BREAKING
Top Ad
ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා

දියවන්නාවෙ ඇත්තොත් හිත්ලෑව පරම්පරාපොජ්ජේ නිදහස් අරගලය - (කමලා අතරගල්ල)

T

The Leader

August 17, 2024 • 11:30 PM

දියවන්නාවෙ ඇත්තොත් හිත්ලෑව පරම්පරාපොජ්ජේ නිදහස් අරගලය - (කමලා අතරගල්ල)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මේ රට පොජ්ජේ රඳන අනෙක් මිනිග්ගජ්ජුන්ට ඇනව්කලන පහසුකම් පොජ්ජවල් හැම එකමක්ම පරම්පරාවෙන් මංගච්චන මේ ඇත්තන්ටන් ඇනව්කලන්න කියලයි මේ ඇත්තො කතා දමන්නෙ.
  • කටුකැච්චගෙ රුකුල් පොජ්ජට පිළපොත්තා රිංගුම්පොජ්ජ මන්දො කෙරුවා වගේ එකමක් තමයි පරම්පරාපොජ්ජෙ මේ ඇත්තන්ට මන්දො වෙලා තිබන්නෙ." (මේ රටේ ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ට ලබාදීලා තියෙන හැම පහසුකමක්ම ආදීවාසීන් වන අපිටත් ලබා දෙන්න ඕන.
  • ආදිවාසී මිනිස්සු වසර 40,000කට එපිට හිටිය මිනිස්සු.
  • බලයට පත්වන සෑම රජයක්ම ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බවට පොරොන්දු වුවද ආදිවාසී ප්‍රජාව නිරන්තරයෙන් රැවටීමට ලක් කළා මිස එකම පොරොන්දුවක්වත් මේ වනතුරු ඉටු වී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන ආදිවාසී  නායක විශ්වකීර්ති, වනස්පති  ඌරුවරිගයේ වන්නියලැත්තෝපරම්පරාපොජ්ජෙන් මංගච්චන මිනිග්ගජ්ජු, කෝණ පොජ්ජ හතළිස්දාහකමට ඉච්චරින් රඳාපු මිනිග්ගජ්ජු. කටුකැච්චගෙ රුකුල් පොජ්ජට පිළපොත්තා රිංගුම්පොජ්ජ මන්දො කෙරුවා වගේ එකමක් තමයි පරම්පරාපොජ්ජෙ මේ ඇත්තන්ට මන්දො වෙලා තිබන්නෙ."

(මේ රටේ ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ට ලබාදීලා තියෙන හැම පහසුකමක්ම ආදීවාසීන් වන අපිටත් ලබා දෙන්න ඕන. ආදිවාසී මිනිස්සු වසර 40,000කට එපිට හිටිය මිනිස්සු. ඉත්තෑවගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ දෙයක් තමයි අපිට වෙලා තියෙන්නෙ.)

අපේ රටේ ආදිවාසී ප්‍රධාන නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නියලැත්තන් කතා කළේ බොහොම කලකිරීමෙනි. බලහත්කාරයෙන් අහිමි කළ, පරිසරය සමග බැඳුණු සිය සරල ජීවන රටාව හා තම පරපුරේ අයිතිවාසිකම් යළි තහවුරු කර ගැනීමට ඔවුහු දිගු කලක සිට අනවරත අරගලයක නිරතව සිටිති. බලයට පත්වන සෑම රජයක්ම ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බවට පොරොන්දු වුවද ආදිවාසී ප්‍රජාව නිරන්තරයෙන් රැවටීමට ලක් කළා මිස එකම පොරොන්දුවක්වත් මේ වනතුරු ඉටු වී නැත. එහෙත් රාජ්‍ය උත්සව, දේශපාලනඥයින්ගේ උත්සව වර්ණවත් කිරීමට ආදිවාසීන් මෙවලමක් ලෙස පාවිච්චි කිරීම කලක සිට සිදු වන්නකි. 

දියවන්නාවෙන් එතෙරට

 

ආදිවාසී නායකයින් අගමැතිවරයා සමගආදිවාසී නායකයින් අගමැතිවරයා සමග
මේ කරුණු කාරණා සියල්ල පිළිබඳව කලකිරීමෙන් සිටි ආදිවාසි නායකයා පසුගිය වසරේදී සිය පරපුරේ අයිතිවාසිකම් දිනා ගැනීමේ තීරණාත්මක ක්‍රියාමාර්ගයකට එළඹුණේය. එනම් වාකරේ, සංතෝසම්පුරම්, පොල්ලෙබැද්ද, රතුගල, හෙනානිගල ආදී වශයෙන් සියලු ප්‍රදේශවල ආදිවාසී නායකයින් සමග එක්ව, සිය ගැටලු හා ඉල්ලීම් ඇතුළත් සංදේශයක් රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවටම රැගෙන යෑමයි. 2023 ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අගමැති, කතානායක, විපක්ෂ නායක, අධිකරණ ඇමති, සංස්කෘතික ඇමති ආදී සියලුම දෙනා හමු වී සිය ඉල්ලීම් හා යෝජනා භාර දුන් අතර ඒවා විසඳීමට කටයුතු කරන බවට ඒ සියලු දෙනා පොරොන්දු වූහ.

එහිදී අගමැතිවරයා, නිදහසේ 75 වන සමරුවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වන්නැයි ආදිවාසී නායක පිරිසට ආරාධනා කළේය. ආදිවාසී නායකයා එම ආරාධනය පිළිගත්තේ, "අපි මේ නිදහස් උත්සවයට එන්නම්, හැබැයි ලබන නිදහස් උත්සවය වෙනකොට තමුන්නාන්සේලා අපිට නිදහස ලබා දෙන්න ඕනෑ" යි ඉල්ලීමක්ද සමගය.

අගමැතිට සංදේශය භාර දෙමින්අගමැතිට සංදේශය භාර දෙමින්

 

ආදිවාසී නායකයාගේ ඉල්ලීම ඉතාම සාධාරණ පදනමක් තිබේ. එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ (UNDRIP) ආරම්භක පාර්ශ්වකරුවකු ලෙස 2007 සැප්තැම්බර් 13 දින ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීය. ඉන් වසර 17ක් ගතවී ඇතත් ඔවුන්ගේ සාම්ප්‍රදායික දිවි පැවැත්මට අදාළ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන දේශීය නීති සම්පාදනය කිරීම මේ වන තුරුම සිදු වී නැත. කැනඩාව, ඔස්ට්‍රේලියාව, පිලිපීනය වැනි රටවල් එවැනි නීති සම්පාදනය කර තිබේ. ආදිවාසී නායකයින්ගේ ඉල්ලීම වූයේ එම අයිතිවාසිකම් තහවුරු කෙරෙන පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලෙසයි.

 

වන්නියලැත්තෝ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්වන්නියලැත්තෝ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
එවැනි පනතක අරමුණ වන්නේ ආදිවාසී ප්‍රජාවගේ සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යන තෙවැදෑරුම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. දශක ගණනාවක් තිස්සේ වරින් වර සම්මත කර ගැනුණු අණ පනත් රැසකින් ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි හා ජීවන වෘත්තීන්ට සීමා පැනවුණු අතර එම බාධක ඉවත් කිරීමද මෙම නීති සම්පාදනයේ අරමුණකි. ආදිවාසී නායකයින් තම ගැටලු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම සඳහා මැදිහත් වන බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 

'තවම කතා දමනවා'

 

වන්නියල ඇත්තෝ පාර්ලිමේන්තුවේදීවන්නියල ඇත්තෝ පාර්ලිමේන්තුවේදී
75 වන නිදහස් උළෙලෙන් පසුව තවත් නිදහස් උත්සවයක් පැවැත්වුණු නමුත් ආදිවාසී නායකයා බලාපොරොත්තු වූ පරිදි තවමත් ඔවුන්ගේ පරම්පරා පොජ්ජට නම් නිදහස ලැබී නැත. එහෙත් ඒ වෙනුවෙන් යම් ක්‍රියාදාමයක් දියත් වී තිබේ. එම කටයුතු සඳහා ආදිවාසී නායකයින් පසුගිය වකවානුවේ කිහිප විටක්ම මැති ඇමති හූරන් මුණගැසීමට ගෙන්දගම් පොළොව පෑගූහ. මෙම ක්‍රියාදාමයේ වත්මන් තත්ත්වය කුමක්දැයි අපි සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික උරුමයන් පිළිබඳ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මියගෙන් විමසුවෙමු.

නිශාන්ති ජයසිංහ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ"ආදිවාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳ කෙටුම්පත සාකච්ජා මට්ටමේ පවතින්නේ. තවම අවසන් නැහැ. ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. දැනට පාර්ලිමේන්තු කමිටු මට්ටමේ සාකච්ජාවට භාජනය වෙමින් පවතිනවා. සති දෙකකට වරක් කමිටුව රැස්වෙනවා. ආදිවාසී ජනතාව එක්ව සකස් කළ යෝජනාවලියට අනුව සංගණනයට එකඟතාව පළ කරලා තියෙනවා. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු සංගණනයේදී  ආදිවාසී කියලා තීරුවක් යටතේ ඉදිරියේදී ගණනය කරන්න එකඟ වුණා. වනය නිදහස් කිරීම පමණක් තවම ගැටලුවක්ව පවතිනවා. වනජීවී, වනසංරක්ෂණ අමාත්‍යාංශ තවමත් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. ආරක්ෂා කළ යුතු  ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳ ගැටලුවක් තමයි ඒ අය ඉදිරිපත් කරන්නෙ."

ශ්‍රී ලංකාවේ ආදීවාසී ජනගහනය කොපමණදැයි විමසූ විට සංස්කෘතික අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක මහතා මෙසේ පැවසුවේය. 


සෝමසිරි ඒකනායකසැලසුම් අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක"අපි වෙනම ජන සංගණනයක් කරලා නම් නැහැ. ග්‍රාම නිලධාරී මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට එන සංඛ්‍යාලේඛන තමයි අපට ලැබෙන්නෙ. ඒවා කොයි තරම් දුරට නිවැරදිද කියලා දන්නෙ නැහැ.  පර්යේෂකයින් ළඟ නිවැරදි සංඛ්‍යා ඇත්නම් අපට ලබා දෙන්න. දැනට අපි ළඟ සටහන්ව තිබෙන්නේ මුළු රටේම ආදිවාසී පවුල් 1500ක් ලෙසයි." 

එහෙත් ආදිවාසී නායක වන්නියලැත්තන් පවසන්නේ, මේ සංඛ්‍යාව විහිළුසහගත බවයි. කාලාන්තරයක් තිස්සේ තම ප්‍රජාවගේ අනන්‍යතාව නොතකාහැරීමේ ප්‍රතිඵලයක් ලෙස ආදිවාසී ජනතාව සිංහල හා දෙමළ ලෙස ලියාපදිංචි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව හෙතෙම පැවසුවේය.

පනත් කෙටුම්පත සූදානම්

 

yuyuජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ
රට පුරා වෙසෙන ආදිවාසී ප්‍රජාවන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදු කොට, ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන පනතක් ගෙන ඒම සඳහා වන ක්‍රියාදාමය සම්බන්ධීකරණය කළේ සිවිල් සමාජ සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි. එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ මහතා එම ක්‍රියාදාමයේ වත්මන් තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

"තමන්ටම ආවේණික සංස්කෘතියකට උරුමකම් කියන, මේ රටේ ඓතිහාසික ස්වදේශික ජනතාවක් වන ඔවුන්ගේ ගැටලු සඳහා ස්ථිරසාර විසඳුමක් තිබිය යුතුයි. ආදිවාසීන් කියන්නෙ විශේෂ අයිතිවාසිනම් සහිත පිරිසක්. ඒ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිවලට ලංකාව එකඟ වෙලා හිටියත් ඒ සඳහා දේශීය නීති සකස්වෙලා තිබුණෙ නැහැ. දැන් තමයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙ. ඔවුන් එකතුවෙලා සකස් කර ඉදිරිපත් කළ යෝජනාවලිය අපි කමිටුවක් විදියට සාකච්ජා කරලා, අගමැතිවරයා මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පසු පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය සිදු විය යුතුයි. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ පනත් කෙටුම්පත නිර්මාණය කර ගන්න හැකි වුණා. අවසන්වරට  ආදිවාසී නායකයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ  නියෝජිතයිනුත් අගමැතිවරයා හමු වී සාකච්ජා කළ අවස්ථාවේදී එම පනත් කෙටුම්පත 2024.08.12. වැනිදාත්, රෙගුලාසි පිළිබඳ කෙටුම්පත 2024.09.30 වැනිදාත් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා." 

ආදිවාසීන් පවසන, ඔවුන්ගේ ගැටලු සහ දුක් ගැනවිලි  මොනවාද? ඒවා සෙසු ජනතාව මුහුණදෙන ගැටලුවලින් වෙනස් වන්නේ කෙසේද? ඒ ගැන සමාජයේ බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප අවබෝධයකි. 

සංවර්ධනයේ අනාථයෝ

 

veddah6
ලංකාවේ ආදිවාසී ප්‍රජාව මුහුණදෙන ගැටලු සමහරක්, ලෝක ආදිවාසීන්ද මුහුණ දෙන ඒවා වන අතර තවත් කොටසක් මෙරට ආදිවාසීන්ට පමණක් ආවේණික ඒවාය. 1949 - 1952 දක්වා පැවති ගල්ඔය වාරි ව්‍යාපෘතිය ආදිවාසී ජනයාට විශාල බලපෑමක් එල්ලවුණු ප්‍රථම අවස්ථාව විය. එමඟින් ඉදි වූ ජලාශය වන සේනානායක සමුද්‍රයට යටවූයේ ආදිවාසීන්ගේ පාරම්පරික දඩබිම් සහ ඔවුන් ජීවත්වූ ගල්ලෙන්ය. තවත් අක්කර දහස් ගණනක් ජලපෝෂක ප්‍රදේශය ලෙස නම් කර ආදිවාසීන්ට එම ප්‍රදේශ තහනම් කලාපයන් විය. 

එහි අවතැන්වූවන් වෙනත් ප්‍රදේශයකට බලහත්කාරයෙන් යවා කුඹුරු වගාවට මඩ ඉඩම්ද හේන් වගාවට ගොඩ ඉඩම්ද ලබා දෙන ලදි. කුඹුරු වගාවක් හෝ වෙනත් ගොවිතැනක් පිළිබඳ කිසි අවබෝධයක් නොමැති ආදිවාසීහු ආර්ථික වශයෙන් අගාධයකට වැටුණා පමණක් නොව ඔවුනගේ සමාජ හා සංස්කෘතික අයිතීන් තවදුරටත් පිරිහිණි. 

එසේ ඉඩම් ලබාගැනීමට අකමැති වූ පිරිස, වනයද අහිමි- කුඹුරුද අහිමි අසරණයින් බවට පත් විය. දෙවන වතාවට ආදිවාසීන් කබලෙන් ළිපට වැටුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල දැව කැපීමත්, වැවිලි වනවගාව ආරම්භ කිරීමත්, නීති විරෝධී ලෙස වනාන්තර හෙළි පෙහෙළි කිරීමත්, ඉඩම් අන්සතු කිරීමත් නිසාය. එයින් 1960 ගණන්වලදී වියළි කලාපයේ ආදිවාසීන්ට සැලකිය යුතු ප්‍රමාණයේ දැඩි බලපෑමක් එල්ල විය.

ඉන්පසු ආරම්භ වූ මහාපරිමාණ මහවැලි ව්‍යාපෘතියෙන් නැගෙනහිර ආදිවාසින්ට විවිධවර්ගයේ වනාන්තර හෙක්ටයාර් 15,000ක් පමණ අහිමි විය. එයින් අවතැන් වූ අලි ඇතුන් 150-200ක් සමඟින් හෙක්ටයාර් 58,850ක භූමිය රක්ෂිතයක් බවට ප්‍රකාශ කරන ලදි. එහි ජීවත්වූ ආදිවාසීන් සැලකිය යුතු ප්‍රමාණයක් බලහත්කාරයෙන් පන්නා දමන ලදි. දැනට ශේෂව ඇති දඹාන, විවිධ සංවර්ධන මැදිහත්වීම්වලින් පසු ඉතිරිවී ඇති අවසාන වනාන්තර වසමයි.

 

dambana
ලෝකයේ රටවල් 195 කට ආසන්න ප්‍රමාණයක ජීවත්වන ආදීවාසී ජනගහනය මිලියන 476 ක් 480 ක් අතර ප්‍රමාණයකි. එය ලෝක ජනගහනයෙන් සියයට හයකි. ආදිවාසී නායකයා වාර්ෂිකව ජාත්‍යන්තර ආදිවාසී දිනයට පෙර සියලු ප්‍රාදේශීය නායකයින්ගේ රැස් කර ගන්නා දත්තවලට අනුව මෙරට ආදිවාසී සම්භවයක් සහිත ප්‍රජාව ලක්ෂ හයකට ආසන්න වෙතැයි අනුමාන කෙරේ. බදුල්ල, මොණරාගල, අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක හයේද ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයේද සුළුවශයෙන්ද  ඔවුහු ජීවත් වෙති. අප්‍රසිද්ධියේ සිංහල ජනතාව මෙන් ජීවත් වුවද අපි අතීතයේ ආදිවාසීන් යැයි කියන පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේද ජීවත් වෙති. මේ අයට ගැටලු නොමැත. විශේෂයෙන් ගැටලුවලට මුහුණ දෙන්නේ තම අනන්‍යතාව එලෙසින්ම ආරක්ෂා කරගෙන එන ආදිවාසීන්ය. 

මාමකැච්චක් ප්‍රස්න!

සිය ගැටලු පිළිබඳව විවිධ ප්‍රදේශ නියෝජනය කරන ආදිවාසී නායකයෝ මෙසේ පවසති.

නැගෙනහිර ආදිවාසී නායක වේලායුදන්නැගෙනහිර ආදිවාසී නායක වේලායුදන්නැගෙනහිර ආදිවාසී නායක නල්ලතම්බිගේ වේලායුදන්, 

"අපේ සාම්ප්‍රදායික ජීවන ක්‍රම තහනම් කර ඉංග්‍රිසි පාලකයින් ඉන්දියාවෙන් ගෙන්වූ දෙමළ කුලීකරුවන් එක්ක වැඩ කරන්න දැම්මා. ඒ කාලෙ ඉපදුණ දරුවන්ටත් ඉස්පිරිතාලෙදි උප්පැන්නයට ජාතිය දෙමළ කියලා දැම්මා. අපි දැන් පීඩා වින්දා ඇති අපේ උප්පැන්න සහතිකයෙ ජාතිය ආදිවාසී කියලා ඇතුල් කරන්නයි ඉල්ලන්නෙ. ඒ වගේම අපේ භාෂාවත් අපිට ඉගෙන ගන්න ඕන. අපේ  පවුල්වලෙ දරුවො විවාහ වෙලා දෙමව්පියො ඉන්න ගෙදරමයි ජීවත් වෙන්නෙ. ඉඩම් ඉල්ලුවට නිලධාරින් ඒවට කන් දෙන්නෙ නැහැ. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, වනසංරක්ෂණ නිලධාරින්, දේශපාලන නායකයින් කියන හැමෝටම කියලා තියෙනවා. ඌත්තෝඩෙ වැව ගැඹුරු කරලා අපේ ගම්මානවලට සැතපුමකට එහායින් ගලන මහවැලි ගඟේ අතුගංගාව වැවට හරවලා දුන්නා නම් අපේ වතුර ප්‍රශ්නය ඉවරයි. වැව් බැම්මත්, සොරොව්වත් හදන්න ඕන. ගමට එන පාරවල් කැඩිලා වැහි කාලෙට යට වෙනවා."   
                                    
පොල්ලෙබැද්දෙ ආදිවාසී නායක තලාබංඩාරලාගේ ගුණවර්ධන,

පොල්ලෙබැද්ද වැදි නායක ගුණවර්ධන ඇත්තෝපොල්ලෙබැද්ද වැදි නායක ගුණවර්ධන ඇත්තෝ"අපි සිංහල, මුස්ලිම් මිනිස්සු මැද්දට දාලා ඒ අයගෙ තාඩන පීඩන මැද්දෙ ජීවත් වෙනවා. සිංහල මිනිස්සු  කැලේට රිංගලා ගස්කපනවා, දඩයම් කරනවා, ගවයන් රංචු පිටින් රක්ෂිතයට දානවා ඒවා වැරදි නෙවෙයි. ආදිවාසියෙක් දවස තිස්සෙම බඩගින්නෙ ඉඳලා රෑටවත් යමක් හොයා ගන්න කැලේට ගියොත්  වැරදිකරුවෙක් විදියට පොලිසියට ගෙනියනවා. මහ දවාලේ රක්ෂිතය මැද්දෙ ගස් කපනවා. දැනට රක්ෂිතයක් කර තියෙන නුවරගල කඳුයායත්, කහකැලාන වනයත් අපට දෙන්න  වෙන්කරලා තිබුණෙ. රඹකැන් ඔයට පහළින් වගාවට කියලා වෙන් කරලා තියෙනවා අක්කර ගණනාවක්. ඒත් තාම ලැබුණෙ නැහැ. මහවැලියේ නිලධාරින් රක්ෂිත කියලා වෙන් කළාට සත්තු මරනවා, ගස් කපනවා, අක්කර සිය ගණන් හිතවතුන්ට විකුණනවා. මේවා නිවැරදි වෙනවා නම් අපේ මිනිස්සුන්ට වේලක් හැර වේලක් හරි කාලා ඉන්න පුළුවන් වෙයි. රක්ෂිතයට හරක් රංචුවක් දාන්න ලොකු මුදලක් ගන්නවා. නීති එයාලට ඕන විදියට හදාගෙන තියෙනවා."

ආදිවාසි කාන්තාවක වන, ගුරුකුඹුර ගම්මානයේ ඌරුවරිගයේ නිල්මිණි,  


ඌරුවරිගේ නිල්මිණිඌරුවරිගේ නිල්මිණි"අපි අනික් සමාජයේ උදවිය තරම් උගත් නැහැ. අත්දැකීම් අඩුයි. ඉතින් අපි වැඩක් කර ගන්න රජයේ ආයතනයකට ගියත්, රෝහලකට ගියත් ඒ නිලධාරින් ඉදිරියේ අපහසුවට පත් වෙනවා. ඇතැම් අය අපිට හිනාවෙනවා යම් වැරදීමක් වුණාම. අපි කාටත් ආත්ම ගෞරවයක් තියෙනවානෙ. ඒ නිසා ලැජ්ජාවට පත් නොවෙන්න නම්, අපේ අය ඉන්න ගම්මානවල තියෙන රාජ්‍ය ආයතනවලට අපි ගැන අවබෝධයක් දීලා සම්බන්ධීකරණය කරන්න එක් අයෙක් ඉන්නවා නම් හොඳයි."
                                        
කමලා අතරගල්ල(කමලා අතරගල්ල)
kamalaatharagalla@gmail.com 
උපදේශකත්වය හා අනුග්‍රහය- ඉන්ටනිව්ස්


                 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...