2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස්

පසුව අතුරුදන් කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කළ හැකි බවට නීතිපතිවරු තුන්දෙනෙකුම තීරණය කර තිබිය දී, 2019 වසරෙන් පසුව වසන්ත කරන්නාගොඩට එරෙහිව අදාළ චෝදනා නොපවත්වාගෙන යාමට එවකට සිටි නීතිපතිවරයා කටයුතු කිරීම ගැටලු සහගත බවත් එම අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මැයි 13 වෙනිදා අභියාචනාදීකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී කරුණු දැක්වීමක් සිදු කළේය.

2008 වසරේ කොළඹ හා ප්‍රදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන නඩුවක තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥවරයා මේ බව සඳහන් කළේය.

අදාළ පෙත්සම අභියායචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් ඉදිරියේ කැඳවිණි.

 

චෝදනා නොපත්වාගෙන යාමට නීතිපතිවරයා ගත් තීරණය

එම අවස්ථාවේදී පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙලෙස අභියායචනධිකරණය හමුවේ අදහස් දැක්වූවේ ය.

 

"ස්වාමීනී, හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව මෙම සිද්ධියට අදාළව ගොනු කෙරුණු අධි චෝදනා පත්‍ර තවදුරටත් පවත්වාගෙන නොයාමට 2021 වසරේ අගෝස්තු මස 08 වනදා නීතිපතිවරයා තීරණය කළා. ඒ අනුව එම තීරණය නීතිපතිවරයා විසින් අදාළ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලටත් දැනුම් දී තිබෙනවා. මාගේ සේවා දායකයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය මේ වන විටත් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාගේ සේවා දායකයාට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාපත්‍රය නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි," යැයි පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේය.

 

'2019 න් පසුව නීතිපති ස්ථාවරය වෙනස් වීම ගැටළු සහගතයි'

පෙත්සම්කාර පාර්ශවයේ මෙම ඉල්ලීමට අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ විරෝධය පළ කළේ ය.

 

"ස්වාමීනි, මෙම ඉල්ලීමට මා තරයේ විරුද්ධ වෙනවා. නීතිපතිවරු තුන්දෙනෙකුම පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා පවත්වාගෙන යා හැකි බව තීරණය කර තිබූණා. එහෙත් 2019 වසරින් පසුව නීතිපතිවරයාගේ එම ස්ථාවරය වෙනස් වී තිබෙනවා. මේක පිළිගත නොහැකි තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා," යනුවෙන් නීතිඥ නුවන් බෝපගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අවස්ථාවේදී කරුණු දැක්වූ විනිසුරු ලෆාර් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අමතමින්, "යම් විත්තිකරුවෙකුට චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන්නේ නීතිපතිවරයාට. ඒ අනුව විත්තිකරුවෙකුට එරෙහිව චෝදනා පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කරන්නේ නම් ඔහුට එරෙහිව සැබෑ නඩුකරයක් නොපවතින බව තමයි පිළිගැනීම," යයි ප්‍රකාශ කළේ ය.

 

එහි දී විනිසුරුවරයා එවැනි අවස්ථාවක මෙම රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් තිබේදැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ ය.

df45fdහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ


'මහාධිකරණයෙන් තීරණයක් නැහැ'

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු මෙලෙස කරුණු දැක්වූවේ ය.

 

"ස්වාමීනී, පෙත්සම්කරුට එරෙහි අධිචෝදනා පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණය, අදාළ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලටත් දැනුම් දී තිබෙනවා. එහෙත් අදාළ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් තවමත් නියෝග කිසිවක් නිකුත් කර නැහැ."

 

මෙම පෙත්සම සම්බන්ධයෙන් ගත යුතු තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, පෙත්සම්කාර පාර්ශ්වය දිගින් දිගටම කරුණු පෙන්වා මෙම පෙත්සම දිගින් දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් අගතියට පත් පාර්ශවයේ නීතිඥ නුවන් බෝපගේ යළිත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.මේ හරහා අගතියට පත් වූවන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔවුන්ට යුක්තිය ඉටුවීම පමාවන බවත් නීතීඥ බෝපගේ වැඩිදුරටත් පවසා සිටියේය.

 

එහිදී විනිසුරු ලෆාර් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ, 'පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද ? එසේත් නැතිනම් ඉල්ලා අස්කර ගන්නේ ද ?,' යන්න තීන්දු කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශවයට අවසන් වශයෙන් ලබන ජුනි මස 03 වනදා දක්වා කල් ලබාදෙන බවයි.

 

එදිනට මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය තීරණයක් ලබා නොදෙන්නේ නම් අදාළ පෙත්සම සම්බන්ධයෙන් තමන් තීන්දුවක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කරන ලදි.

 

'අපි අවුරුදු 15ක් තිස්සේ කඳුළු හලමින් මේ යුක්තිය ඉටු කරගන්න උසාවි ගානේ යන්නේ'

මෙම නඩුවට අදාළ අතුරුදහන් වූ තරුණයක් 11 දෙනා අතුරින් එක් තරුණයෙකුගේ මවක් බීබීසී සිංහල වෙත මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූවා ය. ජෙනිෆර් වීරසිංහ වන ඇයගේ පුත්‍රයා අතුරුදහන් වන විට 24 හැවිරිදි වියේ පසුව ඇති අතර, ඇගේ පුත්‍රයා ඇතුළු තරුණයන් පස් දෙනෙකු එකට පැහැගෙන ගොස් තිබේ.

 

"මගේ දරුවා ඇතුළු දරුවන් පස්දෙනෙක් පැහැරගෙන ගිය සිදුවීම සමබන්ධයෙන් පැහැදිලි සාක්ෂි තියෙනවා. මේ චෝදනා වසන්ත කරන්නාගොඩට එල්ල කළේ අපි නොවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේ ම පරීක්ෂණ පැවැත්වුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. අපි මැයි 13 නඩුවට ගියාම අපි වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපතිවරයා පෙනී ඉන්නේ චූදිතයන් වෙනුවෙන් කියලා තමයි අපට දැනුණේ," ඇය පවසයි.

 

ඔවුන්ට නීතිපතිවරයාව විශ්වාස කළ නොහැකි තත්වයක් ඇතිව තිබිය දී නඩුවට අදාළ යුක්තිය ඉටුවේ දැයි කෙලෙස විශ්වාස කරන්නේදැයි ඇය විමසයි. "චෝදනා 667ක් සහ සාක්ෂි 200කට අසන්න සංඛ්‍යාවක් දැනට උසාවියට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි අවුරුදු 15ක් තිස්සේ කඳුළු හලමින් මේ යුක්තිය ඉටු කරගන්න උසාවි ගානේ යන්නේ."

 

"වසන්ත කරන්නාගොඩ ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ නැතිනම් ඔහුට පුළුවන් හොඳ මහත්තයෙක් වගේ උසාවියට ඇවිල්ලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. නමුත් මේ විදිහට පෙත්සම් දමමින් ඒවා ඇදගෙන යන ආකාරයට දරුවා අහිමි වුණ අම්මා කෙනෙක් විදිහට මටත් හිතෙන්නේ ඔහුගේ අත්වලත් ලේ ගෑවිලා තියෙනවා කියලා," ජෙනිෆර් පැවසුවා ය.

"දැන් ඔහුගේ නීතීඥයො එදා උසාවියේ දි කිවුවා සේවාදායකයා සමඟ සාකච්ඡා කරලා මේ රීට් පෙත්සම ඉල්ලා අස් කරගන්නාවද කියලා උසාවියට දන්වන්නම් කියලා. එහෙනම් මෙච්චර අවුරුදු හතරක් ඇයි මේ නඩුව බොරුවට ඇදගෙන ආවේ? කලින් නීතිපති අධිචෝදනා එල්ල කළේ දැනගෙන නෙවෙයිද? කවුද අපේ කඳුළු වලට වග කියන්නේ? කවුද අපට යුක්තිය ඉටු කරන්නේ?"

 

ජුනි 03 වනදා හෝ වින්දිතයන් වශයෙන් තමාට සහ අනෙක් දරුවන්ගේ දෙමවුපියන්ට යුක්ති සහගත තීරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජෙනිෆර් පැවසුවා ය.

 

"ජුනි 03 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා නීතිපති අපි වෙනුවෙන් පෙනී ඉන්න හරි තීරණයක් ගනීවි කියලා. අපට අධිකරණය විතරයි දැන් විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා අධිකරණය තුළින් අවුරුදු 15ක් තිස්සේ අපි වගුරපු කඳුළු වලට සාධාරණයක් ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.".

 

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඉකුත් යහපාලන රජය සමයේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරන ලදි.

එම නඩුවේ 14 වන විත්තිකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කර තිබූ අතර නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී.දසනායක ද එහි විත්තිකරුවකු වශයෙන් නම්කර තිබේ.

 

(BBC සිංහල සේවය)

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්