‘ගෙදර බුදුන්’ ලෙස විරුදාවලි ලබන්නේ ද:

වේ*, වේ**, වේ* ගෑනි යනාදි ග්‍රාම්‍ය වහරෙන් අවමානයට, අපහාසයට ලක් කරන්නේ ද: ගණිකාව, වේශ්‍යාව, වෙසඟන යනාදි ප්‍රබුද්ධ වදන්වලින් හඳුන්වන්නේ ද මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ අටියෙන් පිරිමියෙකු සමග සසඟේ යෙදෙන කාන්තාව ය.

 

වදන් කෝෂවල කුමනාකාරයෙන් හඳන්වා දී තිබුණ ද මේ වෘත්තියේ යෙදෙන කාන්තාව කෙරෙහි සමාජය දක්වන්නේ ඍණාත්මක ආකල්පයකි. මුදල් ගෙවා හෝ වෙනත් ප්‍රතිලාභ අත්පත් කර දී මෙබඳු කාන්තාවන් සමග සසඟෙහි යෙදෙන පුරුෂ පාර්ශ්වය පවා රාත්‍රියේ ඇය සමග සසඟෙහි යෙදී පසු දින උදෑසන තවකෙකු සමග ‘ආපෝ ඕකි බඩුව නෙ...’, ‘ඕකි මහ වේ*** නෙ...’ යනාදි වශයෙන් අවමන් කරයි. නමුදු එම කාන්තාව මුදලට හෝ වෙනත් ප්‍රතිලාභ අත්පත් කර දී භාවිතයට ගන්නා පිරිමි පාර්ශ්වය හඳුන්වන්නට පොදු වදනක් නැති තරම් ය. අවම වශයෙන් කිසිදු (මා පරිශීලනය කළ) ශබ්දකෝෂයක හෝ මුදලට සසඟෙහි යෙදෙන කාන්තාව හඳුවන්නට වදන් කිහිපයක් පැවතුණ ද එබඳු කාන්තාවන් භාවිතයට ගන්නා පිරිමි පාර්ශ්වය හඳුන්වන්නට නිශ්චිත වදනක් නොමැත. ඒ සඳහා සාමාන්‍ය වහරේ නම් ‘බඩුකාරයා’යනුවෙන් වහරයි. ප්‍රබුද්ධ සාහිත්‍ය රචනාවල දී ‘ස්ත්‍රී ලෝලියා’, ‘ස්ත්‍රී ධූර්තයා’ යනුවෙන් හැඳින්වේ. නමුදු කිසියම් ස්‍ත්‍රියක් මුදලට හෝ වෙනත් ප්‍රතිලාභ ගෙවා ලබාගන්නා එබඳු පුරුෂයන් කෙරෙහි සමාජය දක්වන ආකල්පය, මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ ලබා‍ගෙන පුරුෂයෙකු සමග සසඟෙහි යෙදෙන ස්ත්‍රිය කෙරෙහි දක්වන ආකල්පයට වඩා මටසිලිටි ය. වැඩි වැඩියෙන් පිරිමින් සමග සසඟෙහි යෙදෙනා කාන්තාව ‘බඩුවක්’ හෝ ‘වේ***’ වුව ද වැඩි වැඩියෙන් කාන්තාවන් සමග සසඟෙහි යෙදෙන පිරිමියා ‘‘පොරක්’ ලෙස හඳුන්වයි. එබඳු පුද්ගලයෙක් කෙරෙහි සමාජය (වෙසෙසින් ම පුරුෂ සමාජය)යම් හෝ විරුද්ධාකල්පයක් පවතින්නේ නම් ඒ, තමන්ට ද එසේ කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මිස ඔහු කෙරෙහි ස්ත්‍රිය කෙරෙහි දක්වන ආකාරයේ පිළිකුල්සහගත භාවයකින් නොවේ.

 

නාරි සූත්‍රය'' තුළින් මතුවන පුරුෂ නිරුවතසමස්තයක් ලෙස ගත් කල මෙබඳු පුරුෂ සමාජය හෙවත් පුරුෂයෝ නිරුවත් කෙරෙන කලා නිර්මාණ වුව ද දුලබ ය. 2021 වසරේ නිකුත් වූ, අනුරාධා නිල්මිණි කිවිඳිය විසින් රචිත ‘‘නාරි සුත්‍රය’’ නමැති කාව්‍ය සංග්‍රහය ඉතා මැනවින් යට සඳහන් පුරුෂ නිරුවත අනාවරණය කළ කෘතියකි.


රූපවාහිනි ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂක ප්‍රජාව වෙත සම්මුඛ වූ එබඳු අනභිභවනීය නිර්මාණයක් ලෙස ප්‍රසන්න ජයකොඩිගේ ‘‘එයා දැන් බැඳලා’’ ටෙලි සිත්තම හැඳින්විය හැකි ය. සමස්ත නිර්මාණය පුරා ම විදාරණය කෙරෙන්නේ පුරුෂ සමාජයේ, එසේත් නොමැති නම් පුරුෂයාගේ නිරුවත ය. පුරුෂ සමාජය විසින් ස්ත්‍රීය කෙතරම් ගැරහුමට ලක් කළ ද, කෙතරම් අවමානයට ලක් කළ ද ඒ සෑම නිමේෂයක් පාසා ම නිරුවත් කෙරෙන්නේ පුරුෂ සමාජය යි; පුරුෂයා ය. මන්ද කාන්තාව: වෙසඟනක් වන්නේ ද, ගණිකාවක් වන්නේ ද, බඩුවක් වන්නේ ද පුරුෂයාගේ අනේක විද පීඩාවට, මෙන් ම සැකයට බඳුන් වන්නේ ද පුරුෂ පාර්ශවයේ වරදින් මිස ඇගේ වරදින් පමණක් ම නොවේ.

 

එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)


වෙළඳ භාණ්ඩ සහ පාරිභෝගික ප්‍රජාව


වෙළඳ පොළෙහි කිසියම් භාණ්ඩයක් නිපදවන්නේ ඒ සඳහා ඉල්ලුමක් පවතින බැවිනි. එසේත් නොවේ නම් අදාළ භාණ්ඩයේ අවශ්‍යතාවක් පවතින බැවිනි. මෙහි දී කිසිවකු එය එසේ නොවේ යැයි දේශපාලනික තර්කයක් ඉදිරිපත් කළ හැකි ය. එනම් ධනේශ්වර වෙළඳ පොළෙහි ඇතැම් නිෂ්පාදන අධි පරිභෝජන භාණ්ඩ යැයි ද පැවසිය හැකි ය. එය එසේ නොවේ යැයි කිව නොහැකි ය. නමුදු සමාජයේ වෙසෙන කිසිදු පුද්ගලයෙකු ගව මස් ආහාරයට නොගන්නේ නම් ගව මස් අවශ්‍ය නොවන්නේ ය. ලාංකීය සමාජයේ කිසිවකු බත් ආහාරයට නොගන්නේ නම් සහල් නිෂ්පාදන කිරීමේ පලක් නොවේ. ලබන ආත්මයක් හෝ ලබන ආත්ම පිළිබඳ විශ්වාස නොකරන්නේ නම් කුසල් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින්නේ ය. ඒ ආකාරයෙන් ම පුරුෂ පාර්ශ්වය තම බිරිඳගෙන් හෝ පෙම්වතියගෙන් ලැබෙන ලිංගික සතුටෙන් පමණක් සෑහීමකට පත්වන්නේ නම් ගණිකා සේවය අවශ්‍ය නොවන්නේ ය.

 

ගණිකා සේවය පවතින්නේ ඒ සඳහා ගැනුම්කරුවකු සිටින බැවිනි. එසේ නම් මෙම සේවයට අදාළ ගල් සහ මල් යන දෙවර්ගය ම අදාළ සේවය සපයන පාර්ශ්වයට මෙන් ම අදාළ සේවය ලබාගන්නා පාර්ශ්වය වෙත ද එල්ල විය යුතු ය. නමුදු සිදුවන්නේ ඊට හාත්පසින් ම වෙනස් ක්‍රියාදාමයකි. මෙය පුරුෂ කුහකත්වය හැර අන් කුමක් ද...? රාජය අනුග්‍රහය ද සහිතව මත් පැන් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය නීත්‍යානුකුලය; එය පානය කිරීම සමාජ විරෝධි ය. දුම්වැටි ද මේ ආකාරය ම ය. මෙම භාණ්ඩ දෙවර්ගය ම: නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහයෙනි. එහෙත් එකී භාණ්ඩ පරිභෝජනයේ දී පරිභෝජකයා වෙත විවිධාකාර බාධා පැනවේ. මෙය ගණිකා වෘත්තිය සහ සේවනය පාර්ශවයෙන් ගත් කළ සපුරා ම වෙනස් සන්දර්භයක පවතී. නීතිය ක්‍රියාත්මක වන්නේ ද සේවය සැපයූ පාර්ශ්වයට පමණි. පරිභෝජකයා පිළිබඳ පවත්නා නීතිය සපුරා ම වෙනස් ය.

 

ගණිකාව, විවාහය සහ පුරුෂ දෘෂ්ටිය


නූතන සමාජයේ ගණිකා වෘත්තිය තහනම් වෘත්තියක් වුව ද බුදුන් ධරමාන යුගයේ දි පවා මෙය රාජ්‍ය අනුග්‍රහය ලද වෘත්තියකි. එකල ද සමාජ රෝග තිබෙන්නට ඇත. එබඳු වාතාවරණයක පවා ගණිකා වෘත්තිය යනු සමාජයේ පිළිගැනීමට ලක්වූ වෘත්තියකි; ගණිකාව නමැති කාන්තාව ද සමාජයේ පිළිගැනීමට ලක්වූ චරිතයකි. එකල එසේ වුව ද වර්තමාන සමාජය තාක්ෂණික පාර්ශ්වයෙන් ද, සෞඛ්‍ය සේවා පාර්ශ්වයෙන් ද දියුණු තත්ත්වයක පවතිද්දී පවා ගණිකා වෘත්තිය සහ ගණිකාව වෙනස් ලෙස සලකන වෘත්තියක් සහ පුද්ගල චරිතයක් බවට පත්ව තිබේ. එවන් සමාජයක ගණිකාව යනු කිසිදු පුරුෂයකු විවාහ නොවිය යුතු කාන්තාවකි. කිසියම් ආකාරයකින් ගණිකාවක් විවාහ කරගන්නා පුරුෂයෙකු වෙත් නම් එබඳු පුරුෂයන් කෙරෙහි පුරුෂයෝ මතු නොව කාන්තාවෝ පවා හෙළන්නේ අවර ගනයේ බැල්මකි. එමෙන් ම ගණිකා වෘත්තියේ යෙදුණ කාන්තාවක කිසියම් පුරුෂයෙකු හා විවාහ වීමෙන් ඉක්බිතිව ද ඇය ගණිකා වෘත්තියේ ම යෙදිය යුතුය යනුවෙන් පුරුෂ පාර්ශ්වය විශ්වාස කරයි; විශ්වාසයටත් වඩා එය බලහත්කාරයකි. එනම් පුරුෂ සමාජය එවන් කාන්තාවක් පිළිබඳ දරන්නේ එදා උඹ ගණිකා වෘත්තියේ යෙදුණේ නම් අද බැරි ඇයි ද යන අදහසිනි. ඇය විවාහයෙන් ඉක්බිති එකී වෘත්තියේ නොයෙදුණ ද පුරුෂ සමාජයට ඇය තව දුරටත්: වේ***, බඩුවකි, ගණිකාවකි. ප්‍රසන්න ජයකොඩි ‘‘එයා දැන් බැඳලා’’ නිර්මාණය තුළින් ප්‍රකට කරන්නට යත්න දරන්නේ මෙකී නින්දිත යථාර්ථය යි; අප්‍රසන්න පුරුෂ දෘෂ්ටිවාදය යි.

 

vidu3

සුද්දි වටා භ්‍රමණය වන සියලු පුරුෂ (උදය සිරි හෙවත් සිරී හැර) චරිත අඩු වැඩි වශයෙන් ඇය තම වසඟයට ගන්නට යත්න දරන්නෝ ය. මනී නමැති චරිතය කාලයාගේ ඇවෑමෙන් වෙනස් වුව ද ඔහු ආරම්භක අවධියේ යත්න දරන්නේ ඇය සමග යහන්ගත වීම සඳහා ය. පීතර ආරම්භයේ සිට ම යත්න දරන්නේ ඒ සඳහා ය. ඔහු ඒ සඳහා දරන ප්‍රයත්නය එක් පසෙකින් සුක්ෂම වන අතර තවත් පසෙකින් නරුමවාදී ය. ඔහු සුද්දි වෙත ඍජුව ම බලහත්කාරිත්වයක් නොපෑව ද කූට උපක්‍රම අවලංගුවන මොහොතේ වෙනස් ම ආකාරයේ බලහත්කාරී ක්‍රියාදාමයක් සුද්දී මත හෙළන්නට යත්න දරයි; ඒ සඳහා සුදුසු වටපිටාව නිර්මාණය කරන්නේ ද සට කපට අයුරිනි.


සමාජාකල්ප, පුද්ගලික ආකල්ප සහ හීනමානය

 

maxresdefault


මෙහි දී සිරි කෙරෙහි පාඨක ප්‍රජාවගේ අවධානය යොමු වන්නේ ඔහු නෝන්ජලයෙකු ලෙස විග්‍රහ කරගනිමිනි. එම මතය අර්ධ සත්‍යය පමණි. සිරි යනු ආත්ම විශ්වාසය හීන පුද්ගලයෙකි. ඔහු විශ්වාස කරන්නේ සාමාන්‍ය කාන්තාවක් ඔහු කෙරෙහි ආසක්ත නොවන බවකි. එහෙත් ගණිකාවක් වන සුද්දි එසේ නොවන බව හුදෙක් ඔහුගේ පුද්ගලික මතය නොව එය ද සමාජ මතය යි. සිරී භාවිතයට ගන්නේ එම සමාජ මතය යි. එනම් ‘වේ*** බඳින්නෙ පො**** ම තමයි’ යන සමාජ ආකල්පය පෙරදැරිව ය. ඔහු සැබැවින් ම සුද්දිට ආදරය නොකළේ ය යන්න මගේ තර්කය යි. එසේ නම් ඔහු සිය පියාගේ සටකපටකම්වලට යටත්ව සිය කසාද බිරිඳ සැක කරන්නට තරම් පහත් පුද්ගලයෙකු නොවන්නේ ය. එහෙත් ඔහු ද මේ සමාජයේ ම වෙසෙන තවත් එක් පුරුෂයෙකු පමණක් ම වන බැවින් විවාහයට පෙර ගණිකාවක වු සිය බිරිඳ කෙරෙහි සැක උපදවාගන්නේ ය. තව දුරටඕ පවසන්නේ නම් ඔහු සතුව ඔහුගේ ම අදහසක් නොපවතී. ඔහුගේ මනස තුළ පවතින්නේ ද සමාජ ආකල්පය ම ය. එසේ නොවන්නට ඔහුගේ ම පියා ඔහුගේ බිරිඳ සමග ලිංගික සබඳතාවක් පවතී ය යනුවෙන් සැක නොකරන්නේ ය. සමස්ත පුරුෂ සමාජයෙන් ඔහු වියුක්ත වන්නේ නම් ඒ, ඔහු දුර්වලයෙකු බව ඔහු ම පිළිගැනීම ය. එනම් සාමාන්‍ය කාන්තාවක් ඔහු කෙරෙහි කැමති නොවේ ය යන හීනමානය යි. එය ද පුරුෂ නිරුවතේ එක් පාර්ශ්වයකි.


නෝන්ජල් සිරී සහ රැඩිකල් මනී

 

pradeep1


ප්‍රසන්න, සිරීගේ චරිතය තුළින් විශද කරන තවත් ලක්ෂණයක් පවතී. එය ද සමාජ ආකල්පයකි. එනම් මා පෙර සඳහන් කළ පරිදි පරිපුර්ණ යැයි සම්මත පිරිමියෙකු කිසිදු දිනක ගණිකාවකට ආදරය කළ ද ඇය විවාහ කර නොගනී ය යන්න ය. එම සංකල්පයෙන් බැහැර වන්නට නිර්මාණයේ තිර රචකයා මෙන් ම අධ්‍යක්ෂකවරයා වන ප්‍රසන්න ද අසමත් වන්නේ ය. එසේ නොවන්නට සිරිගේ චරිතය නෝන්ජල් යැයි සමාජ සම්මත චරිතයක් ලෙස ඉදිරිපත් නොකර රැඩිකල් යැයි සම්මත චරිතයක් ලෙස ඉදිරිපත් කළ යුතුව තිබිණ. තවත් සරලව පවසන්නේ නම් සමාජය කුමනාකාරයේ මතයක් දැරුව ද ඒ සියලු මත දරාගත හැකි; ඒ කිසිදු මතයක් හේතුවෙන් සිය විවාහක බිරිඳ කෙරෙහි සැක නොකරන, ඇය කෙරෙහි සැක උපද්දවන සමාජයට අභියෝග කරන, එබඳු සමාජයට ඍජු ප්‍රහාර එල්ල කරන චරිතයක් ලෙස ඉදිරිපත් කරන්නට තිබිණ. නමුදු ප්‍රසන්න ඒ මානය අත්හැර සම්මත සමාජ ආකල්පය ම සිය නිර්මාණයට උපස්තම්භක කරගනී. එය එක් පසෙකින් පවත්නා සමාජ ආකල්ප තව දුරටත් වලංගුභාවයට පත්කිරීමකි. නමුත් ඇතැම් අවස්ථාවල මනී සිරීට වඩා ඉදිරියෙන් සිටී; ඔහු සිරිට වඩා රැඩිකල් චරිතයකි. ඒ, සිරීටත් වඩා සුද්දි කෙරෙහි විශ්වාසය තබන බැවිනි; සිරීගේ දුර්වලතා වෙත ප්‍රහාර එල්ල කරන බැවිනි; ඔහු ඇත්ත ඇති සැටියෙන් ම අවබෝධ කරගන්නා බැවිනි.


‘‘නැරඹිය යුතු ම’’ වන්නේ ඇයි...?

 

එයා දැන් බැඳලා - ප්‍රසන්න ජයකොඩිගෙන් ටෙලියක් ! 

 

‘‘එයා දැන් බැඳලා’’ සමස්ත නිර්මාණය වෙත අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන සුවිශේෂතා කිහිපයකි. එක් පසෙකින් මෙය ‘‘නැරඹිය යුතු ම’’ නිර්මාණයකි. මා එසේ පවසන්නෙ ජනප්‍රිය අර්ථයෙන් නොවේ. මගේ නිවසේ දැනට වසර කිහිපයක සිට රූපවාහිනි යන්ත්‍රයක් නොතිබුණ ද එය තිබුණු යුගයේ මගේ නිවසේ අත්දැකීම් සහ වෙනත් බොහෝ නිවාසවල දී ලද අත්දැකිම්වලට අනුව ඇතැම් ටෙලි නිර්මාණ නොනැරඹුව ද ටෙලිය වටහාගත හැකි ය. ඒ, දෙබස්වලට සවන් දීමෙනි. තවත් සරලව පවසන්නේ නම් මුළුතැන්ගෙයි කටයුතු කරන අතර ම ආලින්දයේ තිබෙන රුපවාහිනී නාට්‍යයට සවන් දිය හැකි ය; එසේ සවන් දීමෙන් එහි රූපරාමු මනසෙන් මවාගත හැකි ය. නමුදු ‘‘එයා දැන් බැඳලා’’ එසේ කළ නොහැකි ය. එය ‘‘නැරඹිය යුතුම’’ ය. ඇසීමෙන් විඳිය නොහැකි ය.

 

තවත් පසෙකින් ගත් විට ඇතැම් ටෙලි නිර්මාණවල ඇතැම් රූපරාමු මිනිත්තු එකහමාරක් පමණ එකම ඉරියව්වෙන් පවතින විට එය නැරඹීම අප්‍රසන්න ය. නමුදු ‘‘එයා දැන් බැඳලා’’ ටෙලි සිත්තමේ ඇතැම් රූපරාමු ඊට වඩා වැඩි කාලයක් එකම ඉරියව්වක රැඳුණ ද එය නැරඹීම ප්‍රිය ජනකය. එමෙන් ම වර්තමානයේ විකාශනය වන ඇතැම් ටෙලි නිර්මාණවල එක් කොටසක් මගහැරුණ ද එය ඊළග කොටස නරඹන විට අඩුපාඩුවක් ලෙස නොදැනේ. එහෙත් ‘‘එයා දැන් බැඳලා’’ එසේ නොවේ. එහි එක් කොටසක් නොව තත්තපර කිහිපයක් මගහැරුණ ද වින්දනයට බාධා පැමිණේ. එබැවින් ‘‘එයා දැන් බැඳලා’’ නැරඹිය යුත්තේ භාවනාවකට සමවැදුණා සේ ය. එය නරඹන තත්පරයක් මගහැරීම පවා ප්‍රේක්ෂක ප්‍රජාවගේ දැහැන්ගත සිත බිඳලීමකි. මේ ලක්ෂණය ටෙලි සිත්තමක දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මේ දිනවල සිරස රුපවාහිනියේ විකාශනය වන ‘‘රන්දෝලි’’ ටෙලි නිර්මාණයෙහි ද මේ ලක්ෂණය අන්තර්ගත ය. එබැවින් එය ද ‘‘නැරඹිය යුතු ම’’ ටෙලි නිර්මාණයකි.

 

‘‘එයා දැන් බැඳලා’’ සමස්ත නිර්මාණය අගයන අතර ම මා එහි දුටු දුර්වලතාවක් ද (මගේ බින්න රුචිකත්වයට අනුව) සඳහන් කළ යුතු ය. එනම් ටෙලි සිත්තමේ 24වන කොටසෙන් පසු එනම් 25වන කොටසේ සිට එහි විකාශනය සීඝ්‍රගාමී බවක් දක්නට ලැබිණ; එතැන් සිට මා කලින් සඳහන් කළ භාවනාවක් සදිසි ලක්ෂණ අවම විය; නිර්මාණය ඉතා වේගයෙන් පොළා පනින ලක්ෂණ දක්නට ලැබිණ. සරලව ම පවසන්නේ නම් නිර්මාණයේ දර්ශන නාය ගිය මොහොතේ සිට ටෙලි නිර්මාණය ද නාය ගියා සේ දැනිණ.




jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/03/19 


ආලින්දයෙන් ඔබ්බට පසුගිය ලිපි :


ආලින්දයෙන් ඔබ්බට 13 : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්

ආලින්දයෙන් ඔබ්බට : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ආලින්දයෙන් ඔබ්බට : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image