි වත්තං කරගෙන ඇවිත් බාර් එක ඉස්සරහ අර ඉස්තෝප්පුව වගේ තියෙන්නෙ... අන්න එතන වාඩි කරා. ඊට පස්සෙ...’’
දැං එයා එහෙම කියාගෙන ම උළුවස්ස අත ඇරල ගේ ඇතුළට එනව. හැබැයි ඒ එක්ක ම මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු පෙරුමාල් ‘‘හෝව්... හෝව්... හෝව්...’’ කියාගෙන එයා ඉස්සරහට ගියා.
‘‘ඇයි පෙරුමාල් අයියෙ... එහෙම නෙවෙයි ද ඔයැයිට මෙයැයි හම්බුණේ...?’’
‘‘නේ නේ... යෙසේ මල්ලි බාර් එකට ආපු කෙනෙක් නෙවෙයි...’’
ඔන්න ඔය වෙලාවෙ තමයි මම එයාගෙ හැඩ රුව හරියට ම දැක්කෙ. දැන්නම් මට පුළුවන්‘පුළුකුළ රිය සක’ වගේ කියල කියන්න. ඒ වගේ ම ‘තිසර තන’ත් නරක ම නෑ. ගමේ ගොඩේ කියනව වගේ එයාගෙ පොත්ත රතුමත් නෑ. හැබැයි මම තරමට ම කළුත් නෑ. හරියට ම කියනව නම් තලෙළු පාටයි. මට මතක් වුණේ දැන් මොහොතකට කලින් පෙරුමාල්ගෙ කාමරේ බිත්ති පුරා ම අලවලා තිබුණු පිංතූර. මං කල්පනා කරා ඒ පිංතුරවල මූණක් මෙයාගෙ මූණට ගළපන්න; මෙයාගෙ ඇඟට ගළපන්න ඒ වුනාට එහෙම කරගන්න බැරි වුණා. මොකද මෙයාගෙ මූණ ඊට වඩා ලස්සනයි නේද කියල මට හිතුණා. ඇඟපත වුනත් එහෙම වෙන්න ඇති කියල මම හිතින් හිතාගත්තා. අනික ඒ පිංතූරවල වැඩිපුර හිටියෙ සුද්දියො නෙ... මං ඒ පාටට එච්චර ආසත් නෑ.
‘‘එහෙනං කොහොමෙයි මෙයැයි හම්බුණේ...’’
මට ඒ වචන ඇහුණෙ ටිකක් ඈතින් වගේ. මොකද මම ඒ වෙලාවෙ හිටියෙ වෙන කල්පනාවක නෙ... මට එයාගෙ ලස්සන බලන්න, කටහඩ අහන්න, එයත් එක්ක කතා කරන්න වගේ දේවල්වලට කොච්චර වුවමනාව තිබුණත් දැන් මට යන්න වෙලාව හරි... ඒ නිසා පෙරුමාල් මං ගැන කියන්නත් කලිං මම පෙරුමාල්ට කතා කරා.
‘‘පෙරුමාල් අයියෙ... දැං මට යන්න වෙලාවත් හරි...’’
මම එහෙම කිව්වම පෙරුමාල් අයියට කලින් උත්තර දුන්නෙ එයා.
‘‘අපෝ... මෙයැයි ඇහිල්ල තියෙන්නෙ කඩදහිය ලිපේ දාලනෙ... පෙරුමාල් අයියත් අඩගහගෙන එන්නෙ මාර යාළුවො තමයි. හරි හරි... එහෙනං ඔයැයිල යන්නකො. අයියෙ... මං මක්කයි අම්මට කියන්නෙ... ඔහේටත් එක්ක උයන්නෙයි...?’’
‘‘ඔවු නංගි... රේට මටත් එක්ක ම උයන්න. මං යෙසේව ගෙනිහිං දාල එන්නං...’’
පෙරුමාල් එහෙම කිව්වම මට පොඩි දුකකුත් දැනුණා. මොකද එයත් එක්ක හරියට කතා කරන්නවත් බැරි වුණ නිසා. ඒත් මගේ නිවාඩු පැය දෙක ඉවර වෙන්න වැඩි වෙලාවක් නෑ.
‘‘ඔයැයි ගෙනිහිං දාන්න මෙයැයි පොඩි බබෙක්යැ...?’’
එයා එහෙම ඇහුවෙ විහිළුවට ද ඇත්තට ම ද කියල මට හිතාගන්න බෑ. හැබැයි ඒ එක්ක ම එයා මගේ දිහා බලල ‘‘ආයි වෙලාවක ඇවිත් යන්න එන්න... මං යනෝ...’’ කියල, කට පුරා ම මාත් එක්ක හිනාවෙලා මිදුලට බැස්සා. අන්න ඒ වෙලාවෙ මම හොඳට ම දැක්කා ඒ පුළුකුළ නම් රිය සක වගේ කියල. මම එයා යන දිහා ඇස් පිල්ලන් නොගහ ම බලාගෙන හිටිය. ආයෙ පියවි සිහියට ආවෙ පෙරුමාල්ගෙ කටහඬ ඇහිල.
‘‘එයි දෙං යෙසේට යන්න ඕනෙ කිව්ව නේ... යෙන්න අදහසක් නෙද්ද...?’’
‘‘නෑ නෑ යං... නැහ්නං අරුංගෙන් කනක් ඇහෙන්න නැති වෙයි...’’
මං එහෙම කිව්වෙ දැන් මොහොතකට කලින් සිද්ධ වුණ හැම දෙයක් ම අමතක කරන්න වගේ වුනාට මට එහෙම කරන්න බෑ කියල මට විතරක් නෙවෙයි පෙරුමාල්ටත් තේරිලා.
‘‘එයි යෙසේ මල්ලි... කෙල්ලට ඉත ගියැයි...?’’
‘‘පිස්සු ද පෙරුමාල් අයියෙ... මං හිතන්නෙ අපි අර කාමරේ තිවුණ හෙලුවැලි පිංතූර බල බල නෙ හිටියෙ. ඒ හිංදද කොහෙද මට නිකං අමුත්තක් වගේ දැනුණ. එහෙම නැතුව...’’
මට කියාගන්න ලැබුණෙ එච්චරයි.
‘‘ඒම නෙතුව තුෂාරි නංගි ගෙන අදාසක් ආවෙ නේ... ඒකනෙ ඔය කියන්න තටමන්නෙ...’’
ඇත්තට ම මට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. මොකද... කඩේට එන යන කෙල්ලො... බස් ස්ටෑන්ඩ් එකේදි හම්බ වෙන කෙල්ලො, පිචර් හෝල්වලදි හම්බ වෙන කෙල්ලො... කෙල්ලො... කෙල්ලෝ... කෙල්ලෝ... කෙල්ලො නං කොච්චර හම්බ වෙනව ද... ඒ කෙල්ලො දිහාත් බලනව තමයි. හැබැයි මෙයා ඒ හැමෝට ම වඩා අමුතුයි කියල මට හිතුණා. ඒත් එහෙම හිතුණ කියල එක පාරට ම පෙරුමාල් අයියට කියන්නත් බැහැ නෙ.
මගේ කල්පනාව අතරතුර පෙරුමාල් අයිය බයිසිකලේ මිදුලටත් අරගෙන.
‘‘යෙසේ මල්ලි... ඒනං යෙං... එපි පස්සෙ දොහක ආයි එමු... ආ... ඔය දොර එදල කොක්ක දාල එන්න... ඒ එති.’’
තුෂාරි සේපාලිකා
‘ම්ම්ම්... කවුද ඒ කොල්ලා... පෙරුමාල් අයියගෙ පරණ යාළුවෙක් වෙන්න බෑ. එහෙම නං මීට කලියෙං එක්කරන් එනව නෙ... අනික එයැයි හුඟ දොහක් එක්කරං ඇවිත් තියෙන්නෙ එයැයලගෙ ම ජාතියෙ අයනෙ. මේ කොල්ල අපේ ජාතියෙ... පෙරුමාල් කතා කරේ යසේ කියලනෙ. යසේ... ඉතුරු ටික මොකක් වෙනව ඇද්ද... යසපාල... යසරත්න... ම්ම්ම්... ම්හ්... වෙන නම් එන්නෙ නෑ... කමක් නෑ... පෙරුමාල් අයිය රෑට කන්න එයිනෙ... එතකොට අහගන්නෝනෙ’
රෑ කෑමට පෙරුමාල් අයිය ආපු වෙලාවෙ අර කොල්ල ගැන විස්තර අහන්න ඕන කියල හිතාගෙන හිටියට ඒක ටිකක් අමාරුයි. මොකද අම්මත් ඉන්නව නෙ. ඒක නිසා මං වෙන විදියක් කල්පනා කරා. පෙරුමාල් අයිය කෑම කන අතරෙ මම එයාව කය්වාරුවට අල්ලගත්තෙ අම්මටත් නොදැනෙන්න.
‘‘අම්මෙ... අද හවහ පෙරුමාල් අයියගෙ කාමරේට යද්දි එයැයිගෙ යාළුවෙක් ඇවිත් හිටිය නෙ...’’
මම ඇඟට පතට නොදැනෙන්න අම්මගෙ දිහාට බෝලෙ පාස් කරා. දැන් ඉතිං අම්ම අලගිය මුලගිය තැන් ඔක්කොම අහවි. ඒකෙ ආයි දෙකක් නෑ. මට කරන්න තියෙන්නෙ මට ඕනෙ කරන ටික ඇහිඳල මගේ ඔළුවට දාගන්න එක විතරයි.
‘‘හැබෑවෙයි පුතේ මේ කියන්නෙ...’’
අම්ම වැඩේ ආරම්භ කරේ එහෙම... එතන ඉඳං පෙරුමාල් අයිය කාල ඉවර වෙනකම්ම ඉතිං ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න... මට හිනත් එක්ක. මොකද සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න පෙරුමාල් අයියටත් බෑ. අම්මගෙ ප්‍රශ්න ඇහිල්ල ඉවර කරේ ‘‘ආයි වංගියක් ආවොත් මෙහෙටත් එන්න කියන්නකො...’’ කියල.
කැම කාල ඉවර වෙලා මිදුලට බැහැපු පෙරුමාල් අයිය ‘‘ඔයැයි නං නංගි මාර කෙල්ලෙක් තමයි...’’ කියල කිව්වෙ ඇයි කියල මං දන්නව වුනත් ඒ වගක් නොදන්නව වගේ මමත් ‘‘මක්කයි පෙරුමාල් අයියෙ ඔයැයි මේ දොඩන්නෙ... ඇයි... මං මක්කයි කරේ...?’’
එළියෙ ලයිට් එක දාල නොතිබුනාට සාලෙන් එළියට පැනපු ලයිට් එළියට පෙරුමාල් අයියගෙ මූණ හොඳට පේනවා. එයා කියපු දේට මම දීපු උත්තරේට එයත් මොනව හරි කියනව කියල මම දන්නව. හැබැයි ඒ තරම් නක්කල් විදියට මොනව හරි කියයි කියලනං මම හිතුවෙ නෑ.
‘‘මක්කයි කරේ... මුකුත් නොදන්න තොත්ත බබා... අම්මයි පිටින් දාල අර කොල්ල ගෙන දෙනගන්න ඕනෙ එම දෙයක් ම දෙනගත්ත නේ...’’
ඇත්ත... මම ඒ වෙලාවෙ අම්මට බෝලෙ පාස් කරේ ම ඒ නිසා තමයි. පෙරුමාල් අයිය කියපු විදියට නං කොල්ල මට වඩා අවුරුද්දක් දෙකක් බාලයි වගේ. හැබැයි කළු වුණාට උගේ හිනාවට කෙල්ලො වශී වෙනව. ඒකෙ ආයි දෙකක් නෑ. පෙරුමාල් අයිය කියපු විදියට නං තවම ඒ කොල්ල මෙහාට... ඒ කියන්නෙ හොටලෙ වැඩට ඇවිත් අවුරුද්දක්කත් නෑ. පෙරුමාල් අයියට මුණ ගැහිලත් මාසෙකට දෙහෙකට වඩා නැතිලු. මං හැරෙද්දි පෙරුමාල් අයිය දන්නව. ඒ නිසානෙ එයා කිව්වෙ ආයෙත් දවසක එක්කරගෙන එන්නම් කියල. බලමු... පෙරුමාල් අයිය බොරු කියන එකක් නැහැ නෙ.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/04/12
අපලෝකන - පසුගිය කොටස්