හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කරන බව පැවසුවත් ඉදිරි

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තවමත් තීරණය කර නැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එම ප්‍රකාශය පිළිබඳව ' අනිද්දා' ජාතික විකල්ප පුවත්පත කළ විමසීමේ දීය.

තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපති ප්‍රකාශ කරන්නට ඇත්තේ ඔහුගේ පෞද්ගලික මතයක් වන්නට ඇති බවත් විජේදාස රාජපක්ෂ එම පුවත්පතට පවසා ඇත.

 ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේ දී පක්ෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැයි පළවෙනිදා (01)
පැවති වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයෙදී පැවැසීය.



ශ්‍රීලනිප සභාපතිකම ගැන තීන්දුව ලබන 07 වැනිදා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබේ.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් දීර්ඝ ලෙස සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ලබාදී ඇත.

ඇමැති විජේදාස රාජපක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව නීත්‍යානුකූල අයුරින් සිදුකර තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියාසිටියේය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සභාපතිවරයා පත්කිරීමේ බලය එහි දේශපාලන මණ්ඩලයට නොමැති බවත්, ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පත්කිරීමේ තීරණයද සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන ලදී.

ඉන් අනතුරුව අදාළ  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා මූලික විරෝධතා මතුකරනු ලැබුවේය.

මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව වගඋත්තරකාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරයා සදහන් කරන ලදී.


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ උත්තරීතර මණ්ඩලය දේශපාලන මණ්ඩලය මිස විධායක සභාව නොවන බවත්, පක්ෂයේ සියලු තීන්දු තීරණ ගැනීමේ බලය පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙත පැවරී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

 
ඒ අනුව, පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ පත්කිරීමට පක්ෂ විධායක ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන ලදී.

ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙම පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව සහ දිසා අධිකරණ විසින් නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන අතරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 07 වැනිදා සිදුකරන බවත් නිවේදනය කළේය.


සබැඳි පුවත් :

ශ්‍රීලනිප ජනපති අපේක්ෂක විජේදාස -ගම්පහ රැලියටත් එයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image