මෙම ජන වර්ග යන යෙදුම 16 වන සියවසේදී ලෝක භාවිතයට පැමිණි අතර, එය සමීප ඥාති සබඳතාවලින් සමන්විත විවිධ වර්ගවල කණ්ඩායම් හැඳින්වීමට භාවිතා කරන ලදී. එහෙත්, කාලයාගේ ඇවෑමෙන් මෙම ජන වාර්ගික මූලයන් විවිධ බෙදීම්වලට ලක් ව විසිරණය වේ. එම නියාමයෙන් අත් මිදෙන්නට කුවේණියට හෝ ඇගේ සනුහරයට ද කිසිදු හැකියාවක් නැත.

කැළණි නදිය සමනල අඩවියෙන් ආරම්භ වන්නකි. එහෙත්, කොළඹ මට්ටක්කුලිය ආශ්‍රිතව මුහුදට වැටෙන එහි සෑම දිය බිඳුවක්ම සමනල අඩවියෙන් ගලා හැලුණු ඒවා නොවේ. එය සත්‍යයක් වන බැවින් කැලණි නදිය හා සමනල අඩවිය අතර පවත්නා සබැඳියාව අතහැර දැමිය හැක්කක් නොවේ.
අපේ රටේ ඉස්ලාම් භක්තිකයන් අතර ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකි ය. ඒ, යෝනක මැලේ සහ බෝරා ලෙසිනි. මේ අයගෙනුත් ප්‍රධාන වන්නේ යෝනකයන් ය. මේ කොට්ඨාශය මරක්කල ලෙසින් ද හැඳින්වේ. ඔවුන් අපේ රටට එකම කාලයක් තුළ සංක්‍රමණය වූවන් නොවන අතර දීර්ඝ කාලයක සිටම ඔවුන්ගේ මෙම සංක්‍රමණය වීම පිළිබඳ තොරතුරු සොයාගත හැකිය.

ක්‍රි.පූ 437-367 අතර අප රට පාලනය කළ පණ්ඩුකාභය රජු නගර නිර්මාණය කිරීමේ දී යෝනක වෙළෙඳුන් වෙනුවෙන් නගරයේ කොටසක් වෙන් කළ බව මහාවංශයේ සඳහන් වෙයි. මෙම යෝනකයන් ඉස්ලාම් භක්තිකයන් නොවේ. එවකට ඉස්ලාම් ආගම ලොව පහළ වී තිබුණේ නැත. ඉස්ලාමය ලොවට හඳුන්වා දුන් මහම්මද් තුමා ජීවත් වූයේ ඉන් බොහෝ කලකට පසුව එනම් ක්‍රි.ව 570-632 අතර ය.
ක්‍රි.පූ දෙවන සියවසේ සිට පහලොස් වන සියවසේ මැද භාගය තෙක් පෙරදිග හා බටහිර යා කළ සේද මාවත ඔස්සේ යෝනකයන් අපේ රටට වෙළඳාම පිණිස පැමිණ තිබිණි. එකල ඔවුන් සම්පාන් නමින් හඳුන්වන චීන යාත්‍රාවලින් පැමිණ ලංකාවේ දකුණු ප්‍රදේශයෙන් මෙරටට ගොඩ බැස්ස බවට වාර්තා වෙයි. එම සම්පාන් යාත්‍රා අප රටේ දී හම්බන් ලෙස හඳුන්වන ලදී. යාත්‍රාවලින් ගොඩ බසින ලද ප්‍රසිද්ධම තොටුපළ පසුව හම්බන්තොට වූ බවද දැනගන්නට ඇත. හම්බන්වැල්ල නමින් හඳුන්වන ප්‍රදේශයක් අදටත් හම්බන්තොට ආශ්‍රිතව පවතී.
ගස්නි මෙහෙමුද්
ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවට පැමිණි ගස්නි මෙහෙමුද් (Muhammad of Ghazni වර්ෂ 971 - 1030) දකුණු ඉන්දියාවේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට කටයුතු යෙදීය. පසකාලීනව එය ඉන්දීය සමාජය පුරා වේගයෙන් පැතිර ගිය අතර ඒ අනුව ද්‍රවිඩ සම්භවයක් සහිත දකුණු ඉන්දීය ජන කොටස් ද ඉස්ලාම් ආගම වැළඳ ගත්හ. ඔවුන් කතා කළේ ද්‍රවිඩ සම්භවයක් සහිත භාෂාවන් ය. ලංකාවට පැමිණි ඉස්ලාම් ආගමිකයන් භාවිතා කළේ ද ද්‍රවිඩ භාෂාවන් ය. අදටත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගෙන් බහුතරයක් දෙමළ භාෂාව කතා කරති. ඇතැම් ප්‍රදේශවල දෙමළ හා දෙමළ සමඟ මිශ්‍ර වෙනත් ද්‍රවිඩ භාෂා ද කතා කරන බව පෙනේ.
අපේ රටේ මීගමුවේ සිට උතුරට බටහිර වෙරළ තීරයට ද මෙලෙස මුස්ලිම් ජන කොට්ඨාශ අතීතයේ සිටම වෙළඳාම සඳහා පැමිණ තිබිණි. බොහෝ විට නීරෝගී ජව සම්පන්න තරුණයන් වූ ඔවුන් ලංකාවට පැමිණියේ පවුල් පිටින් නොවේ. වෙළඳාම සඳහා පැමිණ රට තුළ ඔවුහු මාස ගණන් ගත කළහ. මේ නිසා බොහෝ මුස්ලිම් ජාතිකයන් මේ රටේ කාන්තාවන් සමඟ පවුල් ජීවිත ගත කර තිබිණි. එකල නීතියෙන් ආවාහ විවාහ වීම් නොපැවති අතර කාන්තාවන් සමඟ එක්ව ජීවත් වන්නට පටන් ගත් පසු ඔවුන් නැවත මෙරටින් ආපසු ගියේ නැත.
විජය කුවේණි පුරාවෘත්තය රමණීය ලෙසින් නිර්මාණය වී තිබුණ ද විජය ඇතුළු පිරිස ද වෙළඳාම පිණිස මෙහි පැමිණි සංක්‍රමණිකයන් බවට මානව විද්‍යාත්මක තොරතුරු තිබේ. ඒ කෙසේ වුව විජය පැමිණියේ කුවේණිගේ රාජධානියට ය. තම්මැන්නාව පිහිටියේ අප රටේ බටහිර වෙරළේ ය. ඇය එහි රැජින වූවාය.
අනාදිමත් කාලයකට පෙර කල්පිටිය අර්ධද්වීපයෙහි ප්‍රබල රැජිනන් සිටි බවට පුරාවෘත්ත දෙකක් තිබේ. මෙරට කිතුනු බැතිමතුන්ගේ අප්‍රමාණ ගරු බුහුමන් ලබන ජාතික සිද්ධස්ථාන පහ අතරින් දෙවෙනි විශාලතම ජාතික සිද්ධස්ථානය ලෙස පිළිගැනෙන්නේ තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය යි. මෙයට දාහත්වෙනි සියවසේ අග භාගය දක්වා දිව යන ඉතිහාසයක් ඇත. මේ සම්බන්ධ පුරාවෘත්ත දෙකක් ජනප්‍රවාදයෙහි ඇති අතර ඉන් එකක් මෙසේ ය.
තලවිල සිද්ධස්ථානය
සාන්ත ආනා නමැති පෘතුගීසි සංචාරක නැවක් මුහුදේ යාත්‍රාකරමින් තිබියදී මන්නාරම වෙරළට ඔබ්බෙන් වැලි කන්දක හැපී බිඳී ගොස් තිබේ. සියල්ල අතහැර තම ජීවිතය බේරා ගැනීමට සිතූ නැවියා සාන්ත ආනා සුරුවම පමණක් රැගෙන වෙරළට පීනා විත් ඇත. සාන්ත ආනා සුරුවම දැවැන්ත නුග ගහක බෙනයෙහි තැන්පත් කළ ඔහු තම ව්‍යාපාර සාර්ථක වුවහොත් නැවත මෙරටට පැමිණ එම ස්ථානයේ පල්ලියක් සාදන බවට භාර වී ගොස් ඇත. තලවිල සිද්ධස්ථානය මුලින්ම ගොඩනැගුණේ එම නැවියාගේ භාරය ඔප්පු කිරීමක් ලෙසින් බව මෙම පුරාවෘත්තයට අනුව පැවසේ.
මන්නාරම් කොටුව
අනෙක් පුරාවෘත්තය නම් පෘතුගීසි මිනිසෙක් එම ස්ථානයේ නිදා සිටියදී පොල්ගසක මුල සාන්ත ආනා රූපයක් සිහිනෙන් දැක ඇත. ඔහු අවදි වීමෙන් පසු අසල පොල් ගසෙහි එවැනි රූපයක් සැබෑවටම දැක තිබේ. පසුකාලීනව ඔහු එම ස්ථානයේ සාන්ත ආනා දෙව් මැදුරක් ඉදිකර ඇත. කෙසේ වුවද මෙම දේවස්ථානය ආශ්‍රිත ප්‍රදේශය අතීතයේ රැජිනක් ව සිට පසුව දේවත්වයට පත් ප්‍රබල කාන්තාවක් මුල් කරගත් පුදබිමක් බව ට ජනප්‍රවාද තිබේ.
මින් පෙර අප සඳහන් කළ අල්ලිරාණි නම් රැජින වාසය කර ඇත්තේ ද ඊට ආසන්නයේ ය. එනම් කොළඹ පුත්තලම මාර්ගයේ පාලවිය හන්දියෙන් කල්පිටිය පාරේ කිලෝමීටර් තිස් හයක පමණ දුරක් ගිය විට හමුවන පල්ලිවාසල්තුරේ හන්දියෙන් නැවත කිලෝ මීටර් හතරක් පමණ ගියවිට මෙම අල්ලිරාණි පුරාවිද්‍යා ස්ථානය හමුවේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කුවේණිගේ මාලිගාව යනුවෙන් හැඳින්වෙන නටබුන් ස්ථානයක් දක්නට ඇත. පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයක් වන මෙය මෙගලිතික (මහා ශිලා) යුගයට අයත් ඉදිකිරීමක් බව තහවුරු කරගෙන තිබේ. ඒවා නියත ලෙසම දුරාතීතයේ අප රටේ පැවැති මාතෘ මූලික සමාජයක් පිළිබඳ තතු පවසන්නකි.
මන්නාරම ආසන්නයේ පිහිටි අරිප්පු ප්‍රදේශයේ ද පැරණි රැජිනකගේ ස්මාරකයක නටබුන් ඇත. වර්තමානය වන විට රැජිනන් නොමැත්තේ, මෙහි කාන්තාවන් දකුණු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණික වෙළෙන්දන් හා විවාහ වී ඔවුන්ගේ බිරියන් බවට පත්වීම නිසා විය හැකිය. නමුත් බටහිර වෙරළේ මන්නාරම සිට දකුණට එන විට කාල වර්ණ පැහැයෙන් යුතු ශරීර ඇති කාන්තාවන්ගේ පෙනුම සහ ගති ලක්ෂණ ගැන බලන විට ඔවුන් කුවේණිගේ සනුහරේ අය බව සිතිය හැක්කේ ඔවුන් තුළ පවත්නා චර්යාත්මක සුවිශේෂතා ද නිසා ය. මේවා සඳහා ප්‍රවේණිගත ජෛවමය සාධක ද බලපාන්නට ඇත.
තවත් කොටසකින් යළි හමුවෙමු.
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි: