නමුත් බොහෝ කාන්තාවන් සම්බන්ධයෙන් එම මතය එසේ විය හැකි වුවද මීගමු කාන්තාවන් ගැන සලකන කල එය වෙනස් වෙයි. වෙනස් වන්නේ ඔවුන් වෙසෙන පරිසරයට අනුකූලව එය ඉබේම වාගේ වෙනස් වී ඇති නිසා ය.
අප මේ කතා කරන්නේ මීගමුවේ ජීවත් වන සෑම කාන්තාවක් පිළිබඳවම නොවේ. මේ කතා කරන්නේ පාරම්පරිකව ම මීගමුවේ වෙරළ ආසන්නයේ ජීවත් වන ධීවර පවුල්වල කාන්තාවන් පිළිබඳව ය. ඔවුහු පිරිමින් පරයා උස් හඬින් කතා කරති. සාමාන්‍ය කතාබහක් වුවද එය අසා සිටින කෙනෙකුට හැඟෙන්නේ අපේ භාෂාවෙන් පැවසුවහොත් " ගේමකට" සූදානම් වන ආකාරයේ, එනම් කලහකාරී ස්වරූපයකි.

නමුත් මෙවැනි ස්වරූපයක් ඔවුන් තුළින් පළවන්නේ ඉතාමත් සාධාරණ හේතු කාරණා ඇතිව ය. එකක් නම් මුහුදේ ඝෝෂාව යි. එවිට ඉබේම මුහුදේ හඬ පරයා කතා කරන්නට සිදුවේ. තවත් ප්‍රබල කාරණයක් නම් දැන් මෙන් ශීතාගාර පහසුකම් නොතිබූ අතීතයේ ගොඩට ගත් මාළු අස්වැන්න ඉතා ඉක්මනින් අලෙවි කර නොගතහොත් ඒවා කුණු වී ඉවත දමන්නට සිදුවනු ඇත. මේ නිසා එකෙකුට එකෙක් නොපරදින අන්දමින් කෑ ගසා තම මාළු අස්වැන්න අලෙවි කරන්නට ඔවුන්ට සිදුවේ. මේ අනුව හඬ නගා කතා කිරීම ධීවර ජනතාවගේ ගැහැනු පිරිමි දෙපාර්ශවයේම පොදු ලක්ෂණයකි. නමුත් පිරිමින්ට එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සමාජයේ පිළිගැනීමක් ඇති නිසා ගැහැනියක් හඬ නගා කතා කිරීම කැපී පෙනෙයි.

ධීවර ජනතාව හඬ නගා කතා කිරීම වර්තමානයට පමණක් උරුම තත්ත්වයක් නොව බුදුරජාණන් වහන්සේගේ කාලයේත් ඒ තත්ත්වය එලෙසින්ම පැවතිණි.
ඛුද්දක නිකායේ යසෝජ සූත්‍රයෙහි දැක්වෙන අන්දමට යශෝජ නම් ධීවර තරුණයා තවත් පන්සියයක පිරිසක් සමග බුදු සසුනේ පැවිදි වෙයි. මෙම පන්සියයක් පිරිස ජේතවනාරාමයට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නටය. එහිදී එම භික්ෂු පිරිස ජේතවනාරාමයෙහි වාසය කරන භික්ෂූන් වහන්සේලා සමඟ උස් හඬින් කතාබහ කරන්නට වූහ. පන්සියයක් දෙනා මෙලෙස උස් හඬින් කතා බහ කරද්දී ජේතවනාරාමය තුළ ගාලගෝට්ටියක් බඳු විය. මෙය අසා සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා,
"ආනන්ද මසුන් අල්ලන කෙවුලන් මෙන් උස් හඬින් ඝෝෂා කරන්නේ කවුදැ"යි විමසූහ. කෙවුලන් යනු ධීවරයන්ය.
"ස්වාමීනි යසෝජ ප්‍රමුඛ පන්සියයක භික්ෂූන් පිරිසක් ඔබ වහන්සේ බැහැදැකීම පිණිස පැමිණ සිටිති"

නමුත් පැවිදි වූ පසුවත් කතාවෙහි සංවර භාවයක් නැති එම පිරිස හමු වීමට බුදුරජාණන් වහන්සේ කැමැත්ත පළ කළේ නැත. එදා එම පිරිස ආපසු ගියේ වජ්ජි රටේ වග්ගුමුදා නදිය ආසන්නයට ය. බවුන් වඩා රහත් ඵලයට පත්වූ පසුව බුදුරජාණන් වහන්සේ ඔවුන් කැඳවූහ.
ඒ නිසා ධීවර ජනතාව හඬ නගා කතා කිරීම අතීතයටද පොදු වූවකි.
කාන්තාවන්ගේ හඬ සිහින් නිසා ඔවුන් උස් හඬින් කතා කරන විට එය තියුණු ස්වරූපයක් ගනියි. සෙමින් කතාබහක් නොමැති ඔවුන්ගේ එම කතා විලාසයම කාන්තාවන් ලෙස ඔවුන්ට ස්වයං ආරක්ෂාවක් වෙයි. ඔවුන් ගතකරන්නේ ගෙතුළට කොටුවූ ගෘහණියකගේ සාමාන්‍ය භූමිකාවම නොවේ. ධීවර කාන්තාවෝ පාරතොටේ ගැවසෙමින් පිරිමින් සමග හරි හරියට වෙළඳාමේ නියුතු වෙති. ඔවුන්ගේ එම ඝෝෂාකාරී සහ කලහකාරී ස්වරූපයේ කතා විලාසය නිසාම වැරදි අදහසකින් ඔවුන්ට ළං වෙන්නට පිරිමින් තුළ ද එක්තරා ආකාරයක බියක් පවතී. තම හඬ ඔවුන්ට ස්වයං ආරක්ෂාවක් වන්නේ එලෙස ය.

මුහුදු යන මිනිසාත්, අලි බලන මිනිසාත්, අතුරේ යන මිනිසාත් ගෙදර එනතුරු විශ්වාසයක් නැතැයි පැරණි කියමනක් ඇත. මේ තුනම ඉතාමත් අවදානම් රැකියාවන් බැවිනි. මුහුදු රැකියාවට අමතරව අතුරේ යන රැකියාවද මෙම වෙරළ තීරයන්හි සිදුවේ. ඉන්දියාවේ කේරළයෙහි කොචින් ප්‍රදේශය පොල් සහ පොල් කර්මාන්තයට අදාළ අනෙකුත් රැකියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. සියවස් ගණනකට එපිට අතීතයේ මේ කොචින් ප්‍රදේශයේ ජනයා බොහෝසෙයින් ලංකාවට සංක්‍රමණය වූ බවට තොරතුරු තිබේ. අපේ සිංහල භාෂාව, දෙමළ භාෂාව සමඟ තිබෙන සම්බන්ධයට වඩා කේරළයෙහි මලයාලම් භාෂාව සමඟ තිබෙන මිශ්‍ර වීම වැඩි ය. භාෂාව පමණක් නොව කේරළයෙහි සංස්කෘතිකාංග, ඇඳුම් පැළඳුම් පවා අපට ඉතා හුරු ය. කොචින් දේශයෙහි කොචින් ජනයා අපේ රටේ බහුල ව පදිංචි වූ ප්‍රදේශයක් වන්නේ මීගමුවේ කොච්චි කඩේ ය. මේ ප්‍රදේශයේ අතුරේ යන්නන් හෙවත් රාමදින්නන් අදටත් සුලබ ය.
පහතරට ශාන්ති කර්මවල දැක්වෙන අන්දමට අපේ රටට අතීතයේ පැමිණි යකුන් බොහෝ දෙනෙක් එලෙස පැමිණ ඇත්තේ මලය රටින් බව ඒ එම ශාන්ති කර්මවල යාතිකාවන්හි දැක්වේ. මලය රට ලෙස හැඳින්වූයේ මලයාලම් දේශය බවට පිළිගැනීමක් ඇත. මලය රටේ රජ පවුල්වල අය යක්ෂයින් වී උපත ලබා ඇති බවත්, අපේ රටේ අතීතයේ සිටි යක්ෂ ගෝත්‍රිකයින් හා ඔවුන් අතර සම්බන්ධයක් ඇති බවත් මෙවැනි තොරතුරු පිළිබඳව විමසිල්ලෙන් බැලීමේදී පැහැදිලි වෙයි. මේවා හුදු ජන විශ්වාස වුවත් නැතත්, භූ විෂමතාවය, දේශගුණය, සංස්කෘතිය, ඇඳුම් පැළඳුම් සේම පෙනුම අතින් පවා කේරළයේ සහ අපේ රටේ වැසියන් අතරේ බොහෝ සමානතා තිබේ. මේ අනුව ඉන්දියාවේ මලයාලම් දේශය හා කුවේණිගේ පරපුර අතර ඥාතීත්වයක් තිබිය හැකි බවට අනුමාන කළ හැකිය. එසේම මීගමු තරුණියන් හා මලයාලම් දේශයෙන් මෙරටට පැමිණි කේරළ තරුණයන් අතරේ ආවාහ විවාහ කටයුතු ද ඒ කාලයේ සිටම සිදුවී ඇත.

මෙම තරුණයන් කේරළයේ සිට මෙහි පැමිණියේ මුහුදු මාර්ග ඔස්සේ පවුල් පිටින් නොව තනිවම ය. රාමයියා, රාමන් වැනි නම් වලින් ඔවුහු හැඳින්වූහ. ඒ ඔවුන්ගේ සැබෑ නාමයන් නොව රාමදින වෘත්තිය නිසා ඔවුන්ට පට බැඳුණු නම් ය. දක්ෂ කඩිසර තරුණයන් වූ ඔවුන් යකාටවත් බය නැති ජාතියේ අයයි. රාමැදීමට අමතරව රා සහ පොල්වලින් විවිධ කෑම වර්ග සකස් කිරීමේ දක්ෂතාවයක්ද ඔවුන් තුළ තිබිණි. හකුරු, විනාකිරි, පොල් කේක් ලෙසින් අප හඳුන්වන පුස්නාම්බු මේ අතරින් සුලබ ඒවා ය.
පැහැයෙන් කාල වර්ණ වූ පුෂ්ටිමත් මීගමු තරුණියන්ට මෙම තරුණයන් විශේෂ කැමැත්තක් දැක්වූ බව කියැවේ. එකල මීගමු වැසියන් ඒ පිළිබඳව සඳහන් කර තිබුණේ "පුස්නාම්බු වගේ කෙල්ලන්ට රාමයියලා කැමතියි" යනුවෙනි. ඔවුන් මලයාලම් දේශයේ සිට පැමිණි නිසා මන්තර ගුරුකම්වලට විශේෂ දක්ෂතාවයක් තිබූ බවද සඳහන්ය. පොල් කුරුමිණියෙකු ගෙදරකට ආවොත් මලයාලම් තරුණයන් ඒ නිවසේ කාන්තාවක හෝ තරුණියක වසඟ කර ගැනීම සඳහා කරන ලද ගුරුකමක් යැයි අතීතයේ ඒ ප්‍රදේශවල ජනයා විශ්වාස කළහ. මේ පිළිබඳව පල්ලියේ පූජකවරුන් හට පැවසූ විට දේව මෑණියන්ගේ සුරුවමක් ළඟ තබා ගන්නා ලෙස ඒ නිවසේ අයට අවවාද කර තිබුණු බව දැන ගන්නට ඇත. මෙම තරුණයන්ගේ කාන්තාලෝලිත්වය කොතෙක්ද කිවහොත් වෙරළේ රාමදින තරුණයකු යනු දුටුවහොත් වැඩිහිටියන් "රාමය්යා එනවා කෙල්ල ගෙට ගනින්"යැයි පවසමින් තම දියණියන් ගේ ඇතුළට කළ බව ඒ ප්‍රදේශවල පැරැන්නෝ කියති.

ඒ කෙසේ වුවද මේ තරුණයන් තුළ ඇති දක්ෂකම කඩිසරකම, නිර්භීතකම වැනි පිරිමි පෞරුෂයට අපේ තරුණියන් තුළද සුවිශේෂී කැමැත්තක් තිබූ බව පැහැදිලි ය. අතීතයේ කුවේණිය ඉන්දියාවෙන් ආ විජය කුමාරයාට බහ දුන්නාක් මෙන් කුවේණියගේ සනුහරේ අය කේරළ තරුණයන්ට බහදී තිබෙන්නේ යැයි පැවසුවොත් එය හුදු විහිළුවක්ම නොවේ.
ලබන සතියේ යළිත් හමුවෙමු.

සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි:



