The Leader News
BREAKING
පාරාදීසය : රාජ්‍ය සේවයේ නිහඬ වර්ජනය සහ බිඳවැටුණු කොඳු නාරටිය●බංග්ලාදේශය 'අවසර පාලනයෙන්' මිදෙයිද? - පැරණි නීති නිසා නිලධාරීන් බිය වෙලා●ලාස් වේගාස්හිදී රන්සිළුගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක්●චක්‍රීය ආර්ථිකයේ හිදැස් අතරින් රිංගන රෙදිපිළි කසල : විසඳුම ඇත්තේ කොතැනද? | අභිෂේකා වාසල බණ්ඩාර●ප්‍රතිජීවක අකර්මණ්‍ය කරන නිහඬ මාරයා පරදවන ජාතික මෙහෙයුම●බංග්ලාදේශ බැංකු පද්ධතිය සුරකින්න මහා පරිමාණ ණය සීමා කෙරේ●ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය වාරික අතරමඟ අතුරුදන්: පද්ධති දුර්වලතා හෙළිවේ●රුපියල් බිලියන 35ක ණය බර සහ කහ සිලින්ඩරයේ ඉරණම●අයවැය යෝජනා හමුවේ රාජ්‍ය සේවය අද විරෝධතා මාවතට●අයවැය දීමනා ගැටලුව මැද වෛද්‍යවරුන්ගෙන් අද පැය දෙකක විරෝධයක්●
Top Ad
Economy

පාරාදීසය : රාජ්‍ය සේවයේ නිහඬ වර්ජනය සහ බිඳවැටුණු කොඳු නාරටිය

Awara

Awara

November 23, 2026 • 1:30 PM

පාරාදීසය : රාජ්‍ය සේවයේ නිහඬ වර්ජනය සහ බිඳවැටුණු කොඳු නාරටිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද මුළු රටම දේශපාලනිකව නිහඬය.
  • එසේම, කෝකටත් තෛලය ශවේන්ද්‍රකරණය හරහා කෝවිඩ් ඇතුළු බොහෝ දේ පාලනය කරන ලදී.
  • තැපැල් ඡන්දයේ බලාපොරොත්තු සහ වර්ජන රැල්ල අනුර කුමාර දිසානායක දිනවන්න, රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%කට වඩා තමන්ගේ තැපැල් ඡන්දය දුන්නේ, පෙර රජයන්වල තිබූ දූෂිත හා මර්දනකාරී ක්‍රියාවලින් මිදීමටය.
  • ඒ, මේ රටේ අගමැතිනියට හා අධ්‍යාපන ඇමතිවරියට විරුද්ධවය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද මුළු රටම දේශපාලනිකව නිහඬය. දේශපාලකයන්ගේ කතා හා දේශපාලන කතා කීම තම ව්‍යාපාරය කරගත් අය හැරෙන්නට, රටේ සැබෑ මිනිසුන් නිහඬය.

අයවැය විවාදයේදී රාජ්‍ය යන්ත්‍රණයේ දුර්වලතා ඉස්මතු වුවත්, මෙය අලුත් දෙයක් නොවේ. නිදහසින් පසු තිබූ විශිෂ්ට රාජ්‍ය සේවයේ කොඳු නාරටිය, ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී බිඳී ගියේය. රණසිංහ ප්‍රේමදාස, රාජ්‍ය සේවය තමන්ගේ විදිහට හදා ගත්තේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගය වන විට, අලියට නැමුණු කොඳු, පුටුවට නැමෙන්න ගත්තේය. මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවය පුද්ගලික සේවයක් කරගත්තේ, අතිමහත් දූෂණයකට පාර කපමිනි. නමුත්, වැඩ කිරීමේ වේගය වැඩි විය.

පුද්ගලීකරණය වූ රාජ්‍ය යන්ත්‍රණය

දේශපාලකයෙක් හෝ පී. බී. ජයසුන්දර, ලලිත් වීරතුංග හෝ ගාමිණී සෙනරත් වැනි කැබිනට් ඇමතිලාට උඩින් සිටි බලධාරීන් හරහා ඕනෑම දෙයක් කරගැනීමේ හැකියාව, රටේ හැම ව්‍යාපාරිකයෙක්ම දැන සිටියේය.

මෛත්‍රී - රනිල් සුසංයෝගය, යහපාලන යුගයේදී රාජ්‍ය සේවය මුහුදේ ගිල්ලෙව්වේ, බෙල්ල ගාවට වතුරේ යට කරමිනි. ගෝඨාභය රාජපක්ෂලාගේ යුගය, නැවතත් ජයසුන්දරකරණය වූයේය. එසේම, කෝකටත් තෛලය ශවේන්ද්‍රකරණය හරහා කෝවිඩ් ඇතුළු බොහෝ දේ පාලනය කරන ලදී.

රනිල් වික්‍රමසිංහ, තමන්ට ඕනෑ විදිහට රාජ්‍ය යන්ත්‍රණය හැසුරුවේ, බංකොලොත් රටක නීති රීතිවලට ගරු කරමින් වැඩ කරන්න බැරි කියාය. සාගලකරණය හා වජිරකරණය, වික්‍රමසිංහ පාලන සමය හොල්මන් කළේය.

තැපැල් ඡන්දයේ බලාපොරොත්තු සහ වර්ජන රැල්ල

අනුර කුමාර දිසානායක දිනවන්න, රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%කට වඩා තමන්ගේ තැපැල් ඡන්දය දුන්නේ, පෙර රජයන්වල තිබූ දූෂිත හා මර්දනකාරී ක්‍රියාවලින් මිදීමටය. නමුත්, අද රටේ පළමු වරට ගුරු සංගම් කළු ඇඳගෙන පාසලට එන්නට නියමිතය. ඒ, මේ රටේ අගමැතිනියට හා අධ්‍යාපන ඇමතිවරියට විරුද්ධවය. රජයේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයකට සැරසේ.

රාජ්‍ය නිලධාරීන් තව බොහෝ දිනකින් වර්ජන රැල්ලක් පටන් ගැනීමට නියමිතය.

අත්සන් නොතබන නිලධාරීන්ගේ නිශ්ශබ්ද වර්ජනය

මුදල් අමාත්‍යාංශයේ අලුත්ම වාර්තාවකින් කියවෙන්නේ, මේ වසරේ පළමු මාස හයේදී විශාල ව්‍යාපෘති වෙනුවෙන් වෙන් වූ රුපියල් බිලියන 632න්, දැනට වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 96ක් පමණ බවය. එය 15%ක අගයකි.

මෙය අලුත් දෙයක් නොවේ. මහා භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ හා සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙක්ම, මේ වැඩ නොවන ක්‍රමය ගැන දැන සිටියේය. ඇමතිවරු රාජ්‍ය සේවකයන්ට ගරහන විට, හව්හරණක් නැතිව බලා සිටියේය. තමන් සමග වැඩ කළ අය හිරේට යන විට, බය බිරන්තට්ටු වී බලා සිටියේ, තමන්ටත් වෙන්නේ මේ දෙය නොවේදැයි කල්පනා කරමිනි.

රජයේ සේවකයන්ගේ දූ දරුවන් බය විය. බිරින්දෑවරුන් බය විය. ස්වාමිපුරුෂයින් බය විය. කිසිම දෙයක් නොදන්නා වයසක අම්මලා, තාත්තලා බය විය. යහළුවෝ ඔවුන්ව බය කළෝය.

ඔවුන් නිශ්ශබ්ද වැඩ වර්ජනයකට ගොස් දැනට මාස 18කට වැඩිය. ඔවුන්, තමන්ගේ අත්සන ගහන්නට තිබෙන හැම තැනකදීම, අසනීප විය, නිහඬ විය, කර ඇරියේය.

කුඩා මසුන් කොටු වෙද්දී නිදැල්ලේ යන මෝරුන්

දූෂිත රාජ්‍ය සේවකයන් එමටය. රාජ්‍ය සේවකයන් නැතිව දූෂණය කරන්නට බැරිය. එසේම, පෞද්ගලික අංශය නැතිව දූෂණය කරන්නට බැරිය.

ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර, අශෝක් පතිරගේ වැනි එන එන හැම රජයක්ම අල්ලේ නටවන ව්‍යාපාරික වළල්ලක් හිරේට යන්නේ නැතිව, රුපියල් 70,000කට වැඩ කරන විදුහල්පතිවරයෙක් රුපියල් 10,000ක අල්ලසක් ගෙන හිරේට යන එක දැක ඔල්වරසන් දෙන රටක්, පරිහානියට පත්වෙන එක අරුමයක් නොවේ.

විශේෂයෙන්ම, ගෝඨාභය රාජපක්ෂලාගේ සමයේ සිට ව්‍යාපාරිකයන්ට රජයෙන් බිලියන පිටින් බදු සහන ගැනීමට උපදේශන දුන්, දුමින්ද හුලංගමුව වගේ පිටින් පැමිණි රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන් අතර සුජාතභාවයක් නැත.

මේ දේ රජය තේරුම් ගත්තේ නැතිනම්, 2027 දීත් 30%ක් පමණ වියදම් කෙරෙනු ඇත. එවිට, රටක් හැටියට අපි වැටී හමාරය.

රට වැටෙන්න නොදී රැක ගැනීම, ජනාධිපතිතුමාගේ හා දේශපාලකයාගේ පමණක් වගකීම නොවේ; අප හැමෝගේම වගකීමයි.

[සටහන | පද්මහර්ෂ]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...