මැයි 17 වැනි දිනය ජර්මන් පාපන්දුවේ සුවිශේෂී දිනයක් ලෙස සනිටුහන් වනු ඇත්තේ එරට වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන්
කිහිප දෙනෙකු ම ඔවුන් සමලිංගිකයන් බවට ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමට සැලසුම් කරගෙන සිටින බැවින්.
මේ ක්‍රීඩකයන් විශේෂයෙන් මේ දිනය තෝරා ගෙන තිබෙන්නේ, සමලිංගිකත්වයට විරුද්ධ වීමට එරෙහි ජාත්‍යන්තර දිනය එදිනට යෙදී ඇති නිසා.
ජර්මනිය පුරා විසිරී සිටින ජාතික පාපන්දු ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් එදින සමූහ වශයෙන් ඉදිරියට පැමිණ තමන් සමලිංගකයන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇතැයි Preussische Allgemeine Zeitung ජර්මන් සතිපතා පුවත්පත සඳහන් කරනවා.
මේ සංකේතාත්මක අවස්ථාව සැලසුම් කර තිබෙන්නේ ජර්මනියේ වෘත්තීය පාපන්දු ලීගය වන බුන්ඩස්ලීගා (Bundesliga) තරගාවලිය අවසන් වීමට පෙර සතිඅන්තයේ.
මේ ක්‍රීඩකයන් නියෝජනය කරන බුන්ඩස්ලීගා ක්‍රීඩා සමාජ ද මේ පිළිබඳව දැනුවත්ව සිටින බව වාර්තා වනවා. කෙසේ වෙතත්, මේ ක්‍රීඩකයන්ගෙන් සමහරෙක් ඔවුන්ගේ සමලිංගිකත්වය ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම සම්බන්ධව දෙගෙඩියාවෙන් පසුවන බවත් සමහර විට ඔවුන් අවසන් මොහොතේදී ආපසු හැරීමට ඉඩ තිබෙන බවත් එම පුවත්පත ප්‍රකාශ කරනවා.
Marcus Urban යනු තමා සමලිංගිකයෙකු බවට 2007 වසරේදී විවෘතව කියා සිටි ජර්මනියේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහු මේ අනාවරණය කළේ ක්‍රීඩාවෙන් සමුගෙන වසර 16කට පසුව. බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩක Justin Fashanu තමා සමලිංගිකයෙකු බවට 1990 වසරේදී ප්‍රසිද්ධියේ කියා සිටීමෙන් පසුව එසේ ලෝකය ඉදිරියට පැමිණි දෙවැනි ක්‍රීඩකයා වන්නේ Urban. දැන්, 52 වැනි වියේ පසුවන ඔහු අසමානකම පිළිබඳ ගෝලීය ප්‍රජාවක් වන Diversero හි සම නිර්මාතෘවරයා ලෙස කටයුතු කරන අතර ලබන මාසයට සැලසුම් කර තිබෙන මේ අවස්ථාව ඵල දරනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු පසුවනවා.
“මැයි 17 යනු කැමැත්ත පළ කිරීමේ අවස්ථාවක් ලබා දීමක්. එය, මඟ පෙන්වන්නක් ලෙස යොදා ගෙන කණ්ඩායමක් වශයෙන් එකතු විය හැකි දිනයක්” යනුවෙන් ඔහු කියනවා.
සමලිංගික ජෝඩු ද බුන්ඩස්ලීගා තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටින බවත් ඔවුන් ද ඉදිරියට පැමිණියහොත් එය දැඩි සමාජ සම්මතයන්ගෙන් නිදහස් වීමක් වනු ඇති බවත් Urban පවසනවා.
“හැංගිලා ඉන්න බුන්ඩස්ලීගා ජෝඩු ඉන්නවා. ඔවුන් ඉදිරියට ආවොත් එය ඉතාමත් ප්‍රබල නිදහසක් ලැබීමක් වේවි. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?”
තමා සමලිංගිකයෙක් බවට විවෘතව පිළිගත් ක්‍රියාකාරී වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් කිසිම කෙනෙක් වර්තමානයේ ජර්මනියේ නැහැ.
Aston Villa, West Ham හා Everton යන කණ්ඩායම් වෙනුවෙන් එංගලන්ත ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කළ හිටපු ජර්මන් ජාත්‍යන්තර ක්‍රීඩක Thomas Hitzlsperger ක්‍රීඩාවෙන් සමුගෙන වසරකට පසුව 2014දී ඔහුගේ සමලිංගිකත්වය ප්‍රසිද්ධ කළා.
2021 ඔක්තෝබරයේදී, Adelaide United මැදපෙල ක්‍රීඩක Josh Cavallo ඉදිරියට පැමිණියේ තමා සමලිංගකයෙකු බවට ප්‍රසිද්ධියේ කියා සිටි ඒ වන විට ක්‍රියාකාරීව සිටි ලෝකයේ එකම ජනප්‍රිය ඉහළ ම පෙලේ පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
ඒ වන විට 21 හැවිරිදි වියේ පසුවෙමින් සිට දැන් 24 වැනි වියෙහි සිටින මේ ඔස්ට්‍රේලියානුවා පසුගිය මාසයේදී සිය පෙම්වතා සමග විවාහ ගිවිස ගත් අතර ඔහු එදා ලොවට කියා සිටියේ ද්විත්ව ජීවිතයක් ගත කිරීමෙන් තමා වෙහෙසට පත්ව සිටින බව යි.
Cavalloගේ අනාවරණයෙන් පසුව, Blackpool ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙල ක්‍රීඩක Jake Daniels, Cagliari කණ්ඩායමේ ක්‍රීඩක Jakub Jankto සහ San Diego Loyal සමාජයේ මැදපෙල ක්‍රීඩක Collin Martin යන තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් තමන් සමලිංගිකයන් බව 2022 වසරේදී ලෝකය ඉදිරියේ පිළිගත්තා.
ක්‍රීඩා කරමින් සිටියදී 1990 වසරේදී සමලිංගිකයෙකු ලෙස ලෝකයට අනාවරණය වෙමින් ඉදිරියට පැමිණි වෘත්තීය එංගලන්ත පාපන්දුවේ එකම ප්‍රමූඛ ක්‍රීඩකයා වන්නේ බ්‍රිතාන්‍යයේ Justin Fashanu. ඔහු එලෙස ප්‍රසිද්ධියේ ඉදිරිපත් වූයේ Jake Daniels ට වසර 32කට පෙර. නමුත් Fashanu ට කිසිවිටෙකත් ක්‍රීඩාවේ පිළිගැනීමක් නොලැබුනු අතර ඔහු 1998 වසරේදී ශෝචනීය අයුරින් සිය දිවි හානි කර ගත්තා.
ඔහුගේ පවුලේ අය විසින් පසුගිය වසරේදී පිහිටුවා ගත් පුණ්‍යායතනයක් එංගලන්ත ප්‍රිමිය ලීගයේ සිටින නම සඳහන් නොකළ සමලිංගික ක්‍රීඩකයෙකුගෙන් ලැබුනු ලිපියක් නිකුත් කළ අතර එයින් විශේෂ අවධානය යොමු කර තිබුනේ පාපන්දුවේ සංස්කෘතිය වෙනස් වී තිබෙන්නේ කොතරම් අල්ප වශයෙන් ද යන කාරණය පිළිබඳව.
එළඹෙන මැයි 17 වැනිදාට යෙදී තිබෙන, සමලිංගිකයන් ලෙස සාමුහිකව ලෝකය ඉදිරියට පැමිණීමේ ජර්මන් පාපන්දු ක්‍රීඩක සැලසුම නම් කර තිබෙන්නේ Sports Free යනුවෙන්. සමූහ වශයෙන් ඉදිරියට පැමිණෙන ක්‍රීඩකයන්ගේ සිදුවීම් පෙළ සහිත වාර්තාමය චිත්‍රපටයක් Hide and Seek නමින් නිකුත් වනු ඇති බවට ද වාර්තා වනවා.
පිරිමි වෘත්තීය පාපන්දුව සමග කාන්තාවන්ගේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාව සන්සන්ධනය කරන විට දක්නට ලැබෙන්නේ මුළුමනින්ම වෙනස් වූ LGBTQ+ නියෝජනයක්.
කාන්තා පාපන්දු ක්ෂේත්‍රය සමලිංගිකත්වය ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම පමණක් නොව ඉන් ආඩම්බර ද වන LGBTQ+ ක්‍රීඩිකාවන්ගෙන් පිරී තිබෙනවා. Aston Villa ක්‍රීඩා සමාජයේ තම කණ්ඩායම් සගයා වන Sarah Mayling සමග පෙමින් වෙළී සිටින හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩිකා Rachel Daly ද මේ අතර සිටිනවා.
2023 කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මෙන්ම වර්තමානයේ පැවැත්වෙන Euro 2025 කාන්තා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ද, සමලිංගිකත්වය නොබියව ලෝකයට අනාවරණය කළ LGBTQ+ ක්‍රීඩිකාවන් වාර්තාගත සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් සිටිනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී