BREAKING
Top Ad
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)

T

The Leader

April 3, 2022 • 12:20 AM

ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසමත් ටෙලි නිර්මාණ කුලකයේ නවතම උදාහරණය ‘‘Inter නැසනල් 02’’
  • නමුදු අදාළ නිර්මාණය පෙර නිර්මාණයේ දෙවන අදියර නොව එහි දිගුවක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එය ඇතැම් විට සාර්ථක වන්නට ඉඩකඩ පවතී.
  •   අපි ඒ සඳහා සාහිත්‍ය කලා නිර්මාණ කිහිපයක් උදාහරණ ලෙස ගෙන බලමු.
  •   මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත, තුන් ඈදුතු නවකතාවක් ලෙස සැලකෙන: ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය නිකුත් වන්නේ එකම කතාවේ කොටස් ත්‍රිත්වයක් ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):



කෙටි ප්‍රවේශයක්

 

සිනමා, වේදිකා, ටෙලි නිර්මාණ හෝ සාහිත්‍ය යනාදී ඕනෑම කලා නිර්මාණයක පළමු අදියර සාර්ථක වූ පමණින් ම එහි දෙවන අදියර ද සාර්ථක වෙතැයි විශ්වාස කළ නොහැකි ය. නමුදු අදාළ නිර්මාණය පෙර නිර්මාණයේ දෙවන අදියර නොව එහි දිගුවක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එය ඇතැම් විට සාර්ථක වන්නට ඉඩකඩ පවතී.

 

අපි ඒ සඳහා සාහිත්‍ය කලා නිර්මාණ කිහිපයක් උදාහරණ ලෙස ගෙන බලමු.

 

cinama2

මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත, තුන් ඈදුතු නවකතාවක් ලෙස සැලකෙන: ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය නිකුත් වන්නේ එකම කතාවේ කොටස් ත්‍රිත්වයක් ලෙස ය. නමුදු එම කතා ත්‍රිත්වයේ අන්තර්ගතය එකිනෙකට වෙනස් වූ බැවින් සහ එක් කොටස අවසානයෙන් අනෙක් කොටස ආරම්භ නොවූ බැවින් එය රස විඳීමේ දී මැළිකමක් නොදැනිණ. දෙනගම සිරිවර්ධන විසින් රචිත අයෝමා නමැති සාහිත්‍ය නිර්මාණය නිකුත් වූයේ කොටස් ත්‍රිත්වයක් ලෙසිනි; එහි අන්තර්ගතය එකිනෙකට සම්බන්ධ වුව ද එය රස විඳීමේ බාධාවක් නොපැවතිණ. ජයසේන ජයකොඩි ද එක ම කතාවේ අදියර කිහිපයක් ලෙස: පිච්ච මල, අරලිය මල් ආරාමය, මහමෙර, උපේකා, පින්කෙත සහ සිල් සුවඳ ලෙස කෘති හයක් රචනා කළේ ය. මෙම කෘති පෙළ ද එක් කෘතියක අවසානයෙන් අනෙක් කෘතිය ආරම්භ නොකළ ද කෘති සියල්ල සාර්ථක විය; රසවිඳිය හැකි විය.

 

bawaduka large

බව දුක

 

ධර්මසිරි බණ්ඩාරනායකගේ භව දුක සහ භව කර්ම යන සිනමා ද්විත්වය ම නිර්මාණය වන්නේ ‘‘බව දුක’’ නමැති කෘතිය ඇසුරෙනි. එම කෘතිය තනි කෘතියක් ලෙස රස වින්දා සේම සිනමා නිර්මාණ ද්විත්වය ද වෙන වෙන ම රස විඳිය හැකි විය.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කළ හොත් කළු අරලිය නිර්මාණයේ දෙවන කොටස ලෙස මොනර කඩදාසි නමැති නිර්මාණය එකිනෙකට වෙනස් කතා මාලා මෙන් ම රසවිඳීමේ පරාසය ද එකිනෙකට පරස්පර විය. සිඳූ නාට්‍යයේ දෙවන කොටස ලෙස ශක්ති මේ වන විට විකාශනය වෙමින් පවතී. එහි ද අන්තර්ගතය එකිනෙකට වෙනස් ය.

යට දැක්වු නාට්‍ය කිහිපය උදාහරණ ලෙස ගත්ත ද මගේ බින්න රුචිකත්වයට අනුව නම් සරල වින්දනයක් සහිත නිර්මාණ මිස ප්‍රේක්ෂක ප්‍රජාවට ගැඹුරු යමක් ඉදිරිපත් කළ හෝ කරන නිර්මාණ නොවේ.  මා සඳහන් කළ ටෙලිනාටය කිහිපයට අමතරව කොටස් හෝ අදියර ද්විත්වයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් විකාශනය වූ නාට්‍ය තිබිය හැකි ය. මා මෙහි දි සඳහන් කළේ මා දන්නා නාට්‍ය කිහිපයකක් පමණි.

Inter නැසනල් 02

inter nasanal

යට සඳහන් සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ ආවර්ජනයක යෙදුණේ අද ලිපියේ මුඛ්‍ය අරමුණට ප්‍රවේශයක් වශයෙනි. එනම් එකම නාමයෙන් අදියර දෙකක් ලෙස විකාශනය වූ, Inter නැසනල් 02 නාට්‍ය (මෙම නාට්‍ය යේ පළමු කොටස Inter නැසනල් 01 පිළිබඳ මගේ කියවීම International උම්මාදයේ නිරුවත හෙළි කරන ‘‘Inter නැසනල්’’ යන මැයෙන් මීට පෙර මෙම වෙබ් අඩවියට ලියා ඇත) පිළිබඳ යම් අදහසක් ලිවීම පිණිස ය.

පළමු කොටසේ දී ගම්‍ය කෙරුණු මුඛය තේමාව වූයේ මෙරට පවතින පුද්ගලික පාසල් පද්ධතිය කෙරෙහි ආශක්ත වන ඇතැම් ඉහළ මධ්‍යම පාන්තික පිරිස සහ පහළ මධ්‍යමපාන්තික පිරිස අතර පවත්නා ගැටලු ය. දෙවන කොටසේ දී තිර රචකයා පුද්ගලික පාසල් පද්ධති තුළ පවත්නා මාෆියා තත්ත්වය පිළිබිඹු කරන්නට දරා ඇති උත්සාහය අගය කළ යුතු වුව ද සමස්ත නාට්‍ය දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන තත්ත්වය නම් පළමු කොටස තරම් ගැඹුරු අවබෝධයක් දෙවන කොටස තුළින් විදාරණය නොවූ බව යි.

අන්තර්ගත සිද්ධි වාචක - පළමු කොටසේ ම දිගුවක් ලෙස විකාශනය වන කොටස්

           I.  පුද්ගලික පාසලේ කතාන්දරය
           II. ජයසෙවන් පවුලේ කතාන්දරය
           III. නිරුපා සහ සපරමාදු පවුලේ කතාන්දරය
           IV. ගෙවින් සහ නිරූ පවුලේ කතාන්දරය
           V. රොෂාන් සහ මධු අතර සබඳතාව




අන්තර්ගත සිද්ධි වාචක - දෙවන කොටසට අලුතෙන් එකතු කර ඇති කොටස්

            I. ටෙලි නිර්මාණ කර්මාන්තයේ ඇතුළු වත
            II. ජෙගනාදන් පවුලේ කතාන්දරය
            III.නව ගුරුවරයෙක්, ගුරුවරියන් දෙපළක් (පුද්ගලික පාසල) සහ රජයේ පාසල් ගුරුවරිය පිළිබඳ කතාන්දරය


පළමු කොටසේ ම දිගුව

MEE P 02 11 14 MC 2

පළමු කොටසෙන් වඩාත් යත්න දරා තිබුණේ කුමක් ද යන්න පිළිබදව යට සඳහන් කර ඇත. එම අනුභුතිය තව දුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යන්නට තිර රචකයා සමත් වී තිබේ. එනම් යට සඳහන් කළ පරිදි අදාළ ආයතන පද්ධතිය තුළ  ක්‍රියාත්මක වන මාෆියා ජාලය හෙළිදරව් කිරීම ය. පුද්ගලික පාසලක රුගතකිරීම් කරන පසුබිමක් යටතේ එම ආයතන පද්ධතිය ම දැඩි විවේචනයට බඳුන් කිරීම සහ එහි නිරුවත හෙළිදරව් කිරීම එක් පසෙකින් දැවැන්ත අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීමට තිර රචකයා මෙන් ම අධ්‍යක්ෂවරයා ද සමත් වී ඇත.

ජය සෙවන් පවුලේ කතාන්දරය වර්ධනය කරන්නට අසමත් වී තිබුණ ද ජය සෙවන් මුදලාලි බඳු පුද්ගලයන් හුදු පුද්ගලික අරමුණු (පවුලේ අය නළු නිළියන් බවට පත්කිරීමට ඇති ආසාව, බිරිඳ අකමැති යමක් වේ නම් ඒ සඳහා මානසික අල්ලස් ලබාදීම) සාක්ශාත් කරගැනීම සඳහා ටෙලි කර්මාන්තයට පිවිසීම හේතුවෙන් සිදුවන හානිය පිළිබද හෙළිදරව් කිරීම අතිශය වැදගත්වේ. එම පාර්ශ්වය සාධණිය වුව ද හුංගිගේ චරිතය කතාවට ඈඳා ගැනීම,  සිල්කා බෑනා කරගැනීමේ බලාපොරොත්තුවෙන් දෙමාපිය යුවළක් පැමිණීම සහ අවසානයේ සිල්කා සහ හුංගි අතර විවාහයක් සිදුවන බවට ඉඟි කිරීම යනාදිය කිසිදු නැවුම් මානයකට ප්‍රේක්ෂක ප්‍රජාව රැගෙන යන්නට හෝ ප්‍රේක්ෂක මනස ප්‍රබෝධමත් කිරීමට අසමත් වී ඇත. එම සිද්ධිවාචක නාට්‍යයේ පළමු කොටසේ පැවති යම් සාධනීය ලක්ෂණ පවා නිශේධනය කෙරෙන තරම් ය.

MEE P 02 11 14 MC 3

නිරුපා සහ සපරමාදු පවුලේ කතන්දරය තුළ තමන්ට ඔරොත්තු නොදෙන තරමේ ආර්ථික බර පටවා ගැනීමේ අනිටු විපාක මෙන් ම දේශපාළුවන්ට කත් අදින රාජ්‍ය සේවක බත් බැලයන්ගේ ජීවන රටාව පිළිබදව මෙන් ම රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ පවත්නා දූෂණ, වංචා යනාදිය පිළිබඳ කිසියම් ඉඟියක් සපයන්නට සමත්වී ඇත. එය නිර්මාණය තුළ දක්නට ලැබෙන සාධනීය ලක්ෂණයකි.

ගෙවින් සහ නිරූ දෙපළගේ පවුලේ කතන්දරය තුළ අදාළ නිළිය වෙනස් වුව ද එතුළින් සාකච්ඡා කෙරෙන සමාජ ප්‍රශ්නය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ප්‍රේක්ෂක ප්‍රජාව යොමු වන බව සක් සුදක් සේ පැහැදිලි ය. පවුල් කුටුම්බය තුළ බිරිඳ සැමියාගේ ද සැමියා බිරිඳගේ ද ස්වාධිනත්වය පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කළ යුතු බව එමගින් ඉඟි කෙරේ. පුහු සදාචාරවාදින්ට නම් ඔවුන් දෙපළගේ ජීවන රටාව පිළිබඳ අමනාපයක්, පිළිකුලක්, විවේචනයක් තිබිය හැකි ය. නමුදු ගෙවින් අවසන් වශයෙන් එළඹෙන නිගමනය තුළ ඔහු සිය බිරිඳට යම් අකටයුත්තක්, අසාධාරණයක් කර ඇති බව පිළිගන්නට තරම් නිහතමානි වීම සාධණීය ලක්ෂණයකි. තවත් පසෙකින් ගත් විට එක් ගැහැනියක් අල්ලා ගැනීම ද, අනෙක් ගැහැනිය ඉවසීම සහ අත්හැරීමට ඇති සූදානම ද මැනවින් ප්‍රකට කෙරේ. එතුළින් සමාජයට ඉගෙන ගත යුතු පාඩම් බහුල ය.

රොෂාන් සහ මධූ අතර පවත්නා සබඳතාව ද බොහෝ ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු නොවු ආකාරයට අවසන් වීම ඉතා ප්‍රශස්ත ය. යළි රොෂාන් සමග එක වහලක් යටට පැමිණීමේ අවශ්‍යතාව මධු තුළ පැවතිය ද රොෂාන් එය ප්‍රතික්ෂේප කරන ආකාරය ඉතා ප්‍රශස්ත ය. ඔහු සැබැවින් ම ඍජු කශේරුකාවක් සහිත පිරිමියෙකු ලෙස හැඟිම්වලට වහල් නොවී තම අනාගත දිවි මග සාර්ථක කරගන්නට දරන ප්‍රයත්නය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම අගනා ආදර්ශයකි. ඔවුන් දෙපළගේ කතාන්දරය රැල්ලට දුවන ටෙලිනිර්මාණ තුළ අන්තර්ගත මෙබඳු සිද්ධිවාචක අභිභවන්නට සමත්වීම ද සාධනීය ලක්ෂණයකි.

දෙවන කොටසේ අසාර්ථකත්වය



ටෙලි නිර්මාණයක් තුළින් ම එම ක්ෂේත්‍රයේ හෙවත් කර්මාන්තයේ අශීලාචාර, කුණු ගඳ ගසන, වංචාකාරී, රැවටිලිකාරී, කර්මාන්තයේ නියැළි ශ්‍රමිකයන්ගේ ශ්‍රම සුරාකැම පිළිබඳ ටෙලි නිර්මාණයකින් ම හෙළිදරව් කිරිම ඉතා වැදගත් ය. අපි දන්නා තරමට මෙහි අන්තර්ගත නොවූ සිද්ධි බහුල ය. නමුදු ටෙලි නිර්මාණයක් තුළින් මීට වඩා යමක් ඉදිරිපත් කිරීමේ නොහැකියාව පිළිබඳ ප්‍රේක්ෂක ප්‍රජාව දැනුවත් බවට විශ්වාසය තැබිය හැකි ය. කලා ක්ෂේ ත්‍රය තුළ පවත්නා මෙවන් අයුක්ති සහගත සහ අසාධාරණ ක්‍රියා මතු කළ යුත්තේ ද කලා නිර්මාණ තුළිනි. එය පැසසිය යුතු කරුණකි.

 

පළමු කොටසේ දී ඉඟියක් හෝ නොලද ජෙගනාදන් පවුලේ සිද්ධිය කිසිදු නැවුම්භාවයක් හෝ ප්‍රේක්ෂක ප්‍රජාව නව මාවතක යොමු කරවන බවක් දක්නට නැත. රඟපෑම් පාර්ශ්වයෙන් වුව ද ජෙගනාදන්ගේ චරිතයට සාධාරණයක් ඉටු කරන්නට අදාළ රංගන ශිල්පියා සමත් වී තිබුණ ද ඔහුගේ බිරිඳ ලෙස රඟපාන ශිල්පිනිය වෙතින් සිය වගකීම ඉටු වී ඇති බවක් දක්නට නැත. එම සිද්ධිවාචක තුළින් සමස්ත නිර්මාණයේ ම අගය පහත වැටි ඇති බව මගේ පුද්ගලික අදහස ය.

FB IMG 1583827246189 1අසංක සායක්කාරපුද්ගලික පාසල් ගුරුවරයා, ගුරුවරියන් දෙපළ සහ රජයේ පාසල් ගුරුවරිය අතර සිදුවන කිසිදු රූප රාමුවක් ප්‍රේක්ෂක මනස ප්‍රබෝධමත් කරන්නට සමත් වී ඇතැයි යන්න මට නොහැඟේ. නමුදු එම චරිත රඟපාන නළුවා හැර නිළියන් තිදෙනා ම තව වගකීම මැනවින් ඉටු කර ඇති බව පැවසිය යුතු ය. එහෙත් ඔවුන් සිවු දෙනා අතර වන කිසිදු සිදුවීමක්, කිසිදු දෙබසක් ප්‍රේක්ෂක මනස නැවුම් බවකින් පුරවාලන්නට අසමත් ය. විශේෂයෙන් ම අසංක සායක්කාර නමැති තිර රචකයාගෙන් ප්‍රේක්ෂක ප්‍රජාව බලාපොරොත්තු වන්නේ මිට වඩා උසස් තත්ත්වයකි.

සමස්ත නිර්මාණය පිළිබඳ සලකා බැලීමේ දී දක්නට ලැබෙන්නේ සභා තොමෝ බහුතරයක් සතුටින් විසිර ගිය ලක්ෂණ ය. එය නෑකම් කියන්නේ සාම්ප්‍රදායික ටෙලිනාට්‍ය කලාවට මිස උසස් රසවින්දනයකින් හෙබි ටෙලි නාට්‍ය කලාවට නොවේ. තවත් සරලව ම පවසන්නේ නම් ‘‘Inter නැසනල් 01’’ නිර්මාණය අවසන් කර වෙනත් නාට්‍යයක් වෙත යොමු වුවා නම් වඩාත් සුදුසු ය. මන් ද ‘‘Inter නැසනල් 02’’ යනු අසමත් ටෙලි නිර්මාණයකි.


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

 2022/04/02



ආලින්දයෙන් ඔබ්බට - ජයසිරිගේ වෙනත් ලිපි :


ආලින්දයෙන් ඔබ්බට - තුන්කල් පිළිබිඹු කෙරෙන 'මිණි ගං දෑළ'

ආලින්දයෙන් ඔබ්බට 11 : මිනිස් ජීවිත දවා හළු කළ 'මිණි කිරණ' -ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...