BREAKING
Top Ad
පුවත්

කොක්කඩිචෝලේ සමූහ ඝාතනයේ 37 වැනි සමරුව පැවැත්වේ

T

The Leader

February 1, 2024 • 1:39 AM

කොක්කඩිචෝලේ සමූහ ඝාතනයේ 37 වැනි සමරුව පැවැත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක
  • ඝාතනයට ලක් වු දෙසිය තිහකගේ නම් සදහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී මෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පොංගු තමිල් ස්මාරකය අසලදි ද ජනවාරි 28 වැනිදා එම අනුස්මරණ පැවැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • එම අවස්ථාවට එක්ව සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් සදහන් කළේ දෙමළ ජනයා එකතු වී නිදහස සදහා වු අරගලය දිගටම කළ යුතු බවයි.
  • ප්‍රදේශවාසීන් පවසන පරිදි 1987 වසරේ ජනවාරි 29 වැනිදායින් ඇරඹී දින තුනක් පුරා තම ගමට එල්ල වූ ලංකාණ්ඩුවේ හමුදාවන්ගේ, තෙරක් නැති ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමට ගම්වාසීන්ට සිදුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තිස් හත් වැනි අනුස්මරණය නැගෙනහිර පළාතේ ස්ථාන දෙකක දී සිදු කර තිබේ.

ඝාතනයට ලක් වු දෙසිය තිහකගේ නම් සදහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී මෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පොංගු තමිල් ස්මාරකය අසලදි ද ජනවාරි 28 වැනිදා එම අනුස්මරණ පැවැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියළු පිඨ වලට අයත් දෙමළ සිසුන්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පොංගු තමිල් ස්මාරකය අසලදි ඝාතනයට ලක් වුවන් මලින් පහනින් අනුස්මරණය කර තිබේ.

මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී පැවැති අනුස්මරණය ඝාතනයට ලක්වුවන්ගේ ඥාතීන් හා ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


commemoration 2
commemoration 3


එම අවස්ථාවට එක්ව සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් සදහන් කළේ දෙමළ ජනයා එකතු වී නිදහස සදහා වු අරගලය දිගටම කළ යුතු බවයි.

“උතුරු නැගෙනහිර මෙම අරගලයේදී සටන්කාමීන් දහස් ගණනක් සහ සිවිල් වැසියන් ලක්ෂ ගණනක් මිය ගියා. සිවිල් වැසියන් ඝාතනය වූ සෑම තැනකම අපි අනුස්මරණය කරන්නේ ඉදිරි පරම්පරාවට මේක ගෙනියන්න තමයි. ඒ විදියට ඉදිරි පරම්පරාවත් මේ ගැන හිතන්න ඕන. අපට එරෙහිව සිදු කරන ලද අසාධාරණයන්, සාහසික ක්‍රියා සහ ඝාතන සිහිපත් කරමින්, දෙමළ ජනයා එකතු වෙලා අපේ නිදහස සදහා වු අරගලය දිගටම කරන්න ඕනේ.”


1987 වසරේ ජනවාරි

මඩකලපු දිස්ත්‍රික්කයේ, කොක්කඩිචෝලේ ගම්පියස ගොවිතැන, ධීවර කර්මාන්තය හා ඉස්සන් ඇතිකිරීම තම ජීවනෝපාය කරගත් ජනතාවගේ වාසභූමියකි.

ප්‍රදේශවාසීන් පවසන පරිදි 1987 වසරේ ජනවාරි 29 වැනිදායින් ඇරඹී දින තුනක් පුරා තම ගමට එල්ල වූ ලංකාණ්ඩුවේ හමුදාවන්ගේ, තෙරක් නැති ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමට ගම්වාසීන්ට සිදුව තිබේ.

අනතුරුව කොන්ඩවට්ටුවාන්, කළුවන්චිකුඩි, වෙල්ලවේලි හා කල්ලඩි කදවුරු වලින් පැමිණි හමුදාවන් ට්‍රක්රථ හා හෙලිකොප්ටර් යානා යොදාගෙන ගමට ඇතුල් වී ඇත.

ඔවුන් වයස අවුරුදු 14 සිට 40 දක්වා වූ ගම් වැසියන් පැහැරගනු ලැබූ අතර ඉන් වැඩි පිරිසක් ඝාතනය කළ කළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

කොක්කඩිචෝලේ මහිලඩිත්තිව් හි ඉස්සන් ගොවිපල ක්‍රියාත්මක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර යටතේය.

කම්කරුවන් විශාල පිරිසක් එහි රැකියාවේ නිරතව වී තිබෙන අතර 1987 ජනවාරි 28 දා ඝාතනයට ලක්වුවන් අතර මෙම ඉස්සන් ගොවිපලේ සේවය කළ කම්කරුවෝ ද වෙති.

 

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කොක්කඩිචෝලේ පිහිටි සහල් මෝලේ රැකවරණය ලැබූ 24 දෙනකුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි. එසේ ඝාතනයට ලක්වූවන් අතරින් 12 දෙනකු 12 වැනි වියේ පසුවුවන් ය.


සෙල්ලතුරෙයි රවිනාදන් 1987 වසර වන විට මේ ඉස්සන් ගොවිපලේ ආරක්ෂක රාජකාරියේ නිරත වු අයෙකි.

සමූලඝාතනය සිදුවූ දිනයේ රවිනාදන් නිරතව ඇත්තේ දිවා සේවාමුරයේ ය. සිද්ධිය පිළිබඳ සිය අත්දැකීම් ඔහු එවකට මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ මෙසේය.

“මම උදේ පාන්දරින්ම වැඩට ගියා. වෙනදාට වඩා නැතිව එදා උදෙන්ම හෙලිකොප්ටර් දෙක තුනක් අහසේ රවුම් ගහන්නට වුනා. මට හිතුනා මොකක් නමුත් අමුත්තක් වෙන්න යනවා කියලා. මම තවත් මිනිසුන් ගොඩක් එක්ක ඉස්සො ගොවිපලට දුවල ගියා. ඉස්සෝ ගොවිපලේ සුද්දන්ගේ අයිතියත් තියෙන නිසා එතැන දී අපිව ආරක්ෂිතය කියල අපි ඔක්කෝටම විස්වාසයක් තිබුණා. මීට ඉස්සෙල්ලත් අපව අල්ලාගෙන දෙපාරක දී ම ප්‍රශ්න කළත් හමුදාව අපට යන්න ඉඩ හැරියා. එතනින් ආරක්ෂාවක් ලැබේවිය කියන බලාපොරොත්තුව හින්දා අපි එහෙට දුවල ගියා. එතැන හංදියේ විශාල හමුදා වාහනයක් තිබුණා. හමුදාව වාහනයෙන් එලියට පැනගෙන පාරට ආවා. මේ තමා අපි පලමු වතාවට දැනගත්තේ STF එකේ පෙනුම කොයි වගේ ද කියලා. පාරට පැමින සිටි හමුදාවේ හැමෝම තමන්ගේ තුවක්කු ඉස්සෝ ගොවිපල දිසාවට එල්ල කළා. එක් පුද්ගලයෙක් තුවක්කුව එල්ල කරගෙන අපේ දිහාට ආවා. මේක දැකපු අපිත් එක්ක හිටපු දෙතුන් දෙනෙක් පහලට නැමිලා වතුරපාර දිගේ හෙමින් අනෙක් පැත්තට ගියා.”

සෙල්ලතුරෙයි රවිනාදන් විස්තර කරන පරිදි එතැන හිටි මුතලයිකුඩා, මුනායිකාඩු, මහිලඩිත්තිව් සහ අම්බලන්තුරෙයි යන ගම් වල පිරිස් හමුදා ග්‍රහනයට ලක් ව තිබේ.

ඔහු සිය අත්දැකීම තව දුරටත් විස්තර කර ඇත්තේ පහත අයුරිනි.

"අපි හිටපු තැනට හමුදාවේ තුන්දෙනෙක් ආවා. ඔවුන් කෑ ගසා කිවා අපි හැමෝටම එක තැනකට එකතු වෙන්න කියලා. හැමෝම බියෙන් වෙව්ලමින් සිටියේ. එවේලේ, ඔවුන් තුවක්කුවෙන් වෙඩිල්ලක් තිබ්බා. එතකොට හැමෝම එතැනින් අහකට දිව්වා. මම ලග තිබ්බ ඉස්සන් ගොවිපලේ පුංචි පැලකට මුවා වුනා. අපිට කලින් දේවනායගම් කියන පිරිමි ළමයා දුවල ගියා. අපිට එකපාරටම වෙඩි තියනවා ඇහුනා. අපි දන්නේ නෑ ඔහුට සිද්ද වුනේ මොකද්ද කියලා. මම වහාම ලග තිබුන පුංචි ගහට මුවා වුනා. මගේ ඉස්සරහපිටම නේසතුරෙයි කියන පිරිමි ළමයත් ඒ දේම කළා."

සෙල්ලතුරෙයි රවිනාදන් පවසන්නේ මේ අතරතුර හමුදාව ජනතාව දුවමින් සිටි ප්‍රදේශය වෙත වෙඩි තැබීමට පටන් ගත් බවයි.


" කුඩා කුරුල්ලන්ව පන්නා දමන්න ඉස්සන් ගොවිපොළේ සිටි කුඩා දරුවන්ට ඔවුන් වෙඩි තිබ්බා. මේ දුප්පත් ළමයි උදේ පාන්දරම ගොවිපලට එන්නේ එහි ඇති කරන ඉස්සන් ට කිසිම කුරුල්ලෙක් පහර දුන්නේ නැතිය කියල සැක හැර බලාගන්නයි. එකෙන් මේ ළමයි බලාපොරොත්තු වෙන්නේ කොච්චර පුංචි උනත් මේ වැඩේ වෙනුවෙන් ලැබෙන මුදල බලාගෙනයි. ඒ වගේ දුප්පත් පොඩි දරුවන්ට ඔවුන් වෙඩි තැබුවේ මොන හිතකින් ද?



සිය ජීවිතය බේරා ගැනීම සදහා තමන් ගත් ක්‍රියාමාර්ගත් සෙල්ලතුරෙයි රවිනාදන් විස්තර කරන්නේ මේ අයුරිනි.

"ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා දාලා මම පොඩි කැලේ අස්සෙන් දුවල ගියා. මම දුවල යන අතරේ මට ඇහුනා තුවක්කු පත්තුවෙන සද්දේ. ඉන් ටික වේලාවකට පස්සේ මට ඉස්සන් ගොවිපල පැත්තෙන් කිසිම සද්දයක් ඇහුනේ නෑ. මම හිතුවේ මම ආපසු යන්න ඕනේ. ගිහින් වෙලා තිබෙන්නේ මොකද්ද කියලා බලා ගන්න ඕනේ කියලා . මම ඒක කරන්න යනකොට, එක වයසක මිනිසෙක් මාව නැවැත්තුවා, ”මනුස්සයෝ, කරුණාකරලා ආපහු යන්න එපා උන් ඒ හැමෝටම වෙඩි තියල ඉවරයි.”

සෙල්ලතුරෙයි රවිනාදන් පවසන පරිදි මේ සමුලඝාතනය සියැසින් දුටු ඔහුගේ වැඩිමල් සහෝදරයා, දවස් තුන හතරක් යනකල්ම සිට ඇත්තේ කිසිම සිහි කල්පනාවකින් තොරවය.

කොක්කඩිචෝලේ සිදු කළ පළමු සමුහ ඝාතනයෙන් පස් වසරක් සපිරෙන්නටත් මත්තෙන් යළිත් වරක් රජයේ ආරක්ෂක අංශ විසින් එම ග්‍රාමයේ 1991 වසරේදී සමුහ ඝාතනයක් සිදු කර තිබේ.

ගම්වැසියන් පවසන්නේ 1991 ජූනි 12 වැනිදා හමුදාව කොක්කඩිචෝලේ සහල් ඇඹරුම් මෝලකට ඇතුළු වී එහි සේවයේ නියුතුව සිටි කම්කරුවන් 17 දෙනා මරා දමමින් සහල් මෝල ගිනිබත් කළ රජයේ ආරක්ෂක හමුදාව එදිනම අවට නිවාස 400 කටද හානි සිදු කර තිබෙන බවයි. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...