හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,



මේ පුංචි කොදෙව් ඇබිත්ත ඇතුළේ කරක්ගහන ගොඩක් චන්ද අපේක්ෂක උදවිය, අද වෙනකොට කොටස්වලට වර්ගකරල පෙන්වන්න සිද්ධවෙන තරමට මහ ගොඩාරියක් ඉන්නවා.

දැනට අලුතින් බිහිවෙලා ඉන්න චන්ද අපේක්ෂක වර්ග හැටහුටාමාර තව තවත් බෝවෙලා සහ වැඩිවර්ධනය වෙලා, මේ වෙනකොට පළමු වතාවට පාර්ලිමේන්තුව ඇතුළේ විරුද්ධවාදීන්ට මිරිස්කුඩු ගහනු ලබන නව පන්නයේ වරිගවාදී ග්‍රෝතික චන්ද අපේක්ෂක වර්ගයක් ද ලැයිස්තුවට එකතුවෙලා ඉවරයි.

ලෝක සිතියමෙන් ඇහැට අහුකරගන්නත් අමාරු පුවක් ඇටයක් තරම් පොඩියට පේන මේ තැප්‍රෝබේන් කොදෙව්වට ඉංග්‍රීසි කොලනිවාදීන් හඳුන්වල දුන්නු පාර්ලිමේන්තුව ඇතුළේ, මේ විදිහට සැබෑ දේශපාලනයට අදාළ නැති අමුතු අමුතු නුපුහුණු පාර්ලිමේන්තු අපේක්ෂක වර්ගයෝ අනවශ්‍ය තරමින් ගාල කඩාගෙන සහ පෝලිම් පැනගෙන ඇවිත් කරක්ගහන්න ගත්තේ, 1956යේ “සිංහල පමණයි” වරිග ප්‍රතිපත්තිය ව්‍යවස්ථාගත කළාට අනතුරුව, විධිමත් ක්‍රමයකින් සහ ශිෂ්ට පුහුණුවකින් තොරව ගම නගරයට කඩාවදින්නට පටන්ගත්තු නිසයි.

ඒත්, ශ්‍රීලනිපය හෝ එහි වරිග ප්‍රතිපත්තියට දැන හෝ නොදැන ගැතිව ඉන්න ඕනෑ ම කෙනෙක් මේ කියන දේට එකඟ නොවී තවදුරටත් රට ගමක් කරන්නට ම සිහින දකිමින් ඉන්නව වෙන්න පුළුවනි.

 

කොදෙව් වරිගවාදයෙන් මූලග්ගින්න ඇවිස්සුණු ශාස්ත්‍රඥයින්ට (Scholars) අනුව නම්, මේ මිරිස්කුඩු ගහපු ශ්‍රීලනිප පාර්ශවය කරල තියෙන්නේ පරගැති අනුකාරකයින්ට එරෙහි ජාති හිතෛශී පොදුජන ප්‍රතික්‍රියා දැක්වීමක්.

 

ඒක එහෙම නම්, 1983නේ කළු ජූලියේ දී දකුණු සිරිලක් කොදෙව්වේ ආයුධ නොදරපු සාමාන්‍ය දෙමල කොදෙව්වාසීන් 3000කට ආසන්න ගාණක් ඝාතනය කිරීම ද අනුකාරකයින්ට එරෙහි ජාති හිතැති ප්‍රතික්‍රියා දැක්වීමක් ම වෙන්න එපැයි.

ඒ වගේ ම, මෙහෙම ගියොත්, එබඳු වරිග තග දැමීම්වලට සහභාගි වෙච්ච අගනගර සීමාවට අයත් කෙහෙල්වත්තේ සහ මාලිගාවත්තේ හිටපු වලියට බර අයි.ආර්.සී.කාර නාගරික ලුම්පන් චන්ඩිත්, පඩික්කංවාදීකම නිසා බෞද්ධකමයි, සිංහලකමයි, බුදු දහමයි අතර වෙනස තේරුම් ගැනීමේ වරම නොලත් ගෝරියට බර ගැමි චන්ඩිත් එක මිටට අරගෙන, එක හැලියකට දාල, අනාගතයේ ගම හදා රට හදල දෙන අනුකාරක විරෝධී, ජාති මාමක විරුවන් විදිහට ට්‍රේන් කරවන්නත් වේවි සමහරවිට.

බලන්න, මේ කියන්නට වෙලා තියෙනදේ. සුදු කොලනි පරිපාලනයට එරෙහිව වියුක්තව පුද්ගලවාදී සහ අරාජිකවාදි මූකලන් කැරලි ගහපු උතුවන්කන්දේ සරදියෙල් අනුකරාක විරෝධී දේශප්‍රේමියෙක් කියනවාටත් වඩා මහ අවදානම් තත්වයක්නේ මේක. මොකද සරදියෙල් අඩුම තරමින් සුදු කොලනිවාදීන් හිටපු යුගයක ජීවත්වුණු මූකලන් වැසියෙක්.

ඉතිං ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ මේ තියෙන විනයක් නැති, රාමුවකට නැති අදේශපාලනික අපේක්ෂක කල්ලි තවකල් පැවතුණොත් එහෙම, මොවුන්ගේ ප්‍රචණ්ඩත්වය යුක්තිසහගත කරන්නට අර මූලග්ගිනි බොරු ජාතික ශාස්ත්‍රඥයින්ට අලුත් කල්පිත න්‍යායවල් නිෂ්පාදනය කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රීලනිපයට සහ එහි කතිකාවට ගැති වරිගවාදී ව්‍යවස්ථා සම්පාදකයිනුත් හොයාගෙන, වරිගමය පන්නයේ නව නීති රෙගුලාසි නිමවා ස්ථාපිත කරගන්නත් සිද්ධ වෙනවා.

පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ප්‍රහාරය ! ( විඩියෝ ) - Citizen Post


ඉතිං ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළෙ ම නමෝ විත්තියෙන් සාධුකාර දීගෙන හිතේ හැටියට පිස්තෝල පාලා අගමැතිලා මරාදැමීමට සිවුරුධාරීන්ට පුළුවනි.

දෙමළු මරමු කියන ජාති මාමකත්වයෙන් ඉන්න අයි.ආර්.සීකාර දේශප්‍රේමීන්ට ව්‍යවස්ථාදායකය බල්ලට දාලා ඇති තරම් දෙමල කොදෙව්වන් මරල දාන්නත් පුළුවනි.

1956 “සිංහල පමණයි” වරිගවාදී ප්‍රතිපත්තිය අනෙකා කරගෙන බිහිවුණු දෙමල අන්තවාදී සංවිධානවලට, අරන්තලාවේ වගේ මහා සිංහල මිනිස් ඝාතන කරල කෙලවන්නත් පුළුවනි. ඉන්දු-ලංකා ගිවිසුම වැනි ඕන ම ගිවිසිමුකට නීත්‍යානුකූලව විරෝධය පානවා වෙනුවට, පාර්ලිමේන්තුව ඇතුළේ ම බෝම්බ ගහගෙන ත්‍රස්තමය ආකාරයේ විරෝධයන් දක්වන්නත් පුළුවනි.

පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහන එකත් විරෝධය පෑමේ තවත් නව අනුකාරක විරෝධී ප්‍රතික්‍රියා පන්නයක් විදිහට නීතිගත කරගන්නත් පුළුවනි.

මෙකී නොකී විදිහට මෙයින් මතුදා දෛවයෝගයෙන් මේ වගේ මිනිස් ශිෂ්ටත්වය මස්තබාල්දූ කරන ඕන ම උලව් ව්‍යවස්ථා නීති රීතියක් ස්ථාපිත කරගන්නා තත්වයක් ඇතිවෙන එක වලක්වන්න බැහැ.

 

ආර්ථිකය දන්නැති වරිගවාදීන්ට, පවතින ආර්ථික අර්බුදය ව්‍යසනයක් කරා යත්දී ප්‍රචන්ඩත්වය සහ මිනීමැරීම හැර වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

 

මේ වෙනකොටත් ශිරානි බන්ඩාරනායකට සහ සරත් ෆොන්සේකාට, අදාළ නීති රාමුවෙන් පිට පැනල දඬුවම් දීම මගින් පවතින ව්‍යවස්ථාවට භාහිර නව වරිග ව්‍යාස්ථාදායකයක් ළඟ එන බවට රිහර්සල් කරල පූර්ව-සංඥාවකුත් දීලනෙ තියෙන්නේ.  

මොකද එයාලට අනුව අනුකාරකයින් ඉන්නකල්, මේ සිරි ලකෙන් කිසි ඵලක් නැති හින්දයි එයාල එහෙම කරන්නේ.


දැන් නලින් ද සිල්වට මැදමුලනය නටන ජුවල් පාලනය කරන්න පුළුවන්ද?


වරිග ශාස්ත්‍රඥයින් විසින් වරිග දේශපාලනඥයින් ෆෝම් කරපුවහම, එක ලක්ෂයකට පස්සේ එයාල ශාස්ත්‍රඥයින්ගේ කීම පවා ඉක්මවල ජුවල් නටන බව එයාලට තේරෙන්න ඕන. දැන් නලින් ද සිල්වට මැදමුලනය නටන ජුවල් පාලනය කරන්න පුළුවන්ද?

ඒත් වරිග ශාස්ත්‍රඥයින්ට අනුව අනුකාරකයින්ව ඉවත් කරන්නයි ඕන.

එහෙම කරනොකට, අද ලක්වාසී කොදෙව්වන්ට අන්තර්ජාලයෙන් ඇමරි-යුරෝ රටවලින් පාට් ටයිම් ජොබ් එකක්වත් කරගන්න අවස්ථාව ලැබුණේ, ජේ.ආර් කියන නවීකාරක අනුකාරකයා ගෙනා අර්ථක්‍රමය නිසා බව පේන්න ඕන.

 

ඒ වගේ ම සුපිරි පාසල්වලට නොගිය බහුතර තරුණ තරුණියින්ට, යහමින් ඉංග්‍රීසිය හසුරුවාගෙන මේ ඔන්ලයින් ජොබ් එකක්වත් හරියට කරගන්නට බැරිවෙලා තියෙන්නේ, බණ්ඩාරනායක නම් ව්‍යාජ දේශප්‍රේමියා 1956දී ගෙනා “සිංහල පමණයි” ප්‍රතිපත්තිය නිසා කියලත් පෙන්න ඕන.

 

ඉංග්‍රීසි විරෝධී අධ්‍යාපන ව්‍යුහය අනුකරාක විරෝධී නම්, සාමාන්‍ය පංතියේ දරුවන් ඉංග්‍රීසියත් සහ ඉංග්‍රීසි ගුරුවරයාවත් ජෝක් කරන කවට තැනකට ගෙනත් මෙසේ ගෝලිය රැකියා අහිමිකරගත්ත ස්වයං-විනාශකයින් බවට පත්කිරීම ආර්ථික විරෝධී වෙන්න එපැයි. බලන්න, අනුකාරක විරෝධය ආර්ථික විරෝධයක් වෙලා.

බන්ඩාරනායකගේ වලිගය සබුද්ධිකවම හයිකරගත්තු ජාතික චින්තන නඩය කියන විදිහට, එක්කො හොඳ ඉංග්‍රීසි ඉගෙනගෙන අනුකාරයෙක් වෙලා බඩවියත රැකගන්න ඕන. නැත්තං ඉංග්‍රීසි ටීචර්වත් ජෝක් කරල පාරට වැටිල බඩේ බඩවැල් ගණන් කරන්න ඕන.    

ලක් කොදෙව්වේ වරිගවාදී ඒකාධිපතියන්ට වඩා දක්ෂ සහ උගත් චිත්‍රශීල්පී, ගෘහනිර්මාණ-ශිල්පී සහ නිර්මාංශික වූ හිට්ලර් වැනි  දියුණු ජාතිවාදී ඒකාධිපතීන්ටත් “ජර්මනියේ ඉන්න යුදෙව් ජනයා ගෑස් චේම්බර්ස්වල දාල මරල ඉවරයක් කරල දානකම් නාසි ජර්මනියෙන් කිසි ඵලක් නෑ බං” වගේ මහ පුදුම දියුණු අනුකාරක විරෝධී සිතිවිලි ආව.

නමුත් බලන්න, ජර්මනිය අපි වගේ වසර 500ක තරම් දීර්ඝ යටත් විජිත යුග පහුකරල තිබුණෙ නැහැ. ඒ හින්ද එයාලට අපිට වගේ ඉංග්‍රීසින්ට අනුකාරකාවාදීන් යැයි කියන දේ අදාළ කරන්නත් බැහැ. දැන් පටලැවිල්ල පැහැදිලි යි.


කොදෙව් වැසි කාර්මික විප්ලවානුකූල අනුකාරකයන් නිසා වරිගවාදී යුද්ධය ඇතිවුණා කියල අපි කියනව නම්, යුද්ධ කරන්න ඕන සුද්දන්ට විරුද්ධවනේ. සුද්දොනේ අපිට අනුකාරකම් උගන්නපු ගුරුවරු. සුද්දො 1948ටේ මේ රටදාල ගිහින් අහලකවත් නැති වුණාම, දෙමල සහ අනෙක් සුළුතර කොදෙව් වැස්සන්නට පාට් එක දාන්න හදාගත්තු ජාතිවාදී අටමගලයක් තමයි “සිංහල පමණයි” කියන විගඩම.


මේ විදිහට වරිගවාදයෙන් මූලග්ගින්න ඇවිස්සුණු ශාස්ත්‍රඥයින් ගේන ජාතිවාදය සහ අනුකාරක විරෝධය එකිනෙක වෙන් කරගන්න බැරි, එකට එකතු වුණු වලාකුළු දෙකක් වගේ වෙලා අපබ්‍රන්ස වෙලයි තියෙන්නෙ දැන්. එතනදි හිට්ලර් ඒකාධිපතියෙක් වුණාට කාර්මික විප්ලව විරෝධියෙක් නෙවෙයි.

ඉතිං හොඳට ම තේරෙන්න ඕන, එංගලන්තකයින් ගෙනා කාර්මික විප්ලවානුකූල දේශපාලනාර්ථික සහ සංස්කෘතික අගයන්වලින් හික්මුණු අයට අනුකාරකයන් කියනවා නම්, එංගලන්තයේ යටත්-විජිතයන් වෙලා හිටියත් නැතත්, අද මුළු ලෝකෙ ම ඉන්නෙ එංගලන්තක අනුකාරකයින් විදිහට කියල.

 

ලෝකය වෙනස් කළ කාර්මික විප්ලවය

ලෝකයට අභියෝග කරපු ලෝක ඉතිහාස සිද්ධි-සංධිය තමයි කාර්මික විප්ලවය.

 

මොකද අවස්ථාව පැමිණි සැනින් ඒ හැම රටක් ම වේගයෙන් එංගලන්තයේ ඉපදුන කාර්මීකරණය වැළඳගත්තා. ලෝකය 20වන ශතවර්ෂයට පානගද්දී ඊළඟ සංවර්ධන යුගය වුණේ කාර්මිකකරණය. ලෝක නූතනවාදය බිහිවුණේ එංගලන්ත කාර්මික විප්ලවයේ භෞතික පදනම මත.

උදාහරණයක් විදිහට පයින්, ගොන් කරත්තවලින් සහ අස්ස කරත්තවලින් ගිය කාලෙ අතෑරල, කාර්මික මෝටර් හොවත් මැෂින් සහිත කාර්, බස්, බෝට්ටු, තුවක්කු, රෙදි වියන යන්ත්‍ර යනාදී මෙකී නොකී කාර්මික උපකරණ වැළඳ ගන්නවද නැතිද කියල ලෝකයට අභියෝග කරපු ලෝක ඉතිහාස සිද්ධි-සංධිය (World Historical Conjuncturer) තමයි කාර්මික විප්ලවය.

ලෝකේ බුද්ධිමත් රාජ්‍ය නායකයින් ඒ අභියෝගය ඉදිරියේ නිහතමානී වෙලා කාර්මිකරණය තම රටවල් ඇතුළට වැද්දගන්න ව්‍යස්ථාපිත නිදහස ලබාදුන්නා.

බණ්ඩාරනායක වගේ අවස්ථාවාදී නායකයින්, බයබෝයි කමට ඉන්දියාව වගේ භෞතික නිදහස් සටනක් කරන එකත් පැත්තක තියල, ලාභ ලබන ආර්ථික නියාමනයන් නැති කාර්මික විප්ලවයට ප්‍රතිපක්ෂ පූර්ව වැඩවසම් දේශපාලන භාෂා ව්‍යූහයක් රටේ කරේ එල්ලුව.

 අනික 1956යේ “සිංහල පමණයි” වරිග ප්‍රතිපත්ති සම්පාදකයින්ට සියළු යුරෝ කාර්මික ආම්පන්නවල නම අගට “ය” යන්නක් හෝ “ම” යන්නක් හෝ “ව” යන්නක් දාන්න යෝජනා කරන්නේ නැතිව, බණ්ඩාරනායකත් තිබුනණේ “සුද්දො හඳුන්වල දීපු සියළු කාර්මික ආම්පන්න අපට එපා!, අපි මුළ ඉඳන්ම රටේ ඒවයින් ම නව-නිෂ්පාදන බිහිකරගෙන අපේකම පෙන්වන්නම්” කියල කියන්න? බන්ඩාරණායක එහෙම කළේ නැහැ.

ඒ වෙනුවට බන්ඩාරණායක කළේ “කාර්” “බස්” “එන්ජින්” “මෝටර්” “රේල්වේ” වැනි අනේක කාර්මික විප්ලවානුකූල උපකරණවලට “කාරය”, “බසය”, “ඒන්ජිම”, “මෝටරය”, “රේල්ලුව” වගේ වචන හදාගෙන ඉදිරියට යන්න තීරණය කිරීම.

ලංකාවේ අගමැති වුණු ආසියාවේ රිදී සීනුව

බණ්ඩට ජේ.ආර්. වගේ ප්‍රාග්ධන සමුච්චකරණය සහ ළාභ ඉපැයීම පදනම් කරගත් නව කාර්මික-තාක්ෂණවාදී ආර්ථික දැක්මක් නඩත්තු කරන්න තරම් කොන්දක් සහ අවකාශයක් තිබිල නැහැ.

 

මොකද, කාර්මික විප්ලවයක් සිද්ධ නොවුනු සිලෝන් එකේ ඉඳගෙන, තම දේශපාලන අවස්ථාවාදය නිසා සිංහල භාෂාව උඩදැම්මට, බණ්ඩාරණායකත් අනික් ලෝක නායකයෝ වගේ ම කාර්මික විප්ලවයේ භෞතික පදනම ඉදිරියේ අසරණවයි හිටියේ. එයා සිංහල මහ සභාවේ නිර්මාතෘ වුණාට හිට්ලර් වගේ වොල්ක්ස්වැගන් එකක්වත් සොයාගන්න පුළුවන් තත්වෙක නෙවෙයි හිටියෙ.

ජර්මන් ශ්‍රම පෙරමුණ (German Labour Front) සහ සිංහල මහසභාව අතර විලි ලැජ්ජ නැති වෙනස ඔච්චරයි.

බණ්ඩට ජේ.ආර්. වගේ ප්‍රාග්ධන සමුච්චකරණය සහ ළාභ ඉපැයීම පදනම් කරගත් නව කාර්මික-තාක්ෂණවාදී ආර්ථික දැක්මක් නඩත්තු කරන්න තරම් කොන්දක් සහ අවකාශයක් තිබිල නැහැ. තිබුණ නම් මෙහෙම වෙන්නෙත් නැහැනේ. ඉන්දියාව මේ වගේ ගොං මරිකං නොකළේ හැබෑවට නිදහස් සටනක් කරපු අභිමානෙට. බණ්ඩයි ජවහල්ලාහල් නේරුයි අතර වෙනස ඔච්චර යි.

 

බණ්ඩට දේශපාලනය කරන්න වුණේ, කාර්මිකවිප්ලවාදය ද නැතිනම් නව ලක් නිදහස් සටනද කියන අර්ථ-ප්‍රතිපක්ෂයන් දෙකක් අතර නෙවෙයි. එයා හිටියේ සිංහල දෙමල වරිග අතර යුද්ධෙක. එයාට දේශපාලනය කරන්න වුණේ “සිංහල පමණයි” ද චෙල්වනායගම් ගිවිසුමද කියන අර්ථ-ප්‍රතිපක්ෂයන් දෙක අතර යි.

 

ඒ නිසා බන්ඩා කළේ, සුද්දො යූඇන්පියට දුන්නු කොලනිවාදී කාර්මික විප්ලවානුකූල දේශපාලනාර්ථිකය, ආර්ථිකය සහ දේශපාලනය බවට කෑලි දෙකට ගලවල, ඉංග්‍රීසි දේශපාලනය බලරහිත කරල, පුර්ව යටත්විජිත යුගයට යාදෙන සිංහල භාෂා ව්‍යුහයක් දේශපාලනය බවට පත් කිරීම.

ඒකෙන් මේ කොදෙව්වට වුණේ අගතියක්. ඒකෙන් වුණේ, ඉසියුම් පරිපාලන ව්‍යූහයක් නඩත්තු කිරීමේ දකුණු ආසියානු රිලේ එකෙන්, ඉන්දියාව මේ කොදෙව්වට වඩා අඩි කිහිපයක් ඉදිරියට ආපු එක. ඉතිං අදටත් මේ අසරණභාවය පිළිගැනීම තමයි, එතනින් එහාට ආර්ථික වර්ධනයක් කරා ගෙනියන්න පුළුවන් එක ම පිවිසුම.

අනික් පැත්තෙන්, සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ ගණිතය ඇතුළු සියළු විද්‍යා විෂයන් යුරෝපයෙන් මේ කොදෙව්වට ආපු විෂයන් මිසක්, මේ කොදෙව්ව ඇතුළේ බිහිවුනු ඒව නෙවෙයිනේ. ඉතිං සිංහල සාක්ෂරතාවක් නොතිබූ ඇන්ග්ලිකානු බන්ඩාරණායක, ඉංග්‍රීසියෙන් උගන්නපු ඒ විෂයන් සියල්ල සිංහලෙන් කරන ලෙස ව්‍යවස්ථාවෙන් බල කරවන එකට ඉඩදී හිටියේ, එයා දන්න මලඉලව් සිංහලකමක් හින්ද නෙවෙයිනේ.

රටට කාර්මික විප්ලවානුකූල සහ නොවන නව-විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ ජාතික ඉතිහාසයක් නැතිකමේ හීනමානෙන් පෙළුණු ඔහුගේ ම දේශපාලන උදව්කරුවන්ව සතුටු කරවන්නයි බණ්ඩ එහෙම කළේ.


පොදුජන ලක් වැසි දරුවන් අසීරු කරවල, නොණ්ඩි කරවල, නෝන්ඩි කරල දැම්ම



ඉතිං එතනින් එහාට සියළු සාමාන්‍ය ඉංග්‍රීසි විද්‍යා සහ ගණිත වචනවලට භෞතික සම්භන්ධයක් නැතුව ම භාෂාමය බරසාර බවක් ලබාදෙන්න කියල හිතාගෙන, විද්‍යා විෂයන්වල භාෂාව ප්‍රාකෘත සිංහල අතහැරපු බර බිරාන්ත සංස්කෘත සිංහල වචනවලට දාල පිම්බුව. ඒකෙන් පොදුජන ලක් වැසි දරුවන් අසීරු කරවල, නොණ්ඩි කරවල, නෝන්ඩි කරල දැම්ම.

 ඉතිං ඊට පස්සේ, පාසල් දරුවන්ගෙ හිත් ඇතුළේ, සාමාන්‍ය ජන කටවහරේ නැති “ප්‍රභාසංස්ලේශණය”,“කක්ෂීය අංකුර”, “අන්තරස්ථ විභාජක”, “සන්ධාරණය”, “තාරතාව”, පාරජම්බුල, අභිලම්භය, පරිමේය, සංඛ්‍යාංක වගේ මෙකී නොකී වචන දාගෙන, යුරෝ විෂයන් අස්සේ බුලත්කෙලවාදී හෙලහවුල්කාරයන්ට බිලියට් ගහන්න ඉඩ දුන්නා.

මේ විදිහට විද්‍යා විෂයන්වලට අනවශ්‍ය අසීරුතාවක් එක්කරල, සාමාන්‍ය පංතියේ කොදෙව් දරුවන් බයකරල, දරුවන් බහුතරයකින් ඒ විෂයන්ගෙන් ඈත් කිරීම සිද්ධ කෙරුණා.

කවුරුහරි සාමාන්‍ය පවුලක දරුවෙක් මේ අසීරුතා නොතකා විද්‍යාවෙන් උසස් පෙළ සමත් උණොත්, ඊට පස්සේ ආයෙමත් මෙඩිකල් කොලේජ් එකේදි දොස්තර වෙනකං හෝ ඉංජිනේරු පීඨයේදි ඉංජිනේරුවා වෙනකං ඉතුරු ටික තමන් මෙලෝ හසරක් නොදන්න ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නත් බලකරල, බොරු ඉංග්‍රීසි කෝස් ඒවට ජැක් කරල තවත් පිස්සු කෙලියා.

 

සාමාන්‍ය පවුල්වල දරුවන් ගෙදරින් ඉංග්‍රීසි ඉගෙනගෙන ආපු ඉහළ-මධ්‍යම පංතිකයින් දරුවන් ඉදිරියේ කිච කෙරුවා. ඒ හින්ද “සිංහල පමණයි” ප්‍රතිපත්තියට වරිගවාදී  ප්‍රතිපත්තියක් පමණක් නෙවෙයි, පංතිවාදී සහ රදලවාදී නියෝජනයක්ද තියෙන බව දැන්වත් බහුතර කොදෙව් වාසීන් පිළිගන්න වෙනව.

 

විද්‍යානුකූල සහ ඓතිහාසිකවාදී දේශපාලනාර්ථික මඟපෙන්වාගැනීමකින් තොරව, භාෂාවක් ගැන ඔහේ හිතට එන පඩික්කංවාදී තීන්දු ව්‍යවස්ථාපිත කරන්න ගියහම මේ වගේ ලිහන්න අසීරු අටමගල් බිහිවෙනව.

අවුරුදු කිහිපයක් කොලනි ආර්ථිකවාදී යූඇන්පි මතයේ හිටපු බන්ඩාරනායකට, මේක නොතේරෙන්න විදිහක් ඇත්තෙම නැහැ.

ඒ වුනාට තමන් තුළ සිටින කොලනිවාදී සහ කාර්මික විප්ලවානුකූල මිනිසා පෙන්වන යථාවට පිටුපාල, බන්ඩා පඩික්කංවාදී වරිගවාදීන්ට යට වුණේ ඩී.එස්. සහ ඩඩ්ලිට එරෙහි පුද්ගලවාදී එදිරිවාදිකම හින්ද බව පැහැදිලියි.

 

උසස් අධ්‍යාපනය එංගලන්ත ඔක්ස්ෆෝඩ් සරසවියෙන් ඉගෙනගත්තු බන්ඩ, මේක අවිඥානිකව කරපු දෙයක් විදිහට භාර ගන්න විදිහක් ඇත්තේ ම නැහැ. මේක බණ්ඩ දැන දැන ම කරපු සහගහන ඓතිහාසික වරදක්.

 

මේ කියන දේ පිලිගන්න බැරිව ඉන්න බන්ඩාවාදී ජාති හිතෛශීන්ට විසංකාරයාට කියන්න තියෙන්නේ, ඉන්දියාව මේ වගේ ගොන්පාට් එකක් නොකළේ මන්ද කියල හොයල හදාරල බලන්න කියන එකයි.


බණ්ඩ කරපු දේ ප්‍රථිපලය මොකක්ද?


ඒකෙං උණේ, සිංහළ භාෂාවයි ඉංග්‍රීසි ආර්ථිකයයි අතර ආතතියක් ඇති වෙලා, ඒ ආතතියට විසඳුමක් නැතියාවෙන්, ඒක ප්‍රචන්ඩත්වය බවට පත්වෙලා, කිහිප වතාවක් මිනිස් ඝාතන සමඟින් පුපුරා යාම.

මේ විදිහට ගත්තහම, 1956න් පස්සේ ලක් දූපතේ ඇතිවන කොයි ප්‍රචන්ඩත්වයත් එකිනෙකට වෙනස් විදිහේ වෙනස් අනන්‍යතා තියෙන ප්‍රචණ්ඩත්වයන් නෙවෙයි. මේ ඔක්කොම එකම උල්පතකින් පිටට එන වෙනස් වෙනස් හැඩයේ වරිගවාදී ගිනිවතුර.

 

හැම දේශපාලන මීටිමක ම දේශාලනාර්ථික විනයකින් සහ විශයානුබද්ධතාවකින් තොරව කටට එන නහුතයක් විශේෂණ පද යොදා කතා පවත්වගෙන යන, මේ වෙනකොටත් පංසල්වල පඩික්කං රස ද බලමින් ඉන්න සජිත් මේ වරිගවාදී ගිනිවතුරෙන් වෙන්වුණු මාර උත්තුංග චරිතයක් ද හර්ෂ?

 

ඒ නිසා '' ලක් කොදෙව්ව ඇතුළේ ප්‍රසිද්ධියේ ම ප්‍රචණ්ඩත්වය සැමරූ අතීතයකට හිමිකම් කියන තල්දූව, කෙහෙල්වත්ත සහ මැදමුලන කියන ප්‍රාදේශිකත්වයන් බිහිකර දෙන, අදේශපාලනික ඊනියා ජාතික කතිකා අතර ඇත්තේ සාපේකෂ ගමනාන්තමය (destinational) වෙනස්කම් විතරයි.

නැත්නම්, මේ ඔක්කොම 1956යේ ව්‍යවස්ථාගතවූ “සිංහල පමණයි” කියන අත්තනෝමතික වරිගවාදයේ කැඩපත්. හිටපු කොඳුනාරටිය කෙලින් අගමැති ජෝන් කොතලාවලගේ කටවහරට අනුව නම්, මේවා ඔක්කො ම “බණ්ඩ ලිහපු බලුකූඩු.”

හර්ෂ ද සිල්වා ඉල්ලා අස්වෙයි

''මේ වගේ දිරපු බලුකූඩුවක ලගින්න ගියේ මොන අදේශපාලන ලණුවක් කාලද හර්ෂ''

 

මැදමුලන සහ තල්දූව කියන්නේ ඔරිජිනල් බලු කූඩු. කෙහෙල්වත්ත කියන්නේ යූන්පිය ඇතුළේ බග් එකක් ලෙස ඇටවුණු දිරපු බලු කූඩුවක්. ජේ.ආර් උපායිකව මේ දිරප බලුකූඩුවට යූඇන්පිය ඇතුළේ අතිරේකයක් ලෙස පවතින්න ඉඩ හැරියට, අද ඒක යූඇන්පිය ම අතිරේකයක් කරල හිස ඔසවා බුරන්න පටන් අරන් තියෙන්නේ කාගේ වරදින්ද හර්ෂ?

අනාගතේ දී, රනිල් යටතේ ආර්ථිකවාදී ඩිප්ලොමැට් කෙනෙක් විදිහට දේශීය සහ විදේශීය ලෝකය තුළ කොදෙව්ව බැබලවීමේ හැකියාව තියාගෙන මේ වගේ දිරපු බලුකූඩුවක ලගින්න ගියේ මොන අදේශපාලන ලණුවක් කාලද හර්ෂ? ඔයාට එංගලන්ත කාර්මික විප්ලවය පැත්තක තියල, අඩුම තරමේ “හින්දි පමණයි” ප්‍රතිපත්තියක් නොගෙනාපු ජවහල්ලහල් නේරු දිහාවත් බලන්න තිබුණනෙ නේද හර්ෂ?

බලන්න, ලක් කොදෙව් ඉතිහාසයේ නහුතයක් තරම් චන්ද අපේක්ෂකයින් වර්ග බෝවීම සහ ඒවා වරිගවාදී ප්‍රචණ්ඩත්වය මත නානාප්‍රකාර වීම ඇරඹෙන්නේ 1956යේ “සිංහල පමණයි” වරිග ව්‍යවස්ථාව බිහිවන සිද්ධි-සන්ධිය (Conjuncture) පදනම් කරගෙන බව ඔයාට ටක්කෙට ම පෙන්න ඕනනේ හර්ෂ.

තත්වය මේකයි කියා දැනගන්න අවශ්‍ය සබුද්ධික ඥානයක් තිබිලත්, ඔයා මේ වගේ ගඳගහන දිරපු බලු කූඩුවක ලගින්න ගියේ ඇයිද හර්ෂ? ඔයා ඒක කළේ මන්ත්‍රීකමක් ගන්න නම්, රටේ නායකකම ගන්න තමන්ට නොගැලපෙන දෙයක් කරපු බණ්ඩයි ඔයයි අතර තියෙන්නේ සාපේකෂ වෙනසක් විතරයි කියල පේනව ද දැන්වත්?


බණ්ඩට ඩඩ්ලි එක්ක වගේ, ඔයාට රනිල් එක්ක කෝන්තරවාදී ආවේගයක් ආවෙ කොහොමද හර්ෂ? පුද්ගලවාදී අරුතකින් ගත්තහම, ඩඩ්ලි  තමංගෙ අවසථාව උදුරගත්ත කියල බණ්ඩට හිතෙන්න ඇති. ඒත් රනිල් ඔයාගෙ ශාස්ත්‍රඥ වටිනාකම හඳුනගෙන ජාතික ලැයිස්තුවෙන් ම පාර්ලිමේන්තුවට අරන් ඇවිත්, ඔයාට අවස්ථාව උදාකරල දුන්නු එකනෙ කළේ. ඔයාගේ ආර්ථිකවාදී ශාස්ත්‍රඥානය ගැන රනිල්ට වැඩියෙන් සජිත්ට තේරෙනවද හර්ෂ? රටට නව-ගෝලීයවාදී සහ කලාපීයවාදී ආර්ථික ප්‍රතිපත්තයක් සැකසීමේදී ඥානවිභාගය (Epistomology) අතින් රනිල්ට වඩා සජිත් ඔයාට ලඟයි ද හර්ෂ? ඔයා, ඔය ගත්තු තීරණය කොයි තරම් අතාර්කිකක ද කියල දැන්වත් තේරෙනවද හර්ෂ?



බලන්න, 1956ට කලින් පාර්ලිමේන්තුවේ බහුතරයක් කතා කළේ ඉංග්‍රිසියෙන්. පාර්ලිමේන්තු නියෝජිතයින් හික්මිලා හිටියේ කොලනිවාදීන්ගේ ශිෂ්ට කොලෝනියල් නාගරික ඇවතුම් පැවතුම් වලින්.

ඒත් 1956යෙන් පස්සෙ, පඩික්කං නියෝජනය කරන නුපුහුණු වරිගවාදී ගැමියො සහ මුඩුක්කුවාදී ලුම්පන්වරු පාර්ලිමේන්තුවට කඩා වදින්න ගත්තට පස්සෙ, අර ශිෂ්ට කොලෝනියල් මිනිස්සුන්ට කරන්න වුණේ, හරක් ආම්බන් කරමින් ව්‍යවස්ථාදායකය නඩත්තු කරගන්න වෙනව වගේ ආයාසකර දේශපාලනයක්.

වරක් සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනාපු ගැමි ගොවි පෝස්ට්මාස්ටර් කෙනෙක්, සර් ජෝන් කොතලාවලට වරිග භාෂාවෙන් කතා කරන්න ගිහින් පරන පාර්ලිමේන්තුවේ පඩිපෙළින් පහළට වැටෙන්න පයින් පාරක් කන්න වුණෙත් මේ නොගැලපීම හින්දනේ හර්ෂ.

Committee report on clash in Parliament to be presented to Speaker next week

ඉදිරියේදී කුණුහරුප පාර්ලිමේන්තුවේ මව් භාෂාව විය හැකියි.....

 

ඉතිං පාර්ලිමේන්තුව ඇතුළෙ භාෂාව කෙමෙන් පරිවර්තනය වුණා. හැදෑරීම් අඩු දේශපාලන නියෝජිතයින් ඒ වෙනසට ගොදුරු වුණා. ඉතිං 1956ට පෙර පාර්ලිමේන්තුව පැවතියේ ඉංග්‍රීසියෙන්. 1956යෙන් පස්සෙ සිංග්‍රීසියෙන්. මෑතකදි අමු සිංහලෙන්. දැන් දැන් අමු කුණුහරුපයෙනුත් කතා කරල, ඒව හැන්සාඩ් එකෙනුත් කපල ඉවත් කරල දාන වාර අනන්ත වෙලා.

ඒ හින්ද, ඉදිරියේදී කුණුහරුප පාර්ලිමේන්තුවේ මව් භාෂාව විය හැකි නිසා, ඒ වටිනා කුණුහරුප ටික ඉතිරි කරලා, කුණුහරුප නොවන ඉතිරි සිංහල සහ ඉංග්‍රීසි ඇබිත්ත හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න යෝජනා කරන කාලයක් පැමිණීම වැඩි ඈතක නෑ හර්ෂ.

ඒ තත්වය තව ඉක්මන් කරගන්න ආසා ම නම් චන්දදායකයො වරිගවාදීන්ට ම චන්දය දෙන්න! තව තවත් වරිග-සමස්තයන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න! සැබෑ  යූඇන්පිය කියල හිතාගෙන ගම හදා රට හදන්න යන නගර විරෝධී සහ ලෝක ඉතිහාස විරෝධී සමගි-වරිග සමස්තය වැනි අර්ධ ලුම්පන් ගුබ්බෑයම්වල ලැගල රට කන්න!

 

එහෙම නොවන ශිෂ්ට මානව ප්‍රවේශයක් දැන්වත් උවමනා නම්, කාර්මික විප්ලවානුකූල ඉංග්‍රීසි පරිපාලනයට සේවය කරපු, 1956ට කලින් හිටපු ඩොමීනියන් සිලෝන් එකෙන් ලකට දායාද කරපු, මහා චරිත හදාරන්න වෙනව.

 

ඒ කියන්නේ නූතනමය සහ නව-නූතනමය වන කිසිදු මානව-වංශ-විද්‍යාත්මක (anthropological) හෝ පුරාවිද්‍යාත්මක (Archeological) පර්යේශණයක් නොකර ම, අතීත ලියන්නන්ගේ පරිකල්පන අනුව, අතීත සිදුවීම් පිලිබඳ තොරතුරු සපයා දෙන, කොදෙව් පොත්ගුල්වල ඇති අතිශයෝක්ති සහ ස්ව-පුද්ගල-අර්ථකථන මිලියන ගණන් වැපිරූ අවිද්‍යාත්මක අතීත පුස්කොල පොත් සහ අටුවා ටීකා කියවා, ඒ තොරතුරු තමන්ට ඕන ඕන විදිහට අර්ථ දක්වමින්, තමන්ගේ අර්ථකථන, යටත්විජිත යුගයට කලින් පැවතුන යථාව විදිහට භාරගෙන, බටහිර කොලනිවාදය පැවති අවුරුදු පන්සසීයට කලින් මේ කොදෙව්වේ බහුතර ජනයා මාර ම සමෘද්ධියක් විඳිමින් හිටියා ය කියා ජනයා අන්දවමින් කටමැත දොඩවන, ඒ ඊනියා අනුකාරක-විරෝධීන්ගේ රෙද්ද අස්සේ, නව-ගෝලීයවාදී සහ කලාපීයවාදී ආර්ථික ප්‍රතිපත්තයක සේයාවක්වත් නැතිබවට සිහි එළවාගන්න වෙනව.

කාර්මික විප්ලවානුකූල ඉංග්‍රීසි එංගලන්ත කොලනිවාදීන් අවුරුදු සීයකට පසු ස්වකැමැත්තෙන් දාල යනකං ම, එයාලට විරුද්ධව ඉලක්කෙට ඊතලයක්වත් විදගන්න බැරිවුණු, ගියාට පස්සෙ ඒ කොලනිවාදීන්ව ම අනෙකා කරගෙන වරිග කතිකා බිහිකරපු, අඩුම තරමින් අවසන් කැරලිකරුවා වන පුරන් අප්පුටවත් නෑකමක්වත් නොතිබුණු, ඒ වරිග කතිකාව 1956යේ වව්‍යවස්ථාපිත කළ, අනාර්ථික සහ දේශපාලනිකව මතිභ්‍රමික (Paranoid) චරිත ආභාශයට ගැනීමෙන් සහ එයාලගෙ වරිග පූට්ටු ඇතුළෙ ලැගීමෙන් වලකින්න සිද්ධ වෙනව.

ඒක තමයි වරිග දේශපානයට එරෙහිව තිබිය යුතු විනය.

 

ඒ කියන්නේ, රාජපක්ෂ වරිග පූට්ටුවේ හෝ සමගි-වරිග-සමස්තයේ හෝ අනෙකුත් සුළු වරිගවාදී සමස්තවල ඉන්න චරිත පස්සෙ ගිහින් තවදුරටත් කිසි ම ඵලක් නැහැ කියල තේරුම් ගන්න සිද්ධ වෙනව හර්ෂ.

 

විශේෂයෙන්, අද ඉන්න යන්තං හෝ ඩිප්ලොමැටික් කොලිටි තියෙන උදවිය, මොන වරප්‍රසාද ලැබුණත්, සිංහල පමණයි” වරිගවාදය ජාතික රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස හුවාදක්වන උන්ව පිටුදැකිය යුතුයි. නැත්නං ඒ ඩිප්ලොමැටික් උදවියයට, අනෙක් මහින්ද, සජිත් වගේ වරිගවාදීන් එක්ක ප්‍රතිවිරෝධ ඇවිස්සුනු තැනදී වෙන්නේ විනාශය. බුද්ධිමය පදනම් බිඳී යාම.

නැත්තං වෙන්නේ ජී.එල් වගේ හිරිකිතයකින් තොරව කඩේ යන්න.


අද අපි විසංකාර කරන්න යන්නේ, සමහර කොදෙව් වාසීන්ට සජිත්වාදියෙක් වගේ වගේ පෙනුනට, මේ කොදෙව්වාසීන්ගේ ඉතිහාස විරෝධයෙන් හටගත් නූගත්කම දඩමීමා කරගෙන තාවකාලිකව සහ සාංසිද්ධිකව රනිල්ගේ පොලිටිකල් ග්‍රව්න්ඩ් එකෙන් සජිත්පිලට බාවගත්තු, තම සියළු ආර්ථිකවිද්‍යාත්මක දැනුමෙන් සහ රාජ්‍යතාන්ත්‍රික දැනුමෙන් ද, අනෙක් දැනුම පද්ධතිවලින් සජිත්ට පක්ෂ නැති වුණාට, ඒ ගැන සබුද්ධිකව විමසීම අතපසුකොට, එවෙලෙට චූන් එකට අනුභූතිකව (empirically) රනිල් අතහැර සජිත්ගේ සමගි-වරිග-සමස්තයේ තාවකාලික එල්ලී ගොදුරක් වෙච්ච, ඔහෙල කවුරුත් දන්නව වගේ පෙනුනට හැබෑ ම ස්වරූපය දන්නෙ නැති හර්ෂව.



සමහර කොදෙව් වැස්සන්ගේ අනුදැනුමට අනුව, හර්ෂ සමගි-වරිග-සමස්තයේ පිළිකන්නට ගිහින් ඉන්නේ, එයාට රනිල්ට වඩා සජිත්ව අවබෝධවෙලා, සජිත් එක්ක සුසංයෝගී වෙලා, සමගි-වරිග-සමස්තය එක්ක සමගිවෙලා, ඒ හරහා කොදෙව් වැසියන්ව රාජපක්ෂ වරිග පූට්ටු දේශපාලනයෙන් රට ගලවල දෙන්න.


හර්ෂ තමන්ගේ ම ඔරිජිනල් දේශපාලන වෘත්තිකත්වයට හතුරු හවුලක !


ඇත්ත ඒක වගේ පෙනුනට, කොදෙව්වේ රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලන ඓතිහාසිකත්ව සලකා බලනකොට හර්ෂ ගිහින් තියෙන්නේ තමන්ගේ ම ඔරිජිනල් දේශපාලන වෘත්තිකත්වයට (political career) හතුරු හවුලකට.

 

ඒ නිසා විසංකාරයාගේ ඇනලයිස් එකට අනුව නම්, සජිත්ගේ වරිග සමස්තය සමානයි හෝ විශාලයි හර්ෂගේ ඩිප්ලොමැසි එකේ පරම හතුරා වන රාජපක්ෂ වරිග පූට්ටුවට. ඒ හින්ද මහින්දගේ ජාතිකවාදය සහ සජිත්ගේ ජාතිකවාදය අතර මහලොකු සාපේක්ෂ වෙනසක් තියෙනවද කියල කිරල බලන්න ඕන හර්ෂ ම යි.

 

දැන් තුනවෙනි වතාවටත් මැදමුලන වරිග සමස්තය ජනාධිපති බලයට ආවෙ, අපි අවුරු 70ක් තිස්සේ අඳුරෙ අතපතගාමින් හොයපු ජාතික රාජ්‍යය හදන්න නම්, ඒ හදන ජාතික රාජයයි, සජිත් හදනවා කියන ජාතික රාජ්‍යයි අතර ඔයාට පේන විද්‍යාත්මක වෙනස අපිට ලියල එවන්න හර්ෂ.


ඒ වගේ ම රනිල් හදන්න යන නව-ගෝලීයවාදී සහ කලාපීයවාදී ආර්ථික ප්‍රතිපත්තයක පිහිටන ජාතික රාජ්‍යයට වඩා හොඳ එකක් සජිත්ට හැදිය හැකිද කියලත් අපිට ලියල එවන්න. අනේ අපි කැමතියි ඔයාගේ ගෙදර ඇවිත් හදාරන්න.    

බලන්න, මේ කොදෙව් වැසියෝ ම 1956යේ කල්පිත වරිගවාදයට ගොදුරු වෙන්න කලින්, දකුණු ආසියාව පුරා සහ විශේෂයෙන් ඉන්දියාව ඉදිරියේ පවා කොලිටි එකක් තියාගෙන හිටපු ජනපිරිසක් වුණාට, 1956න් පටන් අරන් අද වෙනකොට බංගලි දේශයෙන් ණය ගන්න සයිස් එකට කෙලවගත්තු, බංගලිදේශයට පවා ආර්ථිකව බලුවෙන වරිගයක්.

මොකද මේක, මේ කොදෙව්වෙ ඉන්න වැසියන්ගේ වැරැද්දක් ම නෙවෙයි.


බලන්න, 1948ට පෙර කොලනිවාදීන් රට පාලනය කරන කාලෙ, දකුණු ආසියාවේ තිබුණු හොඳම ඉංග්‍රීසි භාවිතය සහ හොඳම පරිපාලන ව්‍යුහය ඇති නගර තිබුණු එක ම රට මේක. ඒ කාලෙ මිනිස්සු ඔරලෝසුවේ වෙලාව තියාගත්තේ කෝච්චිය යන සද්දෙ අහල. ඒ කියන්නේ එක්දාස් අටසිය ගණන්වල සිලෝන් එකේ ගල්අඟුරු කෝච්චියත්, දැන් යන පවර්සෙට් එකට වඩා ස්මාට් පරිපාලනයක් යටතේ කටයුතු කරල තියෙනව කියන එකනෙ. ඒත් දැන් ලක් කොදෙව්වට බංගලිදේශය තරම්වත් හොඳ දේශපාලනාර්ථික සහ පරිපාලන ව්‍යූහ නැහැ.  



අනික් අතින්, අපිට සමාන්තරව කොලනිවාදීන් එක්ක මුණට මූණ සටන් කරල, කොලනිවාදීන්ගෙන් නිදහස් වුණු ඉන්දියාව සුද්දන්ගෙන් ගත්තු ඉංග්‍රීසි භාෂාව නැතිකරගත්තේ නැහැනේ. අදටත් ඉන්දියාවේ අන්ත ලුම්පන් ජනයාට පවා සපේකෂ ප්‍රමාණයකට ඉංග්‍රීසිය හසුරුවන්න පුළුවන්. අපේ රටේ, කොළඹින් හැතැප්ම 20ක් එහාට ගිය ගමන්, බොහෝ ඕලෙවල් දරුවන්ට පවා හත්වන ශ්‍රේණියේ ඉංග්‍රීසි පොත කියවගන්නවත් බෑ.

ඉතිං වරිග ශාස්ත්‍රඥයින්ට අනුව, ඒ දරුවො මාර අනුකාරක විරෝධීන් වෙන්න ඕනනෙ එහෙමනං. මොකද ඉංග්‍රීසි කළඳක්වත් දන්නේ නැහැනේ. හැබැයි එයාලගෙන් රටේ ආර්ථිකයට තියා එයාලගෙ පවුලේ ආර්ථිකයටවත් සත පහක වැඩක් නැහැ.


talkingeconomics - Mitigating Sri Lanka's COVID-19 Education Crisis:  Priority Areas for Action

ඉන්ටර්නෙට් එකේ ගූගල් පියාණන් ඇවිත් බොහෝ දැනුම දෙන්න පටන් අරන් තියෙන හින්ද, ලක් කොදෙව්වේ නගර දෙස බලාගත්තු දරුවන් දැන් ගාට ගාට ඉංග්‍රීසි භාෂාව දෙසට නැවත ලංවෙන ලකුණු තිබුණට, තවමත් බොහෝ උදවිය සිංහල ෆොන්ට් එකින් සෝෂියල් මීඩියාවල ගොසිප් කරන තැනට මුල්තැන දීල,  සිංහල භාෂිත සොෂියල් මීඩියාවලට පමණක් සීමිත වපසරියක කරක්ගහන බවයි පේන්නේ.


 මොකද ඒ දරුවන්ට සිතීමේ සිතිවිලි පදනම සපයන අධ්‍යාපන පද්ධතිය තවම දුවන්නේ 1956යේ අපොලිටිකල් සිංහල ඔන්ලි දුංතෙල්වලින්.

මේ කොදෙව්වො එහෙම ගාටද්දි, 1956ට කලින් ලක් කොදෙව්වට තරම් හොඳ ඉංග්‍රීසි භාවිත ඌරුවක් නොතිබිලත්, කිසිකලෙක ඉංග්‍රීසිය අතනෑරපු හින්ද ඉන්දියාව මේ වෙනකොට ඉංග්‍රීසි උගත් ගෝලීය චරිත බිහිකරන තරමට දුර දිග ගිහින්.

අපිට ඉතිං ඉතුරුවෙලා තියෙන්නේ, ඕඩියන්ස් එකට වෙලා බලාගෙන අත්පුඩි ගහන්න විතරයි.

බලන්න, ඉන්දියාවේ 80 දශකය විතර වනතෙක් නොදියුණුයි කියල පිළිගැණුනු තමිල්නාඩු දකුණු ප්‍රාන්තයේ පිහිටි මැඩ්‍රාස් පෙදෙසේ උපන් සුන්දර් පිචායි නම් හාදයෙක්, ගූගල් කොම්පැනියේ CEO වෙලා ඇමරිකන් පුරවැසිභාවයත් ලබාගන්න තත්වයට කටයුතු සිද්ධ වෙලා තියෙනව. මෑතකදී ආර්ථිකවාදී ඉන්දියානු අගමැති පවා ඔහුට ප්‍රශසංසා දක්වලත් තියෙනව.

 

ඒත් බලන්න, ඇමරිකන් පුරවැසියන් වෙච්ච ලක් කොදෙව් උදවිය ඇමරිකාව අතඇරල ඇවිත් වරිග දේශපාලනයේ යෙදෙමින් තක්කිලි - වම්බටු - මිරිස් - වට්ටක්කා ගෙවත්තේ වගාකරගෙන කන විදිහ ගැන ලෙක්චර් දෙමින්, අපේ බඩවියත ගැන ඒගොල්ලන්ගෙ වැරැද්ද අපිට ම පවරනව.

 

බ්‍රැඩ්මන් නොදැවී අනූවයි !

රොබින් බ්‍රැඩ්මන් වීරකෝන්

 

රොබින් බ්‍රැඩ්මන් වීරකෝන් කියන්නේ, මේ කොදෙව් සිලෝන් එක කොලනිවාදීන්ගෙන් නිදහස් වෙන්න කලින් 1930හේදි කොලඹ අගනගරයේ ඉපදිලා, දෙවන ලෝක යුද්දෙ කාලෙ කොලනිවාදී සිලෝන් එකේ ඉංග්‍රීසි අධ්‍යාපනික විනය ව්‍යූහය ඇතුළේ පළමුව කළුතර හෝලික්‍රොස් එකේ ද, පසුව කොල්ලුපිටිය, ගුරුතලාව සහ බණ්ඩාරවෙලා සෙන් තෝමස් විදුහල්වල ද පාසල් අධ්‍යාපනය ලබල, සුදු පරිපාලනය යටතේ තිබුණ සිලෝන් එකේ සරසවියකින් පළමු උපාධියත් අරගෙන, පස්සෙ ෆුළ්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබී මිචිගන් සරසවියෙන් මාස්ටර් උපාධියකුත් අරගත්තු, පසු-විජිතවාදී ලක් කොදෙව්වේ අගමැතිවරු 09ම දෙනෙකුට සෙකටිකම්  කර රාජ්‍ය සේවා සපයපු, කොලනිවාදී අධ්‍යාපනයෙන් ශික්ෂණය ලැබ, විශ්‍රාම යනතුරුම තම වෘත්තීය ජීවිතයේ වර්ධනාත්මක සාර්ථකත්වයක් නඩත්තු කරගනන පුළුවන් වුණු, කොලනිවාදයෙන් පසු ලංකාව ඇතුළේ උතුම් මහත්මාභාවයෙහි ලකුණක් බවට පත්වුණු, හොලිවුඩයේ ක්ලින්ට් ඊස්ට්වුඩ් තරම් ප්‍රසන්න හැඩහුරුකමක් ඇති, වෙහෙස නොබලා විධිමත්ව සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨ නිළධාරි පැලැන්තිකයෙක් හෙවත් බියුරොක්‍රැට් කෙනෙක් සහ ශිෂ්ට සිවිල් සේවකයෙක්.  

අද දක්වා වන එයාගේ මහත්මාගේ පවුල් අනුක්‍රමය සලකල බැලුවත්, බ්‍රැඩ්මන් දමයන්ති ගුණසේකර එක්ක විවාහ වී ඒ දෙපලට දාව උපන් ඒසල නම් පුතාත් ලක් කොදෙව්වේ ජ්‍යෙෂ්ට සිවිල් සේවකයෙක් වෙලා, තවත් නම් දරාපු සිවිල් සේවකයෙකු වන බර්නාඩ් තිලකරත්නගේ දුවණිය වුණ ක්‍රිෂාන්තිව විවාහ කරගෙන, නෝර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ද වෙලා, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දූත කටයුතු නියෝජ්‍ය ප්‍රධානියා ද වෙලා ඉඳල, වත්මන් ලක් කොදෙව්වේ ඉන්දියානු මහ කොමසාරිස් පදවිය හෙබෙව්වා.

කොලනිවරු ජනනය කළ මේ පරම්පරාව, තව පරම්පරා දෙක තුනක් ඉදිරියට ගියත්, අතරමග දී වැරදි තීන්දු අරන් නාගත්තු සේයාවක්වත් නැති ශක්තිමත් නිරහංකාර උදවිය. ඒකට හේතුව කාර්මික විප්ලවානුකූල කොලනිවරුන්ගෙන් ලබාගත් පරිපාලන විනය සහ ජීවිත විනය.

 

දැන් කවුරුහරි කියන්න පුළුවන්, ඔය විදිහට කොලනිවාදීන් ආභාශයට අරන් සිරිලක දේ අගයන්න බැහැ කියල. එහෙනං ලංකාවෙ හිටපු රජවරු, දකුණු ඉන්දියාවෙන් ආර්යානු හමක් තියෙන දේවිවරුන් ගෙන්වගෙන, ඒගොල්ලොන්ට තියෙන ආදරය හින්ද කොදෙව් පන්සල් ඇතුළේ එ දේවිවරුන්ට වඳින්න කියල බුදුන්ට විරුද්ධව දේවාල ඇටෙව්වේ මොන එහෙකට ද?

 

රටක් ලෝකය එක්ක ගණු දෙනු කරද්දී, රට ලෝකයෙන් යහපත් දේ උපුටගත යුතුයි. කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ ලෝකයට ම අයිතිව තිබියදී, එය සහ ඊට අදාළ භාෂා ලෝකය සහ සංස්කෘතීන් උපුටා ගැනීම වැරදියි නම්, බුදුන්ට එරෙහිවූ දේවාල පිහිටවීම හරි වෙන්නේ කොහොමද... අනේ කාලේ වනේ වාසේ . . .    

බලන්න බ්‍රැඩ්මන්ගෙන් පරම්පරා දෙක තුනක් පහළට යනකං වෘත්තීයමය වශයෙන් හත් පොලේ ගාගෙන අලකරගත්තු ලකුණක්වත් අහලක නැහැ. සමහරවිට මෙයා සෘජු දේශපාලනයට ආවනම් ජේ.ආර්. උගන්නපු තරම් නවීකාරවාදී සමාජ පාඩමක් රටට උගන්නලයි පස්ස බලන්නේ.

ඒ කියන්නේ, බ්‍රැඩ්මන් කියන්නේ වචනයේ මුළු අර්ථයෙන් ම කොලනි පරිපාලන ශික්ෂණයෙන් ව්‍යුත්පන්න ඔරිජිනල් යූඇන්පී ගති ඇති සිවිල් බියුරොක්‍රැට් කෙනෙක්. කාර්මික විප්ලවානුකූල රාජ්‍ය සේවකයෙක්.

එයා, තමන්ගේ ලක් කොදෙව් වරිගවාදී වලිගය කොලනි ශික්ෂණය හරහා නෂ්ට කරගෙන, අන්වරිගයන් ඉවසන තත්වයකට පරිණාමය වූ ශිෂ්ට මහත්මා ගති ඇති ඇන්ග්ලිකන් මනුෂ්‍යයෙක්.

 බෞද්ධ කතිකාවල සංකල්පයක් යොදාගෙන කිව්වොත්, ලක් වරිගයේ සිටින මනුසතාගේ ඉඳන් මනසක් දියුණු කරගත් විනයගත ශිෂ්ඨ මහසතාණෝ කෙනෙක් දක්වා විපරිවර්තනය වෙච්ච සිතක්. ඒ කියන්නේ, බෝසතාණන් කෙනෙක් වෙන්නට පෙරුම් පිරිය හැකි තරමේ සියළු හික්මීම් උරුම උස් වූ මිනිස් භවයක්. ඒත් පඩික්කංවාදී වරිග ශාස්ත්‍රඥයින්ට අනුව නම්, එයා ඉංග්‍රීසි අනුකාරකයෙක්. ඒහින්ද එයාලට අනුව බ්‍රැඩ්මන්ට කොලිටි බෞද්ධයෙක් වෙන්නට බැහැ.

 

ඒත් කොලිටි බෞද්ධයෙක් වෙන්න “සිංහල ඔන්ලි කතිකාවෙන්” ම විනයගත වෙන්න ඕනයි කියල බුදුන් මොනයම් හෝ තැනක වදාරල තියෙනව නම්, අපිට උපුටල එවන්න.

 

බුදුන්ට බ්‍රැඩ්මන් හමු වුණා නම්, විනය පිටකය කියා නොදී සූත්‍ර සහ අභිධර්ම පිටක විතරක් කියා දෙන්ව පොල් ෂුවර්. මොකද, ඔහුට තියෙන කොලෝනියල් විනය සූත්‍ර සහ අභිධර්ම පිටක හදාරන්න තරම් හොඳට ම සෑහෙනව. (මේ කතන්දරයේ යොමුව ඉදිරියේ දී වෙන ම කොලමකින් කතා කරන්න විසංකාරයා පොරොත්තු වෙනවා.)    

බ්‍රැඩ්මන් කියන්නේ ආණ්ඩු බිහිකරපු දේශපාලකයෙක් නෙවෙයි. රාජ්‍ය පවත්වා ගැනීමට විනයගත දැනුමකින් සහ ශික්ෂිත ඉවසීමකින් කටයුතු කළ බහුස්‍රත රාජ්‍ය සේවකයෙක්.

දැනුමකින් ශික්ෂිත ඉවසීමකින් කටයුතු කිරීම කියන කරුණ අනුව බැලුවහම, ව්‍යවස්ථාවකට යටත්ව මේ රාජ්‍ය පරිපාලකයා කළ රාජ්‍ය සේවයට සමාන්තරව, ව්‍යවස්ථාවකට යටත්ව දේශපාලනය මෙහෙයවන ආණ්ඩු සේවය කළ ශික්ෂිත පුද්ගල පිළිබිඹිව ජේ.ආර් ජයවර්ධන.

ඒ හින්ද බ්‍රැඩ්මන් ලේකම් විදිහට ශික්ෂිතව රාජ්‍ය පරිපාලන කටයුතුවල නියැලෙනකොට, ඒ හා ශික්ෂිතව දේශපාලන හා ආණ්ඩු කීරීමේ කටයුතු මෙහෙයවන ජේ.ආර්ට, බ්‍රැඩ්මන්ගේ භාවිතාව, ප්‍රතිවිරුද්ධ බාධාවක් නෙවෙයි. ඉසියුම් තල්ලුවක් විතරයි. ඒ වගේ ම ජේ.ආර් ශික්ෂිතව දේශපාලනය සහ ආණ්ඩු කරනකොට, ඒක, බ්‍රැඩ්මන් කරන ඉසියුම් රාජ්‍ය සේවා කටයුතුවලට, ප්‍රතිවිරුද්ධ බාධාවක් නෙවෙයි. සමාන්තර සපෝට් එකක් විතරයි.

කොලනි පරිපාලනයෙන් පසු කාල වකවානුවල පවා, මෙවන් ශික්ෂිත රාජ්‍ය සහ ආණ්ඩු පාලන ශිෂ්ට මිනිස් සබඳකම් තිබුණු මේ වගේ රටකට, තව අවුරුදු 20ක් ගිහින් හරි, 1956යේ වරිගවාදයේ අවසන් පුරුක වන නාමල්ව ජනාධිපති විදිහට ගේන්න ඕනයි කියන්නේ,  බ්‍රැඩ්මන් සහ ජේ.ආර් අතර වෘත්තීය සබඳතා ගැනවත් අබමල් රේණුවක අධ්‍යනයක් කර නැති, ඒ ගැන දැනුම කළඳක්වත් නැති, වරිග මමත්වයෙන් සූර්වෙලා සිහින දකින ගොවි ගැමි මැදමුලනය යි.

UNPය පැරදවිය යුත්තේ ඇයි? (1 කොටස) « යුතුකම සංවාද කවය

88-89 දකුණේ භිෂණය ....

 

ප්‍රේමදාස ආණ්ඩුව යටතේ, රන්ජන් විජේරත්න නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක පදවිය හොබවන කාලේ, ජවිපෙ සහ දේශජ ව්‍යාපාරයේ ආණ්ඩු විරෝධී කරලිකරුවන් විසල් ප්‍රමාණයක් ද, සැකපිට සාමාන්‍ය තරුණයින් ප්‍රමාණයක් ද මරණයට පත්වුණා. දේශජයෙන් සහ ප්‍රා සංවිධානයෙන් ද සැලකියු යුතු ප්‍රමාණයක් මරනු ලැබුවා.

අවසානයේ ඒ මැරූ බලවේග දෙපාර්ශවයේ ම නායකත්වය නොතකා, පහළ ස්ථරවල සිටි මරන්නෝ හිතූ මතේ මරන්න ගත්තා. ඒක ඒ සිවිල් යුද්ධය කරගෙන ගිය ප්‍රධාන දෙපාර්ශවයේ ම නායකත්වයට සිද්ධ වුණ අකරතැබ්බයක්.

ඒ වෙලාවෙ වරිගවාදී ප්‍රේමදාසගේ ලේකම් වෙලා හිටියේ බ්‍රැඩ්මන්. ඉතින් මෙහෙම එකිනෙකා කා මරාගෙන ගිහිං, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී රිචඩ්වත් මරපු වෙලාවෙ, තමන්ට හිතුන දේ ගැන බ්‍රැඩ්මන් පසුකාලීනව රූපවාහිනී සංවාදයකට, එයාගේ අදහස හෙළි කළා.


බ්‍රැඩ්මන් කියපු කතාව !


සංවාදය මෙහෙයවන රූපවාහිනී මොඩරේටර් “ඇයි ඔය තරම් දේවල් වෙත්දිත් සේවයෙන් අස් වුණේ නැත්තේ?” කියල ඇහුව. ඒ පැනයට බ්‍රැඩ්මන් කිව්වේ, “ඔව් රිචඩ් වගේ අන්තර්ජාතික මාධ්‍යවේදීනුත් මරණකොට, අස්වෙලා යන්න තිබුණ මගේ පුද්ගලික සිතිවිල්ල තීව්ර වුණා තමයි.  ඒත් මන් නැතිවුණොත්, මේක මේ තරම්වත් පාලනය කරගන්න බැරිවෙයි කියල මට තේරුණා. ඒ හින්දයි මන් දරාගෙන හිටියෙ. මං ගිහින් ආයෙ එතනනට එන කෙනා, මේ ප්‍රචණ්ඩත්වය තවත් නිදහස් වෙන්න ඇරියොත්, අවදානම තවත් වැඩිවෙන්න තිබ්බනෙ,” කියල යි.

ඒ හින්ද, බ්‍රැඩ්මන් ලේකම් විදිහට රාජ්‍යතාන්ත්‍රිකව කොලෝනියල් ශික්ෂණයෙන් පරිපාලන කටයුතුවල නියැලෙනකොට, එයත් එක්ක කොලෝනියල් හික්මීමක් නැතිව  දේශපාලන හා ආණ්ඩු කටයුතු මෙහෙයවපු, ගම හදා රටහදන්න ගිය ප්‍රේමදාසට, බ්‍රැඩ්මන්ගේ රාජ්‍ය සේවා භාවිතාව ප්‍රතිවිරුද්ධ බාධාවක්. හරියට මස් කපන තැනකට ඇවිත් මස් කපන පිහියෙන් ශෛල්‍යකර්මයක් කරල දෙන්න කිව්ව වගේ හිසරදයක්.

ඒ වගේ ම ප්‍රේමදාස කොලෝනියල් දේශපාලන හික්මීමක් නැතුව දේශපාලනය සහ ආණ්ඩු කටයුතු මෙහෙයවනකොට, ඒක බ්‍රැඩ්මන්ගේ ඉසියුම් රාජ්‍යතාන්ත්‍රික සේවා කටයුතුවලට කරන නොගැලපෙන බාධාවක්. හරියට ඉසියුම් ශෛල්‍ය කර්මයක් කරන තැනකට ඇවිත්, වෛද්‍යවරයාගේ ඒ ඉසියුම් සැතෙන් මස් කෑල්ලක් කපල ඉල්ලනව වගේ වැඩක්.

Sri Lanka's China ties don't detract from special relations with India': GL  Peiris | Latest News India - Hindustan Times

ජී.එල්. පීරිස් කියන්නේ ග්ලැන්විල් පීරිස් කියන රාජ්‍යතන්ත්‍රිකයාගේ සහ ලක්ෂ්මි පීරිස්ගේ පුතා

 

ජී.එල්. පීරිස් කියන්නේ ග්ලැන්විල් පීරිස් කියන රාජ්‍යතන්ත්‍රිකයාගේ සහ ලක්ෂ්මි පීරිස්ගේ පුතා. ජී.එල්ගේ පියා ග්ලැන්විල් බටහිර ජර්මනියේ සහ මියන්මාරයේ තානාපතිකම් හොබවපු අතර, ජී.ඒල්.ගෙ මාමාත් හිටපු කැබිනට් ලේකම් කෙනෙක්.

ජී.එල්. පානදුරේ ශ්‍රී සුමංගලෙන් මූලික අධ්‍යාපනය ලැබුවට, කොලනිවාදී අධ්‍යාපනයේ මුදුන්මල්කඩක් වුණ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරල, කොළඹ යුනිවර්සිටි ඔෆ් සිලෝන් එකෙන් නීතිය හදාරා මුඩ්ලියර් එඩ්මන්ඩ් පීරිස් තෑග්ගත් අරන්, 1971කේදී ඔක්ස්ෆෝඩ් එකෙන් පී.එච්.ඩි. එකකුත් අරන්, 1974රේදී කොළඹ සරසවියෙන්  දෙවන පී.එච්.ඩී. එකත් අරගත්තු කොලනිවාදී ශාස්ත්‍රඥයෙක්.

ඒ වගේම 1987-89 කාලෙ, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරාදාන මොහොතේ පවා, කොළඹ සරසවියේ දෙවන උපකුලපති වෙලා ඉඳපු, ඉංග්‍රීසි උගත් ශාස්ත්‍රඥයෙක්. කාටත් මතක විදිහට, ඒ කාලෙ ජේ.වී.පී විරෝධීව යූ.එන්පී දේශපාලන මතය සමඟ හිටපු උසස් මධ්‍යම පංතික උගතෙක්.


දැන් හර්ෂ හොඳට හිතල බලන්න!
අපතේ ගියේ කොතැනකින්ද?
ජී.එල් කියන්නේ අපතේ ගිය අපතයෙක්ද?


තවදුරටත් කියාගෙන ගියොත් එහෙම, ජී.ඒල් කියන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සරසවි සමඟ සහකාරිත්වයන් දරපු, 1984 වෙනකොට ලන්ඩන් සරසවියේ උසස් නීති අධ්‍යයන ආයතනයේ ද, එහි ක්රයිස්ට් කෝලේජ් එකේ ද, කේම්බිජ් සහ ඒස්.එම්.යූ.ටී.එස් එකේද, කේම්බ්‍රිජ් හි කොමන්වෙල්ත් අධ්‍යනයන්වලද බාහිර සහභාගික තත්වය හෙබවූ උගතෙක්.

සංසංදනාත්මක නීතිය පිලිබඳව අන්තර්ජාතික ඇකඩමියාවේ සහකාරී සමාජිකයෙක්. රුපවාහිනී සංවාදවලදී පවා, ලක් කොදෙව් ජනයාගේ ඉංග්‍රීසි භාෂාව ඉහළ නංවන්නට ප්‍රසිද්ධියේ ම පෙනී හිටපු ප්‍රගතිගාමියෙක්.

 

ඒත් 1994රේදී, මෙයාටත්, බන්ඩාරනායකට වගේ දේශපාලනය සඳහා ලගින්න එන්න වුණේ, ශ්‍රිලනිපයේ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවට.

 

සමහරවිට චන්ද්‍රිකාගේ රදල ඉංග්‍රීසිමය ගති පැවැතුම්වලට හෝ ඇය විජයකුමාරතුංග එක්ක දේශපාලනය කරල ඈඳගෙන හිටපු ප්‍රගතිශීලී වලිගයට ජී.එල් අහුවුණා වෙන්නත් පුළුවන්. හැබැයි වෙච්ච දේ ජී.එල්ම කියන එක තමා වඩා හොඳ.

කොහොම නමුත්, චන්ද්‍රිකාට, අඩුම තරමින් මේ ඉංග්‍රීසිමය උගතාගේ ශාස්ත්‍ර ඥානය ගැන යම් වැටහීමක් තිබිල තියෙන බව පේනව. ඒකනේ එයාට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමතිකම සහ නියෝජ්‍ය මුදල් ඇමතිකම කියන දෙක ම දීල, ඒ දවස්වල ජාතික ප්‍රශ්නය විසඳන්න කියල කරලියට ඇවිත් බොහෝ කතාබහට ලක්වුණු පැකේජය කියන ව්‍යවස්ථා ප්‍රතිසංකරණ කෙටුම්පත කරන්නත් භාරදුන්නෙ. (පස්සෙ  “සිංහල පමණයි” වරිග දේශපාලනය ම, ඒ කෙටුම්පත නිෂ්ප්‍රභා කරල දාපු එක වෙන ම කතාවක්.)

 

ඒ වගේ ම 2001-2004 යුගයේ දී, යූඑන්පිය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ අගමැති රනිල් පවා, එල්ටීටීඊ එකත් එක්ක සාම කතා මෙහෙයවන ප්‍රධාන කැඳවුම්කරු විදිහට යැවුවෙත් ජී.එල්.මනේ. එහෙම ගරු කටයුතු වූ ජී.එල්ව, මැදමුලන කුණුහැලියට වැටුණෙ කොහොමද?

 

යන්න වෙන්නෙ කුණු කානුවේ....



පොතපත කියවන උගතුන්ව හයර් එකට අරන්, තමන්ගේ අවස්ථාවාදී වැඩේ විතරක් කරවගන්නා, ජීවිතේට පොතක් පතක් කියවන්න කාලය වෙන්කරන්නෙ නැති, එහෙම ඒව දන්නෙත් නැති මහින්දගේ රාජපක්ෂ වරිග පූට්ටුවට අහු වුණාම, මොන ඇමතිකම ලැබුණත් මොකෝ යන්න වෙන්නෙ කුණු කානුවේ.

මොකද, ඒ හැලියට වැටුනට පස්සෙ ජීවත් වෙන්න සිද්ද වෙන්නේ, පුද්ගලවාදී රාජපක්ෂ ඇජෙන්ඩාවට කඩේ යන්න විතරයි. හරියට මාෆියා කල්ලයකට අහුවුණා වගේ.

මොකද රාජපක්ෂ වරිග පූට්ටුව කියන්නේ, 1956යේ බණ්ඩගෙ සිංහල ඔන්ලි ව්‍යවස්ථාපිතයේ අවසන් ගැමි ගොවි ජාතිවාදී කූටප්‍රාප්තිය.

 

SLPP rally held | Page 2 | Daily News

රාජපක්ෂ වරිග පූට්ටුව කියන්නේ, 1956යේ බණ්ඩගෙ සිංහල ඔන්ලි ව්‍යවස්ථාපිතයේ අවසන් ගැමි ගොවි ජාතිවාදී කූටප්‍රාප්තිය

 

නීතිවේදී සුසිල් ප්‍රේමජයන්තගේ විෂයානුබද්ධ නීති දැනුමවත් තම පරිපාලනයට යොදාගන්න දන්නෙ නැතිව වලි දාගත්තු රාජපක්ෂ වරිග පූට්ටුවට, ජී.ඇල්ගේ ශාස්ත්‍රඥකමට සලකන්න තරම් දැන උගත්කමක් තියෙන්න විදිහක් නෑනෙ හර්ෂ?

 අනික ජී.ඒල්. වගේ ශාස්ත්‍රඥයෙක් රාජපක්ෂ වරිග පූට්ටුවේ හැලියට වැටුනම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක, ඇත්තට ම ඓතිහාසිකව හදාරන්න වටින විෂය පදාසයක්.

ඇත්තට ම, ඒ විෂය පදාසය හදාරන්න ඕන අපි නෙවෙයි, මේ දවස්වල සජිත්ගේ සමගි වරිග පූට්ටුව තුරලට වැටී ඊටත් වඩා අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවෙලා ඉන්න හර්ෂ ද සිල්වා කියන ඔයා ම යි.

ඔයා ගෝලීය ආර්ථික-විද්‍යා බුද්ධියෙන් කලාපීය පිළිගැනීමට ලක්වුණ, රටට නව-ගෝලීයවාදී සහ කලාපීයවාදී ආර්ථික ප්‍රතිපත්තියක් තැනීමට විශාල වැඩ කොටසක් කළ හැකි ශාස්ත්‍රවන්ත මිනිසෙක්. තවත් දේශපාලනික විදිහකින් කිව්වොත්, රනිල්ට සමාන්තර කලාපීය දේශපාලනාර්ථික ඥාන-විභාගයක් හෙබි මිනිසා.

දැන් විසංකාරයට ඔයා ගැන කියන්න හෝ විසංකාර කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැනේ හර්ෂ. ඔයාට ම තේරෙන්න ඕන, ඔයා වැඩේ අනාගෙන කියල. ඒත් මේ විසංකාරමය වියමන බලන උදවිය දැනුවත් වෙන්න, ඔයාගෙන් දෙයක් අහන්නම්කො අම්මපා හර්ෂ.  

මැදමුලනයේ වරිග පූට්ටුවට සම්බන්ධ වුණ දා පටන්, ජී.එල්.ගේ ශාස්ත්‍රඥානය පාවිච්චි කරල, මැදමුලෙනලා ජී.එල් ලවා රටට වර්ධනාත්මක දේශපාලනාර්ථිකයක් ගොඩනගන්න කරපු හෝ කරන්න හදපු එක බුද්ධිමය මෙහෙයුමක්වත් තියෙනව නම් ගැන කියන්න හර්ෂ!

 

ඒ වගේ ම, ඔයා සමගි-වරිග පූට්ටුවේ ලගින්න ගත්තු මේ ටික කාලයට, ඔයාගේ ශාස්ත්‍රඥාණය පාවිච්චි කරල රටට වර්ධනාත්මක දේශපාලනාර්ථිකයක් ගොඩනගන්න කියල, සජිත් ඔයා ලවා කරවගත්තු හෝ කරවගන්නට යන එක බුද්ධිමය මෙහෙයුමක් ගැන කියන්න හර්ෂ!

 

රාජසිංහ රජ්ජුරුවො සුද්දන්ට අහුවෙලා පයින් කොළඹට එක්කං ඒද්දි, එයාව පාවල දුන්නු ඇහැලේපොල ඇතුළු නිලමෙලා රජ්ජුරුවන්ට අතරමගදී මාරුකරගන්න එවල තිබුණේ දිරපු ඇඳුං වගයක්. රාජසිංහ රජ්ජුරුවෝ ඒව ප්‍රතික්ෂේප කරමින් කියල තිබුණේ “අලියෙක්ව කොරහකට දාන්න බෑ යකෝ” කියල.

අන්න එහෙමවත් කියල, ඔය දිරපු බලු කූඩුවෙන් නම්බුකාර විදිහට නික්ම යන්න පුර්ව වැඩවසම් රාජසිංහ රජ්ජුරුවො තරම්වත් කොන්දක් ඔයාට නැතිද හර්ෂ?

සජිත් ආර්ථිකය ගැන විදෙස් මාධ්‍යයවලට පවා කෙලල අරින අතේරෝල් වැල් බයිල නිසා අනාගන්නව පෙනි පෙනී, ඒව හරි වගේ නෑසූකන්වලා ඉන්නේ, ඔයා ජී.එල්ටත් වඩා අන්ත තත්වයකට ඇද වැටෙමින් ඉන්න හින්ද ද හර්ෂ?

 

වරිගවාදී, ජාතිවාදී සහ ඊනියා ජාතිකවාදී සංකල්පීය හරයන් අනුව බැලුවහම, සජිත් සහ මහින්ද අතර සුළු සාපේක්ෂ වෙනසක්වත් නැති බව තේරුන්ගන්නට ඇස් පාදාගන්නකො හර්ෂ! ඒ වෙනුවෙන් ඔයාට, බුද්ධිමය කැඩපතක් ඉදිරියට ගිහින් ඔයාව ම දකින්න වෙනව හර්ෂ!

 

ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමාකරල, 1988දි ස්ට්රූමන් ස්ටේට් යුනිවසිටි එකෙන් බිස්නස් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් බී.එස් එකක් අරන්, 1993 වෙනකොට මිසූරි යුනිවර්සිටි එකෙන් එම්.ඒ එකයි පී.එච්.ඩී එකයි දෙක ම අරගත්තු ශාස්ත්‍රඥයෙක්.

ආර්ථිකවේදියෙක් විදිහට ඩී.එෆ්.සී.සී බැංකුවට බැඳී එහි ප්‍රධාන ආර්ථිකවේදියා සහ භාන්ඩාගාරික පදවියට පත්වෙන හර්ෂ, නියෙල්සන් කොම්පැනියේ සම-නිර්මාතෘ සහ ඒකාබද්ධ කළමණාකාර අධ්‍යක්ෂක වෙනවා.

හර්ෂ ආර්ථිකය ලිබරල්කරණයේ උදව්කරුවෙක් වගේ ම රනිල්ගේ ආණ්ඩුව යටතේ “ආර්ථික-රාජ්‍යතාන්ත්‍රිකභාවය” භාරව කටයුතු කරමින් ප්‍රතිපත්ති සැලසුම්කරණය සහ ආර්ථික සංවර්ධනය පිලිබඳ නියෝජ්‍ය ඇමති පදවියත් හොබවල තියනවා.

මේ ඔයාගේ බැලිය යුතු කැඩපත ගැන කියන්න තියෙන තව ගොඩක් දේවල් අතරින් බොහොම ටිකක් විතරයි හර්ෂ.

 

ඉතිරි ටික හොයාගන්න කලින්, ජී.එල්. සහ බ්‍රැඩ්මන් කියන කැඩපත් හරහා තමන්ව ම කියවගන්න. ඔයා පෙරුම් පුරන්නේ ජී.ඒල්ගේ ඊළඟ ශාස්ත්‍රඥ අනුප්‍රාප්තිකත්වයේ ජානය අල්ලගෙන, එයා මැදමුලනට ගොදුරු වුණා වගේ, ඔයා මැදමුලනටත් වඩා අලගෝනියක් වෙච්ච සජිත්ට ගොදුරු වෙන්නද?

 

එහෙමත් නැතිනම්, කිසිවෙකුට ගොදුරු නොවී, බ්‍රැඩ්මන් කළා වගේ තමන්ගේ කොටස ඇකියුරේට් එකට කරන්නට, රනිල් වගේ ගෝලීය-කලාපීය ආර්ථිකවාදී ව්‍යූහයක් එක්ක එහෙයිවාදී නැති සාපෙක්ෂ ගණු දෙනුවකට යනවාද?

ඔයා ම තීරණය කරගන්න! තවම පමා නැහැ.

ඒත් හැම ගුබ්බෑයම්ගතවීමක ම පොයින්ට් ඔෆ් නෝ රිටර්න් කියල එකක් තියෙනව. ඒක පහු වුණොත්, ආපසු හැරීමක් නැහැ. විසංකාරයට අනුව, ජී.ඒල්.ට සිද්ධවෙලා තියෙන්නේ ඒක.  

එහෙම නැතුව ඔයාට “අහෝ දෙව්දත් නොදුටි මොක්පුර” කියල වෑත්තෑවෙ හාමුදුරුවො මූසිලට කියපු එක කියන්නද?, නැත්තං “අහෝ ජුදාස් නොදුටි ජේසුස්” කියල හදවතට තට්ටු කරල බලන්නද?  

  මැදමුලනය අශික්ෂිතව දේශපාලනය සහ ආණ්ඩු කරනකොට ඒක ජී.එල් කරන්න හදන ඉසියුම් දේශපාලන සේවා කටයුතුවලට නොගැලපෙන බාධාවක් වෙනව ඇති. ඒත් එයා ඒක කියන්නෙ නැහැ, විලි ලජ්ජාවට. හරියට ඉසියුම් ශෛල්‍ය කර්මයක් කරන තැනකට ඇවිත් වෛද්‍යවරයාගේ ඉසියුම් සැතෙන් මස් කෑල්ලක් කපල දෙන්න කිව්ව වගේ වැඩක් ඒක.

ඉතිං සජිත් ගොංපාට් ජාතික රාජ්‍යයක් ගැන ඉරැශනල් සිහින දකිනකොට ...
හර්ෂ ඔයා??????

මේක බලන ජනතාව ම කතා කරල හර්ෂට කියන්න!    


ලබන සඳුදාත් හම්බ වෙනකං


මීට ලෙන්ගතු,
රටට පාරක් කපන,


විසංකාරයා.

(සංවාදයට විවෘතයි )


සබැඳි ලිපිය :
විසංකාරයාගේ කොලම - 'ප්‍රේමදාසගේ ඉවසීම සහ සජිත්ගේ ළදරු වලිප්පුව.'

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්