BREAKING
Top Ad
පුවත්

ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද දමයි ද?

T

The Leader

April 3, 2025 • 6:01 AM

ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද දමයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ශ්‍රී ලංකාව අපෙන් 88%ක් නේ.
  • ඔහුගේ සැලැස්ම මගින් සියලු ම ආනයන සඳහා අවම වශයෙන් 10%ක මූලික තීරුබද්දක් පැනවෙනු ඇත.
  • ට්‍රම්ප් පවසන පරිදි "අසාධාරණ වෙළෙඳ ප්‍රතිපත්ති ඇති" ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ හවුල්කරුවන් වන යුරෝපීය සංගමය සහ චීනය ඇතුළු රටවල් 60ක් සඳහා ඉහළ තීරුබදු බලපැවැත්වෙනු ඇත.
  • විශ්ලේෂකයින් සඳහන් කර ඇත්තේ, මෙමගින් ඇමෙරිකානුවන්ට ආනයනික භාණ්ඩ සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇති බව ත් එය එරට ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමටත් හේතු වනු ඇති බව ත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතින්, අපි කරන්නේ, අපි මුළු ගාණ ම ගන්නේ නැහැ. ඕන නම් අපිට 88% ම ගන්න පුළුවන්," දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර වෙළෙඳාමේ ඇති වූ විශාලතම කැලඹීම ලෙස, ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වන සියලු ම භාණ්ඩ සඳහා නව ආනයන බදු පැනවීමේ සැලසුම් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව පිළිබඳව එලෙස පැවසීය.

ඔහුගේ සැලැස්ම මගින් සියලු ම ආනයන සඳහා අවම වශයෙන් 10%ක මූලික තීරුබද්දක් පැනවෙනු ඇත. උපරිමය 50%කි. එය පසුගිය වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු කළ යෝජනාවකට අනුකූල තීරණයකි.

ට්‍රම්ප් පවසන පරිදි "අසාධාරණ වෙළෙඳ ප්‍රතිපත්ති ඇති" ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ හවුල්කරුවන් වන යුරෝපීය සංගමය සහ චීනය ඇතුළු රටවල් 60ක් සඳහා ඉහළ තීරුබදු බලපැවැත්වෙනු ඇත.

විශ්ලේෂකයින් සඳහන් කර ඇත්තේ, මෙමගින් ඇමෙරිකානුවන්ට ආනයනික භාණ්ඩ සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇති බව ත් එය එරට ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමටත් හේතු වනු ඇති බව ත් ය.

එමෙන් ම, මෙම පියවර හේතුවෙන් ලොව පුරා ඇති ඇතැම් රටවල් අවපාතයකට ඇද වැටිය හැකි බව ද විශ්ලේෂකයෝ පවසති. අප්‍රේල් 5 වන දා සිට මෙම නව බදු ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක නව තීරු බද්දක් අය කරන බව ය.

ඒ අනුව, 5 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා ඇත්තේ ශ්‍රී ලංකාවට බව ආර්ථික විශේෂඥ වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙයි.

"බදු ගහලා තියෙන්නේ 10%-50% අතර. අපිට තමයි 5 වෙනියාට වැඩි ම බද්ද ගහලා තියෙන්නේ, ජාත්‍යන්තර වෙළෙඳාම තුළ. ඒකෙන් අදහස් කරන්නේ, අපි තමයි ජාත්‍යන්තර වෙළෙඳාම තුළ [ඇමෙරිකාවෙන්] 5 වෙනියාට වැඩි ම බදු අය කරන රට," බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ ය.

ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව 88%ක තීරු බද්දක් අය කරනු ලබන අතර එයට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් මෙම නව බදු පැනවීම සිදු කර තිබේ.

"අපි ඇමෙරිකාවෙන් ලංකාවට ගෙන්වන භාණ්ඩවලට 88%ක අති විශාල බද්දක් ගහලා තියෙනවා. ඒක ගොඩක් අය දැනන් හිටියේ නැහැ දැන් කියනකම්. එතකොට 88%න් භාගයක් තමයි ඔවුන් අපෙන් අය කරන්නේ. අපිට 44% ගහනවා කියලා කියන්නේ, ඇමෙරිකාවට 88%ක බද්දක් තියෙනවා කියන එක," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා, අපි බිලියන 100ක් ලංකාවට ඇරියොත්, ඒකෙන් බිලියන 22යි ඇමෙරිකානු ජනතාවට හම්බ වෙන්නේ, බිලියන 88ක් ලංකාවේ රජය තමයි ඒකෙන් ආදායම උපයන්නේ කියලා. ඒ නිසා ඇමෙරිකාව පැත්තෙන් හරි ම සාධාරණීකරණයක් කරනවා, ඇයි මේ බද්ද පැනෙව්වේ සහ, බද්ද පැනවීමේ පදනම ගැන," ඔහු තවදුරටත් පැවසීය.

ට්‍රම්ප් පැනවූ තීරුබදුවලින් වඩාත් ම පීඩාවට පත් වූ රටවල් අතර තවත් ආසියානු රටවල් ඇති අතර ඒවා අතරින් චීනයට 34%ක්, වියට්නාමයට 46%ක් සහ කාම්බෝජයට 49%ක් ලෙස තීරු බදු පනවා ඇත.

'ලංකාව බිලියන 3ක් අපනයනය කළාට අපි ඇමෙරිකාවෙන් ලංකාවට ආනයනය කරන්නේ, ඩොලර් මිලියන 360ක් විතර'

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විශාලතම ගැනුම්කරුවා බවට පත්ව ඇත්තේ ඇමෙරිකාව බව ය.

ශ්‍රී ලංකාවේ සමස්ත දළ අපනයන ආදායම වන ඇමෙරිකානු ඩොලර් 12න් 25%ක් පමණ වෙන් වී ඇත්තේ ඇමෙරිකාවට බව ඔහු පැවසීය.

"ලංකාවේ සමස්ත අපනයනය, දළ වශයෙන් ගතහොත් බිලියන 12ක්. ඒකෙන් 25%ක්, ඒ කියන්නේ වාර්ෂිකව බිලියන 3ක්, 3.4ක් විතර ප්‍රමාණයක් අපි ඇමෙරිකාවට අපනයනය කරනවා. රටක් විදිහට ගත්තොත් ඇමෙරිකාව තමයි අපේ ලොකු ම ගැනුම්කරුවා බවට පත් වෙලා තියෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

එසේ වුව ද, ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන්නේ, ඩොලර් මිලියන 360ක් පමණ වටිනාකමකින් යුක්ත භාණ්ඩ හා සේවා බව ඔහු පැවසීය. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, එය අප එරටට අපනයනය කරන ප්‍රමාණයෙන් 10%ක් පමණ වන බව ය.

"එතකොට ඇමෙරිකාව කියනවා, ඒ අය යෝජනාව ගේන්නේ ආර්ථික නිදහස කියන කාරණාව උඩ නේ. එතකොට ආර්ථික නිදහසක් ඇති කර ගන්න නම්, වෙළෙඳ පරතරයක් තියෙන රටවල්වලින් බදු අය කර ගන්නවා කියන එක," ඔහු පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවට ඇති බලපෑම කුමක් ද?

කරුණු කිහිපයක් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නව බදු පැනවීම ශ්‍රී ලංකාවට බලපාන ආකාරය මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දුන්නේ ය.

* GSP සහනය යටතේ අපනයනය කරන සියලු ම භාණ්ඩ සඳහා 44%ක් බදු

GSP සහනය යටතේ ශ්‍රී ලංකාව භාණ්ඩ වර්ග 3,200ක් 3,400ක් පමණ අපනයනය කරන බව මහාචාර්යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙම නව බදු පැනවීමත් සමග GSP සහනය යටතේ අපනයනය කරන සියලු ම භාණ්ඩ සඳහා 44%ක බදු පැනවෙන බව ය.

"GSP සහනය යටතේ අපි ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කළේ, අඩු ටැක්ස් එකකට. එතකොට GSP එක යටතේ අපිට භාණ්ඩ වර්ග 3,200ක් 3,400ක් විතර අපිට අපනයන කරන්න හැකියාව තිබුණා. හැබැයි ඇඟලුම්වලට අපිට GSP සහනය තිබුණේ නැහැ. GSP+ එක විතරයි ඇඟලුම්වලට තියෙන්නේ. එතකොට GSP සහනය යටතේ අපි අපනයනය කරපු සියලු ම භාණ්ඩවලට 44%ක ටැක්ස් එකක් වදිනවා මේ අලුත් ක්‍රමයත් එක්ක," ඔහු පැහැදිලි කළේ ය.

* ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම අඩු විය හැකියි

ශ්‍රී ලංකාව විසින් වැඩි වශයෙන් ඇමෙරිකාවට අපනයන කරනු ලබන්නේ ඇඟලුම් බව මහාචාර්යවරයා පැවසීය.

මෙම නව බදු පැනවීමත් සමග ඒ සඳහා 44%ක බද්දක් පැනවෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ හේතුවෙන්, ඇමෙරිකානු වෙළෙඳපොළේ එම නිෂ්පාදනවල මිල ඉහළ යන බව ත් තරගකාරී වෙළෙඳපොළ තුළදී පාරිභෝගිකයින් අඩු මිලක් ඇති භාණ්ඩ සඳහා යොමු වන බව ත් ඔහු පැවසීය.

"අපි යවන භාණ්ඩවලට එහෙන් අය කරන බද්ද තමයි 44%ක් වැඩි වෙන්නේ. එතකොට එහේ මිල වැඩි වෙනවා. එහේ මිල වැඩි වෙච්ච හැටියේ, තරගකාරී වෙළෙඳපොළේදී අනිවාර්යයෙන් ම ඔවුන් අඩු මිලක් තියෙන භාණ්ඩ නේ ගන්නේ. එතකොට ලංකාවේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම නැති වෙන්න පුළුවන්,"
මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

* ඇඟලුම් ව්‍යාපාර වැසී යාමේ අවදානමක්

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දුන්නේ, අප්‍රිකානු රටවල බදු ප්‍රතිපත්තියේ පවතින සහනදායි ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඇති ඇඟලුම් ව්‍යාපාර එම රට වෙත ගෙන යාම අවදානමක් පවතින බව ය.

මේ වන විටත් එය සිදුවෙමින් පවතින බව පැවසූ ඔහු සඳහන් කළේ, එසේ වුවහොත් ශ්‍රී ලංකාවට "විශාල අර්බුදයකට" මුහුණ දීමට සිදුවනු ඇති බව ය.

"අප්‍රිකානු රටවල්වල බදු අනුපාත ගොඩක් අඩුයි. ඉතියෝපියාව, නයිජීරියාව වහේ තැන්වලට ඇඟලුම් කර්මාන්තයට යන්න පුළුවන්. දැනටත් ඒක වෙනවා. එතකොට අපේ ඇඟලුම් කර්මාන්ත මෙහෙන් වහලා ඒ ව්‍යාපාර, අනෙක් රටවල්වලට ගියොත්, විශාල අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

* ආර්ථික අභියෝගයෙන් ජය ගැනීම

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක අපනයන ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බව ඔහු පැවැසීය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, එය 2027 වන විට ළඟා කර ගත යුතු බව ය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන මෙරට අපනයන ආදායම තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4කින් වැඩි කර ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාව අභිමුව ඇතැයි ඔහු පැවසීය.

"ඉතින් වැඩි කර ගන්න තියෙද්දී මේ වගේ අර්බුදයක් ඇවිල්ලා, අපේ ඇඟලුම් කර්න්මාන්ත කඩා වැටුණොත්, මොක ද එතන තමයි වැඩි ම ආදායම තියෙන්නේ. එතකොට ඒකෙන් අපි ඩොලර් අර්බුදයකට යනවා එක පැත්තකින්," ඔහු පැහැදිලි කළේ ය.

* රැකියා සහ ඩොලර් අර්බුදයක්

ඇමෙරිකාවේ නව බදු පැනවීම හරහා ශ්‍රී ලංකාව තුළ රැකියා පිළිබඳ විශාල අර්බුදයක් ඇති විය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවක දළ වශයෙන් සේවකයින් 40,000ක් පමණ රැකියාවේ නිරත වන බවත් එම ව්‍යාපාර වෙනත් රටවල් වෙත යාමෙන් මෙම අර්බුදය නිර්මාණය වන බව ත් ඔහු පැහැදිලි කළේ ය.

එමෙන් ම ඩොලර් පිළිබඳ විශාල අර්බුදයක් ඇති වීමේ අවදානම පවතින බව ඔහු පැවසීය:

"අනෙක් පැත්තෙන් රැකියා පිළිබඳ විශාල අර්බුදයකට යනවා. එක ප්‍රධාන ඇඟලුම් කර්මාන්තශාලාවක් කියන්නේ දළ වශයෙන් 40,000ක් විතර වැඩ කරනවා.

එතකොට රැකියා අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. සහ ඩොලර් පිළිබඳ විශාල අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්."

අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට කුමක් කළ හැකි ද?

සිය දෙවන ධූර කාලය තුළ සිටින ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ගේ මෙම තීරණය එකවර පැමිණි දෙයක් නොවන බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දුන්නේ ය.
මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතුව මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල පැවති දුර්වලකම බව ඔහු පැවසීය:

"මේක එක පාර ආව දෙයක් නෙවෙයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා පත් වුණු දවසේ ඉඳලා ෆිස්කල් වෝ එක ගැන කතා කළා. එතකොට පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී, මේක විපක්ෂය ම ගෙනාවා මතයක් විදිහට, මේ ගැන හොයලා බලන්න කියලා. මැදිහත් වෙන්න කියලා. නමුත් රජයට ඒක කරන්න බැරි වුණා. එතකොට අපේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල තිබුණ දුර්වලකමක් තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ."

ඔහු පෙන්වා දුන්නේ, බදු ප්‍රතිපත්තිය ගැලපීම හරහා මෙම නව බදු පැනවීමෙන් එල්ල වන පීඩනය අවම කර ගැනීමේ හැකියාව පවතින බව ය.

"උදාහරණයක් විදිහට 88%ක් ගහන හින්දා නේ 44%ක් චාජ් කරන්නේ. එතකොට අපේ බදු ප්‍රතිපත්තිය ගැලපුවොත් යම් ආකාරයකින් අපිට එන පීඩනය අඩු කරගන්න පුළුවන්. 20%ක් ගෙනාවොත් අපිට වදින්නේ 10%යි," මහාචාර්යවරයා විසඳුම පැහැදිලි කළේ ය.

"මම දැක්කා රජය පැත්තෙන් කියලා තියෙනවා, අපි මේ ගැන අධ්‍යයනය කරනවා කියලා. බදු ප්‍රතිපත්තිය ගැන හිතනවා කියලා. හිතන්න තිබුණේ මීට ගොඩක් කලින්. බදු ගහන්න ඉස්සෙල්ලා. කලින් කිව්වා, නමුත් මේ ගැන ධනාත්මක ප්‍රතිචාරයක් රජය පැත්තෙන් පෙන්නුවේ නැහැ.

මොකද අපිට විශේෂයෙන් ඉල්ලන්න තිබ්බා, මේ ආර්ථික අර්බුදය, අපි රට වැටිලා, ආපහු ගොඩ එන්න බැරි තැනක IMF එකේ පිහිටෙන් අපි ඉන්නේ. IMF කියන්නේ ඇමෙරිකාවේ ආයතනයක් හා සමාන ආයතනයක් නේ. ඒ ඔක්කොමත් එක්ක අපිට විශේෂ සහනයක් ගන්න තිබුණා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ට්‍රම්ප්ගේ තීරුබදු යනු කුමක් ද? ඔහු ඒවා භාවිත කරන්නේ ඇයි? වැඩි ම බලපෑමක් ඇති රටවල් මොනවා ද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 'reciprocal traffis' එනම්, අන්‍යෝන්‍ය බදු ලෙස හඳුන් වන මෙම තීරු බදු වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබයි.

සාමාන්‍යයෙන්, තීරුබදු යනු නිෂ්පාදනයක වටිනාකමෙන් ප්‍රතිශතයකි. උදාහරණයක් ලෙස, ඇමෙරිකානු ඩොලර් 10ක නිෂ්පාදනයක් සඳහා 25%ක තීරුබදු අය කිරීමක් යනු අමතර, ඩොලර් 2.50ක මුදලක් අය කිරීමකි.

විදේශීය භාණ්ඩ රට තුළට ගෙන එන සමාගම් රජයට මෙම බද්ද ගෙවිය යුතු වේ.

සමාගම්වලට එම පිරිවැයෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ම ගනුදෙනුකරුවන් වෙත පැවරීමට තෝරා ගත හැකි ය.

ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වීය "අන්‍යෝන්‍ය තීරුබදු", දැනටමත් ඇමෙරිකානු නිෂ්පාදන සඳහා ආනයනය බදු අය කරන රටවල් ඉලක්ක කර ගැනීමකි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා තර්ක කරන්නේ, ඔහුගේ මෙම නව බදු එක්සත් ජනපදයට පනවා ඇති ඒවාට වඩා කුඩා බව ය.

තීරුබදු යනු ට්‍රම්ප්ගේ ආර්ථික දැක්මේ කේන්ද්‍රීය කොටසක් වන අතර ඔහු පවසන්නේ "තීරුබදු" යනු ඔහුගේ ප්‍රියතම වචනය බව ය.

මෙම බදු මගින් ඇමෙරිකානු පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් ඇමෙරිකාවේ නිෂ්පාදිත භාණ්ඩ මිල දී ගැනීමට දිරිමත් කරනු ඇති බව ත්, එමගින් රටේ ආර්ථිකය නංවාලීමට සහ ආනයනික භාණ්ඩ සඳහා පැනවූ තීරුබදුවලින් රජය වැඩි මුදලක් අයකර ගනු ඇති බව ත් ය.

ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ, එක්සත් ජනපදය ආනයනය කරන භාණ්ඩවල වටිනාකම සහ එය වෙනත් රටවලට අපනයනය කරන භාණ්ඩ අතර පරතරය අඩු කිරීමට ය.

කාම්බෝජය (49%), ලාඕසය (48%) මැඩගස්කරය (47%), වියට්නාමය (46%), මියන්මාරය (44%) සහ බංග්ලාදේශය (37%) යන රටවල් මෙම නව බදු මගින් වැඩි ම බලපෑමට ලක්වන රටවල් වේ.

එක්සත් රාජධානියේ භාණ්ඩ සඳහා 10%ක තීරු බද්දක් පැනවෙන අතර, සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමයට අයත් රටවල්වල ආනයනික භාණ්ඩ සඳහා 20%ක තීරු බද්දක් පැනවෙනු ඇත.

ඉන්දියාව සඳහා 26%ක තීරු බද්දක් පනවා තිබේ. චීනයට 34%ක සහ ජපානයට 24%ක තීරුබදු පනවා ඇත.

'ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය එක රැයකින් නිර්මාණය වූ දෙයක් නොවේ' - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව ගෝලීය වෙළෙඳාමට නව පීඩනයක් එක් කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය එක රැයකින් නිර්මාණය වූ දෙයක් නොවන බවත් එය අතීත ප්‍රතිපත්ති උපදෙස් මගින් හැඩගැසුණු ව්‍යුහයක් පිළිබිඹු කරන බවත් ඔහු එහි සඳහන් කර ඇත.

නමුත් රජයක් ලෙස, "අපි එය කල්පනාකාරීව, ස්ථාවරව සහ ජනතාවගේ අභිලාෂයන් අනුව හදවතින් ම ආමන්ත්‍රණය කිරීමේ සම්පූර්ණ වගකීම භාර ගනිමු," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් අවධාරණය කර තිබේ.

ඔහු ෆේස්බුක්හි පළ කර ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

trumptariff2134219834291
ජනපති අනුරගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මෙම නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අප්‍රේල් 3 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන අය ද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ තිබේ.

| BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...