BREAKING
Top Ad
පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව : පොහොට්ටුවට 56% ක් ගෙන ජයලබයි

T

The Leader

October 11, 2019 • 12:26 PM

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව : පොහොට්ටුවට 56% ක් ගෙන ජයලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇත.
  • එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති මුළු ජන්ද සංඛ්‍යාව 10,113ක් වන අතර ලබාගෙන ඇති මන්ත්‍රි ආසන සංඛ්‍යාව 07කි.
  • ඊට අමතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 5,273ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 3ක් ද ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 2,435ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 2ක් දිනා ගැනීමට සමත්ව ඇත.
  • ඒ අනුව පොහොට්ටු පක්ෂය හා සන්ධානය සියයට 69 ක් ලබා ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් දිනාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති මුළු ජන්ද සංඛ්‍යාව 10,113ක් වන අතර ලබාගෙන ඇති මන්ත්‍රි ආසන සංඛ්‍යාව 07කි.

ඊට අමතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 5,273ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 3ක් ද ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 2,435ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 2ක් දිනා ගැනීමට සමත්ව ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඡන්ද කොට්ඨාශ 17 ම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වීම විශේෂත්වයකි.

ඒ ඒ පක්‍ෂ විසින් අද ලබා ගත් ඡන්ද ප්‍රතිශතයන් මෙසේය.

පොහොට්ටුව  23372  – 56.3%
එජාප ය           10113  – 24.3%
සන්ධානය         5273  – 12.7%
ජවිපෙ                2435  – 5.8%

 සමස්ත ප්‍රතිපලයට අනුව පොහොට්ටුව සියයට 56 ක් ද එජාපය සියයට 24ක් ද සන්ධානය සියයට 12ක් ද ජවිපෙ සියයට 6ක් ද ලබාගෙන තිබේ. ඒ අනුව පොහොට්ටු පක්ෂය හා සන්ධානය සියයට 69 ක් ලබා ගෙන තිබේ.

කෙසේවුවද පොහොට්ටුවට සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අනාවැකි පළකර තිබිණ.

besil

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකල අවස්ථාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙවැනි පුංචි මැතිවරණයක ප්‍රතිපල ජනාධිපතිවරණයට කිසිඳු ලෙසකින් බලනොපාන බවයි.

වීඩියෝ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කාලාන්තරයක් පුරාම රාජපක්ෂවරුන්ට වාසිසහගත ප්‍රදේශයක් ලෙස සැලකෙන අතර පසුගිය මැතිවරණවලදී එහි ප්‍රතිපල පහත පරිදිවේ.

ජනාධිපතිවරණය  2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ   42015 (59.08%)
මෛත්‍රීපාල සිරිසේන  28287 (39.78%)
සමස්ථ දිවයිනේ ජය - මෛත්‍රීපාල සිරිසේන

මහ මැතිවරණය 2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 26559 (40.83%)
එජනිස 34275 (52.70%)
සමස්ථ දිවයිනේ ජය - එජාපෙ.

 මෙම තත්වය සළකා බලන කල ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතාවලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනී යයි.

කෙසේවුවද මුළුමනින්ම සිංහල ජන පදනමක් සහිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සියයට 65කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පොහොට්ටුවට ජයගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය අවධානම් සහිත විය හැකි බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින්ගේ මතය වී ඇත.

ජේ ආර්. ගේ උදාහරණයකින් පැහැදිලි කිරීමක් : ප්‍රේමදාස ජයගත් හැටි ...

JR RP 800

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සිදුකෙරෙන අද දින උදැසන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක මෙසේ සඳහන් වී තිබිණ.

''87 වෙනකොට ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වී තිබිණි. කොටින්ම කීවොත් 'ජේ ආර් මරමු' කියා පෝස්ටර් පවා අලවන තැනට රට වැටී තිබිණි. ශ්‍රීලනිපයේ සිරිමාවෝ සිටියේ අත උඩින් දිනන මැතිවරණයක් බලාපොරොත්තුවෙන්ය. ජේ ආර් ජනපති සටනට එන බවට ඉගි දෙනවිට මැතිනිලා කල් ඇතිවම ජයපැන් සාද දැමූහ. එදා ජවිපේ හිටියේ ප්‍රචංඩ ඉවුරේය. ජන බලය නැතත් එදා ප්‍රචණ්ඩ බලය ඔවුන්ට තිබිණි.

අද පොහොට්ටුව ශක්තියක් පෙන්වන්නේ යම් සේද එදා ජවිපේ ප්‍රචණ්ඩ ශක්තිය පෙන්වමින් සිටියේය. මිනිස්සු ඡන්දේ දෙන්න යන්න හිතුවේවත් නැත.

'මැතිනි ජේ ආර්ට දෙන්නේ දොබෙන් යන්න. මෙදා තමයි අත රජ කරන්නේ'
ශ්‍රීලංකාකාරයෝ සියලු වාසි අරගෙන වහසි බස් දෙඩූහ.

පලාත් සභා වර්ජනය කොට ජනතා විරෝධයේ 'වාසි පැත්ත' අරගෙන සිටි ශ්‍රීලනිපය පරද්දන එක හීනයක් බව ආණ්ඩුවේම සමහරු කීය.

ඔය අතර ගාමිණී වරක් ජේ ආර් සමඟ ගොස් ප්‍රකට හිමිනමක් හමු විය.

'ඔබතුමා ආවොත් ජනාධිපතිවරණය පරදිනවා' උන්වහන්සේ කීය.

'මේ බලන්න ගාමිණී, හාමුදුරුවෝ කියන කතා. මීට අවුරුදු 4ට කලින් සීයට පනස් දෙක පන්නලා දිනපු මම අවුරුදු 4ට පස්සේ පරදිනවලු' කියා ජේආර් ගාමිණීට කීය. ගාමිණී නිහඬව සිටියේය.

'රැල්ල කොහෙටද?'කියා හොයන්න ජේ.ආර්ට නියම අවස්ථාවක් උදා වුණේ ඔය අතරය.
ඒ රත්නපුර අතුරු මැතිවරණයයි. මැතිවරණය පැවැත්වූයේ 1988 ජූලි මස 14 වැනි දිනය. රටම බලාගෙන සිටියේ වෙන්නේ මොනවද කියලා ය.

'මේක පැරදුණොත් රැල්ල හරවන එක සක්කරයටවත් කරන්න බෑ'

ඡන්දේ කට උඩ තියාගෙන ආණ්ඩුවේ ඇමතිවරු කීය. ජනාධිපතිවරණය පේන මානෙක තියාගෙන මේ අතුරු මැතිවරණය පැරදුනොත් සියල්ල ඉවර බව ආන්ඩුවම දැනගෙන සිටියේය.

88 නොවැම්බර් හෝ දෙසැම්බර් ජනාධිපතිවරණය එන බවත් හා හූව හැමතැනම විය.

 එදා ශ්‍රීලනිපයට නැතිවෙන්න දෙයක් තිබ්බේ නැත.හැබැයි ආණ්ඩුවට රැකගන්න දේ තිබුනේය.

'අතුරු මැතිවරණය දිනන්නම ඕන'

ජේආර්ගේ අභියෝගය ඒකය. ඒ නිසාම ඔහු සියලු බලය අතුරු මැතිවරණයට යෙදුවේය.

පක්ෂ දෙකේම ප්‍රභලයෝ රත්නපුරයෙහි 'ලැගුම්ගෙන' මැතිවරණ සටනට එක් විය. අනුර බණ්ඩාරනායක පවා එහි නවාතැන්ගෙන සිටියේය. නන්ද එල්ලාවලලාත්, පුංචිනිලමේලාත් දෙපාර්ශවයේ වූහ. ආණ්ඩුවේ නියෝගය 'දිනන'එකය. ජේ ආර් කෙලින්ම රත්නපුරට බැස්සේය. රත්නපුරය දිනවා පෙන්වන බවට ඔහු සහතික විය.

අලුයම වනවිට ප්‍රතිපල සූදානම් විය. නන්ද එල්ලාවල චන්ද 31, 854 හා සුසන්ත පුංචිනිලමේ 27, 069 ක්ද, අනික් අපේක්ෂකයින් අටදෙනෙකු චන්ද 748 ක්ද ලබා තිබුණි. ජැඩි ඡන්ද තුන්දහස් ගානකින් ශ්‍රීලනිපය දිනුවේය.

“සහෝදරවරුනි, අද දින අප පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබුවා. මේ ජයග්‍රහණය නවතින්නේ මාස තුනකින් එන ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව ගෙදර යවලා. ඒකේ පළමු මුර වෙඩිල්ල තමයි අද තිබ්බේ..”

අනුර බණ්ඩාරනායක ප්‍රීතියෙන් කීවේය.

'දැන් ඉතිං ආණ්ඩුව ගෙදර යවන එක ටොයිස් වැඩක්'
හැමෝම කීය.

sirimavo anura

මැතිනි ඇතුළු ශ්‍රීලනිපය 'අතුරු මැතිවරණ ජයෙන් උදම් වෙත්දී ජේ.ආර් අඩියක් පස්සට ....

 මැතිනි ඇතුළු ශ්‍රීලනිපය 'අතුරු මැතිවරණ ජයෙන් උදම් වෙත්දී ජේ.ආර් අඩියක් පස්සට ගෙන පක්ෂය සහ ආණ්ඩුව ගැන හිතුවේය.

'අපි අලුත් වෙමු. ප්‍රේමදාස ඉස්සරහට ගමු'

රන්ජන් විජේරත්න එහෙම කීවේය. ඒ වෙනකොටත් අගමැති ප්‍රේමදාස තනතුර 'පියන්කමක්' බව කියමින් සිටි අතර ජනාධිපතිවරණයටද සීරුමාරුවට සූදානමින් සිටියේය. පුරවැසි පෙරමුණටද ඔහු පනක් දී තිබිණි. 88 නොවැම්බර් 10 ජනාධිපතිවරණය බවට ප්‍රකාශ විය.

ජේ ආර් එජාප සමුළුව කැඳෙවුවේය.

 දශක කිහිපයක් එජාපය රැකගත් මිනිසා, එජාප ඉතිහාසයේ බලගතුම ජයග්‍රහණය දිනා දුන් මිනිසා, එජාපය වැඩියෙන්ම ශක්තිමත් කළ මිනිසා, එජාපයට ඉතිහාසයේ ප්‍රථම වරට වෘත්තීය සමිතියක් හැදූ මිනිසා, රටට විවෘත ආර්ථිකය ගෙනා මිනිසා,  තීරණාත්මක සමුළුව කැඳෙවුවේය.

ඒ තමන්ගේ පක්ෂයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා සහ පක්ෂ නායකයා ජනතාවට හඳුන්වා දෙන්නට ය. වේදිකාවේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේම තවත් විශේෂ අමුත්තෙක් සිටියේය. ඔහු රණසිංහ ප්‍රේමදාසය. දහස් ගානක ජනතාව මැද ජේ ආර් අපූරු කතාව කළේය.

“ මේ එක්සත් ජාතික පක්ෂය තමයි අවුරුදු ගණනාවක් රට පාලනය කළ පක්ෂය..රටට නිදහස ගෙනාව පක්ෂය..මහජන පක්ෂයක් හැටියට, දුප්පත්ම මහජනයා වෙනුවෙන් අතදෙන රණසිංහ ප්‍රේමදාස මහත්මයාට නායකත්වය පවරනවා...අපි මහජනයාට හඳුන්වලා දෙනවා...මෙන්න තමුන්නාන්සේලාගේ මනුෂ්‍යෙයක්..එතුමා එන්නේ උන්නැහේගේ ප්‍රතිපත්ති උඩ, උන්නැහේගේ ක්‍රියාව උඩ..උන්නැහේගේ මහජනතාවට තියෙන ආදරය උඩ..මේ රට අවුරුදු රාශියක් පාලනය කරපු දේශපාලන පක්ෂයේ එකම නියෝජිතයා හැටියට යි.‘

දහස් ගානක් කඳුලු පුරවාගෙන කන් බිහිරිකරවන අත්පොලසන් නාදයක් සහ උද්දාමයක් පල කළහ.
එජාපය අවදි විය. ප්‍රබෝධයෙන් මුසපත් විය. ආන්ඩුවේ පතාකයින් වූ ගාමිණී, ලලිත් දෙදෙනාම මැතිවරණ සටන කරට ගත් හ. ප්‍රේමදාස යකඩ කටින් මිනිස්සු නැති රැළි ඇමතූහ. ගෙවල්වල දොරවල් වසාගෙන ජනතාව ඒ කතා ඇසූහ.  ඡන්දය දමන ප්‍රථම 12 දෙනා මරාදමන බවට ජවිපෙ නියෝග කළේය.

අන්තිමට ප්‍රේමදාස රටේ දෙවෙනි විධායක ජනාධිපති විය. ජනාධිපතිවරණයට මාස 3ක් තියෙද්දී තිබූ තරමකට එජාපයට වාසි රත්නපුර අතුරු මැතිවරණය පරාජය විය. ජනාධිපතිවරණය දිනුවේය.

හිතවතුනි,
‍අද ඇල්පිටිය ඡන්දය ය.

(✍ Ranjith Kumara Samarakoon)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...