BREAKING
Top Ad
පුවත්

විස්සේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකරයි- නීතිඥ අර්මිසා ටීගල්

T

The Leader

October 10, 2020 • 8:03 AM

 විස්සේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකරයි-  නීතිඥ අර්මිසා ටීගල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වන බවත්, ඉන් වගන්ති 03ක් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපාන බවත් නීතිඥ අර්මිසා ටීගල් පෙන්වා දෙයි.
  • අධිකරණය පැය 24ක් ඇතුලත යෝජිත හදිසි පනත් !
  •   නමුත් අද අපිට මෙවැනි හදිසි පනත් සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට දින 7ක් ලැබි තිඛෙනවා.
  • '' 1978 සිට 2011 දක්වා හදිසි පනත් 128ක් !
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා විසින් පුරවැසි අයිතිවාසිකම් කඩ කළ විට ඊට එරෙහිව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඉවත් කිරීම හෙවත් ජනාධිපතිවරයාට මුක්තිය හිමිවන 05 වන වගන්තිය, හදිසි අණ පනත් සම්මත කරගැනීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදෙන 24 වන වගන්තිය සහ මැතිවරණ කොමිසමට අදාළව සංශෝධන ඉදිරිපත් කොට ඇති 20 වෙනි වගන්තිය එලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ද බලපාන වගන්ති බව ඇය අවධාරණය කරයි. 

20 වන සංශෝධනයට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් වු පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක වන අර්මිසා ටිගල් මේ කරුණු අනාවරණය කළේ 'ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ 20 වෙනි සංශෝධනය' මැයෙන් ඉකුත් අගහරුවාදා (ඔක්. 06) කොළඹදී මාධ්‍යවේදීන් සමග පැවැති සංවාද සභාවක් අමතමිනි. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබූ මෙම සංවාද සභාව පවත්වනු ලැබුවේ නාරාහේන්පිට, බර්නාඩ් සොයිසා මාවතේ අංක 96 හි පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදීය. 

Speakers min
මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සංවාද සභාව හමුවේ කරුණු දක්වමින් නීතිඥ අර්මිසා ටීගල්,  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපාන ආකාරය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේ මෙලෙසිනි.

ජනාධිපතිට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව :


''20 වැනි සංශෝධනයේ 5 වන වගන්තියෙන්, ජනාධිපතිවරයාට තිඛෙන මුක්තිය හෙවත් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ඉදිරිපත් කර තිඛෙනවා.  

19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමට හැකියාව ඇති කළා. 

මේ අනුව පුරවැසියන්ගේ යම්කිසි අයිතිවාසිකමක් ජනාධිපතිවරයා විසින් කඩ කරන ලද අවස්ථාවකදි ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයේදි නඩු පැවරිය හැකියි. 

මේ අවස්ථාව වන විට ජනාධිපතිවරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ හේතුවෙන්. 

20 වන සංශෝධනය මඟින් මෙම වගන්තිය ඉවත් කිරීමට යෝජනා කර ඇති අතර එයින් ජනාධිපතිගේ බලතල වැඩි වෙනවා. ක්‍රියාකාරකම් වැඩි වෙනවා. 

ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි විධියේ  ආරක්ෂාවක් ව්‍යවස්ථාවෙන් ලැඛෙන කොට අපේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම් වැඩිවීමට තිඛෙන ඉඩකඩත් වැඩි වෙනවා. එවිට පුරවැසියන්ට උසාවියකට යෑමට නොහැකිවීම ගැටළුවක්  වෙනවා. 

''ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි විධියේ  ආරක්ෂාවක් ව්‍යවස්ථාවෙන් ලැඛෙන කොට අපේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම් වැඩිවීමට තිඛෙන ඉඩකඩත් වැඩි වෙනවා. එවිට පුරවැසියන්ට උසාවියකට යෑමට නොහැකිවීම ගැටළුවක්  වෙනවා. ''
පුරවැසියන් සිය ඡන්ද බලය පාවිච්චි කරමින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව පත් කරගනු ලබනවා.

 නමුත් කිසිම අවස්ථාවක පුරවැසියන් සිය අයිතිවාසිකම් අන් සතු කරන්නේ නැහැ.

 ඒනිසා තම නියෝජිතයා ධුරය දරමින් සිය අයිතිවාසිකම් උල්ලංඝණය කළහොත් පුරවැසියන්ට එය ප්‍රශ්න කිරීමේ හැකියාව තිඛෙනවා. 

එය කවදාවත් අහිමිවන්නේ නැහැ. එය සෘජු අයිතියක්. 

පුරවැසියන්ට ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාගෙන් ආරම්භ කොට ග්‍රාමනිලධාරී දක්වා ඔවුන්ගේ පරිපාලන කටයුතු නිසා පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වු විට නඩු පවරන්න පුළුවන්. 

20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්නට පුරවැසියන්ට තිඛෙන අවස්ථාව අහිමි වෙනවා.

අධිකරණය පැය 24ක් ඇතුලත යෝජිත හදිසි පනත් !


05cf0998d2fd7a97aa3646951b6417203fc8ab62
විස්සේ 24 වන වගන්තියෙන් කැබිනට් මණ්ඩලයට යම්කිසි පනතක්, හදිසි පනතක් ලෙසට යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. 


20 වැනි සංශෝධනයේ 24 වන වගන්තියෙන් කැබිනට් මණ්ඩලයට යම්කිසි පනතක්, හදිසි පනතක් ලෙසට යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. 

මෙම වගන්තිය අනුව අධිකරණය පැය 24ක් ඇතුලත යෝජිත හදිසි පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද යන්න තීරණය කළ යුතු වෙනවා. 

පුරවැසියන්ට පැය විසිහතරක් ඇතුලත යම්කිසි හදිසි පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද යන්න පිළිබඳව අධිකරණයට යාමට සිදුවෙනවා. 

මෙම සංශෝධනය අනුව ජනාධිපතිවරයා එම පැය 24 දින තුනක් දක්වා දිර්ඝ කළ හැකියි.  

නමුත් අද අපිට මෙවැනි හදිසි පනත් සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට දින 7ක් ලැබි තිඛෙනවා.

 මෙහිදි සිදුවන්නේ කුමක්ද? මෙම හදිසි පනත ඉදිරිපත් කරන්නෙ පාර්ලිමේන්තුව විසින් නොවෙයි. කැබිනට් මණ්ඩලය විසින්. එයත් සැලකිල්ලට ගත යුතුයි. 

'' මෙහිදි සිදුවන්නේ කුමක්ද? මෙම හදිසි පනත ඉදිරිපත් කරන්නෙ පාර්ලිමේන්තුව විසින් නොවෙයි. කැබිනට් මණ්ඩලය විසින්. එයත් සැලකිල්ලට ගත යුතුයි. ''

1978 සිට 2011 දක්වා හදිසි පනත් 128ක් !

ට්‍රාන්ස්ෆෙරන්සි වැඩසටහනකට පැමිණි‚ පාර්ලිමේන්තු මහලේකම්වරයා වරක් ප්‍රකාශ කළා 1978 සිට 2011 දක්වා හදිසි පනත් 128ක් මේ ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන බව.  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, විශ්වවිද්‍යාල පනත, පාරිභෝගික ආරක්ෂක පනත, පළාත් පාලන විශේෂ විධිවිධාන පනත, මත්ද්‍රව්‍ය වෙළදාමට එරෙහි පනත, මුදල් සංශෝධන පනත, එකතු කළ වටිනාකම මත බදු ගෙවීම පනත, සුරාබදු පනත, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ පනත යනාදිය 'හදිසි පනත්' ලෙස ඉදිරිපත් කර තිඛෙන පනත් අතරින් කිහිපයක්. 

මෙම පනත් හදිසි පනත් ලෙස පැනවිය යුතු පනත්ද යන ප්‍රශ්නයත් තිඛෙනවා. 

අධිකරණය විසින් ද කිහිප අවස්ථාවකදීම යම්යම් නඩු තීන්දුවලදි හදිසියේ සම්මත කළ පනත් වල දෝෂ සහිත බව ගැන සඳහන් කර තිඛෙනවා. 

මෙය අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා තිඛෙනවා. අධිකරණයට එවැනි සඳහනක් කළ හැකි නමුත් ඊට එහාට යමක් කළ නොහැකියි. 

''අධිකරණය විසින් ද කිහිප අවස්ථාවකදීම යම්යම් නඩු තීන්දුවලදි හදිසියේ සම්මත කළ පනත් වල දෝෂ සහිත බව ගැන සඳහන් කර තිඛෙනවා. මෙය අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා තිඛෙනවා. අධිකරණයට එවැනි සඳහනක් කළ හැකි නමුත් ඊට එහාට යමක් කළ නොහැකියි. ''

වෙනත් රටවල්වල යම්කිසි පනතක් සම්මත වුනාට පසුවත් පුරවැසියන්ට අයිතියක් තිඛෙනවා යම්කිසි පනතක් සම්බන්ධයෙන් සිය අයිතිවාසිකම් කඩ වෙන බව පැමිණිලි කරන්නට. එය Post Enactment Judicial Review  ලෙස හැඳින්වෙනවා. 

යම්කිසි නීතියක් පැනවුවාට පසුත් එම නීතිය නිසා අපේ යම් අයිතිවාසිකමක් උල්ලංඝණය වෙනවා නම් අපිට අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්  අධිකරණයට යා හැකියි. 

නමුත් මෙම අවස්ථාව ශ්‍රී ලංකික පුරවැසියෙකුට කවදාවත් තිබිල නැහැ.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉතාමත් සීමිත වේලාවක් පමණයි පනතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට අපිට ලැබිලා තියෙන්නේ. 

උදාහරණයක් වශයෙන් මඩකලපුවේ පුරවැසියෙකුට යම්කිසි 'හදිසි පනත් කෙටුම්පතක්' සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැය 24 මදියි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා මාධ්‍ය සම්බන්ධ විෂයක් සම්බන්ධයෙන් යම්කිසි 'හදිසි පනත් කෙටුම්පතක්' ගෙන ආවොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට යාමට තිඛෙන කාලය ප්‍රමාණවත් නොවීම පිළිබඳව ගැටළුවක් තිඛෙනවා.


මැතිවරණ කොමිෂන් සභාව :

20 වන සංශෝධනයේ 20වන වගන්තියේ මැතිවරණ කොමිෂන් සභාව ගැන සඳහන් වෙනවා. 

එම වගන්තියට රාජ්‍ය මෙන්ම පෞද්ගලික ගුවන් විදුලි, රූපවාහිනී, පුවත්පත් සේවාවන් හි අයිතිකරුවන් විසින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන උපමාන පිළිපැදීමට බැඳි සිටිනවා. 

මෙම වගන්තිය ගැටළුවක් වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් වීම නිසයි. 


''මෙම වගන්තිය ගැටළුවක් වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් වීම නිසයි.''

අපි දන්නවා 20වන සංශෝධනයට අනුව දැනට පවතින ව්‍යවස්ථාදායක සභාව අහෝසි වන අතර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටුවනු ලබනවා. 

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමසාරිස්වරයෙකු විසින් තමයි රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සඳහා උපමාන නිකුත් කරන්නේ. 

මේ තත්ත්වය යටතේ මැතිවරණ කොමසාරිස්වරයා ගේ උපමාන අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලපාන්නේ කෙසේද යන්න සිතා ගත හැකියි.''

දේශපාලකයින් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරලා !K.W janaranjana 10

මෙම සංවාද සභාවට හමුවේ අදහස් දක්වමින් 'අනිද්දා' පුවත්පතේ කර්තෘ නීතීඥ කේ.ඩබ්. ජනරංජන පැවසුවේ, 20 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත් ඇතිවන බවය. 

''20 වන සංශෝධනය මේ තියෙන විධියට නීතිගත වුනොත් මේ තරම් කාලයක් අපි අසීරුවෙන් ආරක්ෂා කර ගෙන පැමිණි, සීමා පුළුල් කරපු  ප්‍රජාතන්ත්‍රවාදය යුගයක් ආපස්සට හැරෙන්නට නියමිතයි. 

20 වෙනි සංශෝධනය හුවා දක්වමින් ජනමාධ්‍ය 19වන සංශෝධනය සම්බන්ධයෙන් සමාජය වෙතට ගෙන ගියේ දේශපාලකයින්ගේ ප්‍රකාශ පමණයි. 

මෙම පණිවිඩයේ අඩංගු වුයේ 19 සංශෝධනය පිළිබඳ නිශේධනාත්මක මතයක්. 

srilanka1''පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති වුණේ 19වන සංශෝධනය නිසා යන්න අමුලික බොරුවක්. ''

# ඉන් එක් පණිවිඩයක් නම් පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති වුණේ 19වන සංශෝධනය නිසා යන්නයි. 
එය අමුලික බොරුවක්. 

අපි හොඳටම දන්නවා මෙම සිදුවීම් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. 

# තවත් පණිවිඩයක් නම් 2015-2019 දක්වා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් ඇති වුණේ 19 ව්‍යවස්ථාව නිසා කියන එක. 
ඒකත් අමුලික බොරුවක්. 

ඒ දෙක අතරත් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ගැටුම ඇති වුණේ දෙදෙනාට බලය පිළිබඳ තිබු විජිගීෂාව, තණ්හාව, පංති අතර තිබු පරතරය වැනි ප්‍රශ්න නිසා. 

ඒවා 19 සංශෝධනය සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. 


# 19වන සංශෝධනයෙන් කථානායක ධුරය වටා බල කේන්ද්‍රයක් නිර්මාණය වුණා යැයි කියන එක තවත් බොරුවක්. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙසට කථානායකවරයා ක්‍රියාකළාට කථානායකවරයා රාජ්‍ය බලකේන්ද්‍රයක් ලෙසට මතු වුණේ නැහැ.


පොලිස්පති ඉවත්කරන බැරි කතාව තවත් පට්ට බොරුවක් !

# තවත් චෝදනාවක් තමයි 19වැනි සංශෝධනය නිසා පොලිස්පතිවරයා ඉවත් කරන්නට බැරිය කියන කාරණය. 
මෙයත් අමූලික බොරුවක්. 

පොලිස්පතිවරයා ඉවත් කිරීම පිණිස 2002 අංක 02 නමින් වෙනම පනතක් තිඛෙනවා. ඒ පනත අනුව පසුගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව පොලිස්පතිවරයා ඉවත් කිරීමට ක්‍රියා කළේ නැහැ. 


මේ ආකාරයට 19 වන සංශෝධනය නරක දෙයක් යැයි කියන්නට මතු කරපු සහ රෝපණය කරපු බොරු තමයි මාධ්‍යවේදීන් පුනරුච්චාරණය කරන්නේ. 

මම හිතන්නේ දේශපාලකයින් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරන නිසා මාධ්‍යවේදින් එක් එක් දේශපාලකයා කියන දෙය වාර්තා කරමින් යනවා. 

නමුත් 20 වන සංශෝධනය පිළිබඳව තමන්ගේම මිනුම් දණ්ඩක් මාධ්‍යවේදීන්ට නෑ.'' යැයිද හෙතෙම කීවේය.

මාධ්‍ය නිදහසට පවා තර්ජනයක් !Jagath 10

නීතිඥ ජගත් ලියනාරච්චිද මෙම සංවාද සභාව අමතා අදහස් දැක්වීය. 20 වෙනි සංශෝධනයේ ආරම්භය සහ ගමන් පිළිබඳ කරුණු දක්වමින් ඔහු පැවසුවේ 20 සංශෝධනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පමණක් නොව මාධ්‍ය නිදහසට පවා තර්ජනයක් වන බවය. 

20 වෙනි සංශෝධනය මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ගණනාවක් හැකිළී යන බවද, 1978 ව්‍යවස්ථාව යටතේ පවා පාර්ලිමේන්තුවට තිබු බලතල රාශියක් 20වන සංශෝධනයෙන් ඉවත් කර තිඛෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. 

සිදු විය හැකි නපුර ?

සංවාද සභාවේ අරමුණ හඳුන්වා දෙමින් අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී පැවසුවේ, කොවිඩ් වසංගත තත්ත්වය මත පාර්ලිමේන්තුව නිහඬ කොට 20 වෙනි සංශෝධනය සම්මත කරගැනීමේ ඉඩක් පවතින බවත්, සැප් 16 වන දින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් 20 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට තිඛෙන තර්ජනය පෙන්වා දුන් බවත්ය. sitha 10
 

''ස්වාධීන කොමිසන් සභා තවදුරටත් ස්වාධීන නොවීම හරහා සිදු විය හැකි අනතුර අපි එයින් ප්‍රශ්න කළා. ව්‍යවස්ථාදායක සභාවට තිබූ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව අහෝසි කොට ජනාධිපතිවරයා කැමැති පුද්ගලයන් පත් කිරීමෙන් සිදු වන අයහපතත් පෙන්වා දුන්නා. 

රජයේ සියලූ වගකිව යුතු නිලධාරීන් පත් කිරීම, ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වීමෙන් සිදු විය හැකි නපුර පෙන්වා දුන්නා.'' යැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...