රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් මගින් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටුවීමේ පනත් කෙටුම්පත මෙම සාකච්ඡාව කෙරෙහි බලපා ඇත.
මෙවැනි පනතක් ගෙන ඒමට උත්සාහ කරන හැම විට ම සිදු වන්නාක් මෙන් මෙවර ද විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යකරුවන්ගේ සංවිධාන, සිවිල් සංවිධාන සහ විපක්ෂය අවි අමෝරාගෙන ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙනේ.
ප්‍රසිද්ධ කර තිබෙන පනතේ විධිවිධාන කියවා බලන විට පෙනී යන්නේ එය නීතිගත කිරීමේ උවමනාවෙන් ඉදිරිපත් කළ අවංක නීතියක් නොවන බවයි. ඉතිහාසයේ සිදු වූවක් සේම එය ඉතිහාසයට එකතු වන තවත් සිදුවීමක් (Event) පමණක් වනු ඇත. රජය මේ ඉරණම නොදැන මෙම පනත ඉදිරිපත් කළා විය නොහැකිය.

ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයක් පිහිටුවීමේ අවංක අවශ්‍යතාවක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ 2018 වසරේ මංගල සමරවීර ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී මේ සඳහා සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුව විසින් කෙටුම්පත් කළ පනත් කෙටුම්පත මහජන සාකච්ඡාව සඳහා යොමු කිරීමයි. එම කමිටුවේ සාමාජිකයින් වශයෙන් මහාචාර්ය රොහාන් සමරජීව, යුනෙස්කෝවේ සන්නිවේදන සංවර්ධන අංශයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර සහ බීබීසී ආයතනයේ එම් ජේ ආර් සහ මෙම ලේඛකයා කටයුතු කරනු ලැබීය. වසරක කාලයක් දේශීය උපදේශනයන් සහ ජාත්‍යන්තර සාහිත්‍යය අධ්‍යයන කරමින් ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් සඳහා වන කෙටුම්පතක් එම කමිටුව විසින් සම්පාදනය කරනු ලැබීය. ජාත්‍යන්තර ඉහළම ප්‍රමිතිය සහතික කරන එම පනත් කෙටුම්පත වෙනුවට ආණ්ඩුව හදිස්සියේ එහෙන් මෙහෙන් තම න්‍යාය පත්‍රය සඳහා මෙවැනි නව කෙටුම්පතක් සැකසීම අවාසනාවකි.
ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයක අවශ්‍යතාවය මතු වන ප්‍රධාන කරුණු කීපයක් තිබේ:
* රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන විසින් යොදා ගන්නා තරංගමාලා සීමිත මහජන පොදු දේපළක් වීම.
* එම තරංග මාලා හිමිකරගන්න බලපත්‍රලාභීන්ට සමාජයේ සෙසු අයට නොලැබෙන වරප්‍රසාදයක් හිමිවීම
* බලපත්‍රලාභියා විසින් තමන්ට ලැබුණ එම වරප්‍රසාදය සමාජයේ උපරිම යහපත, ජනතාවගේ නිවැරදි, සත්‍ය සහ අපක්ෂපාතී තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු වන ආකාරයට භාවිතා කිරීම.
* සමාජයේ සියලු දෙනාට සමාන අවස්ථාවක් ලබා දීම සහතිකවීම.
* විද්‍යුත් මාධ්‍ය හිමිකාරත්වයේ සහ ක්‍රියාකාරීත්වයේ විනිවිදභාවය සහ වගවීම (Openness, transparency and accountability ) සහතික වීම.
* සමාජයේ තිබෙන බහුවිධ බව (pluralism) සහ විවිධත්වය(diversity) ආරක්ෂා වන ආකාරයට විද්‍යුත් මාධ්‍ය හිමිකාරත්වයේ බහුවිධ බව සහ මාධ්‍ය අන්තර්ගතය විවිධත්වය සහතික වීමට වග බලා ගැනීම (මහජන සේවා, වාණිජ සහ ප්‍රජා විද්‍යුත් මාධ්‍ය ආයතන බිහි වීමට ඉඩ සැලසීම)
යුනෙස්කෝ සංවිධානයේ මාධ්‍ය සංවර්ධන මාර්ග දර්ශක අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය පිළිබඳව 2016 වසරේ දී කරනු ලැබූ තක්සේරුව “මහජන විශ්වාසය නැවත ගොඩනැගීම” නම් ජාත්‍යන්තර අවධානයට ලක් වූ වාර්තාව මගින් ද, විවිධ ජාත්‍යන්තර මාධ්‍ය නිරීක්ෂණ වාර්තා මඟින් ද, මැතිවරණ නිරීක්ෂණ වාර්තා මගින් ද, මාධ්‍ය සංවිධාන විසින් ද විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ වලට පසුබිම් වූ කාරණා මේ මොහොතේ සමාජයේ අවධානයට යොමු කිරීම වැදගත්ය. එහෙත් ඊට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතෙහි දුර්වලතා අවධානයට ගැනීම වැදගත්ය.
පනත් කෙටුම්පතෙහි දුර්වලතා
කොමිසමේ අභිමතාර්ථ :
මෙම පනත මගින් ජනතාවගේ නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, බහුවිධ බව, විවිධත්වය ආරක්ෂා කිරීම, මාධ්‍ය ආචාර ධර්ම සහ වෘත්තිය මාර්ගෝපදේශ පිළිපැදීම, බලපත්‍ර ලබා දීමේදී විනිවිදභාවය සහ සමානාත්මතාවය ආරක්ෂා කිරීම ආදිය කොමිසමේ අභිමතාර්ථ වශයෙන් සඳහන් කිරීම මගින් මෙවැනි කොමිසමක් සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට පනත මගින් ඉඟි කරයි.

එහෙත් ඉහත විධිවිධාන උල්ලංඝනය වන ආකාරයට 5 k වගන්තියෙ මෙසේ සඳහන් වේ. “විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ මහජන ආරක්ෂාව සහතික කිරීමට වගබලාගන්නා බව සහතික වීම කොමිසමේ කාර්යයක් වන්නේය”.
මෙම වගන්තිය මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, විවිධත්වය, බහුවිධ බව යන්නට සීමා පනවා තිබේ. ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව පිළිබඳව මෙරට වෙනත් නීති තිබෙන බැවින් නැවත ඒ පිළිබඳ වගකීමක් මෙම කොමිසමට පැවරීම අවශ්‍ය නොවේ. ජාතික ආර්ථිකය රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණක් වන බැවින් ඒ පිළිබඳ විවිධ අදහස්, තොරතුරු වලට විද්‍යුත් මාධ්‍ය මගින් ඉඩ සලසා තිබීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ අනුව මෙම පනතේ මෙම වගන්ති ඉවත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

කොමිෂන් සභාවට සාමාජිකයින් පස් දෙනෙක් යෝජනා කර තිබෙන අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එයට නිල වශයෙන් පත් වේ. දැනටමත් මෙම තනතුරු දෙක දරණ පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් පත් කරයි. එසේම කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් පත් කරන බව සඳහන් වේ. මෙම විධි විධාන මඟින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බරපතළ හානියක් සිදුවේ. නිල බලයෙන්පත්වෙන නිලධාරීන් දෙදෙනා මගින් ආණ්ඩුවට සෘජුවම කොමිසමේ කටයුතු තමන්ගේ උවමනාවන්ට අනුව මෙහෙයුමේ හැකියාව ලැබේ.
මෙම විධිවිධාන වෙනුවට කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් පත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට ලබාදිය හැකිය. එමෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය ද පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයෙන් සිදු කිරීමේ විධිවිධාන ද ඇතුළත් කිරීම වැදගත් වේ.
කොමිසන් සභාවේ සභාපතිවරයා, එහි සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කිරීම මගින් ද, කොමිසන් සභාවේ සාමාජිකයින් ප්‍රමාණය නමය (09) දක්වා ඉහළ දැමීම මගින් ද කොමිසන් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැකිය.
විද්‍යුත් මාධ්‍ය ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ
ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනතේ විද්‍යුත් මාධ්‍ය ආචාර ධර්ම සහ වෘත්තිය මාර්ගෝපදේශ (Code of practices) සම්බන්ධ විධිවිධාන ද ඉතා දුර්වල ය. එම විධිවිධාන වලට අනුව ආචාරධර්ම සහ වෘත්තිය මාර්ගෝපදේශ සකස් කළ යුත්තේ විද්‍යුත් මාධ්‍ය ආයතන වල උපදෙස් ලබා ගැනීමෙන් පසු ය. එහෙත් රටක විද්‍යුත් මාධ්‍ය කර්මාන්තය සම්බන්ධ පාර්ශවකරුවන් ගණනාවක් සිටිති. මාධ්‍ය සංවිධාන, මාධ්‍යකරුවන්, සිවිල් සංවිධාන සහ සාමාන්‍ය ජනතාව ද විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ පාර්ශවකරුවන් ය. ඔවුන්ට ද විද්‍යුත් මාධ්‍ය ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ සෘජුව බලපානු ලබයි.
ඒ අනුව විද්යුත් මාධ්‍ය ආචාරධර්ම, වෘත්තීය මාර්ගෝපදේශ සකස් කිරීමේදී මෙම බහුවිධ පාර්ශවකරුවන් සමග එක්ව ඔවුන් ගේ උපදේශන ක්‍රියාවලියක් හරහා සිදු කිරීමේ විධිවිධාන මෙම පනතට ඇතුළත් කර තිබීම අත්‍යවශ්‍යය.
කර්තෘ නිදහස (Editorial Independence) යන්නට අපක්ෂපාතිත්වය, නිවැරදි බව, සත්‍ය බව, සමබර බව, සාධාරණත්වය වැනි වෘත්තීය ප්‍රවෘත්ති මූලිකාංග පිළිපැදීම ඇතුලත් වෙයි. ඒ අනුව විද්යුත් මාධ්‍ය ආයතන වල මාධ්‍යකරුවන්ට කර්තෘ නිදහස ලබාදීම, මාධ්‍යකරුවන්ගේ කර්තෘ/ නිදහස (සංස්කරණ ස්වාධීනත්වය) සහ වෘත්තියභාවය සහතික කිරීම බලපත්‍ර කොන්දේසියක් විය යුතුය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබා දී තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වන්නේ එමගිනි.
බලපත්‍ර අලුත් කිරීම
යෝජිත පනතේ බලපත්‍ර අලුත් කිරීම පිළිබඳ විධිවිධාන ද අවුල් සහගතය. ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිත වන්නේ ගුවන් විදුලි බලපත්‍ර වසර 5කට සහ රූපවාහිනී බලපත්‍ර වසර 10කට වරක් අලුත් කිරීමය.
මහජන යහපත සහ මහජන උනන්දුව

ඉදිරිපත් කර තිබෙන පනත පුරා ම දක්නට ලැබෙන ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, මහජන ආරක්ෂාව ආදී විධිවිධාන වෙනුවට මහජන යහපත සහ මහජන උනන්දුව යන වචන ආදේශ කිරීමෙන් විද්‍යුත් මාධ්‍යයන්ගේ සමාජයීය සහ ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව අවධාරණය කළ හැකිය.
(මතුසම්බන්ධයි)
(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.
pnweera@yahoo.com




