සුසන්ත නම් කියන්නෙ යසේ මල්ලි මේ විදියට හිතුවක්කාර වැඩ කරන්න ගත්තෙ තුෂාරි නංගිගෙ සිද්ධියෙන් පස්සෙ කියල.
එයා සමහර වෙලාවට මැනේජර් මහත්තය කියන දේ අහන්නෙත් නැතිලු. මේ ළගදි දවසක් සවුත් සිලෝන් එකේ ටී මේකර් ගෙන්නල එයා ඉස්සරහ ම යසේට අවවාද කරාලු. යසේ පොඩි එකෙක් වගේ බිම බලාගෙන ම හිටියලු. මැනේජර් මහත්තය නම් කියල තියෙන්නෙ යසේ එහෙම බිම බලාගෙන හිටියෙ මැනේජර් මහත්තයට බයේ නෙවෙයි කියල. එයා එහෙම ඉඳල තියෙන්නෙ ටී මේකර්ට තියෙන සැලකිල්ල නිසාලු. මොකද ඒ ටී මේකර් නෙ යසේව හොටලේට පංගාර්තු කරල තියෙන්නෙ.
* * *
මේ වෙද්දි එන්න එන්නම මට විරුද්ධව එල්ල වෙන චෝදනා වැඩි වෙන්න පටන් ගත්තා. ලොකු සර් පවා මට දවස් කිපයක් ම අවවාද කරා. මම හිතාගෙන හිටියෙ කළු මහත්තයගෙ සිද්ධියෙන් පස්සෙ මාව රස්සාවෙන් අයින් කරාවි කියල. ඒ වුනාට ලොකු සර් වැඩියෙන් ම කලබල වෙලා තියෙන්නෙ පත්තර මුදලාලිගෙ පුතාට ගහපු එකට.
‘‘මොකද්ද අයිසෙ තමුසෙට වෙලා තියෙන්නෙ... තමුසෙට කාල වැඩි වෙලා තෙලේ ද...? ඕයි... ඔය පත්තර කඩේ මුදලාලි කියන්නෙ අවුරුදු ගානක් ම මේ ගාලු ටවුන් එකේ පේමන්ට්වල, බස් ස්ටැන්ඩ්වල බුදියගෙන හැදුණ එකෙක්. දැන් තමයි ඌ මුදලාලි වෙලා ඉන්නෙ. ඌට මුළු ටවුන් එක ම සලකනවා. පුදුමයි තමුසෙට උං එකතු වෙලා සබ්බුව දුන්නැති එක. ඉස්සරහටවත් කල්පනාවෙන් වැඩ කරනව. මොකද මම කරන්නෙ බිස්නස් එකක්. හදිසියෙවත් උන් රොත්තක් එකපාට්ට ම කඩේට පැනල මොනව හරි කරොත් තමුසෙ වග කියනව ද...? නැහැ නෙ... ඒ නිසා කල්පනාවෙන් වැඩ කරනවා. සමහර විට උන් තවම කලබලයක් නොකරෙ මට තියෙන සැලකිල්ලට වෙන්න පුළුවන්. හැබැයි තමුසෙ ප්‍රවේසම් වෙනව. උං සද්ද නැතුව ඉද්දි තමුසෙ හිතනවා නම් මේ වැඩේ මෙතනින් ඉවරයි කියල ඒක තමුසෙගෙ ලොකු වැරැද්දක්... තේරුණා ද... ඇත්තට ම ඕයි තමුසෙට ටික දවසක ඉඳල හැදිච්ච පිස්සුව මොකද්ද රොහාන්... මක්ක හරි ප්‍රශ්නයක් තියෙනව නං කියනව... නිකං ජීවිතේ කාලකණ්ණි කරගන්නැතුව.’’
ලොකු සර් මාව උඩ තට්ටුවට එක්කරගෙන ගිහින් එක දිගට ම කියවගෙන ගියේ ඒ විදියට. ඇත්තට ම මට මොකක්ද වුණේ...? ඒක මමත් මගෙන් ම අහන ප්‍රශ්නයක්. මේ දේවල්වලට බලපාපු සිද්ධිය හොඳට ම දන්නෙ පෙරුමාල්. ඊළඟට ටිකක් විතර දන්නෙ සුසන්ත. මට හිතෙන්නෙ සුසන්ත මේ ගැන ජෙසිකා අක්කලත් එක්කත් කියල ද කොහෙද. ඒකනෙ දවසක් ටවුන් එකේ දි රමණි අක්ක ඔය ගැන වහෙන්ඔරෝවලින් ඇහුවෙ.
‘‘ආ යසේ මල්ලියෙ... උඹ ආයි වංගියක් වැඩ කුස්සියෙයි...? හුඟ දොහකින් දැක්කෙ නෑ නෙ...’’
‘‘නෑ අක්කෙ... වේටර් වැඩේ ම තමයි... අක්කල එන දවසට මං ඕෆ් ගිහිං වෙන්නැති.’’
මගේ ගැලවිජ්ජාවට එහෙම කිව්වට මං කිව්වෙ බොරුවක් කියල රමණි අක්කට තේරුණා.
‘‘ඉතිං බං උඹ වෙනදට උදේ වරුවෙ ඕෆ් උනේ නැහැ නෙ....’’
රමණි අක්ක මගේ කටින් උත්තරයක් ගන්න ම තමයි උත්සාහ කරන්නෙ.
‘‘එහෙම නෑ අක්කෙ... උදේ අටේ ඉඳං ම ඕෆ් එක දෙනවනෙ. ඉතිං හදිසියෙවක්කත් මං උදේ නමයට ඕෆ් උනොත් අක්කල හම්බ වෙන්නෙ නෑ නෙ.’’
‘‘හම්ම්ම්... ඒකත් එහෙමෙයි... වැඩේ කියන්නෙ අපි එන දොහට ම උඹට නමයට ඕෆ් එක හම්බෙන එක නෙ... ආ... ඒවයින් කාරි නෑ... මක්ක හරි ප්‍රශ්නයක් තියේ නං සුසන්තට හරි බතික් අංකල්ට හරි කියපං හරි ද... ඊට පස්සෙ කරන්නෙ මක්කයි කියල මං ජෙසිකක්කත් දොඩල පයිංඩයක් තියන්නං.’’
‘‘හරි අක්කෙ... දැනට නං එහෙම ප්‍රශ්නයක් නෑ අක්කෙ... මක්ක හරි ඕනකමක් තිවුනොත් මං අක්කලව හම්බෙන්නංකො. ජෙසිකක්කයි, කමලනී අක්කයි විනීතක්කයි මතක් කරයි කියල කියන්න.’’
මං ඉක්කමනට ම රමණි අක්කව මගඅරින්න හදනව කියල එයාට දැනුණා.
‘‘මොකෝ බං හදිසිය... මේහ්... ඒක නෙවෙයි... උඹ මොකද්ද අර කඩල පෙරුමාල් එක්ක තියෙන ඇයි හොඳයි ය...?’’
මම රමණි අක්ක මගහැරල යන්න හදද්දි එයා ආයෙත් මාව කතාවට ඈඳා ගන්න උත්සාහ කළා. දැන් නං ඉතිං ගැලවිලා යන්නම ඕනෙ නිසා ‘‘එහෙම විශේෂ මක්කවත් නෑ අක්කෙ... දවසක් රෑ නයින්තර්ටි ෂෝ එක බලල එද්දි කඩල කන්න මායි සුසයි ගියපු වෙලාවෙ ටිකක් දොඩල අඳුරගත්ත. එච්චරයි.’’ කියල මම කියල ඉවර වෙන්නත් කලින් ම රමණී අක්කා ‘‘ඒ හිංද වෙන්නැති උඹ පහුගිය කාලෙ මහමෝදර දිහා කරක්ගැහුවෙ... යසේ මල්ලියෙ... මේ අහපං... අපි වේස ගෑනු තමයි. ඒ වුනාට මොකක්දෝ මංද සංසාර බැඳීමකට කොහෙද අපි හැමෝ ම උඹට ආදරෙයි. උඹත් ඒ වග දන්නව නෙව. ඉතිං එහෙව් එකේ අපි කැමති නෑ උඹ උඹේ ජීවිතේ විනාස කරගන්නවට. ඒ හිංද මක්ක හරි ප්‍රශ්නයක් තියේ නං පයිංඩයක් තියල අපිව මුලිච්චි වෙයං හරිය... හම්ම්ම්... එහෙනං දැං පලයං... මං ජෙසිකක්කට කියන්නං උඹ මුලිච්චි උනාය කියල.’’
රමණි අක්කා එහෙම කිව්වට පස්සෙ මම එතනින් යන්න ගියා. මම ආපහු හැරිල බලද්දිත් එයා මම යන දිහාම බලාගෙන ඉන්නවා. හරියට සහෝදරයෙක් සමු අරගෙන යද්දි බලාගෙන ඉන්නව වගේ. මමත් නොදැනවත්ව ම මම රමණි අක්කට අත වැනුවා. එයත් අත උඩට ම උස්සලා මම අත වනපු විත්තිය දැක්ක කියල සහතික කළා.
* * *
අද දවල් පෙරුමාල් අයියා මාව හොයාගෙන හෝටලේට ආවා.
‘‘යෙසේ මල්ලි... මට ඔයැයි එක්ක ටිකාක් දොඩන්න තමයි ඕනා...’’ කියල කිව්වෙ ටිකක් කලබලෙන් වගේ.
‘‘ඇයි අයියෙ... මොකෝ හදිස්සිය...?’’
‘‘එට පෝය නෙ මල්ලි. ඒ නිසා බාර් එක වාලා. එපි එට ටිකක් අමුවෙමු ද...?’’
‘‘කීයටෙයි... කොහේදි දි... මට අයියලයි දිහා නං එන්න බෑ.’’
මම එහෙම කිව්වෙ පෙරුමාල් අයිය එක්ක අරෝවකින් නොවයි. මට දැන් මහමෝදර කියන පළාත ම එපා වෙලා තියෙන නිසා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ ඒ අමිහිරි ම කාලය අමතක කරල දාන්න.
‘‘නේ නේ නේ... මල්ලි එහේ යෙන්න යෙපා. මං මෙහේ යෙන්නං. අපි පාක් එක පෙත්තට ගීං ඩිංගක් දොඩමු.’’
පෙරුමාල් අයිය එහෙම කියන්න මොනව ම හරි විශේෂ හේතුවක් ඇති කියල මට හිතුණ. ඒ නිසා එයාගෙ කීම අහක දාන්නත් බෑ.
‘‘රෑ උනාට කමක්නැද්ද පෙරුමාල් අයියෙ...?’’
‘‘කමක් නෑ... ඔයැයිට ඇහැක් වෙලාවක් කියන්න.’’
පෙරුමාල් හෙවත් කඩලකරුවා
මායි යසෙයි කතා කරගත්තු වෙලාවට පාක් එකේ දි අපි හමු වුණා. ඊට පස්සෙ ගංජා සුරුට්ටුවකුත් පත්තු කරගත්තු මම පෙරෙයිද රෑ වෙච්ච දේල් අකුරක් නැතුව යසේ මල්ලිට කිව්වා.
‘‘මට කරන්න දෙයක් තිබුණෙ නේ යෙසේ මල්ලි. උං අතර දෙනා ම මාව වට කරගත්තෙ අරියට මස් කේල්ලක් වටේ කෙරකෙන බෙල්ලියො අතර දෙනෙක් වගේ.’’
‘‘ඒ කිව්වෙ...!’’
පෙරුමාල් අයිය කියපු දේ හරියට ම තේරුණේ නැති නිසයි මම එහෙම ඇහුවෙ.
‘‘ඒ කියන්නෙ මල්ලි... උං අතර දෙනා ම එවිත් රුපියල් දෙකේ කඩල ගොටු අතරක් ගත්තා. මං ඉතිං උං කව්ද කියල දන්නව නෙ. ඒ හිංද මං වෙඩිය මායිං නොකර මගේ වෙඩ කරා. එක පාට්ට ම එකියක් ‘මල්ලී... ඔහේ දැන් මෙතන බිස්නස් කරන්න අරගෙන කොච්චර කල් ද...?’ කියල එහුව. මං හිතුවෙ නිකමට අහනව ඇති කියල. ඒ හිංද මං කිව්ව ‘දැං අවුරුදු... තුනක් තුනාමාරක් ඉතර,’ කීල. එතකොට ම එතන ඉටපු අපේ ජාතියෙ එකී දෙමළෙන් ආපි ‘හම්ම්ම්.. ආවුරුදු තුනක් තුනාමාරක්... ම්ම්ම්... තව කොච්චර කාලයක් මෙතන බිස්නස් කරන්න බලාපොරොත්තු වෙනවයි’ කියල.’’
‘‘ඉතිං අයිය මක්කයි කිව්වෙ...?’’
‘‘මං මක්කාවත් කිව්වෙ නේ... මං එහෙව්වා එයි ඒම ආන්නෙ කීල.’’
‘‘ඉතිං...?’’
‘‘ඊට පස්සෙ අර කොණ්ඩෙ උඩට බෙඳල ඉන්න ගේනු කෙනා ‘එහෙම අහන්නෙ ද...? එහෙම අහන්නෙ අපිට මල්ලිගෙන් පොඩි කාරණයක් දැනගන්ඩෝනෙ.’ කියල කියද්දි ම ආයෙත් අපේ ජාතියෙ එකී ‘ඔවු මල්ලි... ඒක දන්නෙ ඔහේ ඉතරයි...’ කියල කිව්ව. මේ වෙද්දි කඩල ගන්න කට්ටියත් හිටිය. හෙබෙයි එයැයිල මගේ බිස්නස් එකට පාඩු වෙන විදියට ඉටියෙ නේ. සෙනඟ ටික්කාක් එහෙට්ට මෙහෙට්ට වෙනකං ඉඳල මම එහුව ‘මොකද්ද මගෙන් දෙනගන්ඩ ඕනෙ...?’ කියල... ඒ වෙද්දි අතර දෙනා ම ඉටියෙ කරත්තෙ වටකරගෙන. කඩල ගන්න අයට මෙද ඉඩ තිබුණා. කවුරු අරි කඩල ගන්ඩ යෙද්දි බබාල වගේ තමයි හිටියා. කවුරුත් නෙති වෙච්ච ගමං ආයෙත් පටංගත්තා. එතන ඉටිය ටිකාක් ඉතර කටකාර ගේනියෙක්. ඒකි මිනි ගවුම තමා එඳල ඉටියා.’'
‘‘හම්ම්ම් ඔවු... එයැයි තමයි විනීතා... ඉතිං...?’’
‘‘එයැයි එක පාට්ටම එහුව ‘‘හෙව්ලොක් එකේ වෙඩ කරන යෙසේ මල්ලි දන්නව නෙ...’ කීල... කටට උත්තරේ දීල ආපු නිසා මට නේ කියන්න බේනෙ මල්ලි... මං කිව්වා ‘දන්නවා’ කීල.’’
‘‘ආ... ඒකට ප්‍රශ්නයක් නෑ... ඉතිං...?’’
‘‘ඊට පස්සෙ ඔය මල්ලි කීව ජෙසික කියනෙ ගේනි මගේ ළඟට ම කිට්ටු වෙලා ‘එයැයි මක්කටෙයි මහමෝදර පෙත්තෙ කරක් ගැව්වෙ...?’ කියල ආද්දි ම මං කීව ‘මගේ කාමරේට තමා ආවෙ’ කියල.’’
‘‘ඉතිං...?’’
‘‘කාමරේ උඹේ නංගි කෙනෙක් එහෙම ඉන්නවයි... කියල මගෙන් එහුව. ඒ එක්ක ම මං කිව්ව ‘නේ නේ... මගේ නංගිල නේ...’ කීල. එතකොට ම ඒ ගේනි ‘එතකොට කවුද තුෂාරි’ කියන්නෙ කියල එහුව. මට කට උත්තර නෙති උණා යෙසේ මල්ලි...’’
ජෙසිකා
පෙරුමාල් කියපු විස්තරේ විදියට නං තුෂාරි යසේ මල්ලිත් එක්ක යාළු වෙලා තියෙනවා. යසේ මල්ලි නිතර ම එහේ යන්න එන්න පුරුදු වෙලා තියෙනවා. යසේ මල්ලි තුෂාරිට තෑගි බෝගත් ගෙනිහං දීල තියෙනවා. ඊට අමතරව ගෙදරට ඕනෙ කරන බඩු මුට්ටුත් ගෙනිහින් තියෙනවා. දෙන්න පිචර් බලන්නත් ගිහින් තියෙනවා. මේ හැම දෙයක් ම තුෂාරිගෙ අම්ම... ඒ කියන්නෙ ජෙනට් දැනගෙන ඉඳල තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයා මේ සම්බන්ධෙට ඉඩ දීලත් තියෙනවා. තුෂාරි යසේ මල්ලිට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. ඒත් ජෙනට් ඒ ගැන එච්චර මායිම් කරල නෑ. පෙරුමාල් කියන විදියට එක දවසක් යසේ මල්ලි තුෂාරි හම්බ වෙන්න යද්දි එයා ගෙදර ඉඳල නෑ. ජෙනට්ගෙන් ඇහුවම කියල තියෙන්නෙ මිරිස්සෙ ඉන්න එයාගෙ නැන්දලගෙ ගෙදර ගියා කියල. එන්න සතියක් විතර යයි කියල. ගිය හේතුව මොකද්ද කියල ඇහුවම කියල තියෙන්නෙ තුෂාරිගෙ මිරිස්සෙ නැන්දගෙ දුව ලොකු ළමයෙක් වෙලා නිසා එහේ ගියා කියල. ඒ වුනාට දවස් දහයකට විතර පස්සෙ තමයි යසේට දැනගන්න ලැබෙන්නෙ තුෂාරිගෙ අම්ම පස්සෙ පස්සෙ කියල තියෙන්නෙ බොරු කියල. යසේ මල්ලි ඒ ගැන දැනගන්නෙ සතියකට පස්සෙ දවස් තුනක් පිට පිට ම තුෂාරි හම්බ වෙන්න ගියාට එයා ගෙදර හිටියෙ නැති නිසා. හතරවෙනි හරි පස්වෙනි හරි දවසෙ යසේ යද්දි තුෂාරිගෙ අම්ම ඉඳලත් නෑ. පස්සෙ යසේ පෙරුමාල්ගෙ කාමරේට ඇවිත්. ඊට පස්සෙ තමයි...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/05/03
අපලෝකන - පසුගිය කොටස්