The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

කුවේණිගේ සනුහරේ (06) - මීගමුවේ යකඩ ගැහැනුන්ට පෙම්බැඳි ඕලන්ද පරිපාලකයා ; මීගමුවේ රාළ

T

The Leader Desk

December 2, 2024 • 10:53 AM

කුවේණිගේ සනුහරේ (06) - මීගමුවේ යකඩ ගැහැනුන්ට පෙම්බැඳි ඕලන්ද පරිපාලකයා ; මීගමුවේ රාළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුවේණිගේ සනුහරේ බවට අනුමාන කළ හැකි මීගමුවේ යක්ෂ කාන්තාවන් සම්බන්ධ විවිධ කතා ඉතිහාසය පුරා ලියැවී ඇත.
  • මේ බොහෝ කතා ඉතිහාසයේ ලියවී නොතිබුණත්, මේ සියල්ලම හුදු ජනප්‍රවාද ලෙසින්ම බැහැර කළ නොහැකිය.
  • මාසිලිස් බොස්කෝවර් (Marcelis Boschower) නමැති ඕලන්ද ජාතිකයා වසර 1612 දී ලංකාවට පැමිණෙන්නේ ඕලන්ද රජුගේ නියෝජිතයකු ලෙස ය.
  • ඔහු පැමිණෙන්නේ කන්ද උඩරට රාජ්‍යය සමඟ ලන්දේසීන්ගේ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කුවේණිගේ සනුහරේ බවට අනුමාන කළ හැකි මීගමුවේ යක්ෂ කාන්තාවන් සම්බන්ධ විවිධ කතා ඉතිහාසය පුරා ලියැවී ඇත.
 
යක්ෂ යනුවෙන් අදහස් කළේ යකුන් යන අරුතින් නොව "සිත ගත යකඩ මෙන් සවිමත් ගැහැනුන්" යන අර්ථයෙනි. මේ අතරින් එකක් වන්නේ මීගමුවේ රාළගේ කතාවයි. මීගමුවේ රාළ හා බැඳුණු නොයෙකුත් ප්‍රවාද පැවතියද මීගමුවේ රාළ යනු ජනප්‍රවාදයක් නොව ඉතිහාසගත චරිතයකි. මේ බොහෝ කතා ඉතිහාසයේ ලියවී නොතිබුණත්, මේ සියල්ලම හුදු ජනප්‍රවාද ලෙසින්ම බැහැර කළ නොහැකිය. හේතුව, ඒ හා බැඳුණු සත්‍ය කතා බොහෝ වන බැවිනි.
 
මීගමුවේ රාළ යනු කවුරුන්දැයි මුලින්ම අපි විමසා බලමු.
 
7HqFPOwR4eLzLzll resize 1635514631250317832IMG20211029190420
       
මාසිලිස් බොස්කෝවර් (Marcelis Boschower) නමැති ඕලන්ද ජාතිකයා වසර 1612 දී ලංකාවට පැමිණෙන්නේ ඕලන්ද රජුගේ නියෝජිතයකු ලෙස ය. ඔහු පැමිණෙන්නේ කන්ද උඩරට රාජ්‍යය සමඟ ලන්දේසීන්ගේ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ය. එවකට කන්ද උඩරට රාජ්‍යයේ රජකම දැරුවේ සෙනරත් රජතුමා (වර්ෂ 1604 - 1636) යි.
       
ගිවිසුමේ කටයුතු අවසන් වූ සැණින් බොස්කෝවර් පෙරළා සිය රට වූ ඕලන්දය බලා ගියේ නැත. ඔහු රජ වාසල වටා කරක් ගැසුවා වෙන්නට පුළුවන. සෙනරත් රජුට මේ තරුණයා ගේ ක්‍රියා කලාපයන්, තවත් සරලව කිවහොත් මානව සම්බන්ධතා පවත්වා ගැනීමෙහි ඔහු තුළ පැවති අපූර්වතම හැකියාව නිසාම ඔහු කෙරෙහි  සිත ඇදී ගොස් තිබුණා විය හැකිය. ඒ පැහැදීම කොතෙක් දුර දිග ගියේදැයි කිවහොත් අන්තිමේ සෙනරත් රජුගේ පළමු උපදේශකයා බවට පත්වන්නට බොස්කෝවර් ට හැකිවුණි.
 
50873b70df856da80c5a861a0b3db38c
       
කලින් පැවිද්ද ලබා සිටි සෙනරත් කුමාරයා කන්ද උඩරට රාජ්‍යයේ රජු බවට පත්වන්නේ  ඔහුගේ සොයුරු පළවෙනි විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසුව ය. සෙනරත් රජු  තම බිසව බවට පත් කරගන්නේ ද විමලධර්මසූරිය රජුගේ බිසව වී සිටි දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියයි. එවකට කුසුමාසන දේවියට විමලධර්මසූරිය රජුට දාව දූවරුන් දෙදෙනෙක් සහ එක් පුතකු සිටියේය. මහාස්ථාන කුමරු නමින් හැඳින්වූයේ එම කුමාරයා ය. ඉන්පසු සෙනරත් රජුට දාව ද කුසුමාසන දේවිය පුතුන් තිදෙනෙකු බිහි කළා ය. ඒ කුමාරසිංහ, විජේපාල සහ රාජසිංහ ය. මහාස්ථාන කුමරු අකාලයේ මහවැලි ගඟේ ගිලී මිය ගිය අතර එය සෙනරත් රජු විසින් සිදුකළ බවට රාවයක් පැතිරිණි.
 
සෙනරත් රජු කුරුලු පොරවලට යැවීම සඳහා ඇති දැඩි කරන කොණ්ඩ කුරුල්ලෙකු ඉල්ලා මහාස්ථාන කුමරා රජුට ඇවිටිලි කරන්නට වී ඇත. නමුත් රජු එම කොණ්ඩ කුරුල්ලා මහාස්ථාන කුමරුට දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් කුමරු එම කොණ්ඩ කුරුල්ලා මරා දමා තිබේ. එම කේන්තියට කුමරා දියේ ගිල්වා සෙනරත් රජු විසින් මරා දැමූ බවට රාජධානිය පුරා රාවයක් පැතිරුණු අතර මින් රජු මහත් අපහසුවට පත්වී ඇත. කුසුමාසන දේවිය  තම පුතුගේ අකල් මරණයෙන් බොහෝ සෙයින් ප්‍රකම්පිතව සිටියාය. මේ සියලු කාරණාවල දී රජුගේ ළඟින්ම හිඳිමින්  ඔහුගේ සිත හදන්නට වෙහෙස වී ඇත්තේ බොස්කෝවර් ය. එමෙන්ම මහාස්ථාන කුමරා ගේ දේහය සහිත චිතකයට ගිනි දල්වන ලද්දේ ද බොස්කෝවර් බව පැවසෙයි. රජුට ඔහු දැඩි විශ්වාසවන්තයකු වූ අතර ඔහුට මීගමුවේ පරිපාලක තනතුර භාරදී මීගමුවට යවන්නේ රජු එම විශ්වාසය නිසා ය. බොස්කෝවර්  මීගමුවේ මහ රාළ වූයේ එලෙසිනි.
e05eece6571c1ee49adcb09393d9f8b1
 
මේ කාලය වන විට අපේ රටේ පෘතුගීසි හා ලන්දේසි බලය හරි හරියට ක්‍රියාත්මක වෙමින් පැවති අතර ලන්දේසි ජාතිකයකු වූ මීගමුවේ රාළ මීගමු ප්‍රදේශයේ ජනප්‍රිය වී සිටියේය. ඔහුගේ සුදු සම හා  ප්‍රියමනාප පෙනුමත්, මිනිසුන්ගේ සිත් දිනා ගැනීමට තිබූ හැකියාවත් මේ ජනප්‍රියතාවයට හේතු වී තිබිණි. මීගමුව ප්‍රදේශයේ ද කොටසක් පෘතුගීසීන්ට පක්ෂපාතීව සිටි අතර තවත් කොටසක් ලන්දේසීන්ට පක්ෂපාතීව සිටියහ. විශේෂයෙන් මීගමු කාන්තාවන් මෙම සුදු ජාතිකයාගේ එම පෙනුම ප්‍රිය කළ බව කියවේ. ජනප්‍රවාදවලට අනුව පැවසෙන්නේ  මීගමුවේ රාළට මෙම කාන්තාවන් වසඟ වී සිටි බව ය. අනෙක් අතට මීගමු  කාන්තාවන්ගේ අඳුරු පැහැති සමටත්, පිරිමියෙකුගේ බඳු පෞරුෂත්වයටත් මීගමුවේ රාළ ප්‍රිය කළ බවට ද සාවද්‍ය නොවන තොරතුරු ඇත. ඔහුගේ ආධිපත්‍යය යටතේ මීගමුවේ කාන්තාවන්ට විශේෂ තැනක් ලැබුණු බවද ජනප්‍රවාදවල සඳහන් වෙයි. එය එම කතුන් ගේ සහජතාව මත පදනම් වූ විශේෂ හැකියාවක් විය යුතු ය.
 
"මීගමු ගෑනුන්ගේ ඇඟත් යකඩ වගේ, වැඩත් යකඩ වගේ" යනුවෙන් මීගමු රාළ පැවසූ බව අතීතයේ පටන් පරම්පරානුගතව පැවත එන ප්‍රවාදයකි.මෙම ජන ප්‍රවාද 1970 දශකය තෙක් පැවතී ඉන්පසු එළඹි සමාජ ආර්ථික පරිවර්තන හමුවේ අතුරුදන් ව තිබේ. අද මේ කතා දන්නා කෙනෙකු සොයා ගැනීම හාවා හඳ දකින්නාක් බඳු අසීරු දෙයකි.
       
එසේම මීගමු කාන්තාවන්ගේ දක්ෂතාව අනුව ඔවුන් යුද්ධයට වුණත් යැවිය හැකි බව මීගමුවේ රාළගේ අදහස විය. අවස්ථා කිහිපයකදීම මීගමුවේ රාළ ස්වදේශිකයන් සමග එකතු වී ප්‍රාදේශීය වශයෙන් පෘතුගීසීන් පලවා හැරීමට කටයුතු කර තිබිණි. එලෙසින් රත්නපුර ප්‍රදේශයේ ද පෘතුගීසින් මෙල්ල කරන්නට මීගමුවේ රාළ ඉදිරිපත් වන අතර ඒ සඳහා මීගමුවේ  කාන්තාවන් ද හරි හරියට ඔහු ගේ සහායට සිටි බවට ප්‍රවාද තිබේ. නමුත් මීගමුවේ රාළගේ එම ව්‍යායාමය අසාර්ථක විය.
 
DSC81411
       
එම ක්‍රියාව අපේ ජන කවියා මීගමුවේ රාළ  මුවෙක් දඩයම් කිරීමට උත්සාහ කිරීම හා සමාන ක්‍රියාවක් ලෙස දක්වා තිබුණේ මෙලෙසිනි.
   
"දුන්න                       දුනුගමුවේ
ඊතල                  කිතලගමුවේ
රාළ                             මීගමුවේ
මුවෙක් හැඬුවා සබරගමුවේ"
         
අතීතයේ මීගමුවේ සිට සබරගමුව දක්වා වූ ප්‍රදේශවලට බස්නාහිර සහ සබරගමු  පළාත මායිම් වන දුනුමාල කඳුවැටියට ඔබ්බෙන් ගලපිටමඩ ඔස්සේ දුනුගමුව, කිතලංගමුව හරහා යා හැකි වුණි. එම ප්‍රදේශවල පසෙහි යබොර මිශ්‍රවී තිබීම අතීතයේ එම ප්‍රදේශවල දුනු හී ආදිය තනා ඇති බවට සාක්ෂි දරයි. යබොර යනු ලෝහ කර්මාන්තයේදී ඉවත යන කොටස් ය. ඒ අනුව මීගමුවේ රාළගේ ඓතිහාසිකත්වය තහවුරු වන අතර ඔහු හා සම්බන්ධ වූ බව කියන අතීත මීගමු කාන්තාවන් යුදමය කටයුතුවලට පවා ඔහු හා එක්වූ බවට මෙවැනි සාක්ෂි මගින් ඉඟි  ලබා ගත හැකිය.
 
wwerakkodi
කෙසේ වුවද මීගමුවේ රාළ සෙනරත් රජුගෙන් පනස් දහසක සේනාංකයක් ඉල්ලා සිටින්නේ පෘතුගීසීන් පරාද කරන්නට ය. නමුත් එවක පෘතුගීසීන්ට එරෙහිව සටන් බිමට යන්නට එතරම්  විශාල පිරිසක් සිටියේ නැත. එනිසා ඕලන්දයෙන් පුහුණු සෙනෙවියන් පිරිසක් කැඳවාගෙන එන ලෙස රජු මීගමුවේ රාළට දන්වා සිටි බව පැවසෙයි. ඔහු නැව් නැග ඕලන්දයට ගොස් එවන් සේනාංකයක් බලාපොරොත්තු වුවද ඔහුට තම රටේ රජු වෙතින් එය ඉටුකර ගැනීමට හැකි වූයේ නැත. අවසානයේ ඔහු ඕලන්දයට මිත්‍රශීලී ඩෙන්මාර්කයෙන් සේනාංකයක් ගෙන ලංකාව බලා නැව් නැග එද්දී අතරමග හදිසියේ අසනීප වී මිය ගොස් තිබේ.එබැවින් ඔහුගේ සිරුර මුහුදට දමා ලංකාව බලා එන්නට ඩෙන්මාර්ක සේනාවට සිදුවිය. මෙසේ නැගෙනහිර වෙරළට සේන්දු වූ ඩෙන්මාර්ක් සේනාව සිද්ධිය පිළිබඳව පවසා සෙනරත් රජුට පණිවිඩයක් යවා තිබුණි.ඒ බව ඇසූ රජුට වැටහී ගියේ කිසියම් සතුරු සේනාවක් බොස්කෝවර් මරා මුහුදට දමා කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීම පිණිස ව්‍යාජ මිතුරු වෙස් ගෙන මෙරටට පැමිණ ඇති බවකි.
 
"ඔය කතාව මම විශ්වාස කරන්නේ නෑ. අනික උන් ඕලන්දකාරයන් නෙවෙයි. මම උන්ට රට ඇතුලට එන්න දෙන්නේ නෑ" යැයි පවසා රජු ඔවුන්ව පිටුවහල් කළ බව ඉතිහාසගත ප්‍රවාදයකි.
       
මීගමුවේ යකඩ ගැහැනුන්ට පෙම් බැඳි මීගමුවේ රාළගේ කතාන්දරය නිමාවට පත්වනුයේ එලෙසිනි.
 
තවත් කොටසකින් යළි හමුවෙමු.
 
indu perera
සටහන : ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි:
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...