The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසර 15 ට පසු අගෝස්තු 02 වන දින ප්‍රභාකරන් මිය යෑමට නියමිතයි | කුසල් පෙරේරා

T

The Leader Desk

July 26, 2025 • 11:13 AM

වසර 15 ට පසු අගෝස්තු 02 වන දින ප්‍රභාකරන් මිය යෑමට නියමිතයි | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් කුල්මත් වූ සිංහල-බෞද්ධ කණ්ඩායම් පාරට විත් කිරි බත් කා ඔවුන්ගේ ජයග්‍රහණය බුක්ති වින්දද, මෙතෙක් අවුරුදු 16 ක් ප්‍රභාකරන් මිය ගියේ යැයි, දෙමළ ඩයස්පෝරාවද තමිල් නාඩු දෙමළ නායකයින්ද පිළිගත්තේ නැත.
  • ඔවුන්ගේ පිළිගැනීම වූයේ ප්‍රභාකරන් ඝාතනය කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන බවය.
  • ඔවුන්ගේ ඇතැම් භූතයින් අත හැර දමන්නට දැන් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව සූදානම් වන බවක් පෙනෙන්නට ඇතැයි නාරායන් ස්වාමී එහි සඳහනක් කර තිබිණ.
  • සත්‍ය පිළිගැනීමේ අගෝස්තු 02 වන දින බාසල් නුවර පැවැත්වෙන සමුළුවෙහිදී ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් හදන්නටත් එය බ්‍රිතාන්‍යයේ පෞද්ගලික ඉඩමක ප්‍රදර්ශනයට තබන්නටත් තීන්දු කරනු ඇතැයි නාරායන් ස්වාමී තව දුරටත් විස්තර කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රභාකරන් සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇතැයි, දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් කිහිපයක හවුලක් විසින් ප්‍රකාශ කිරීමට නියමිත යැයි “දෆෙඩරල් ඩොට් කොම්” වෙබ් අඩවිය ඉකුත් 24 වන දින දීර්ග ලිපියක් පළ කරමින් වාර්තා කර තිබිණ (Exclusive | Lankan Tamil diaspora to publicly accept truth about Prabhakaran's death at event)

 



එල්.ටී.ටී.ඊ නායකත්වයද සමූල ඝාතනය කර අවුරුදු 25 ට වැඩි කලක් දිගු ඇදෙමින් පැවති ලාංකීය සිවිල් යුද්ධය අවසන් කළේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ රටට දැනුම් දුන්නේ 2009 මැයි මස 19 වන දින පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් ය. ඉන් කුල්මත් වූ සිංහල-බෞද්ධ කණ්ඩායම් පාරට විත් කිරි බත් කා ඔවුන්ගේ ජයග්‍රහණය බුක්ති වින්දද, මෙතෙක් අවුරුදු 16 ක් ප්‍රභාකරන් මිය ගියේ යැයි, දෙමළ ඩයස්පෝරාවද තමිල් නාඩු දෙමළ නායකයින්ද පිළිගත්තේ නැත. ඔවුන්ගේ පිළිගැනීම වූයේ ප්‍රභාකරන් ඝාතනය කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන බවය. විවිධ අර්ථකනත සමග ඔවුන් කියමින් සිටියේ ලාංකීය රජයේ හමුදා වලට වසන් වී, ප්‍රභාකරන් වෙනත් රටකට පලා ගොස් රහසිගතව ජීවත් වන බවත් ඊළඟ ඊළාම් යුද්ධයට නායකත්වය දීම සඳහා ඔහු අවශ්‍ය වේලාවට ප්‍රසිද්ධියට එනු ඇතැයි කියා ය. 

“දෆෙඩරල් ඩොට් කොම්” වෙබ් අඩවියට එම දීර්ග ලිපිය සැපයූ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික දේශපාලනය හා සිවිල් ගැටුම් සම්බන්ධ කෘතීන් 04 ක් ලියා ඇති නව දිල්ලියේ ඉන්නා දේශපාලන විශ්ලේෂකයෙකු හා මාධ්‍යවේදියෙකු වන එම්. ආර්. නාරායන් ස්වාමීට අනුව, යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ රැකවරණය ලබන්නාවූ ඇතැම් පැරණි එල්.ටී.ටී.ඊ සටන්කරුවන් පදනමක් හා සාක්ෂියක් නැති මේ කතාව කියමින් බටහිර ඉන්නා දෙමළ ජනයා රවටා විශාල මුදල් ප්‍රමාණයක් එකතුකර ගත් නමුත්, දෙමළ ඩයස්පෝරාවේ බලයක් ඇති කණ්ඩායම් මේ අවාසනාවන්ත සත්‍ය පිළිගැනීමට සූදානම් වන්නේය. ඔවුන්ගේ ඇතැම් භූතයින් අත හැර දමන්නට දැන් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව සූදානම් වන බවක් පෙනෙන්නට ඇතැයි නාරායන් ස්වාමී එහි සඳහනක් කර තිබිණ. සත්‍ය පිළිගැනීමේ අගෝස්තු 02 වන දින බාසල් නුවර පැවැත්වෙන සමුළුවෙහිදී ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් හදන්නටත් එය බ්‍රිතාන්‍යයේ පෞද්ගලික ඉඩමක ප්‍රදර්ශනයට තබන්නටත් තීන්දු කරනු ඇතැයි නාරායන් ස්වාමී තව දුරටත් විස්තර කර තිබිණ.

ප්‍රභාකරන් ඝාතනය වීමත් එල්.ටී.ටී.ඊය යුද්ධයෙන් පරාජය වීමත් අවුරුදු කිහිපයක සටන් විරාමය සමග සිදු වූවකි. 2002 පෙබරවාරියේ අත්සන් තැබුණු සටන් විරාමය සමග සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමේ තිරයෙන් පිටුපස සිදු කෙරෙන දෙවන පථයේ කටයුතු වෙනුවෙන් මම නිරන්තරව කිලිනොච්චියට, යාපනයට ආව ගියෙමි. එවැනි කාර්යන් වෙනුවෙන් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙන මම හමුවීමි. ඔවුන් බොහෝ දෙන ලෙබනනයෙහි ගෙරිල්ලා යුධ පුහුණුව ලැබූවන් ය. තවත් අය ඉන්දීය හමුදා කඳවුරුවල හමුදා පුහුණුවීම් ලැබූවන් ය. ඔවුන් මුලතීවු රජයේ හමුදා කඳවුර සහමුලින් විනාශ කර දැමීමට, මාන්කුලම්, කිලිනොච්චි, අලිමංකඩ රජයේ හමුදා කඳවුරු අල්ලා ගැනීමට සටන් සැළසුම් කළ, ඒවා සටන් පෙරමුණේ සිට මෙහෙයවූ නායකයින් ය.

සටන් විරාමය සමග ඔවුන්ගේ කාර්යන් හා වගකීම් වෙනස් විය. ඔවුන්ගේ පාලනයට අයත් වූ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල දෛනික සිවිල් පාලනය සඳහා ඔවුන්ට පොලීසියක්, ඔවුන්ගේ නීති හා උසාවි පද්ධතියක්, කාර්යාල පරිපාලන සේවාවක්, පිහිටුවා ගැනීමට සිදු විය. ඒ සමග යුධ බිමේ වූ සටන් නායකයින් කාර්යාල ප්‍රධානීන් බවට පත් විය. ඔවුහු සටන් විරාමය විසින් ලබා දුන් නිදහස, විවේකය අත් විදින්නට හුරු වූහ. 2005 නොවැම්බර ජනාධිපතිවරණය වන විට, අවුරුදු 03 ට වැඩි කාලයක් ඔවුහු කාර්යාලීය ජීවිතයක පැළපදියම්ව සිටියහ.

 

නැගෙනහිර පළාතේ දේශපාලන නායක කරිකාලන්

ඒ කාලය තුල බඳවා ගත් තරුණ තරුණියන් සඳහා පැරණි සටන්කරුවන් ලද විදේශ ගරිල්ලා යුධ පුහුණුව නොලැබුණි. පුහුණු කිරීම් කරනු ලැබුවේ වන්නිකරයේ වූ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරුවල ය. එවගේම ඔවුන් පුහුණු කරනු ලැබුවේ යුධ ගෝසා, යුධ අවදානම් මැද නොවේ. මේ කාලයේ පුහුණු කෙරුණු එල්.ටී.ටී.ඊ සටන්කරුවන් එනිසා එක්තරා ආකාරයක සාම්ප්‍රදායික හමුදා සොල්දාදුවකු වැනි විය. ගරිල්ලා සටන්කරුවකු නොවුනි. ඒ හේතුව නිසා සටන් විරාම කාලයෙහි හැදූ එල්.ටී.ටී.ඊ සන්නද්ධ සටන්කරුවන් සහ ඊට පෙර මුලතීවූ හමුදා කඳවුර, අලිමංකඩ වැටලූ ගෙරිල්ලා භටයින් අතර සැළකිය යුතු වෙනසක් විය. ඔවුන්ට සටන් බිම නායකත්වය දීමටද ක්ෂණයකින් තියුණු තීන්දු තීරණ ගත හැකි පෙර මෙන් දියුණු ගරිල්ලා සටන් නායකත්වයක් නොවුනි. ජනාධිපති විජේතුංග සමයේ සිට පළාත් පාලන ඡන්දයද පැවැත්වූ නැගෙනහිර පළාත සාමාන්‍යකරණය වෙමින් තිබූ නිසා, පෙර මෙන් නැගෙනහිරෙන් සටන්කරුවන් බඳවා ගැනීමද අසීරු විය. නැගෙනහිර පළාතේ දේශපාලන නායක කරිකාලන් මා සමග කියූ අයුරු, ඔමන්තායි සිට මුහමලේ දක්වා ඒ-9 ප්‍රධාන නුවර පාර එල්.ටී.ටී.ඊ පාලනයට ගැනීමට කැප වූයේ නැගෙනහිර තරුණ සටන්කරුවන් ය.  

Ltte emblem

එහි සාරාංශය නම්, 2002 දී ලංකාණ්ඩුව සමග සටන් විරාම ගිවිසමුකට අත්සන් කළ ලොව ඉතාම දරුණු, ප්‍රබල සන්නද්ධ ගරිල්ලා සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊය, කෙමෙන් රාජ්‍ය යාන්ත්‍රනයක සාමාන්‍ය පරිපාලන සේවාවන් වීමේ, ඔවුන්ගේ දැඩි විධානගත සටන් විනය ලිහිල් වීමේ අලුත් පරිවර්තනයකට තල්ලු වන්නට විය. එතෙක් ඔවුන් සතු වූ සටන්කාමිත්වය මොට වූ තත්ත්වයකට පත් වෙමින් සිටියහ.


දෙමළ ඩයස්පෝරාවේ බුද්ධි මහිමය

 

election in sri lanka 2019

ඒ සමග 2005 නොවැම්බර ජනාධිපතිවරණයද එළැඹින. ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර, ජර්මනියේ කොලොන් නුවර පැවති පශ්චාත් සුනාමි සංරක්ෂණ සම්බන්ධ වැඩමුළුවකට සහභාගිවීම සඳහා යන්නට මට සිදු විය. අප කොළඹදී අසා ඇති දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීවන, උසස් විභාග සමත්ව වෘත්තිකයින්, තාක්ෂණ ශිල්පීන්, විශ්ව විද්‍යාල ඇදුරන් ලෙස ඉන්නා, ‘83 කලු ජූලියෙන් පසු ලංකාව හැර ගිය දහස් ගණන් දරු පවුල් වල ළමුන්ගෙන් දහ දොළොස් දෙනකෙු මට එහිදී හමු විය. ජනාධිපතිවරණයේදී සිදුවිය හැක්කේ කුමක්දැයි දැන ගැනීමට ඔවුන්ට පුදුමාකාර වුවමනාවක් හා හදිස්සියක් තිබිණ.

ඒ වන විට, උතුරු-නැගෙනහිර ඡන්ද වර්ජනයක් එල්.ටී.ටී.ඊය විසින් ප්‍රකාශයට පත්කර තිබිණ. එබැවින් අවසන් ප්‍රතිපලය ගැන නිශ්චිත අනාවැකියක් කිව නොහැකි යැයි මම කීවෙමි. “ඒ කියන්නේ රනිල්ට දිනන්න පුළුවන්ද?” කිහිප දෙනෙකු එකවර ඇසූහ. නැගෙනහිර මුස්ලිම් ඡන්ද කොයි ආකාරයෙන් හැසිරේදැයි පැහැදිලි නොමැති හෙයින් ප්‍රශ්නයක් ඇතැයිද, ඔවුන් එල්.ටී.ටී.ඊ ඡන්ද වර්ජනයට අවනත නොවුනහොත් රනිල්ට ජනාධිපතිවීමේ ඉඩක් තිබිය හැකි යැයිද මා කියුවේ, “කොහොමත් උතුරු-නැගෙනහිර දෙමළ ඡන්දත් සියයට 25 ක් 30 ක් පමණ වැටෙයිනෙ” යැයි කියමින් ය.

image 411b250cc4

එයට ඔවුන් එකවර ප්‍රතිචාර දැක්වූයේ “ඔය කපටි නරියට දිනන්න අපි ඉඩ තියන්නෙ නැහැ” යැයි උස් හඬින් කීමෙනි. දෙමළ ජනතාව මේ ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු යැයි දෙමළ ඩයස්පෝරාව ලෙස ඔවුන් තීන්දුකර ප්‍රභාකරන්ට දැන් වූයේද රනිල් වික්‍රමසිංහට සිංහල ඡන්ද වලින් ජනාධිපතිවරණය දිනන්නට නොහැකි බැව් දන්නා නිසා යැයි ඔවුහු කීහ. දෙමළ ජනතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමේ ඇති වාසිය කුමක්දැයි මා ඇසූ විට ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර, “මේ බුද්ධිමතුන්දැයි” සිතන්නට බලකෙරුණකි.

කෙටියෙන් කිවහොත්, ඔවුන්ගේ දේශපාලන විවරණයට අනුව, රනිල් ජනාධිපති වුවහොත් ඔවුන්ට බටහිර බලවතුන්ගේ බලපෑම් යටතේ බලය බෙදීමේ සාකච්ඡාවල තව කාලයක් වාඩි වන්නට සිදුවනු ඇත. එවැනි ජාත්‍යන්තර බලයක් ගොනුකර ගැනීමේ හැකියාවක් රනිල්ට ඇතැයි ඔවුහු පිළිගත්හ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වුවහොත් බලය බෙදීමේ සාකචඡා සඳහා ඉඩක් නැත. එවගේම වැඩි කලක් නොගොසින් සටන් විරාමය මුළුමනින් මෙන් බිඳ දැමෙන්නේ ය. එවිට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් දෙමළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ යැයි ඔවුහු කීහ. එක්සත් ජාතීන්ගේ සාම හමුදා පැමිණි විට මහින්ද රාජපක්ෂට ඔහුගේ සිංහල හමුදා දකුණට රැගෙන යන්නට සිදුවන්නේ යැයි ඔවුන් කීවේ උජාරුවෙනි.

Emil Kanthanඑමිල් කාන්තන්

ඔවුන්ද ඉතා දැඩි දේශපාලන තීරණයක් ලෙස කියූ එල්.ටී.ටී.ඊ ඡන්ද වර්ජන තීන්දුව බැසිල්-ටිරන් දෙපළ විසින් ඩොලර් මිලියන ගණනකට මිලට ගත්තක් යැයි කොළඹ පැතිර ගිය කතාව පිළිගැනීමට මම මැළි වූයෙක්මි. ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රභාකරන්ගේ අවුරුදු 30 ට වැඩි අවංක කැප කිරීම සහ ඔහු සතු කීර්තිය හමුවේ මුදලට බරපතල දේශපාලන තීන්දු ගැනීමකට ඉඩක් නැතැයි මගේ සාමාන්‍ය ගණන් හැදීම විය. අනෙක එම ගනුදෙනුවට ප්‍රභාකරන්ගේ පැත්තෙන් මැදිහත් වූයේ යැයි කියූ එමිල් කාන්තන් තරුණයා කොළඹ පැමිණි පළමු දවස්වල මටද කිහිප වර හමු විය. ඔහු එවිට පෙනී සිටියේ ප්‍රභාකරන්ගේ ඉතා සමීපතම සගයෙකුයෙකු යැයි කියූ මුලතීව්හි “පූ-අන්නන්” ගේ සිංහල පරිවර්තකයා ලෙසින් ය.

ඒ දිනවල මාසයකට වරක් දෙකක් කොළඹ එන ඔහුගේ රාජකාරිය වූයේ පොඩි පොඩි “ඩීල් දැමීමට” විවිධ පුද්ගලයින් හමුවීම ය. ජනාධිපතිවරණයක් වර්ජනය කිරීම වැනි ගනුදෙනුවක් සඳහා ඔහුට කිසිදු බරක් තිබුණි යැයි මම නොසිතමි. ප්‍රභාකරන්ට එවැනි ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය වූයේ නම්, ඊට වැඩි සැළකිය යුතු බරක් ඇති නායකත්ව මට්ටමේ පුලිදේවන් වැනි දෙතුන් දෙනෙකු ඒ කාලයේ කොළඹට ඇවිත් ගියහ. මා අනුමාන කළ අයුරුම, බැසිල්-ටිරන් දෙපළගේ ඡන්ද වර්ජන ඩීල් කතාවේ සත්‍යයක් නැතැයි, දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් කිහිප දෙනාගේ කතාවෙන් මම දැන ගතිමි. ඡන්ද වර්ජනය දෙමළ ඩයස්පෝරාවේ තීන්දුවකි.

 119705221 twintowers.jpg

දෙමළ ඩයස්පෝරාවේ තීන්දුව අනුව එක්සත් ජාතීන්ගේ සාම හමුදා ගෙන්වා ගැනීමට ඔවුන් ගණන් හදන්නේ ඇමෙරිකානු ජීවිත 3,000 ට ආසන්න සංඛ්‍යාවක් විනාශ කෙරුණු “අල් ඛයිඩා” ත්‍රස්තවාදීන් විසින් 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයටත් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටි ව(ර්)ජීනියාවේ ආලිංටන් ප්‍රාන්තයේ පෙන්ටගනයටත් එල්ල කළ ගුවන් යානා ප්‍රහාර විසින් ලෝක දේශපාලනයේ ඇති කළ වෙනස්කම් කිසිවක් ගණන් හැදීමෙන් නොවේ.

කිසිවෙකුට අභියෝග කළ නොහැකි යැයි සිතා සිටි ඇමෙරිකානු ජාතික ආරක්ෂාව හා හමුදා ආධිපත්‍ය පළමු වරට බරපතල ලෙස අභියෝග කෙරුණු හෙයින් ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ) විසින් රාජ්‍ය නොවන සියලු සන්නද්ධ සංවිධාන, කණ්ඩායම් “ගෝලීය ත්‍රස්තවාදයේ පංගුකාරයින්” යැයි නම් කරනු ලැබිණ. ඒ අනුව “ජාතික විමුක්ති ව්‍යාපාර” යැයි කිසිදු සන්නද්ධ සංවිධානයක්, කණ්ඩායමක් ඉතිරි නොවුනි. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි ජනාධිපති බුෂ්ගේ ස්ථාවරය සමග ඇමෙරිකාවත් කැනඩාවත් බි්‍රතාන්‍ය හා යුරෝපා සංගමයත් එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කළහ. ඊට අමතරව ශ්‍රී ලංකාවද ඉන්දියාවද එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කළහ.

 

74376066007 xxx usatfta george w bush 003 dcb ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ)

එවැනි පසු බිමක, එක්සත් ජාතීන්ගේ සාම හමුදා ලංකාවට එවන්නට යැයි යෝජනා කිරීමට හෝ සාමාජික රටක් සොයා ගත හැකිදැයි සැකයකි. එනිසා යුද්ධයක වාසිය ඇත්තේ එල්.ටී.ටී.ඊයට නොව, තමන්ට යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන සිටියේ ය. එය එසේම වූයේ අවුරුදු 05 ක පමණ කාලයක් යුද පුහුණුව හරියාකාරව නොලැබුණු, ආධුනික තරුණ පිරිස් බඳවා ගනු ලැබුණු අත්දැකීම් නොමැති හමුදාවක් ලෙස එල්.ටී.ටී.ඊ සටන් ශක්තිය හීන වී තිබුයෙනි. දෙමළ ඩයස්පෝරාවද ඒ කිසිවක් ඇගයීමට නොදැන සිටි ආධුනික දේශපාලකයින් වූයෙනි. මුලතීව්හි අධි ආරක්ෂිත බන්කර මාළිගාවක, කිසිදු සමාජ ඇසුරක්, අලුත් දැනුම ඇති වටපිටාවක් නොමැති, තෝරාගත් විශ්වාසවන්තයින්ගේ කතා මත පමණක් තීන්දු ගන්නා තැනකට ප්‍රභාකරන් කොටුව සිටි හෙයිනි.

ඝාතනය වීමේ ප්‍රභාකරන්ගේ තේරීම

යථාර්තය නම්, අවුරුදු 25 ට වැඩි කලක් උතුරු-නැගෙනහිර යුද්ධය තුල සිය ගණන් තරුණ ජීවිත පරිත්‍යාග කරමින් ඊළාම් රාජ්‍යයක් දිනා ගැනීම වෙනුවෙන් දැක්වූ දෘඩතර කැපවීම හා අධිශ්ඨානය සමග තමන් වෙනුවෙන් දෙමළ සමාජයේ ගොඩනගා ගෙන තිබූ යෝධ විශ්වාසයක් ප්‍රභාකරන් සතු විය. එය යුධ පරාජය හමුවේ අතහැර, සාමාන්‍ය සිවිල් වැසියන් හා ඉතිරිව සිටි තරුණ එල්.ටී.ටී.ඊ සටන්කාමීන් ලාංකීය රජයේ හමුදා ප්‍රහාරයන්ගේ ගොදුරු ලෙස මුල්ලිවායිකාල් බිම්කඩෙහි රඳවා විදේශගත වුවහොත්, ඔහුට දෙමළ සමාජයට මුහුණ දිය නොහැකි බැව්, ප්‍රභාකරන් හොඳින් තේරුම් ගෙන සිටියෙකි. එය ඇත්තෙන්ම ප්‍රභාකරන්ගේ හෘදය සාක්ෂියද නොවීය.

 

Lagoon

එවගේම ජීවිත දහස් ගණනක් හා මුළු වන්නිකරයම විනාශ කෙරෙන අදහාගත නොහැකි මෙවැනි  දැවැන්ත පරාජයක් බාර ගැනීමට සිදුවන විට, දෙවන ඊළාම් යුද්ධයකට නැවත නායකත්වය දීමට ඔහුට කාලයක් හා දෙමළ ජන සමාජයෙහි විශ්වාසයක්, පිළිගැනුමක් ඉතිරි නොවන බවත් ඔහු පමණ දැන සිටි වෙනකෙකු නොවුනි. රජයේ හමුදාවට වසන් වී විදේශගත වීම එනිසා ඔහුගේ තේරීම නොවුනි. ඒ වනවිට ඔහු වයස අවුරුදු 56 ක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. දියවැඩියාවට හා අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලබමින් සිටියෙකි. එනිසා ඔහු ඉදිරියේ දිග හැරෙන යුධ පරාජය හමුවේ ඔහුට ඉතිරිව තිබුණේ අනාථව අසරණවූ දෙමළ ජනතාවත් සමග රැඳෙමින් සිදුවෙන්නකට මුහුණ දීම පමණි. එය ඔහුගේ නායකත්ව කණ්ඩායමේ විශ්වාසවන්තයින් සමග මරණය බාර ගැනීමෙන් කෙළවර විය.

එහෙත් ප්‍රභාකරන්ට එවැනි ඉරණමක් අත් විය නොහැකි යැයි අවංකවම විශ්වාස කළ දෙමළ ජනතාවක් නොවුනාද නොවේ. එවැන්නන් කිහිප දෙන මට හමුව ඇත. දැන් ඔවුන්ටද ප්‍රශ්නයක් ඇත. යුද්ධය අවසන්වී අවුරුදු 16 ට පසුව නැවත ඊළාම් රාජ්‍යයක් සඳහා සන්නද්ධ අරගල මාවතක් ඉතිරිව නැතැයි ඔවුන්ටද තේරුම් ගොස් ඇත. එබැවින් වේළුපිල්ලෙයි ප්‍රභාකරන් දැන් අවශ්‍යයදැයි ප්‍රශ්නයකි. ඔහු හිටියත් දැන් අවුරුදු 71 ක මහල්ලෙකි. එනිසා යුද්ධය අවසානයේ ඔහුවද ඝාතනය කෙරුණැයි වන යුධ සත්‍ය පිළිගැනීම, දෙමළ ජනතාවගේ ඉදිරි දේශපාලනයට වැදගත් ය.

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජූලි 26 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...