The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුවේණිගේ සනුහරේ (01) - පිරිමින් අභිබවා පෙරට ආ එදා මීගමු කාන්තාවෝ (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

October 28, 2024 • 11:53 AM

කුවේණිගේ සනුහරේ (01) - පිරිමින් අභිබවා පෙරට ආ එදා මීගමු කාන්තාවෝ (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජය රජුට කැමති අපි, කුවේණියට අකමැති වෙමු.
  • නැතහොත් ඉතිහාසය රචනා කළ අය අපට එහෙම උගන්වන්නට ඇත.
  • නමුත් ආර්යයන් පැමිණෙන්නට පෙර අදීන අනාර්ය සංස්කෘතියක් අපට තිබූ බව අප පිළිගන්නට අකමැති ය.
  • වණ්ණ යනු වර්ණය ලෙසින් ගත් කල මෙහි සමස්ත අර්ථය විරූපී, කළු වැනි දෙයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
විජය රජුට කැමති අපි, කුවේණියට අකමැති වෙමු. නැතහොත් ඉතිහාසය රචනා කළ අය අපට එහෙම උගන්වන්නට ඇත. විජය රජු ආර්යයෙකි. මොකක්දෝ හේතුවකට අපි ආර්යයන්ට කැමති ය. නමුත් ආර්යයන් පැමිණෙන්නට පෙර අදීන අනාර්ය සංස්කෘතියක් අපට තිබූ බව අප පිළිගන්නට අකමැති ය.
 
කුවේණි ද ඒ අපේ කෙනෙකි. නමුත් අපට ඇය ගැන හැඟීමක් නැත. ඇය දරු දෙදෙනකුද සමග අතරමං කළ විජය රජු ඉන්දියාවෙන් බිසවක් කැඳවාගෙන ආ එක ගැන අපේ සිතේ දෝෂයක් නැත්තේ ඒ නිසා ය. කුවේණිය හොඳද නරකද යන්න ගැන අපට යමක් කිව හැකි නොවේ. නමුත් ඇගේ පරපුරෙන් පැවත එන්නන්  මේ සමාජය තුළ නැතැයි කියන්නේ කොහොමද?
 
50558589 2737444392994103 442656118552920064 nPrasanna Weerakkody painting
 
කුවණ්ණා යන්නෙහි අර්ථය පිළිබඳව සැලකුවහොත්, "කු" යන්නෙන් නරක, අයහපත, අසුන්දර ආදිය හැඟවෙයි. වණ්ණ යනු වර්ණය ලෙසින් ගත් කල මෙහි සමස්ත අර්ථය විරූපී, කළු වැනි දෙයකි. ඒ හැරුණු විට වණ්ණ යන්නෙහි කීර්තිය යන අරුතද ගෙන දෙයි. එවිට කු - වණ්ණා යනු අපකීර්තිමත් ගැහැනිය ලෙසින්ද අර්ථ දැක්විය හැකිය. කුවේණිය කවුරුන් වුවත් කුවේණියට අපේ සමාජය ලබා දී ඇති තැන එයයි.
 
 
යක්ෂ, නාග සහ දේව යනුවෙන් ගෝත්‍ර තුනක් අතීතයේ අපේ රටේ පැවති අතර හෙළයේ මහා නරපතියා ලෙස සැලකෙන රාවණා යක්ෂ ගෝත්‍රිකයෙකි. නුවරකලාවිය ලෙසින් හැඳින්වෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වන හත් කෝරළයේත් මෙවැනි අය සිටි බව පැවසේ. යක් නමින් හඳුන්වන ග්‍රාම නාම අපේ රට පුරාම පවතී. යක් - කල, යකු - පිටිය, යක් - කඩුව, යක් - කුරේ, යක් - දෙස්සාගම මීට උදාහරණ කිහිපයක් පමණි. ඒ අනුව අපේ ආදිතම වැසියන්ගේ ජනාවාස රට පුරාම මෙම "යක්" නමින් හඳුන්වන ප්‍රදේශවල තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය.
 
දැන් යකුන් ගැන කතා කළා ඇති යැයි සිතමි. අප මේ කතා කරන්නට යන්නේ යක්ෂ ගෝත්‍රිකයකු ලෙස සැලකෙන කුවේණියගේ පරපුරට අයත් යැයි අනුමාන කළ හැකි සාක්ෂි තිබෙන කාන්තා පරපුරක් පිළිබඳවය. මෙය සනාථ කළ හැකි ඉතිහාසගත සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති වුවත් මානව විද්‍යාත්මකව සාධාරණ ලෙස අනුමාන කළ හැකි සාක්ෂි රාශියක් තිබේ. ඔවුන් වෙන් වශයෙන් හඳුනාගත නොහැක්කේ විවිධ ජාතීන් සහ ආගම් වශයෙන් වර්ගීකරණයන්ට ලක්වී තිබීම නිසා ය. එය හරියටම කිවහොත් ශ්‍රීපාද කන්දෙන් ආරම්භ වන කැලණි ගඟ කැලණිය ප්‍රදේශයට එන විට, එහි ඇති වතුරවලින් ශ්‍රී පාද කන්දෙන් ආ වතුර වෙනම හඳුනා ගන්නට නොහැකි අයුරිනි. කෙසේ වුවද අතීත තොරතුරු ගවේෂණය කර ඒ මත පදනම්ව වර්තමානයේ දැකිය හැකි තොරතුරු විශ්ලේෂණය කිරීම වරින්වර යම් යම් අය වෙතින් සිදුවී තිබුණද, මේ සම්බන්ධයෙන් විධිමත් හැදෑරීමක් සිදු වී ඇති බවක් දැන ගන්නට නැත. පොදුවේ ඔවුන් මීගමු ගැහැනුන් ලෙස  හැඳින්වුවද මීගමුවේ සියලුම කාන්තාවන් මේ අය නොවේ. එසේම මේ අය සිටින්නේ මීගමුවේ පමණක්ද නොවේ. නමුත් මීගමු කාන්තාවන් ලෙස පටබැඳුණු නමක් ඇති, කුවේණියගේ සනුහරේ අය ලෙස මානව විද්‍යාඥයන් විසින් විවිධ සාක්‍ෂීන් මත පදනම් ව අනුමාන කරන ලබන කාන්තාවන් කොට්ඨාශයක් පිළිබඳව අපි කතා කරමු.
 
ceylon7
දැන් මොහොතකට ඔබේ අවධානය වෙනස් කරන්නට සිදුවේ. වසර විස්සක පමණ කාලයක් අපේ රටේ එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස් (ක්‍රි.ව.1641 - 1720) ශ්‍රී ලංකාවේ, ඒ කාලයට අනුව නම් ලංකාවේ තම අත්දැකීම් අළලා ලියන ලද "An historical relation of the island Ceylon" නම් කෘතියෙහි එක් කොටසක දැක්වෙන අදහසක සිංහල අනුවාදයට අනුව, " පවුලේ කෙනෙකු මිය ගිය පසු එම අවමංගල අවස්ථාවේදී කාන්තාවන් සියලුම දෙනා කෙස් වැටි උනා දමාගෙන, හිස දෑතින් බදාගෙන මියගිය පුද්ගලයාගේ කිසිවිටෙකත් නොතිබුණු ගුණ පවා කියමින් උස් හඬින් විලාප නගමින් හඬා වැළපිය යුතුය. මියගිය පුද්ගලයා නොමැතිව මින්මතු ජීවත් වන්නට සිදුවීමෙන් තමන්ට සිදු වූ විපත ගැන ඔවුහු මෙහිදී කෑගසා විලාප නගමින් පවසති. පිරිමින් මෙහිදී කරන්නේ පසෙකට වී සුසුම්ලමින් හිඳීම පමණි."
 
රොබට් නොක්ස් පවසන්නේ අපේ රටේ කාන්තාවන් දැඩි චිත්ත ශක්තියකින් යුතු අය බවයි. දුක, ශෝකය, ආදරය වැනි චිත්තාවේගවලට ඔවුන් පහසුවෙන් වහල් නොවන බවද නොක්ස්ගේ මතයයි. නමුත් කෙනෙකුගේ අභාවයක දී ඔවුන් මෙසේ කෑගසමින් වැළපෙන්නේ මිය ගිය පුද්ගලයා කෙරෙහි තිබෙන ආදරයකට නොව විලාසිතාවක් ලෙස බව නොක්ස් සිය ග්‍රන්ථයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අවමංගල අවස්ථාවලදී චාරිත්‍රයක් ලෙස හඬා වැළපීම ද අතීතයේ සිටම අපේ රටේ ඇතැම් උපසංස්කෘතිවල පැවතියේය. ඉහත නොක්ස් සඳහන් කරන්නේත් මීට සමාන දෙයක් විය හැකිය. කෑ ගසා හඬා වැළපීම, මියගිය පුද්ගලයා පිළිබඳව දෙවියන්ට දන්වා සිටීමක් ලෙස විශ්වාස කරන ලොව නොදියුණු සංස්කෘතීන් ද තිබේ. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ හින්දු ජන කොටස් අතරේද අවමංගල උළෙලකට පැමිණෙන කාන්තාවන් මහහඬින් හඬා වැළපීම ඔවුන්ගේ එක් චාරිත්‍රයකි.
 
පාළුවට ගොස් ඇති ීවර වාඩිපාළුවට ගොස් ඇති ධීවර වාඩි
         
මේ සඳහන් කළ සියලු දේවල් සැබෑම වියෝ දුක නිසා හෝ නැතහොත් චාරිත්‍රයට සිදු කරන දේවල් ය. නමුත් කඳුළට මිලක් නියම කළ කාන්තාවෝ මීගමුවේ සිටියහ. මේ වනවිට එවන් කාන්තාවන් දැකිය නොහැකි අතර අප මේ කියන්නේ මීට සිය වසකට හමාරකට එපිට මීගමුවේ අතීතය පිළිබඳවයි. කුවේණිගේ සනුහරේ කාන්තාවන් පුත්තලම, හලාවත සිට මීගමුව දක්වාත්, එතැනින් කොළඹ මෝදර වැනි ප්‍රදේශ දක්වාත් අතීතයේ පැතිර සිටි අතර ඔවුන් සාම්ප්‍රදායික ධීවරයන් ය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වන තුරුම ඒ ධීවර වාඩි සහ ජනාවාස පැවති අතර දැන් ඒවා දක්නට නොලැබේ. මෙහි කේන්ද්‍රගත නගරය ලෙස සලකන්නේ මීගමුව ය. 
       
මෙම වෙරළ කලාපයේ කාන්තා ප්‍රජාවගේ සුවිශේෂ දෙයක් වූයේ ඔවුන්ගේ ඡවි වර්ණයයි. ඔවුන් බොහෝ දෙනෙක් කාල වර්ණයෙන් යුතු වූ අතර මුහුදුකරයේ ජීවත් වීම මීට හේතුව ලෙස සමහරු අර්ථ දක්වති. නමුත් එය සැබෑ තත්ත්වය නොවේ. කොළඹ පසුකර ක්‍රමයෙන් දකුණු වෙරළ තීරය දක්වා එන විට දිගින් දිගටම ධීවර කර්මාන්තය පවතී. නමුත් දකුණේ ධීවර පවුල්වල කාන්තාවන්ගේ මෙම සුවිශේෂ කාල වර්ණය දක්නට නැත.
 
1
 
තවත් සුවිශේෂ දෙයක් තිබේ. කුවේණිය මාතෘ මූලික සමාජයක් නියෝජනය කරන කාන්තාවකි. ඇය තම්බපණ්ණි රාජධානියේ රැජින යි. පිරිමින් අභිබවා ඉදිරියට ආ ඇය, ගේ මුල්ලක සිටි කාන්තාවක නොවේ. අප මේ පවසන ධීවර කාන්තාවන් ද පිරිමින් අභිබවා යාමට සමත් ය. ඔවුන් නොකරන්නේ මුහුදු යාම පමණි. පිරිමින් මුහුදු ගොස් මත්ස්‍ය අස්වැන්න රැගෙන ආ පසු එතැන් සිට සියලු කාර්යයන් සිදුවුණේ කාන්තාවගේ මූලිකත්වයෙනි. මේ වන විට ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය මුසු වීමෙන් එය මහා පරිමාණ තත්ත්වයට පත් වී තිබීම නිසා කාන්තා ක්‍රියාකාරීත්වය යම් පමණකට අඩුවී තිබුණත්, අද ද එය සැලකිය යුතු මට්ටමකින් පවතින බව ඒ ප්‍රදේශවල සංචාරය කිරීමේදී පෙනී යයි. අතීතය දෙස බලන විට  මීගමු කාන්තාව බොහෝ කරුණු අතින් පුරුෂ පක්ෂය අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන බව මානව විද්‍යාත්මක කරුණු විශ්ලේෂණය කිරීමේදී තහවුරු වේ. වර්තමානයේ කාන්තා සංවිධාන ඇතුළු නොයෙකුත් සංවිධාන සහ පිරිස් කාන්තා සවිබල ගැන්වීම් සඳහා නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුකළද, මේ කිසිවක් ඇතිවෙන්නටත් පෙරාතුව මෙම මීගමු කාන්තාවෝ ඒකරාශී වී සාමූහිකව බොහෝ දේ කළහ.
 11 4
 
අප ඉහත සඳහන් කළ කඳුල අලෙවි කිරීම හෙවත් අවමගුල් උත්සවවල කුලියට හැඬීම මෙලෙස සාමූහිකව සිදුකළ දේවල් අතරින් එකකි. වර්තමානයේ මෙන් නොව අතීතයේ අවමගුල් උත්සවයක පවුලේ අය නොහැඬුවොත් එය මියගිය කෙනාට මදිකමකි. රැස්ව සිටින ඥාති මිත්‍රාදීන් ද මියගිය තැනැත්තා වෙනුවෙන් පවුලේ කිසිවෙකු නොහැඬීම පිළිබඳව විශේෂයෙන් කතා කිරීමට පෙළඹෙති. මීගමු කාන්තාවන් මළගෙදර වැළපීමේ කාර්යය සඳහා කුලියට ගෙන්වා ගත්තේ එනිසා ය. මෙම හැඬීමේද එක්තරා කලාවක් මෙන් ම තාක්ෂණයක්ද තිබිණි. ඒවා ඔවුන් කළේ ද කණ්ඩායම් වශයෙන් සහභාගි වීමෙනි. 
 
migamuwa
 
මේ ගැන සවිස්තරව ඊළඟ කොටසින් කතා කරමු.
 
ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට ස්තුතියි.
 
indu pereraසටහන : ඉන්දු පෙරේරා
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...