ගෝලීය මෙන්ම දේශීය ආර්ථික පරිසර සාධක නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක වුවද, සිය ශක්තිමත් ඉපැයීම් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස නවයක කාලසීමාව සඳහා රුපියල් බිලියන 52.1 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කිරීමට මහජන බැංකුව සමත් වී ඇත.
ස්ථාවර මූලික බැංකු ක්‍රියාකාරීත්වය, විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය, ගුණාත්මක ණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ලබාගත් ප්‍රගතිය මෙම සාර්ථකත්වයට මූලික පදනම වී තිබේ.
පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ පැවැති රුපියල් බිලියන 122.2 ක සමස්ත මෙහෙයුම් ආදායම 18.7% ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 145.1 දක්වා ඉහළ ගොස් ඇත.
ශුද්ධ පොලී ආදායම 21.5% ක වර්ධනයක් සටහන් කරමින් රුපියල් බිලියන 103.9 සිට රුපියල් බිලියන 126.2 දක්වා වර්ධනය වී තිබේ.
ඵලදායී වත්කම් සහ වගකීම්වල පොලී අනුපාත නැවත මිල නියම කිරීම (Repricing) සහ ශේෂ පත්‍ර කළමනාකරණය හරහා ශුද්ධ පොලී ආන්තිකය 4.1% සිට 4.4% දක්වා ඉහළ නංවා ගැනීමට බැංකුව සමත් වී ඇත.
ශක්තිමත් ශේෂ පත්‍රය සහ ප්‍රාග්ධන සුරක්ෂිතතාව
දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1 ක අගයකට ළඟා වී ඇති අතර, සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.9 ක් ලෙස ස්ථාවර මට්ටමක පවතී.
සියලුම මුදල් ඒකක (All Currency) සහ රුපියල් සඳහා වන ද්‍රවශීලතා ආවරණ අනුපාත (Liquidity Coverage Ratios) පිළිවෙළින් 190.8% ක් සහ 226.5% ක් ලෙස ඉහළ ආරක්ෂිත මට්ටමක පැවැතිණි.
සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (Total Capital Adequacy Ratio) 17.4% දක්වා වර්ධනය වී ඇති අතර (අවම නියාමන අවශ්‍යතාවය 14.5% කි), එහි පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Tier 1) 12.4% ක් ලෙස සටහන් වේ.
හානිකරණය කරන ලද ණය (Stage 3) ශුද්ධ අනුපාතය 6.3% දක්වා වැඩිදියුණු වී ඇති අතර, ඊට අදාළ ප්‍රතිපාදන ආවරණ අනුපාතය (Stage 3 Provision Coverage Ratio) 54.1% දක්වා ශක්තිමත් වී ඇත.
බැංකු සමූහයේ කාර්ය සාධනය සහ ශ්‍රේණිගත කිරීම්
ප්‍රධාන බැංකු කටයුතු පුළුල් වීම සහ ලාභ ආන්තිකයන් වැඩිදියුණු වීම හේතුවෙන් බැංකු සමූහයේ බදු පෙර ලාභය පසුගිය වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ රුපියල් බිලියන 47.9 ට සාපේක්ෂව 23.8% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 59.3 ක් දක්වා වර්ධනය විය.
සමූහයේ දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.4 දක්වා ඉහළ ගිය අතර සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.3 ක ස්ථාවර අගයක් සටහන් කළේය. එසේම සමූහයේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 119.5 සිට රුපියල් බිලියන 148.6 දක්වා 24.4% කින් ඉහළ ගිය අතර, ශුද්ධ පොලී ආන්තිකය 4.4% සිට 4.8% දක්වා වර්ධනය විය.
මහජන බැංකුවේ අඛණ්ඩ සහ ශක්තිමත් කාර්ය සාධනය ඇගයීමට ලක් කරමින්, Fitch Ratings ආයතනය විසින් මෑතකදී මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම (National Long-Term Rating) මට්ටම් දෙකකින් ඉහළ නංවා ‘AA+(lka)’ (ස්ථාවර) ලෙස නම් කර ඇත. මෙලෙස ශ්‍රේණිගත කිරීම් මට්ටම් දෙකකින් ඉහළ නැංවීමක් (Two-Notch Rating Upgrade) සිදු වූයේ බැංකු ඉතිහාසයේ දෙවන අවස්ථාවට වන අතර, මීට පෙර මෙවැනි ඉහළ නැංවීමක් සිදුවූයේ 2010 වසරේදීය. මෙමගින් ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික අංශයේ වාණිජ බැංකු අභිබවා ඉදිරියට පැමිණීමට මහජන බැංකුව සමත් වී ඇත.
මීට අමතරව, 'ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2026' (National Business Excellence Awards 2026) උළෙලේදී 'සමස්ත රන් සම්මානය' (Overall Gold Award) දිනා ගැනීමට අමතරව, 'දැවැන්ත පරිමාණයේ ව්‍යාපාර', 'දේශීය වෙළඳපොළ ආවරණය' සහ 'බැංකු අංශය' යන කාණ්ඩ යටතේ ද ඉහළම සම්මාන හිමිකර ගැනීමට මහජන බැංකුව සමත් විය.
සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අදහස්
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණසිංහගොඩ,
මහජන බැංකුවේ සභාපති චන්දන ගුණසිංහගොඩ
"ගෝලීය අවිනිශ්චිතතාවයන් පැවැතියද, වැඩිදියුණු වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ගම්‍යතාව (Recovery Momentum) අඛණ්ඩව පවතිනවා. ශක්තිමත් මූල්‍ය මූලධර්ම, යහපාලනය, ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ මූල්‍ය සමානාත්මතාවය (Financial Equality) මගින් තිරසාර සහ සියල්ලන් ඇතුළත් වන ආර්ථික වර්ධනයකට දායක වීමට මහජන බැංකුව කැපවී සිටිනවා" යැයි පැවසීය.
ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා,
සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා
"මෙම ප්‍රගතිය මගින් මූලික ආදායම් උත්පාදනය, යහපත් වත්කම් ගුණාත්මකභාවය, විනයගරුක මූල්‍ය කළමනාකරණය මෙන්ම ඩිජිටල් බැංකුකරණය සහ ගනුදෙනුකාර අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා සිදුකළ ආයෝජනයන්හි සාර්ථකත්වය පිළිඹිබු වෙනවා. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලැබූ ඇගයීම සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ වෘත්තීයභාවය උදෙසා ලැබුණු උපහාරයක්" බව කීය.
(සටහන | ජේ. මුණසිංහ)



